එම්.ඒ.කරුණාරත්න
සතුට පරම ධනය වේ” යයි දේශනා කරන බුදු දහම ඉන්දීය දර්ශනයේ
අන්තවාදීත්වයෙන් තොර මැද පිළිවෙත් සැපත නිර්දේශ කර ඇත. සේද මාවත ඔස්සේ
පෙරදිග දැනුම බටහිරට යාමෙන් පසු, විද්‍යා පුනර්ජීවනයේ ආභාෂය ලබා බටහිර
මනෝවිද්‍යා දැනුමට එය සංකලනය වී ඇත.
ඉහත කී විෂයන් දෙකෙන්ම උගන්වන්නේ පෞරුෂත්ව වර්ධනය, සමාජයීය චින්තනය හා
පුද්ගල අභිලාෂය සමඟ සහජීවනයත් ඊට අදාළ විනය මිස දුගතිය නොවේ’ පෙර කල
කිතුනු සමාජය මත පැටවී තිබුණු අධිපතිවාදී චින්තනය
දෛවවාදී (Determinism) න්‍යායකි. ඊට එරෙහිව බටහිර මනෝ විද්‍යාවේ උද්ගත
වූ මානුෂික මනෝ විද්‍යාවෙන් ඉගැන්වූයේ පුද්ගල නිදහස හෙවත් ස්වීයත්වය
සකසා ගැනීමයි. ජෝන් ලොක්, ඩේවිඩ් හියුම්, කාල් රොජර්ස් හා ඒබ්‍රහම්
මාස්ලෝ ඊට පුරෝගාමී වූහ. එපරිදිම බුද්ධකාලීන සමාජයේ බමුණු මත රජ කළ
බැවින් කුලහීන පීඩිත පන්තියක් බිහිවිය. එහෙත් බුදුන් වහන්සේ ඊට එරෙහි
සටන් කොට රොඩී කුලයේ අය පවා රහත් බවට පත්කොට සිටුවරු හා
වංශාධිපතීන්ගෙන් මෙන්ම රජුන් ලවාද වැන්දවීමට සැලැස්වූහ. එබැවින් මේ
විෂයන් දෙකේ සමානකම් ඇත.
බුද්ධ චරිතයෙන් පෙනෙන්නේ විවිධාකාර පුද්ගලයින් නපුරින් තොරව දමනය
කිරීමට මානසික ක්‍රමවේදයක් යොදාගත් බවයි. ඒවා තැනට ගැලපෙන
ආක්‍රමණශීලීත්වයයි. අංගුලිමාල, නාලාගිරි, චිංචිමානවිකා, සච්චක ආදීන්
වෙත දමනය යොමු වූයේ වෙනස් අයුරිනි. බටහිර මනෝ විද්‍යාවෙන් දැක්වෙන්නේත්
පළිගැනීමෙන් හා කායික දණ්ඩනයෙන් තොර විනය ගැන්වීම් බුදු දහමේ ක්‍රමයට
සමාන දෙයකි. විවිධාකාර ස්ත්‍රීන් හැසිරවූ ආකාරයෙන් බුදුන් වහන්සේගේ
මනෝවිද්‍යාත්මක හැකියාව පෙන්නුම් කරයි. එබැවින් බෞද්ධ ජීවන ක්‍රමය
ස්ත්‍රීන්ගෙන් තොර වන අරණේ උග්‍ර තපස් ක්‍රමයක් නොවන බවද පෙන්නුම්
කරයි.
බුද්ධ චරිතය පටන් ගන්නේ ස්වකීය චරිතයට උචිත සහජ හැකියාවට ගැලපෙන සතුට
සොයා ගෙන තමා උත්කෘෂ්ඨත්වයට පත් කෙරෙන ප්‍රඥාවන්ත දුෂ්කර ක්‍රියා මාර්ග
මාලාවකිනි. ඇතැම් අයට එහි දෝෂයක් පෙනුනත් එම ක්‍රියා අනිවාර්ය බව පෙනේ.
ප්‍රඥාවන්ත බෝසත්වරයකු කල්ප ගණන් ගෙවා එකතු කරගත් නුවණ සම්භාරයෙන්
යුතුව අන්තිම ආත්මයේ කිසිසේත්ම නිසරු වැඩ නොකරනු ඇත. එහෙත් තරගකාරී
සත්‍යගවේෂී සමාජයේ අයට විමුක්ති මාර්ගය දැකීමට නම්, ප්‍රායෝගිකව අදාළ
කාර්යයක යෙදී එහි අනිටු විපාක දැක්වීම අනිවාර්ය විය. පුහුදුන්
අනුගාමිකයින්ට කරුණු ඒත්තු ගැන්වීමට බුදු බව ලබාගත් පසුව පවා යමා මහ
පෙළහර දැක්වීම ආදිය අනිවාර්ය විය. තරගකාරී සමාජ මානසිකත්වය එබඳු නිසා
දුෂ්කර ක්‍රියා අවශ්‍ය විය.
එබඳු තවුස්දම් සියල්ලන්ටම එපරිද්දෙන්ම අවශ්‍යය යන නරුමවාදී අදහස එයින්
ගම්‍ය නොවේ. බටහිර මනෝවිද්‍යාවේද එවැනි දේ උගන්වනු නොලැබේ. ඔලිම්පික්
රන් පදක්කමක් උපයා ගැනීමට වුවද දුෂ්කර ක්‍රියා අනිවාර්ය වේ. එබඳු
අචින්ත බුදු ගුණ ගැන ඇතැම්විට කිතුණුවකුට නොවැටහේ. එවැන්නෙක් බුදු දහමේ
දුක්ඛ පක්‍ෂ්‍ය දකින්නේ ඔහු තුළ ඇති අගතිය හා අවිද්‍යාව නිසාය.
එය බටහිර මනෝවිද්‍යාවට සම්බන්ධ නැත. දෙවැනි පෝප් පෝල්ගේ
Beyond the Threshold නමැති පොතෙහි නරුමවාදයක් ගැන සඳහන්ව ඇත. බටහිර මනෝ විද්‍යාව
“දේව නියමය”ට එරෙහිව ගොඩ නැගුනකි. එවැනිම හින්දු දෛව වාදයට එරෙහි වූ
දර්ශනය බටහිර මනෝවිද්‍යාවට සමානකම් දක්වයි. බුදුන් වහන්සේ ලෞකික
ජනතාවගේ දියුණුව උදෙසා අවු. 45 ක කාලයක් වෙහෙසකර සමාජ සේවයේ යෙදුන සේක.
ඊට හේතුව ඉන් ලැබිය හැකි සාපේක්‍ෂ (නිරාමිස) උතුම් සතුටයි. චරථ භික්ඛවේ
යනුවෙන් දේශනා කරන විට එයින් ඉස්මතු වී පෙනෙන්නේ ජීවිතයේ දක්නා සැප
අන්තර්ගතය නොවේද? එපරිදි තම සමීප අනුගාමිකයින්ට පවසා තමන් වහන්සේ ද ඊට
ආදර්ශ දීමට දිවා රෑ වෙහෙස නොබලා එම කටයුත්තෙහි යුහුසුලු වූයේ තම බැටලු
රැළ රැකගැන්මට අසුපිට නැගි ප්‍රවීණ අසරුවෙකු පරිද්දෙනි. එයින් බුදු
දහමෙහි ලෞකිකත්වයක් හා ජන නායකත්වය ගැන අදහස් ප්‍රදර්ශනය කරයි. එය සතුට
සඳහාය. බටහිර මනෝ විද්‍යාවේ ද එවැනි දේ ඇති බැවින් සමානකම් බොහෝය. නිසි
අභ්‍යාස මඟින්, මනස වෙනස් කිරීම හා හසුරුවා ගැන්ම බුදුදහමින් උගන්වන
පරිදිම බටහිර මනෝවිද්‍යාවේ චර්යාවාදයේන් උගන්වනු ලැබේ. ජේ.බී.වොට්සන්
හා පාවුලෝ ආදීන් සතුන් ද උදවු කරගෙන මේ පිළිබඳ පර්යේෂණ කළහ. ඊට සමාන වූ
“ පුද්ගලයා සමාජයෙන්, අනුකරණයෙන් උගනී” යන න්‍යාය බටහිර මනෝවිද්‍යාවේ
ව්‍යුහවාදය ( Structuralism)නමින් හැඳින්වේ.
බුදු දහමේද අංගුලිමාල කථාවස්තුවෙන් මෙය විශිෂ්ටව ප්‍රකාශ වේ. ගිරා
කූඩුවක සිටි පැටවුන් දෙදෙනෙක් වෙනස් පරිසරයනට වැටුණු විට වෙනස් චරිත
දැක්වූ බව පවසන කථා වස්තුවකින් ද එම න්‍යාය උගන්වයි. එබැවින් මේ විෂයන්
දෙක සමානය.
භද්‍ර වර්ගීය කුමරුන්ට “තමා කවරෙක්දැයි” හඳුනා ගැනීමට උපදෙස් දීම පවා
විශිෂ්ට මනෝවිද්‍යාත්මක වටිනාකමක් දක්වයි. නිදසුනක් වශයෙන් තමාගේ
තත්ත්වය අධිතක්සේරු කිරීමෙන් පුද්ගලයෙකු දරුණු තිරිසනකු ෙස් ද
ක්‍රියාකරන බව දෙවන මහා ලෝක යුද්ධය බිහිකළ කිතුනු සමාජයේ කුරිරු
හිට්ලර් ද මෙය අපට මැනවින් ප්‍රදර්ශනය කර ඇත. සංසාර පුරුද්ද යනු යහපත්
අනාගතයක් ප්‍රාර්ථනා කරන සුබවාදී කෙනකුට බාධා කරන දෛවෝපගත න්‍යායක්
නොවේ. උපස්ථම්භක, උපඝාතක...ආදී කර්ම උදවු කරගෙන පාපය වළක්වා සුගතිය
උදාකර ගත හැකිය. මෙපරිදි බටහිර මනෝවිද්‍යාවේ ද මූලික පරමාර්ථය වන්නේ
මනස සංවර්ධනය කර ගැනීමය. මනෝවිද්‍යාවේ පියා ලෙස සලකන ෆේරායිඩ්
මිනිස් මනසේ ඇති ලිංගික ප්‍රේරණයේ වැඩි බලයක් දුටුවේය. බුදුන් වහන්සේ ද
මිනිසා හැඳීන්වීමේදී ඔහුව ලෝක “සත්වයා” ගණයට ලා වර්ග කළ සේක. හේතුව
පරිණාමය වූ මිනිසාගේ මනසට ඉතිරිව ඇති රාගික අධිබලය උන්වහන්සේ ද දුටු
බැවින් සමානකම් එමට ඇත. ෆේරායිඩ්ගේ සමකාලීනයකු වූ කාල් යුං
ෆේරායිඩ් ගොඩනැගූ පුද්ගල උත්නතියට (අහංභාවයට) එරෙහිව, සභ්‍යත්වයට හා
සුසිරිතට නැඹුරුවූ සමූහ සමාජ විඥානයක් ඇතැයි දුටහ. එය සත්‍යයක් වන්නේ
පරාර්ථකාමී “මහත්මා ගාන්ධී” වැනි ශ්‍රේෂ්ඨ චරිත ලෝක ඉතිහාසයේ දක්නට ඇති
නිසාය.
කාල් යුං ඉදිරිපත් කළ අන්තර්වර්තිත/බහිවර්තිත (Introvert/Extrovert)
න්‍යාය ආදී සීමිත පෞරුෂත්ව බෙදීම් පසුකාලීන මනෝවිද්‍යඥයින් නොසලකා
හැරියහ. එපරිදිම බුදුන් වහන්සේ ද රාග, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා ආදී චරිත
ප්‍රභේද විශාල සංකලනයක් දක්වා ඇත. එබැවින් බුදු දහමේ ඇති අගනා බටහිර
මනෝවිද්‍යාත්මක ප්‍රවේශය ප්‍රශංසනීය නොවේද?
බුදුන් වහන්සේ ගිහි සාමාන්‍ය ජනතාවගේ භෞතික දියුණුව උදෙසා දේශනා කරන ලද
දේ ආර්ථික දියුණුවෙන් ලබාගත හැකි උසස් සමාජ ප්‍රමිතිය සඳහාම වේ. උපයා
ගන්නා ධනයෙන් ඉතා වැඩි කොටසක් ඉතිරි කිරීමට උපදෙස් දී ඇත්තේ එහෙයිනි.
(ඒකේන භෝගේ භුංජෙයිය) එයින් රදළ සමාජයෙන් මිදී ඊට වඩා තරමක් හෝ වටිනා
ධනවාදී ක්‍රමය සැකසීමෙන් සීමිත සමාජ මෙහෙවරක් කළ හැකි බව කාල් මාක්ස්
මහා ප්‍රාඥයාද දුටු විලාශයක් පෙන්වයි. මාක්ස් ඉදිරිපත් කළේ සමාජමය
විඥානය පිළිබඳ විද්‍යාත්මක කරුණුය. බුදුන් වහන්සේද එපරිදිම දක්වා ඇත්තේ
රජු ජනතාව ගැන නොසලකා අකාර්යක්‍ෂම වනවිට අධාර්මික සමාජයක් බිහිවන බවත්,
කැළඹිලි හා විප්ලව ආදිය සමාජ උන්නතිය සඳහා බිහිවන බවත්ය. එම දේශනාවේ
විශේෂත්වය නිසාදෝ එම සූත්‍ර දේශනා කළ පසු අහස පොළව හා විශ්වය දෙදරා
කම්පා වී සතුට දැක්වූ බව දැක්වේ. සමාජ ආර්ථිකය හා ගිහි දියුණුවට දී ඇති
සිය ගණනක් උපදෙස් විවිධ සූත්‍ර වල ඇත. පරාභව, මංගල, ව්‍යග්ග පජ්ජ,
සිඟාලෝවාද, වසල හා කරණීය මෙත්ත ආදී සූත්‍ර වල කරුණු හා දස පාරමිතාවේ
කරුණු මෙලොව සතුට සඳහා අගනේය. එබැවින් බුදු දහමේ භෞතිකවාදී ස්ථාවරය
බටහිර මනෝ විද්‍යාවේ ආකල්ප වලට සමානය. ගිහි ගෙය හැර සසුන්ගත වීම
අවශ්‍යම යැයි උපදෙස් දෙන අය මෙය තේරුම් ගත යුතුය. ගිහි ජනතාවගේ
ප්‍රයෝජනය සඳහා ආදර්ශයක් දීමට පැවිදි පූජ්‍ය පක්‍ෂයක් ද පිහිටවනු
ලැබීය. පරලොවට පත් ආත්මයෙන් උපදින පුද්ගලයා “න ච සෝ න අඥ්ඥෝ” වන බැවින්
මෙලොව ධාර්මිෂ්ට සුගතිය උදෙසා වෙහෙසීම වඩාත් වැදගත්ය.
ඇන්ටන් මෙස්මර් (1734-1815) ගෙන් පසු මෙකල බටහිර පවත්නා මෝහන ප්‍රථිකාර
ක්‍රමයට අනුබල දුන් අයෙකි, පියරි ජෙනට් (1859 – 1947). ඊට පෙර එම
ආකාරයේම බුදු දහමේ දක්නා විවිධ භාවනා ක්‍රම - සමත, විදර්ශනා, අශුභ,
සතිපට්ඨාන, ආනාපාන සති... ආදිය සහමුලින්ම මනස සැකසීම සඳහාය. ඉහත කී
බටහිර මනෝවිද්‍යාවේ මෝහන ක්‍රමය සමඟ මනසට අදහස් කැවීම බුදු දහමේ
භාවනාවලට සහමුලින්ම සමානය. නන්ද කුමරු ජනපද කල්‍යාණියගෙන් වෙන්කර
ගැනීමට “වීතරාගී” බුදුන් වහන්සේ දුන් තාවකාලික කමටහන් අතිවිශිෂ්ට ඒවාය.
කමටහන් දීමට සියල්ලෝම ප්‍රවීණයෝ නොවෙති. බටහිර උපදේශන මනෝවිද්‍යාවේද
මෙවැනි දේ ඇත.
ඒ ඒ විෂයන් තුළ විෂමතාවයන් (නිදසුන් වශයෙන් නිකායවාදී දාර්ශන ගැටුම්)
දක්නට තිබියදීත් අප විසින් ලෝක ප්‍රජාවගේ දියුණුව උදෙසා සැලකිල්ල
දැක්විය යුත්තේ සමාන කම් තුළින් අන්‍යෝන්‍ය ප්‍රයෝජන ගැනීමට මිස
විරසකයන් මතුකර ගැනීම නොවේ. නිදසුනක් වශයෙන් පවුලක අඹුසැමි යුවළ
අනිකාගේ ඇදකුද පමණක් ඉස්මතු කරගත් විට එතැන ඇත්තේ ස්ථිරසාර අනාගතයක්
නොවේ. ඇත්තේ නන්නත්තාර වීමකි.
|