Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර මේ මොහොතම ය

අපි ඔක්කොම එකම ගමනක යෙදෙන කට්ටිටක්. අපි කීවේ කවුරුන්ට ද? ඔබත් මාත් ඇතුළු මනුෂ්‍යයන් ට පමණක් ද? අදිසි සදිසි පංචස්කන්ධයක් දරා සිටින අපා, දෙපා, සිව්පා, බහුපා ඔක්කොම මේ කට්ටියට අයිතියි. මේ ඔක්කොම එකතු වෙලා යන ගමන කුමක් ද? මේකට කියනව කවුරුත් සංසාර ගමන කියලා. ගමන පටන් ගත්තෙ කොතනින් ද කියල කවුරුවත් ම දන්නේ නැහැ. කෙළවර වෙන්නේ කවරදාක ද කියලා දන්නෙත් නැහැ. මනුෂ්‍යයෝ, සිව්පාවො, උරගයො, පක්ෂියො, මත්ස්‍යයෝ, දේව, බ්‍රහ්ම, නේරයික, පේත ආදී ඇසට පෙනෙන නොපෙනෙන ඔක්කොම සත්ත්වයෝ නෑදෑයො මිත්‍රයො වාගේ මේ ගමන යනවා. හරියට පෙරහර වාගේ, මේ පෙරහරේ ඉදිරි කෙළවර පේන්නෙත් නැහැ. පසු කෙළවර පේන්නෙත් නැහැ.

වෙහෙස වැඩි නිසා දෝ සමහරු මේ ගමන කෙටි කරගන්ඩ හදනවා. තවත් සමහරු දික් කර ගන්ඩ වෙර වීරිය වඩනවා. ගමන කෙළවර කරගන්ඩ උත්සාහ කරන අයත් ඉන්නවා. ඔය අතර ගමන අත් හිටු වන්ඩ වීර්ය වඩන අයත් ඉන්නවා. ආපසු හැරිල යන්න නම් කාටවත් අවශ්‍ය නැහැ. හේතුව මේ ගමන් මඟ එක දිසාවකට පමණක් යා යුතු එකක්. මඟ එසේ තිබියදී අහසේ පක්ෂියෙකු සේ, මුහුදේ මත්ස්‍යයෙකු සේ සසර සැරි සරණ අය ගැනත් අසන්නට ලැබෙනවා. මේ සංසාරය කොහේ තියෙන එකක්ද? විශ්වය පුරා පැතිරී තියෙන එකක් ද? මනඞකල්පිතයක් ද? ස්ථිරව පවතින එකක් ද? සර්ව බලධාරී මැවුම් කරුවෙකුගේ නිර්මාණයක් ද?

මානවයා ගේ චින්තන ශක්තිය දියුණු වෙත්ම මේ සංසාරයේ ස්වභාවය ගැන විමසා බලන්නට උනන්දු වෙච්ච අයත් පහළ වුණා. ඒ අය නොයෙකුත් ආකාරයට මේ ගැන හිතල විවිධ මත පළකළා. මේ අතර සසර ස්වභාවය ගැන මුල, මැද, අග පිරිසුදුව අවබෝධ කරගත් එක් අසම මහා පුරුෂයෙක් ලොව පහළ වුණා. ඒ මහා පුරුෂයා බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ ගේ අවබෝධ ඥානය සත්ත්ව සංස්කාර, අවකාශ යන ලෝකත්‍රයම විනිවිද සිසාරා ගියා. ඒ අවබෝධය සාක්ෂාත් වූ මොහොතේ දී උන්වහන්සේ ට ඇති වූ නිරාමිෂ සතුට ‘අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං’ යන උදාන වාක්‍යයකට පෙරලුණා. සංසාරය, එහි යථා ස්වභාවය හා සංසාර විමුක්තිය පිළිබඳ සත්‍යය ලෝකයට විවෘත වුණා. එසේ විවෘත ධර්මය තුළ සංසාරය කෙසේ විස්තර කෙරේ ද?

නාමරූප ධර්මයන්ගේ අවිච්ජින්න පැවැත්ම සංසාරයයි. එය ඉබේ සිදුවන්නක් නොව පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක්ය යන්න බුදුදහම අවධාරණය කරයි. අභිසංඛත වූ හෙවත් චේතනාව මගින් අභිසංස්කරණය කෙරුණු අභිසංඛත විඤ්ඤාණය හෙවත් පටිසන්ධි විඤ්ඤාණය නාම රූපයන්ගේ හට ගැනීමට ප්‍රත්‍ය වෙයි. නාම රූපයෝ නම් කිම?

වේදනා සංඥා චේතනා ඵස්සෝ මනසිකාරෝ ඉදං
වුච්චතාවුසෝ නාමං චත්තාරිච මහා භූතානි චතුන්නඤ්ච
හා භූතානං උපාදාය රූපං ඉදං වුච්චතාවුසෝ රූපං,

ඉති ඉදංච නාමං, ඉදංච රූපං ‘ යනුවෙන් සම්මා දිට්ඨි සූත්‍රයේ (ම.නි) දැක්වෙනවා.

වේදනා, සංඥා, වේතනා, ඵස්ස, මනසිකාර යනු නාම යයි ද, සතරමහා භූතයන්ටද (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) ඒ සතර මහා භූතයන්ගේ සමවායට රූපයයි ද ඒ සියල්ල නාමරූප යයි ද සාරිපුත්ත හිමියෝ එහිදී වදාරනව. නාම යනු අරමුණට නැමෙන - ස්වභාවය (ආරම්මණාභිමුඛං නාමනතෝ) හැටියට අටුවාව විස්තර කරනව. මේ ධර්මයන්ගේ අවිච්ඡින්න පැවැත්ම යනු සංසාරයයි.

චිත්ත චෛතසික පරම්පරාවේ සන්තනිකත්වය හැටියටත් සංසාරය හැඳින්වෙනවා. ක්‍ෂණයක් පාසා විපරිනාමයට පත්වන ස්වභාවය සන්තතිකත්වය යි. කෙනෙකුගේ වයස සන්තතිකයි. කිසිවෙකුට තම වයස හරියටම කියන්ට බැහැ. කියන අවස්ථාවේදීත් එයාට වයස යනව. වයස නිරන්තයෙන් ම වෙනස්වන දෙයක්. මේ අනුව චිත්ත චෛතසිකයන්ගේ ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන්. විපරිනාමය වන කිසිවක් නිත්‍ය නැත. අටවිසි ආකාර වූ රූප ද එකුන් අනූවක් වූ සිත් ද දෙපනසක් වූ චෛතසිකයෝ ද මොහොතක් පාසා විපරිනාමයට පත් වෙනව. විපරිනාමය දුකෙහි සම්භවයයි.

ස්කන්ධ ධාතු ආයතනයනගේ හෙවත් සත්ත්ව පැවැත්ම සංසාරය ලෙස තවත් තැනෙක දැක්වෙනව. රූප, වේදනා, සංඥා, සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයේ සමූහ ගත වීම ඒකරාශිවීම ස්කන්ධ ලෙස දැක්වෙනවා. ඉන්ද්‍රිය ගෝචර වන නොවන සියල්ලේම මූල ස්වභාවය ධාතු වෙයි. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් අටළොස් ආකාරයක් වෙනවා. ආයතන යනු දොළොස් ආකාර වූ ඉන්ද්‍රිය ස්වභාවය යි.

මේ අනුව සංසාරය පිළිබඳව ධර්මානුකූල අදහසක් අපට ඇති කරගන්න පුළුවන්. නාමරූප වශයෙන් හෝ චිත්ත චෛතසික වශයෙන් හෝ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් හෝ විස්තර කෙරෙන තැන්හි පැවැත්මක් ගැන සඳහන් වෙනව. මේ පැවැත්ම කෙබඳු ද යන්න විමසීමෙන් තොරව සංසාරය පිළිබඳ ශුද්ධ සංඥාවක් ඇතිකර ගත නොහැකියි.

ඇතිවීම, පැවතීම හා නැතිවීම යනුවෙන් යම් සිද්ධියක ස්වභාව තුනක් දක්වෙනව. මේ තුනම කාලය පිළිබඳ සංඥාවට සාපේක්ෂව ගැනෙන අවස්ථා තුනක්. පරමාර්ථ ධර්මයන්ගේ ‘ක්‍ෂණය’ විස්තර කෙරෙන තැන්හි ද එයම උප්පාද , ඨිති, භංග වශයෙන් දැක්වෙනව. උප්පාද යනු ඇතිවීමේත්, ඨිති යනු පැවතීමේත්, භංග යන නැතිවීමේත් කාල සීමා හඟවයි. චිත්ත ක්‍ෂණයක මේ කාලසීමා තුන සමාන බවත්, රූප ක්‍ෂණයක එසේ නොවන බවත් දැක්වෙනවා. ඒ අනුව පැවතීම යන්නෙන් වෙනස්වීමක් විපරිනාමයක් නැති කාල සීමාවක් ඇඟවෙනව. පැවතීම ඒ අයුරින් ගතහොත් එවිට එය අනිත්‍ය ලක්ෂණයට පටහැනි වෙනවා. සංඛත වූ කිසිවක් නිත්‍ය නැහැ. තව ද ක්‍ෂණය යනු කාලයේ මිනුම ශුන්‍යයට ළඟාවන සීමාව බව ගණිත න්‍යායානුකූ®ලව විස්තර කළ හැකියි. ඒ නිසා ඨිතිය හෙවත් පැවැත්ම යනු උප්පාද සහ භංග දෙක වෙන් කරන සීමාව බව තේරුම් ගන්න පුළුවන්. ඒ සීමාව නොගතහොත් උප්පාද භංග දෙකම එක මත සම්පාත වෙනව. ඒ නිසා සංසාරය විස්තර කෙරෙන පෙර කී ධර්මතාවයෝ සතතයෙන්ම ක්‍ෂණ භංගුරත්වයට පත්වෙනවා.

මේ ස්වභාවය තවදුරටත් සරල ආදර්ශනයක් මඟින් තේරුම් ගන්න පුළුවන්. එකිනෙකට ස්පර්ෂව වැලක් ලෙස අමුණා ඇති ස්වයංක්‍රීයව වහා නිවෙන දැල්වෙන කුඩා විදුලි බුබුළු සමූහයක් ඇත. විදුලි පරිපථය සම්බන්ධ වූ පසු මේ බුබුළු එකකට පසු එකක් වශයෙන් පිළිවෙළින් දැක්වෙමින් නිවෙමින් ක්‍රියාත්මක වෙනවා. තරමක් දුරින් සිට එය දකින කොට අපට පෙනෙන්නේ කොහොමද? බොහෝ අයට මේ අත්දැකීම ඇති.

ආරම්භයේ සිට වේගයෙන් විදුලි එළියක් ගමන් කරන බව පේනව. නමුත් ඇත්ත වශයෙන් එතැන ගමන්කළ කිසිවක් තියෙනවද? නැහැ. සිදුවී ඇත්තේ විදුලි බුබුළුවල ආලෝකය ඇතිවීම නැතිවීම පමණකි. එය සන්තතියක් ලෙස පැවතුනා විතරයි. අපට පෙනෙන ගමන් කරන විදුලි එළිය වනාහි මායාකාරී විඤ්ඤාණයාගේ් රැවටීමක්!

නාමරූප ධර්මයන්ගේ සන්තතිකත්වය හෙවත් සංසාරය ඉහත ආදර්ශනයට ගළපා තේරුම් ගන්න පුළුවන්. මේ අනුව ඇති වෙමින් නැතිවෙමින් සන්තතිකත්වය පවත්වා ගැනෙන නාම රූප ධර්ම පාරම්පරාවක් මිස ගමන් කරන කිසිවක් නැහැ. බුදු දහමේ දැක්වෙන අනාත්ම ලක්ෂණයේ එක් ප්‍රධාන ගුණයක් ඒක. ඒ අනුව සසර ගමන යනුවෙන් අප ව්‍යවහාර කරන ගමනක් නැහැ. එය හුදු ප්‍රඥප්තියක් පමණයි. ඇත්තේ සංසාරික පැවැත්ම පමණයි. මෙතැනද පැවැත්ම යනු සන්තතික විපරිණාමයේ අවිච්ජින්න පරම්පරාවක ක්‍රියාකාරිත්වය මිස ස්ථිරව නතර වී ඇති බවක් දැක්වෙන්නෙ නැහැ. සසර ගමනක් තබා ගමනෙහි යෙදෙන්නෙක් ද නැති බව මේ අනුව පැහැදිලියි. සත්‍ය වශයෙන් ම නැති දෙයක් ඇති දෙයක් සේ පෙන්වීම විඤ්ඤාණයේ මායාවයි.

බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මායාකාරයෙකුට උපමා කර ඇති අයුරු. (මායුපමංච විඤ්ඤාණං) මෙහිදී සිහිපත් කර ගැනීමට අපට පුළුවන්. සංසාර චක්‍රයක් මිස සංසාර ගමනක් ගැන අපට කීමට නොහැකියි. චක්‍රයක මුලක් අගක් නැහැ. ‘අනමතග්ගෝ භික්ඛවේ සංසාරේ පුබ්බේ කෝටි න පඤ්ඤයති’ යන බුදු වදන මෙතැනට හරියටම ගැළපෙනව. සංසාර චක්‍ර යන තැන චක්‍රය යන්නෙන් පටිච්ච සමුප්පන්න ස්වභාවය මිස චක්‍රාකාර ගමනක් ප්‍රකාශ කෙරෙන්නේ නැහැ. දැන් අපේ අවබෝධ ඥානයට හසුකර ගන්න පුළුවන් සංසාරය මේ මොහොතය කියන ධර්ම කාරණය.

සසර කෙටි කර ගැනීමට කුසල් දහම් වඩන අය ගැනත් අසන්නට ලැබෙනව. සසර නමැති මහ දිග මගක් නොහොත් පාරක් වැනි සංඥාවක් ඇතිකර ගත් විටයි එහි යන ගමන කෙටි කර ගන්නවාය කියන මිරිඟුව දකින්නෙ. ගමනක යෙදෙන මාර්ගයක් නැති විට කුමන කෙටි කර ගැනීමක් ද? සසරෙහි දිග සහ කෙටි යන සාපේක්ෂ ප්‍රඥප්ති ගන්නෙ කාලය නිර්ණායකය කර ගෙනයි. සසර කෙටි කර ගන්නවා යනු සසරෙහි රැඳී සිටින කාලය කෙටි කර ගැනීමක් ය යන අරුතින් ගත්තොත් පොඩි නිවරද්‍ය බවක් පේනවා. කාලය මනින්ට හදල තියෙන ඔරලෝසුවල එක තැන කැරකෙන කටු සවිකරල තියෙන්නෙ, කාලය වනාහි පාරක දිගක් වාගේ දෙයක් මනින ඒකකයක් නොවන නිසා වෙන්න ඇති.

නමුත් කාලය අනුව ගත්තත් සසර කෙටි කර ගන්නවා කියන කාරණය, සසර පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අනුචිත බව පේනව. ඕනෑම දෙයක් කෙටි කළ විට තවත් කොටසක් ඉතිරිවන බව ප්‍රත්‍යක්ෂ කාරණයක්. දිග යන සංඥාව නැති විට කෙටි යන සංඥාවද කිසිවිටකත් නොයෙදේ. කෙසේ හෝ වේවා සසර කෙටි කළ විට තවත් ටිකක් ඉතිරිවන බව පැහැදිලියි. ඇසි පිය හෙළන මොහොතක්වත් භවය වර්ණනා නොකරන බව බුදු වදනයි. සසරෙහි ඉතිරිවන කොටස හොඳටම ඇති ආයෙමත් දික්කර ගැනීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නට. සසර ගමන සසර කෙටිකර ගැනීම වැනි ව්‍යවහාරයන් හුදු සම්මුති ව්‍යවහාර පමණි.

එහෙත් සම්මුතිය නොමැතිව ඉහත කී අනවරත විපරිනාම ස්වභාවයන් තේරුම් ගැනීම ද අපහසුයි. අනාගතය තවම එළඹී නැත. අතීතය ඉක්ම ගොස් ය. ඉතා සියුම් ව කල්පනා කර බලන විට අපට පෙනෙනවා සෑම මොහොතකම අනාගතය අතීතයට පෙරළෙන බව. ඒ පෙරළෙන ක්‍ෂණය වර්තමානය ලෙස පෙනෙනු ඇත. අනාගතයෙන් ආ සසරක් හෝ අතීතයට ගිය සසරක් නැත. ඒ අනුව සසර මේ මොහොතම ය.

ඒ නිසා ප්‍රඥප්තියෙන් ඔබ්බට ගොස් දර්ශනයෙන් සංජානය කරන විට, සසර පැවැත්ම කෙළවර කිරීම යනු නාම රූප ධර්මයන්ගේ සංස්කාරික පැවැත්මට මුල්වන හේතු ක්‍ෂය කිරීමේ මොහොත බව තේරුම් ගන්ට පුළුවන්.

ලෝකෝත්තර මාර්ග චිත්තයෝ ද ඵල චිත්තයෝ ද ක්‍ෂණයන් ම ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු මේ මොහොත උදා කරගන්නා ක්‍රම වේදය යි. අරහත්ඵල චිත්තය පහළවන ක්‍ෂණය සෝපාදිශේෂ නිර්වාණය යි. කයෙහි යථා ස්වභාවයත්, ඒ කය ඇසුරු කොට උපදින වේදනාවන්හි යථා ස්වභාවයත්, වේදනාවන් උපදවන සිතෙහි යථා ස්වභාවයත්, ඒ සිතිවිලි හටගන්නා ධර්මතාවල යථා ස්වභාවයත් (සතර සතිපට්ඨානය) සති සම්පජඤ්ඤයෙන් යුතුව, අප්‍රමාදීව, වීර්යයෙන් යුතුව, දකින තැනැත්තාට මේ මොහොත අල්ලාගත හැකි බව, බුදුරජාණන වහන්සේ අපට උගන්වා වදාළ බව සතිපට්ඨාන සූත්‍රයෙන් දැකගන්න පුළුවන්. සසරෙහි කෙටි කරගත හැකි ගමනක් නැත.

දුර සිට පැමිණ කරන කෙළවර කිරීමක් ද නැත. ඇත්තේ සංසාර විමුක්තියක් හෙවත් භවය සකස් කරන හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍ෂය කිරීමක් පමණයි. සසර මේ මොහොතයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.