එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී
සෞන්දර්යය යනු සුන්දර බවයි. ගිහි, පැවිදි දෙපක්‍ෂයටම තම ජීවිතය සුවදායක
කරගැනීම සඳහා සෞන්දර්යය ආශ්වාදය අවශ්‍ය ය. බුදුදහම ලෝකෝත්තර මෙන්ම
ලෞකික සුවය සඳහා ද මඟ පෙන්වා දී ඇති දහමකි, සතුට, පී‍්‍රතිය වින්දනයකි.
එය අකුසලයක් නොවේ. තෘෂ්ණාවෙන් අයිතිකර ගැනීමෙන් හෝ ආත්මාර්ථකාමී
හැඟීමකින් තොරව සෞන්දර්යය ආශ්වාදය විඳීමට බුදුදහමෙන් බාධාවක් නැත.
බුදුදහම අගය කරන සෞන්දර්යය රාගයෙන් තොර වින්දනයකි. රාගයෙන් ලබන වින්දනය
තාවකාලිකය. ඉන්පසු දුක් වේදනා ගෙනදෙයි. ඒ නිසා බුදුදහම පෙන්වාදෙන
සොබාදහමේ නිරාමිස සුවය මිනිසාගේ කායික හා මානසික සුවය සඳහා ය.
සෞන්දර්යය ආශ්වාදයක් කෙරෙහි බල පවත්නේ පරිසරයේ අසිරිමත් සිදුවීම් ය.
පායන හිරු, පියාසර කරන විහගුන්, ගලායන ගංගා සහ දියඇලි, පිපෙන මල්,
සැන්ඳෑ වළාකුළු බැසයන හිරු, පායන සඳ, රුක්ගොමු, සුරතල් සතුන්, මඳ පවන්,
කුරුළු ගී මෙන්ම ගීත, නැටුම්, වාදන, නාට්‍ය, උත්සව, චිත්‍ර ආදියද
මිනිසාගේ වින්දනය පිණිස හේතුවෙයි. එදිනෙදා ජීවිතයේ කායික හා මානසික
සුවයෙන් යුතු පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා සෞන්දර්යය රස
වින්දනයෙන් මහඟු අනුබලයක් ලැබෙයි.
බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර ධර්ම දේශනා කොට ඇත්තේ පැවිදි සමාජය මුල්
කරගෙනය. ඒ නිසා රාගයේ ආදීනව විග්‍රහ කෙරෙන දේශනා බහුලව දක්නට ඇත.
නමුත් ගිහි සමාජයට කම්සුවය තහනම් කොට නැත.
ඇතැම් උගතුන් බුදුරදුන් භික්‍ෂූන් වහන්සේලා දේශනා කොට ඇති කම්සුවයේ
ආදීනව ගැන සඳහන් දේශනා පමණක් ගෙනහැර දක්වමින් සෞන්දර්යය රසවින්දනයට
බුදු දහමින් අනුබල දී නැතැයි කියති. එසේ ප්‍රකාශ කරනුයේ බුදුදහමේ සියලු
දේශනා අධ්‍යයනය නොකිරීම නිසා ය. අධික ආශාවෙන් තොරව ගිහි සමාජයට
නිවැරැදි කම්සුවය විඳීමට බාධාවක් නැත. ඒ තුළින් ආශ්වාද විඳීමට ද තහනමක්
නැත. කම් සැපයේ ආදීනව වටහා ගෙන ඉන් මිදෙන මඟ ද බුදු දහමේ සඳහන් වේ.
බුදුරදුන් ඇතැම් අවස්ථාවල ගායනය හා වාදනය ද අගය කොට ඇත. ‘සක්ක පඤ්හ’
සූත්‍රය අනුව දිව්‍ය ලෝකයේ සිටින ‘පංචසික’ නම් වීනා වාදන ශිල්පියා
බුදුරදුන් වෙත පැමිණ වීනාව වාදනය කරමින් තම පෙම්වතිය ගැන ගීතයක් ගායනා
කළේ ය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ,
“සන්සන්දත්ති වො පංචසික
තන්තිස්සරෝ ගීතස්සරේන
ගීතස්සරෝ තන්තිස්සරේන”
පංචසිකය, ඔබගේ වාදනය සමඟ ගායනය ඉතා හොඳින් ගැළපෙයි, යනුවෙන් අගය කොට
ඇත.
මේ අනුව කාලානුරූප ගායනය හා වාදනය ද බුදු දහමින් අගැයුම් කෙරේ. නමුත්
භාව ප්‍රකෝප කරවන රාගය වඩවන වේග රිද්ම ගීත හා සංගීතද වේග රිද්ම නැටුම්
හා රැඟුම් ද බුදුදහම අගය නොකරයි. නූතනයේ දක්නට ලැබෙන පොප් සංගීතය රැප්
කිරීම ආදිය බුදු දහමින් අගැයුම් නොකරයි. එවැනි නැටුම් හා ගැයුම්වලින්
සිදුවන්නේ කායික හා මානසික ආතතිය වර්ධනය වී පුද්ගලයා රෝගියෙකු වීමයි.
බුදුරදුන් නිරතුරුව සොබාදහම සහ ඊට ඇළුම් කරන භික්‍ෂුව අගය කොට ඇත.
වීතරාගී පැවිදි උතුමන් අවට වනයෙහි මනහර දසුන් වෙතින් ලබන සුන්දර
මනෝභාවයන්, ගංගා ඇළ, දොළ, කුරුළු කූජන ආදියෙන් ලබන ආනන්දය හා චමත්කාරය
පිළිබිඹු වන වර්ණනා රැසක් ථෙර ථෙරී ගාථාවන්හි සඳහන් වේ.
මහා කස්සප තෙරුන් වහන්සේ වරක් ප්‍රකාශ කළේ
“නීලබ්භවණ්ණා රුචිරා - සීතවාරී රුවින්දරා
ඉන්දනෝපන සඤ්ජන්න - තේසේලා රමයන්ති මං”
නිල්වලා පැහැති දිය සිසිලැල්ය. සුපිරිසුදු මේ පෙදෙස මනහරය. රතිඳු
ගොව්වන් ගැවැසි ඒ මහා පර්වත, මගේ සිත තුටුකරයි යනුවෙනි.
‘ගෝසිංහසාල’ සූත්‍රය අනුව ‘ගෝසිංහසාල’ වනය යනු අතිශය චමත්කාර ජනක
වනයකි. පෑල දිගින් රන්වන් හිරු බැසයත්ම රිදී රැස් විහිඳුවමින් පුන්සඳ
මඬල අහසේ පායා එයි. මුළු වනයම සඳරැස් දහරින් නැහැ වී ඇත. මල් බඳුන් සේ
සල්රුක්හි සුවඳ සල්මල් පිපී සුවඳ හමයි. වනයේ වැලි තල මත මල්පෙති විසිරී
සුවඳ විහිදුවයි. වරින්වර හමන මඳ පවන් ගතට ගෙන එන්නේ සිසිලසකි. මේ
සුන්දරත්වය දුටු සියොතුන් භාවනා කරන්නාක් මෙන් නිහඬව වනයේ අසිරිය
විඳගනියි. මෙවන් වූ සුන්දර සාල වනයට සැරියුත්, ආනන්ද, අනුරුද්ධ, රේවත,
උපාලි යන තෙරවරු වැඩම කළහ. ගෝසිංහසාල වනය මෙවන් සුන්දරත්වයකට පත් වී
ඇත්තේ කෙසේදැයි එම තෙරවරු සාකච්ඡා කළහ.
ආනන්ද තෙරුන් බහුශ්‍රැත භික්‍ෂුවක් නිසා මේ වනය සුන්දර වී ඇති බව
ප්‍රකාශ කළ අතර අනුරුද්ධ හිමියන්ගේ අදහස වූයේ දිවැස් ඇති භික්‍ෂුවක්
නිසා වනය සුන්දර වී ඇති බවයි. මෙම සියලු හිමිවරුන්ගේ අදහස්වලට සවන්
දුන් බුදුරදුන් දේශනා කළේ “යම් භික්‍ෂුවක් මෙම වනයට පැමිණ බිම වාඩි වී
කය සෘජුව තබාගෙන කෙළෙසුන්ගෙන් මිදීමේ අධිෂ්ඨානයෙන් භාවනා කරන්නේ නම් එම
භික්‍ෂුව නිසා වනය සුන්දර වන බවයි.” මේ අනුව පැහැදිලි වන්නේ කෙළෙස්
දුරු කිරීමට උත්සාහ දරන භික්‍ෂුව සිටින පරිසරය සුන්දර වන බවයි.
බුදුසිරිත තුළින් සොබා දහමේ අපූර්වත්වය මැනවින් විග්‍රහ වෙයි.
බෝධිසත්වයන් වහන්සේ මෙලොව ජනිත වූයේ මනහර සුවඳවත් සල්මලින් පිරී
ලුම්බිණි උයනේදී ය. බුදුබවට පත්වූයේ චමත්කාර පරිසරයක පිහිටි බෝරුක්
සෙවනේ ය. පිරිනිවන් පාන ලද්දේ සුවඳ මල්වලින් ගැවසුණු උපවර්ථන සල්
උයනේදී ය. බෝසතුන් ආර්ය පර්යේෂණය සඳහා යොදාගෙන ඇති භූමි භාගය අතිශය
මනරම් බව මජ්ඣිම නිකායේ අරිය පරියේෂන සූත්‍රයෙහි සඳහන් වෙයි.
“රමණියෝ ඒත භූමිභාගෝ, පාසාදිතෝච වන සන්ඩො නදීච සන්දති, සේනකා සුපතිට්ඨා
රමණියා” (මෙම ස්ථානය ඉතා රමණීයය. සිත් ප්‍රබෝධවත් කරවන පිපුණු කුසුමින්
හා විහඟුන්ගේ සුමිහිරි ගීත නාදයෙන් යුතු වන ලැහැබකි. සුපිරිසුදු ජල
ධාරාවකින් යුත් ගංගාවක් ද ඇත. ගඟ දෙපස සුදු වැලිතලාවන්....) ආදී ලෙසින්
බෝධිසත්වයන් වහන්සේ සුන්දරත්වය වර්ණනා කොට ඇත.
පරිසරයෙන් ආශ්වාදය ලැබූ බුදුරදුන් ශ්‍රාවක තෙරුන්ද සමඟ නිතර වැඩසිටියේ,
ගිමන්හැරියේ සහ සැතපුණේ එළිමහනෙහි රුක්මලු වලය. බුදුරදුන්ගේ වාසස්ථාන
වූයේ රුක්මුල්, වනසෙනසුන්, පාළු සොහොන් බිම් ආදී ස්ථානයි. උන්වහන්සේ
භික්‍ෂූන්ට සිවුරු සකස් කරගන්නා ලෙස අනුදැන වදාළේ මගධ කෙත්යායේ ස්වරූපය
අනුවයි. සිවුරු පාට කරගැනීම සඳහා අනුදැන වදාළේ ගස්වල මුල්, පොතු, කඳ,
මල් තම්බා ලබාගත් ශාකසාරවලිනි. බුදුරදුන් වැඩමකළ ස්ථානවලදී දුටු
චමත්කාරය තම මුවින්ම ප්‍රකාශ කොට ඇත.
“රමණීයං ආනන්ද වේසාලිං, රමණීයං උදේන චේතියං, රමණීයං ගෝතම්භ චේතියං,
රමණීයං චාපාල චේතියං....... යනාදී ලෙස” ආනන්ද විශාලා මහනුවර රමණීයයි.
උදේන චෛත්‍ය රමණීයයි.... යනාදී ලෙස එය සඳහන් වේ. බුද්ධකාලයේ විසූ
‘උග්ගසේන’ නම් නාට්‍යකරුවාගේ නාට්‍ය සන්දර්ශනද බුදුරදුන් නරඹා එහි
අඩුලුහුඬුකම් පෙන්වා දෙමින් ප්‍රශංසා කොට ඇත.
බුදුරදුන්ගේ ශ්‍රාවකයන්ගේ සහ ශ්‍රාවිකාවන්ගේ උදාන වාක්‍ය තුළින් ද සොබා
දහමේ චමත්කාරය මැනවින් පිළිබිඹු වෙයි.
“රමණීයානි අරඤ්ඤානී
යන්ථන රමණි ජනෝ
වීතරාගා රමෙස්සන්තී
නතේකාම ගවේසිනෝ”
යන ගාථා ධර්මයට අනුව සාමාන්‍ය ජනයා සිත් නොගන්නා වනය වීතරාගී රහතන්
වහන්සේ සිත් අළවා වාසය කරන්නේ උන්වහන්සේ කම්සැප සොයන නිසා බව පැහැදිලි
වේ. එමෙන්ම බුද්ධ ශ්‍රාවක රහතන් වහන්සේගේ අරමුණ ගිහි සමාජයේ අරමුණ නොවන
හෙයින් රාගයෙන් තොරව නිරාමිස සුවයක් විඳීම බවද පැහැදිලිය.
ගමේ වා යදිවාරඤ්ඤේ
නිමිනේවා යදිවා ථලේ
යන්ථ අරහන්තෝ තිට්ඨන්ති
තං භූමිං රමණෙය්‍යකං
සංයුක්ත නිකායේ ‘රාමනෙය්‍යක’ සූත්‍රයේ සඳහන් ඉහත ගාථා ධර්මයෙන් විග්‍රහ
වන්නේ ගමක, ආරණ්‍යයක, නිම්නයක හෝ තැනිතලාවක රහතන් වහන්සේ කෙනෙකු වැඩ
සිටී නම් එම භූමිභාගය රමණීය වන බවයි.
බුද්ධ කාලයේ වැඩ සිටි සප්පක තෙරුන් අජකරණී නම් ගඟ අසබඬ වැඩසිටිමින් අවට
පරිසරයේ සුන්දරත්වය වර්ණනා කොට ඇත්තේ,
තැති ගනී දැක වැහි වලාවක්
විදාගෙන සිය සුදු පියාපත්
කොකුන් පියඹන නවාතැන් වෙත
නදිය අජකරණී
වේය මට රමණී, යනුවෙනි.
කාළුදායි මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට තම මව්බිමට වැඩම කරන ලෙස
ආරාධනා කරමින් කිඹුල්වත් පුරයේ මඟදෙපසෙහි ඇති සොබාදහමේ අසිරිය
ගාථාවකින් වර්ණනා කොට ඇත. එහි දක්නට ඇති
දුමානි ඵුල්ලානි මනෝරමානී
සමන්තතෝ සබ්බ දිසා පවන්ති
පත්තං පහාය ඵලමාස්සානං
කාලෝ මහාවීර භගී රතානං
යන ගාථා ධර්මයෙන් පැහැදිලි වන්නේ ගස්වල තිබූ පරණ කොළ හැලී අලුත් කොළ
ලියලා ගස්වල දළු ගිනි සිළුමෙන් බබළයි. මහාවීරයාණෙනි දැන් ගමට වැඩම
කිරීමට කාලයයි යනුවෙනි. පරිසරයේ තිබූ ගස්වල චමත්කාර බව මේ වර්ණනාවෙන්
මනාව ඉස්මතු වෙයි.
“වනවච්ඡ” හිමියන් නිතර වනයෙහි වාසය කරමින් එහි අසිරිය විඳී රහත්
තෙරනමකි. උන්වහන්සේ වනයේ අසිරිය වර්ණනාකොට ඇත්තේ,
“පෑදි දිය රැඳි ඇති
පුළුල් ගල්තලා ඇති
වඳුරු මුව පිරී ඇති
දිය සෙවෙල් බැඳී ඇති
ඒ මහා පර්වතයෝ
මාගේ සිත් ගනිත් “
යනුවෙන් අසන්නා තුළ ද චිත්තරූප මැවෙන පරිද්දෙනි. මේ සියල්ල තුළින්
වීතරාගී අධ්‍යාත්මික සෞන්දර්යය ප්‍රකට වෙයි. මෙලෙස බුදුදහම නිරතුරුවම
සොබාදහම තුළින් මැවෙන සුන්දරත්වය අගය කොට ඇති දහමක් බව පෙනේ. |