එම්.එස්. රණතුංග
අනන්ත අප්‍රමාණ සසර සයුරේ දිගු ගමනක ආ අප උතුම් මනුෂ්‍ය ආත්මයක් පෙර කළ
කුසල් වල ආනුභාවයෙන් ලබා ඇත්තෙමු. අප මෙතෙක් ගෙවා ආ ගමන කෙතරම් දිගු
දැයි නොදනිමු. දෙනෙතින් ගලාගිය කඳුළු , සිරුරින් වැඟිරුණු රුධිරය සාගර
කීයක් පුරවන්නට ඇති දැයි අපි නොදනිමු.
සසර පුරා නොයෙකුත් පැතුම් ප්‍රාර්ථනා කෙතරම් වියකී යන්ට ඇද්ද? වරෙක
දෙව්ලොවටත් වරෙක බඹලොවටත් තවත් වරෙක මිනිස් ලොවටත් පැමිණියෙමු. සතර
අපායේ ඉපිද දුක් විඳින්නට බොහෝ දෙනෙකු බිය නැති බව සැබෑය. එහෙත් සියලු
දෙනාම අපා දුක් විඳින්නට දඬුවම් ලබන්නට බිය වෙති. බොහෝ දෙනකුගේ
ප්‍රාර්ථනාව දුකින් තොර සැපයකි. එහෙත් එය යථාර්ථයක් නොවන බවත් සත්‍ය
කුමක්ද යන්නත් අපට පෙන්වා දුන් උත්තමයන් වහන්සේ අප ගෞතම සම්මා
සම්බුදුන් වහන්සේමය. මෙලොව මනුෂ්‍ය ආත්මයකින් උපත ලබන අප ළදරු, ළමා,
තරුණ විය පසු කරනුයේ සැපයන් සොයා යමිනි. එහෙත් කවදා හෝ කෙසේ හෝ මේ ගමනේ
අවසානය මරණය වීම වැලැක්විය නොහැක. එයින් පසුව වුවත් භව ගමනේ කෙළවර
දැකිය හැක්කේ බුදුන් දෙසූ මඟ ඔස්සේ යාමෙන් පමණි. උපතේ සිට අසිරිමත් ලෙස
ජීවිතය ගෙවන්ට ප්‍රාර්ථනා කළත් බොහෝ දෙනෙකුගේ ජීවිතය මරණය ඉදිරියේ
අසිරිමත් නොවන බව පෙනේ. මහලු විය හා මරණය අසිරිමත් වීමට නම් ළමා, තරුණ,
ජීවිතයේ සිට එය ක්‍රමානුකූලව සකසා ගත යුතුමය. වත්මන් සමාජය දෙස බලන විට
ඉන්ද්‍රියන් පිනවීමම මූලික වූ කාමසුඛල්ලිකානු ජීවිත ගත කිරීමට මිනිසා
ගන්නා උත්සාහය අප්‍රමාණය. බොහෝ තරුණ පිරිස් අධ්‍යාපනය ලැබිය යුතු, ධනය
රැස්කළ යුතු නව යොවුන් වියේදීම අනාගතය සැපවත් කර ගැනීමට උත්සාහ නොකර
සෙල්ලක්කාර ජීවිත ගත කරනු පෙනේ. කෙසේ හෝ කීයක් හෝ සොයාගෙන එදා දවස
පමණක් සතුටින් ගත කිරීමට උත්සාහ ගන්නා පිරිස් බොහෝය. එසේ සැප සොයා යන
ඔවුනට බොහෝ විට හිමිවන්නේ දුක් කඳුළුයි. මකුළු දැලක පැටලුන සමනලුන් සේ
බොහෝ දෙනා අවසානයේ අසරණ වෙති. එය එසේ වුව ද එක් ආත්මයක අප බෝධිසත්වයන්
වහන්සේ රජෙකුව ඉපිද මහලු කාලය සහ මරණය ඉදිරියේ අසරණ නොවීමට හේතු සහිත
කරුණු 10 ක් ජනසන්ථව ජාතක දේශනාවේදී සඳහන් කළහ. පන්සිය පනස් ජාතක පොතේ
ජාතක කථාවට අනුව බෝසත් රජතුමා අර්ථයෙන් ධර්මයෙන් රට පාලනය කරමින් මහලු
වයසේ දී පසුතැවිලි වන, මරණය ඉදිරියේ ශෝක වන අයවලුන් පිළිබදව
පසුතැවිල්ලට හේතුව ජනතාවට කියා දෙන අන්දම දක්වා ඇත. “ ජන සන්ථ”
දේශනාවයට අනුව,
“ අලද්ධා චිත්තං තප්පති – පුබ්බේ අස මුදානතං
නපුබ්බේ ධන මෙස්සිනං - ඉති පච්චානු තප්පති”
“ ධනය රැස්කර ගත යුතු කාලයේ ඒ ගැන උනන්දු නොවී මහලු කල අපතේ ගිය
තරුණ්‍ය දෙසබලා පසුතැවිල්ලට පත්වේ”
එසේ නොතැවී ඉන්නට නම්,නව යෞවනයා, උට්ඨාන වීර්යයෙන්, දැඩි අදිටනින්
ඉදිරියට යාමට කටයුතු කළ යුතුය. එසේ නොවී හැඟීම් වලට වහල් වී කටයුතු කරන
යෞවනයා තමා වෙත ලද වටිනා තෑග්ගක් විවෘත කර නොබලා විසිකරනා පරිද්දෙන්
ඉවතට වීසි වනු ඇත. යෞවනයේ සවි බල හඳුනාගත යුතුය. යොවුන් ජීවිතය උතුම්
ධර්ම මාර්ගයක ගෙනයාමට උනන්දු විය යුතුය. වහල් භාවයෙන් මිදි නිවහල්
චින්තනයකින් අභිමානවත්ව නැගී සිටීමට උත්සාහ ගත යුතුය.
“ සක්‍ය රූපං පුරෙ සන්තං - මයා සිප්පං සක්ඛිතං
කිච්චා වුත්ත අජ්ජ සිප්පස්ස - ඉති පච්චානු තප්පති “
නව යොවුන් ඔබ “ උගත මනා ශිල්පය” ඉඟන ගත යුතු කල ඉගෙන නොගෙන මහලු කල
අතීතය දෙස බලා “ උවමනා කාලයේ මා ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගත්තානම් මෙච්චර
දුක් විදිය යුතු නැතැයි “ පසු තැවීමට ඉඩ නොතබා ගත යුතුය. “ දැන උගත්කම
තමයි කෙනෙකුගේ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි. රටේ ඔක්කොම “ යන කියමන
ඔබ අසා ඇතුවාට සැක නැත. ගමේ රටේ යම් පිළිගැනීමකට, ගෞරවයකට පැසසුමට ලක්
වනුයේ උගත්, බුද්ධිමත් හා ශිල්ප ශාස්ත්‍ර දන්නා ජනයාමය. බොහෝ ඇසූ පිරූ
තැන් ඇති බව හා ශිල්ප ශාස්ත්‍ර ඉඟනීමද මංගල කරුණක් බව මහා මංගල
සූත්‍රයේ පෙන්වා දෙයි.
“ හොස්ස අගින් මැස්සෙකු ගියොත් ඌට ද කොස්සෙන් අනින තරමේ ක්‍ෂණික කෝපවන
සුළු යෞවනයන් ද අද බහුලය. එම තරුණ ආවේගයම ඔවුන්ව දවාලන බව නොදැනීම
කනගාටුවට කරුණකි. මෙත් සිතින් බැහැරව පාපකාරී දිවියක් සඳහා මාර්ගය සකසා
ගැනීම නිසා මරණය අභියස දී අතීතය වදයක් බවට පත්වේ.
පාණාති පාත පුරේ ආසිං - ලද්දොවාපි අනාරියෝ
භූතානං න පවායිස්සං - ඉති පච්චානු තප්පති
“ මගේ අතීතය ප්‍රාණඝාතයට බර විය. මා නපුරු වීමි. මා ළඟ මෛත්‍රිය
නොතිබිණි. පාප කාරී ලෙස දිවි ගත කළෙමි. එය අද මට වදයකි. මහලු කල, මරණය
අභියස දී ශෝක වීමට සිදුවනු ඇත. “
සංචාරක ව්‍යාපාරය අද රටේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. ඒ මුවාවෙන් සංචාරක
හෝටල්, නිවාස, නිකේතන, විවේක කාමර රටේ බොහෝය.
මේවා පිළිබඳව නිසි ඇගැයීමකට වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීම නිසාම මේ
තුළ සිදුවන ගණිකා ව්‍යාපාර සහ සමාජ සම්මත නොවු සමාජ විරෝධි ක්‍රියා
සදාචාර සම්පන්න අනාගතයකට රටය ගෙන යාමේ මඟ සපුරා ඇත. මේ නිසාම අද බොහෝ
තරුණ කොටස් තුළ සමාජ රෝග ගතවිමේ ප්‍රවනතාවයක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අප බෝසතාණන් වහන්සේ.
බහුසු වත සන්තීසු – ආනාපාදාසු ඉත්ථිසු
පදොරං අසේවිස්සං - ඉති පච්චානු තප්පතී
“ මගේ එක් දුරාචාරයක් වුයේ පරදාර සේවනයයි. අස්වාමික ස්ත්‍රින් සොයා
පරදාර සේවනය කළෙමි. මට අමිහිරිය. මගෙ යෞවනය මහලු විය, මම පසුතැවෙමියි.
වැරදුන තැන් සිහිකරමින් මහලු වියේ තැවෙන බව පෙන්වා දෙයි.”
මම කපටිකම් කළෙමි. කේලාම් කීම්, අල්ලස් ගත්තා පමණක් නොව නපුරු සිත්
ඇතිව මම සිටියෙමි. අහෝ මගේ නපුරු අතීතය මහලු වියේදී ඔහු වැලපේ.
කූටවේදි පුරෙ ආසිං - පිසුනෝ පිට්ඨි මංසිකො
චණඩෝව ඵරුසොවාසිං - ඉති පච්චානු තප්පතී
මේ පිළිබඳව ධම්ම පදයේ යමක වග්ගයේ මෙසේ සඳහන් වේ.
ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරි උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති – හියෝයා තප්පති දුග්ගතිංගතෝ
” පව් කරන්නා මෙලොවදී තැවේ. පරලොවක් තැවේ. අනේ මා විසින් පව් කරන ලදැයි
සිතා තැවෙයි. මේ නිසා සතර අපා දුගතියෙන් ඉපි ද බලවත්ව තැවෙයි.
අද බොහෝ යෞවනයින්ගේ ජීවිත අසාර්ථක වන ලකුණු පෙනේ. අශ්ශීල වූ සංගීතයකත
අමිහිර විඳින්නට තරම් ඔවුනගෙ රස නහර පළුදුව ඇත. කාමාතුර වූ චිත්‍රපට ,
ටෙලි නාට්‍ය බලමින් නිරුවත් නළු නිලියන්ගේ කාමාතුර ජීවිත දෙස බලා
රසවිඳින්නට තරම් ඔවුන් උමතුව ඇත. දහම් බිඳක රසය සොයන්නට, එහි අමා රසයේ
ආශ්වාදය විඳින්නට තරම් සිතක් අද ඔවුනට නැත.
එක් දිනකට කාමාශ්වාදය විඳීමට වැය කරන මුදලින් අඩුම තරම් ඉතා සුළු බිඳක්
හෝ දන් දීමට ඔවුනගෙ දෑත් දිගු නොවේ. සිත එකඟ නොවේ. මේ හේතුව ද මහලු
විය, මරණය අභියස දී අමිහිරි වීමට හේතු වේ.
බහුම්පි වත සන්තම්හි –අන්න පානෙ උපට්ඨිතෙ
න පුබ්බෙ අදදිං දානං - ඉති පච්චානු තප්පති
තමාට හැකි කල මාපියනට නොසලකන්නා ද, ඔවුනට අකීකරු වන්නා ද මහලු වියේ දී
අමිහිරි අත්දැකීමකට හේතුවන බව.
යො මාතරං පිතරංවා ජිණ්ණකං ගත යොබ්බතං
පහු සෙන්තො න පොසිස්සං - ඉති පච්චානු තප්පති
පෙන්වා දුන් බෝසතාණන් වහන්සේ “ මගේ ආචාර්ය වූ ද, අනුශාසක වූ ද, කැමති
සියලු රසයන් ගෙන දී මා පෝෂණය කළ පියාණන්ට මා අකීකරු වූවා යැයි සිතා
පසුව හෙතෙම තැවෙන බව පැවසූහ.
ආචාරියා මනුස්සත්ථානං -සබ්බකාම රසාහරං
පීතරං අති මඤඤස්සං - ඉති පච්චානු තප්පති
ජීවිතයේ සැදෑ සමයේ දී එම කාලය සොඳුරු කර ගැනීමට නම් දුක් සහිත විපතකින්
නිදහස් වන්නට නම් ඔවුනට පරම සත්‍ය වු සොඳුරු ශ්‍රී සද්ධර්මය ලැබිය
යුතුය. අද බොහෝ යෞවනයින් විහාරස්ථාන ආශි‍්‍රත ආගමික කටයුතුවලින් පසු
බසින බවක් පෙනේ. ඔවුනගෙ සිතුවිල්ල වනුයේ ශ්‍රී සද්ධර්මය යල් පැන ගිය
බවකි. මේ නිසාම ඔවුනගේ ජීවිත අඳුරට යොමු වනු ඇත. එහෙත් අප ගෞතමයන්
වහන්සේ දෙසා වදාළ අකාලික වූ සත්‍යයේ , දහමේ උපරිම ඵලය නෙලා ගත හැක්කේ
යොවුන් සිත තුළ රෝපනය වීමෙනි.
සමණෝ බ්‍රාහ්මණෝ චාපි - සීලවන්තේ බහුස්සුතෙ
න පුබ්බේ පයිරු පාසිස්සං - ඉති පච්චානු තප්පති
උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඇසුරු නොකළෙමි යි ජීවිතයේ අවසන්
සමයේ තැවීමට සිදුවේ.
සාධු භොති තපො චිණ්ණො - සන්භෝච පයිරු පාසිනො
නච පුබ්බේ තපො චිණ්ණො - ඉති පච්චානු තප්පති
සුචරිතයෙහි හැසිරිය යුතු අවස්ථාවේ හැසිරුනේ නම් ඉතා යහපත් වේ. මම ඒ
එකක්වත් නොකෙළෙමි. පමා වූ වෙමියි ඒ පුද්ගලයා පසු තැවේ. එසේ නොවේ.
ජීවිතයේ අවසන් සමය සොඳුරු වන්නට අප ඉඩ දිය යුත්තේ හැඟීම් වලට නොව
බුද්ධියටයි. හැඟීම් වලට වහල් වූ ජීවිත තුළින් යෞවනය විනාශ වන්නේ යුෂ
උරාබී ඉවතලන උක් දණ්ඩක් පරිද්දෙනි. බුදුන් වහන්සේගේ නිවහල් චින්තනයේ
කාහල නාදය සවනට එක්කර ගත යුතු හොඳම කාලය අසිරිමත් යෞවනයයි. සමස්ත ලෝකය
තුළත් තාරුණ්‍යය තුළත් උන් වහන්සේ ඇති කළේ බුද්ධිමත් විප්ලවයකි.
එබැවින් උන් වහන්සේ පෙන්වා දුන් මඟ ඔස්සේ ගොස් ජීවිතයේ සැදෑසමයත්,
මරණයත් අසිරිමත් එකක් කර ගැනීමට අදිටන් කරමු.
”සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා “
|