Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කරණීය මෙත්තං කුසලෙන ද?

සියලු බොදුණුවන්ගේ ආරක්‍ෂක පිරිත් දේශනා වලදී සජඣායනා කරනු ලබන තුන් සූත්‍රයේ කරණීය මෙත්ත සූත්‍රය වඩාත් වැදගත් වන්නේ දිනපතා කරනු ලබන මෛත්‍රී භාවනාවට එම සූත්‍රය මාර්ගෝපදේශයක් වන බැවිනි. බෞද්ධයන් බහුතරයක් මෙම සූත්‍රය වන පොත් කරගෙන ඇතිවාට ද සැක නැත. කිසියම් බියක් චකිතයක් ඇතිවුණු අවස්ථාවක කරණීය මෙත්ත සූත්‍රය සජඣායනා කිරීමට බෞද්ධයන් උත්සුක වන්නේ එය අමනුෂ්‍යයන්ගෙන් ඇතිවන භය පිටුදැකීම සඳහාම බුදුරදුන් විසින් භික්‍ෂූන් වහන්සේලාට දේශනාකොට ඇති බැවිනි.

මෙම සූත්‍රයේ පළමුවන ගාථාර්ධය පිළිබඳව මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ සංගීතිකාරකයන් වහන්සේ හෝ භාණක තෙරවරුන් කෙරෙහි අගෞරවයක් ඇතිකිරීමට නොව කිසියම් විටක වූ ඇත්වැරැද්දක් තුළින් පාලියෙහි දොසයක් වී දැයි ධර්මධරයන් වහන්සේලාගේ අවධානය යොමුකරනු පිණිසය.

නමින් කරණීය මෙත්ත සූත්‍රය වුවත් එය ඇරැඹෙන්නේ ‘කරණීය මත්‍ථ කුසලෙන” යන ගාථා පාදයෙනි, ‘කරණීය මත්‍ථ සූත්‍රය ‘ නොවී කරණීය මෙත්ත සූත්‍රය වූයේ මන්දැයි පළමුවෙන්ම පැන නැඟෙන ගැටලුවයි. ‘මෙත්තං’ යන පදය මේ සූත්‍රයෙහි යෙදී ඇත්තේ එකම තැනක පමණක් වුවත් සූත්‍රයේ තේමාව ‘මෙත්වැඩීම ‘ නිසා කරණීය මෙත්ත සූත්‍රය නමින් ව්‍යවහාර වී යැයි කෙනෙකුට සහේතුක තර්කයක් ගොඩනැඟිය හැකිය. එහෙත් සූත්‍රයෙහි මාතෘකාව වශයෙන් සැලකෙන පළමු ගාථාර්තයෙහි මෛත්‍රිය ගැන සඳහන් නොවීම පුදුම එළවන කරුණකි.

මෙම සූත්‍රයෙහි පළමුවන ගාථාර්ධය නම් ‘කරණීයමත්ථ කුසලෙනයං තං සන්තං පදං අභිසමෙච්ච ‘ යන්නයි. එහි තේරුම වශයෙන් දැක්වෙන්නේ ‘අත්‍ථ කුසල තැනැත්තා විසින් යම් ශාන්ත පද සංඛ්‍යාත නිවනක් වේද එයට එළැඹී... කළ යුතුය ‘ යනුයි. කුමක් කළ යුතුද යන්නක් එම ගාථාර්ධයෙන් නො පැවසෙන අතර ඊළඟට ඇරැඹෙන්නේ එම පුද්ගලයා තුළ තිබිය යුතු ආකල්ප සමුදායකි. පළමු ගාථාර්ධය මඟින් කළ යුත්තක් තිබෙන බව පවසන නමුත් ඒ කුමක්ද යන්නට පිළිතුර එහි අඩංගු නොවේ.

චතුභාණවාර පාලි අට්ඨකතාවේ මෙම ගාථා පාදද්වය විස්තර කරන්නේ මෙසේය.

“ කරණීයන්ති කාතබ්බං කරණාරහංති අතේර්ථා .අතේථාති පටිපදා යංවා කිඤචි අත්තනො හිතං තං සබ්බං අරණීයතො අෙත්‍ථාති වුච්චති. අරණීයතො නාම උපගන්තබ්බතො. අෙත්‍ථ කුසලෙන අත්‍ථ කුසලෙන අතේර්ථා ඡෙකොති වුත්තං හොති. යං කි අනියාමික පච්චත්තං තංකි උපයොගං උභයම්පිවා යං තං ඉති පච්චත්ත වචනං සන්තං පදන්ති උපයොග වචනං තත්‍ථ ලක්ඛණතො සන්තං පත්තබ්බතො පදං නිබ්බාණසෙසතං අධි වචනං අභිසමෙච්චාති අභිසමාගන්ත්වා”

පාලි භාෂාවෙන් දක්වා ඇති මේ විස්තරය සරල වශයෙන් ගත්විට එන අදහස මෙසේය. ප්‍රතිපත්ති යෙහි දක්‍ෂයා විසින් යම් ඒ ශාන්ත පදය වූ නිවනට පැමිණ කළ යුතුය යන්නයි. අටුවාචාරීන් වහන්සේ වෙන වෙනම පදවල අරුත් පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇති මුත් පද සමොදානය කොට අර්ථය ඉස්මතු කොට දැක්වීමට උනන්දුවී නැති බව පැවසීමට සිදුව තිබේ. කෙසේ නමුත් එම විස්තරයෙන් ගම්‍යමාන වන්නේ නිවනට එළැඹුණු අය හෙවත් නිවන් අවබෝධ කරගත් අය විසින් කළ යුත්තක් ඇති බවය.

නිවනට පැමිණි තැනැත්තා යනු සතර මඟ සතර ඵලයට පැමිණි තැනැත්තාය. මාර්ගඵලාවබෝධ කළ අයට තවදුරටත් කළ යුතු කෘත්‍යයක් නැති බැවින් (කතකිච්ච) මෙත් වැඩීම පිළිබඳ උපදෙස් ලබාදීම අවශ්‍ය නොවේ. උපදෙස් ලබාදිය යුතුවන්නේ නිවන අරබයා උත්සාහ දරන්නා වෙතය.

මෙම සූත්‍රයෙහි ‘කරණීයමත්ථ කුසලෙන ‘ යන පදය පිටපත්කරුවන් අතින් සිදුවූ අත් වැරැදීමක් නිවැරැදි නොකොට පවත්වාගෙන ඒමක්දෝ යි සැලකීමට සිදුවේ. ඉහත කී ගාථාර්ධයෙහි සැබෑ අරුත විය යුත්තේ “ දක්‍ෂයා විසින් යම් ශාන්ත පද සංඛ්‍යාත නිවනක් වේද ඒ කරා එළැඹෙනු පිණිස මෛත්‍රිය කළ යුතුය. යන්නයි. ඒ සඳහා ගාථා පාඨය සංශෝධනය විය යුත්තේ මෙසේය. ‘ කරණීය මෙත්තං කුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්ච” යනුවෙනි. කරණීයං මෙත්තං කියාද ගත හැකිය.

එම ගාථාර්ධයෙහි වචන ‘කුසලෙන යං සන්තං පදං තං අභිසමෙච්ච මෙත්තං කරණීයං ‘ යනුවෙන් අන්වයානුගතකළ හැකිය. මෙහි කරණීය මෙත්තං යන තන්හි කරණීයං යන්නෙහි බින්දුව ලොප්ව තිබේ. ‘ එතං බුද්ධානං සාසනං යන පදයෙහි බුද්ධානං යන්න බුද්ධාන කියා වූවාසේය.

’අභිසමෙච්ච ‘ යන පදය පාලි ව්‍යාකරණ මගින් විවරණය කළ හැකි පදයක් නොවේ. එය ‘අභිසමෙත්‍ය ‘ යන සංස්කෘත පදයේ තද්භව රූපයයි.

එහි තේරුම එළැඹි (අභිසමාගන්ත්වා) යනුවෙන් ගැනීම නිවැරැදි නොවේ’ විය යුත්තේ එළැඹෙනු පිණිස හෙවත් එළැඹෙනු අරඹයා යන්නයි. අභිසමෙච්ච යන්න පූර්ණ ක්‍රියාවක් සේ අටුවා චාරීන් වහන්සේ සැලකුවා විය යුතුය. එහෙත් එය පූර්ව ක්‍රියාවක් වශයෙන් සැලකිය හැකිද යන්න ප්‍රශ්නයකි.

අත්‍ථකුසල යන පදයෙන් ප්‍රතිපදාවෙහි දක්‍ෂ තැනැත්තා යන අදහස දීමට උත්සුක වී ඇත. බුදු සමයෙහි කුසල යන පදයෙන් ඉඳුරාම පැවසෙන්නේද සුචරිතයෙහි හා ධර්ම මාර්ගයෙහි දක්‍ෂයාමය. කුසලස්ස උපසම්පදා යන පදය සලකා බැලීම වටී. අත්‍ථ කුසල යන්නෙන් කුසල යන පදට වඩා සුවිශේෂ අර්ථයක් ගම්‍යවන බවක් නොපෙනේ.

අත්‍ථ කුසල යන පදය අවධාරණය කරන ඇතමුන් කරණීයමෙත්ත සූත්‍රයේ පැවසෙන ආකල්ප ධර්ම මෛත්‍රිය හා සමගාමී වන බව අමතක කරති. සක්කො උජු ආදි ආකල්ප මෙත් වඩන්නා තුළ මෛත්‍රියට සමගාමීව වැඩෙන බව පැවසීමයි. මේ සූත්‍රයේ අරමුණ වී ඇත්තේ ‘මෛත්‍රිය ‘ අමතක කරන අරුත් පහදන්නෝ අත්‍ථ කුසල නම් පුද්ගලයකු හඳුන්වා දෙන්නට වෑයම් කරති.

පැහැදිලි අර්ථයක් ගම්‍ය වන පරිදි ‘කරණීය මෙත්තං කුසලෙන ‘ යනුවෙන් ඉතා පහසුවෙන් පැවසිය හැකිව තිබියදී සංගීතිකාරකයන් අනිවාර්යෙන් තිබිය යුතු ‘මෙත්තං’ යන වචනය ගිලිහෙන්නට සලස්වා අසම්පූර්ණ අරුතක් ලැබෙන පරිදි ‘කරණීය මත්‍ථ කුසලෙන ‘ යනුවෙන් සංඝායනා කළේ නම් එය පුදුමයට හේතුවන කරුණකි.

චිරාත් කාලයක් පවත්වාගෙන ආ සම්ප්‍රදායික ව්‍යවහාරයන් වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවන නමුත් ඒවා විමර්ශනයට භාජනය කිරීම සඳහා බුදුසමයෙන් දී ඇති නිදහස බැහැර කළ නොහේ. කෙසේ නමුත් වියත් බහුශ්‍රැත ධර්මධරයන් වහන්සේ පෙළ දහම හෝ පෙළ පාඨ පිළිබඳව බෞද්ධයන් තුළ ඇති වන කුකුස් දුරු කිරීමට අවධානය යොමු කරන්නේ නම් එය සම්භාවනා ලැබීමට සුදුසු කරුණක් වන්නේය.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.