Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
තණ්හක්ඛයා සබ්බ දුක්ඛං ජිනාති” තෘෂ්ණාව නැති කළේ නම් ඒ සියලු දුකින් මිදී ජයග්‍රහණය ලැබුවා වේ .මෙහි සඳහන් “තණ්හක්ඛයා” යන්න පැහැදිලි කරන්න.

පිළිතුරු
තෘෂ්ණාව තෙවැදෑරුම් වෙයි. කාම , භව, විභව තෘෂ්ණා යනුවෙනි. පස් කම් සැප විඳීමට වුවමනා වස්තු කෙරෙහි ද සිත පිනවීමෙහි සමත් රාග , දොස, මෝහ ආදී කෙළෙස් කෙරෙහි ද පවත්නා ඇලීම කාම තෘෂ්ණාවයි. ආත්මය නිත්‍ය සුඛ වශයෙන් සදාකල්හිම පවතී යන මිථ්‍යා දෘෂ්ටියෙන් යුතුව පස් කම් සැප විඳින විට ඇතිවන තෘෂ්ණාව භව තෘෂ්ණාව නම් වෙයි. ශරීරයට ආත්මයක් ඇත. මරණින් පසු ආත්මය වැනසේ. නැවත උපතක් නැත. අතට පත් දිවිය පස්කම් සැප විඳිමින් අවසන් කළ යුතුය. මෙය විභව තෘෂ්ණාවයි.

ප්‍රශ්නය
ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මා වැනි අයටත් මේ ශාසනයෙහි පැවිදි වන්නට හැකිද? එසේ හැකි නම් පැවිදි වීමට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්ස! මා පැවිදි කරන සේක්වා . මෙම ප්‍රකාශය කළ තැනැත්තා කවරෙක්ද? අවස්ථාව පැහැදිලි කරන්න.

පිළිතුර
”සුනීත” රජගහනුවර විසූ චණ්ඩාලයෙකි. හෙතෙම කසල ශෝධකයෙකු වශයෙන් රැකියාව කොට ජීවත්විය. ඔහු රහත් වීමට හේතු සම්පත් ඇත්තෙයෙකු බව දුටු බුදුන් වහන්සේ ඔහු වෙත පැමිණ සුනීත දුක සේ රකින මේ ජීවිතයෙන් කවර යහපතක් ද? පැවිදි වන්නට කැමැතිදැයි ඇසූ සේක. එවිට සුනීත විසින් බුදුන් වහන්සේට දුන් පිළිතුර ඉහත සඳහන් විය.

ප්‍රශ්නය
පැරැණි වෛදික යුගයේ ස්ත්‍රීනට පැවැති ගෞරවණීය තත්වය පසුකාලීන යුගයෙහි පිරිහී ගියත් පැරැණි යුගයේ සඳහන් නාම පද වලින් කාන්තාවගේ ප්‍රභූත්වය හඳුනා ගත හැකිය. එම සුවිශේෂ නාමපදයන් මොනවාද?

පිළිතුර
මෙම නාමපද සමූහය තුළින් ස්ත්‍රිත්ව යෙහි භාරතීයයන්ගේ ගෞරවයට අගැයුමට ලක්වූ ප්‍රමාණයෙන් කවරේදැයි පහසුවෙන් හඳුනාගත හැකිය.

1.ඡයා - උපදවන්නිය
2.පත්නී – පමුණුවන්නිය
3.භාර්යා - පෝෂණය කළ යුත්තිය
4.සෞභාග්‍යමතී – සියලු සෞභාග්‍යය
5.ගෘහිණී – ගෘහයෙහි හිමිකාරිය
6.සහධර්මිණී – ගෘහයෙහි පාලිකාව එක්ව ධර්මයෙහි හැසිරෙන්නිය
7.කාන්තාව - ආලෝකමත් තැනැත්තිය

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ සුංසුමාර ගිරිපුරයට වැඩම වූ කල එක්තරා ගෘහපති ගෘහපතිනි දෙපලක් බුදුන් දුටු විගස, පුතා ඔබ අපහැර මෙතෙක් දා හැසුරුණේ කොහිදැයි හඬන්නට වූහ. මේ අඹු සැමි යුවල කවුරුන්ද අවස්ථාව කුමක්ද?

පිළිතුර
බුදුරජාණන් වහන්සේට නකුල මාතා සහ නකුල පිතා පන්සිය වාරයක් දෙමව්පියන් වූවාහුය. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිත් තුළින් පුත්‍ර ස්නේහය පහ වනතෙක්ම වැඩ සිට දහම් දෙසූහ. සදහම් ඇසුු දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.

ප්‍රශ්නය
සුජාත ජාතක කථාව සුමනා නම් සිටු දියණිය අරබයා දේශනා කොට වදාළ ජාතක කථාවකි. විවාහය පිළිබඳ පමණක් සලකා භාර්යාවකගේ වර්ගීකරණයක් මෙම ජාතක කථාවට ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
භාර්යාවෝ සත්දෙනෙකි –

1. වධක භාර්යාව - සියලු දෙනාට කරදර ගෙන දෙන්නාවූ)
2. චොර භාර්යාව - (ස්වාමියා උපයන වස්තුව විනාශ කරයි)
3. අරීය භාර්යාව - (ස්වාමියා අවමානයට ලක් කරන භාර්යාව)
4. මාතු භාර්යා - (ආදරණීය බව සියලු දෙනාවෙත පවත්නා තම එකම පුතු ආරක්‍ෂා කරන මවක් මෙන් සිටින භාර්යාවය.
5. භගිනි භාර්යාව - (සැමියාට සොහොයුරු දයාවෙන් සලකන භාර්යාවයි)
6. සඛී භාර්යාව - (ස්වාමියාට මිත්‍රස්නේහයෙන් කටයුතු කරන භාර්යාවයි
7. දාසි භාර්යාව - සන්සුන් සිත් ඇති සැමියාගේ වදනට කීකරු බිරිය දාසි භාර්යාවයි.

මෙයින් මාතු භගිනී සහ දාසි යන භාර්යාවන් මරණින් මතු දෙව්ලොව උපදනා යහපත් භාර්යාවන් බව බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

ප්‍රශ්නය
බුද්ධ ප්‍රතිමාවක දක්නට ලැබෙන මූලික අංග අතර එහි අන්තර්ගත “මුද්‍රා” වට විශේෂ තැනක් හිමිවෙයි. බෞද්ධ ප්‍රතිමා වන්හි දක්නට ලැබෙන්නේ “ මුදා” හයක් පමණි. එයින් භූ ස්පර්ශ (භූමි) මුද්‍රාව එකකි එම මුද්‍රාවෙහි සුවිශේෂත්වය කුමක්ද?

පිළිතුර
වචනාර්ථයට අනුව භූමිය හෙවත් මහ පොළොව ස්පර්ශ කිරීමයි. හින්දු ප්‍රතිමා නිර්මාණ වල දක්නට නොලැබෙන මෙය බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමාවලට පමණක් ආවේණික වූ මුද්‍රා විශේෂයකි. එසේම එම මුද්‍ර‍්‍රාව බුද්ධ ප්‍රතිමා අතර ද හිඳි පිළිම හෙවත් වැඩ සිටින පිළිමවල පමණක් දක්නට ලැබෙන මුද්‍රාවකි.

වැඩි වශයෙන් පද්මාසනාරූඩව වැඩසිටින ආකාරයෙන් නිර්මාණය කොට ඇති භූමි ස්පර්ශ මුද්‍රා ප්‍රතිමාවන්හි විශේෂත්වය දක්‍ෂිණ හස්තය දකුණු දණ හිසින් අත්ල ඇතුළට සිටින සේ සියලු ඇඟිලි දිගහැර පහතට යොමුව තිබීමයි.

ප්‍රශ්නය
බුදු දහමෙහි එන පරිදි භාවනාව සඳහා අරමුණු කරගන්නා කර්මස්ථාන (කම්මට්ඨාන) හතළිහක් වෙයි. මේවා ඒ ඒ පුද්ගලයන් ගේ මානසික ස්වභාවයට සුදුසු පරිදි යොදා ගනු ලැබේ. කර්මස්ථාන සතළිහක් නාමික වශයෙන් පෙළ දහමෙහි සඳහන් වන අතර සතර අප්පමඤ්ඤා යන්නද එක් කර්මස්ථානයකි. පැහැදිලි කරන්න.

පිළිතුර
අප්පමඤ්ඤා යනුවෙන් සඳහන් වන්නේ බ්‍රහ්ම විහාර හෙවත් සතර බ්‍රහ්මචර්යාවයි. බ්‍රහ්ම යන වචනය යොදා ඇත්තේ උතුම් විශිෂ්ඨ යන අර්ථය දීම සඳහායි.

විහාර නම් චර්යාව හෙවත් හැසිරීමයි. පැවතුම් රටාවකි මේවා අප්පමඤ්ඤා (අසීමිත නිමක් නැති) වශයෙන් ද හැඳින්වෙයි .එසේ වන්නේ අප්‍රමාණ වූ (අපරිමාණං) මුළු ලොව වස්න සියලුම සත්වයන් වෙත මෙත් සිතිවිලි පතුරුවා හරින හෙයිනි.

ප්‍රශ්නය
අංගුලි සූත්‍ර දේශනාව ම අනුව “ ආර්ය ජාතියෙහි උපත ලද පසු ඉතාම කුඩා ප්‍රාණියෙකුගේ ද දිවි තොර නොකළ පරම අහිංසකයෙකු වූ අංගුලිමාල තෙරණුන් සිය ගණන් මිනිසුන් මරා දැමුවේ අනාර්යව සිටියදීය. බුදු දහමට අනුව ආර්ය සහ අනාර්ය චර්යාවය ප්‍රමාණයන් උපයෝගී කොටගෙන බුදුදහම සමස්ත මානව වර්ගයා ආර්ය සහ අනාර්ය යන කොටස් දෙකකට බෙදා තිබේ. පැහැදිලි කරන්න.

පිළිතුර
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට අනුව අනරියෝ අනත්ථ සංහිතො ජක්ඛෝ ආදී වශයෙන් අනාර්ය පිළිවෙත හීන ග්‍රාම්‍ය පුහුදුන් මිනිසුන් විසින් සේවිතය. අනර්ථ කාරිය. එසේම ආර්ය මාර්ගය අර්ථ සංහිතය. ආර්යයෝ යුගල වශයෙන් හතරක් ද පුද්ගලයන් වශයෙන් අටදෙනෙක් ද වෙති. ඒ මෙසේය. සොතාපන්න මාර්ගස්ථ ඵල ස්ථ දෙදෙනාය. සකදාගාමි මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය. අනාගාමි මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය. අර්හන්ත මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය යනුවෙනි. මෙයින් රහතන් වහන්සේ (අරහන්ත) නිම කළ කිස (කතකිච්ච) හෙයින් අශේඛ නමින් ද, ඉතිරි සත්දෙන හික්මෙන අවස්ථාවක පසුවන හෙයින් “සෙඛ” නමින්ද හැඳින්වෙති.

ප්‍රශ්නය
පෘථග්ජන භූමියෙහි සිට ආර්ය භූමියට පැමිණීමෙහිදී “ සද්ධානුසාරී සහ ධම්මානුසාරි යනුවෙන් දෙකොටසක් ගැන පෙල දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
තෙරුවන් සරණ ගිය පන්සිල් දිවි පෙවෙතට නැඹුරු වූ සද්ධා , විරිය , සති , සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රියන් වැඩෙන්නට පටන් ගැනීම නිසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් උපදවා ගත් තැනැත්තා සද්ධානුසාරි අවස්ථාව වෙයි. ධර්මය ද ශ්‍රවණය ඇසුරෙන් ධර්ම මාත්‍ර වැටහීමක් ලැබීමේ අවස්ථාව ධම්මානුසාරී අවස්ථා වශයෙන් ම:නි කීටාගිරි සුත්‍ර දේශනාවන්හි දැක්වේ.

ප්‍රශ්නය
සියලු ලෞකික හා ලෝකෝත්තර පදාර්ථ බුද්ධ ධර්මයෙහි සංඛත හා අසංඛත වශයෙන් දෙකට බෙදා තිබේ. මේ නමින් හැඳින්වෙන ධර්ම පදාර්ථ මොනවාද?

පිළිතුර
සංඛත ධර්මවල ලක්ෂණ තුනක්වෙයි. (උප්පාදෝ පඤ්ඤයති.වයො පඤ්ඤයති.ඨිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. උපත විනාශය පවත්නා දෙය වෙනස් වෙමින් පැවතීමයි. උපත පටිච්ච සමුප්පන්න බවම එහි ලක්‍ෂණයයි. සෑම පටිච්ච සමුප්පන්න වූ (සාපෙක්‍ෂක) දෙයක් නිරතුරුව වෙනස් වෙමින් විනාශයට යයි. ඒ නිසාම ලෞකික වූ පටිච්ච සමුප්පන්න පදාර්ථ සියල්ලක්ම සංඛත ධර්මවෙයි. බුද්ධාදී මහෝත්තමයන් විසින් සාක්‍ෂාත් කරගනු ලබන්නා වූ නිර්වාණය (නිබ්බාන) පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් නොවේ. එහෙයින් උප්පාද වය. හා ඨිතස්ස අඤ්ඤතත්ථ යන ස්වභාවයට පාත්‍ර නොවේ. නිර්වාණය හේතුවක් වත් ඵලයක් වත් නොවේ. ඒ නිසාම නිර්වාණය අසංඛත ධර්මයකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.