Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අපේ මවුබිම ධර්මද්වීපයක් කරණු පිණිස ලක්වැසියාගේ පිනෙන් මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවනම් පියතිස්ස රජතුමා හට මෙසේ දෙසූ සේක.

“මහරජ යම් දිනෙක හෙළදිව දෙමාපියන්ට දාව හෙළදිව උපන් දරුවකු, හෙළදිව දීම පැවිදිව හෙළදිවදීම විනය උගෙන හෙළදිවදීම උගත් විනය උගන්වයිද බුදුසසුනේ මුල්බැසගැනීම සිදුවන්නේ එවිටය.”

එම ඓතිහාසික ප්‍රකාශය අනුව ශ්‍රී සම්බුද්ධ ශාසනය හා බෞද්ධ අධ්‍යාපනය අතර සමීප සබැඳියාවක් ඇති බව අපි වටහාගත යුතු වෙමු.

මහින්දාගමනයෙන් පසු හෙළදිව බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය වූයේ අනුරපුර මහා විහාරයයි. ත්‍රිපිටකයත් එම අර්ථ කථාත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්බිමට ගෙන එන ලද අතර මහා විහාරයේ සිංහල භික්‍ෂූන් වහන්සේ විසින් ඒවා සිංහල භාෂාවට නගන ලද බව පසුකලෙක බුද්ධඝෝෂ ආචාර්යවරයා විසින් පහත සඳහන් අයුරින් ප්‍රකාශ කොට ඇත.

“සීහළ දීපං පන අභතාථ වසින මහා මහින්දේන ඨපිතා සීහළභාසාය දීපවාසී නමත්ථාය”
(මජ්ඣිම නිකායට්ඨකතා)

මහා විහාරය ක්‍රියාත්මක වූයේ ථෙරවාදී සම්ප්‍රදාය අනුවය. එහෙත් ථෙරවාදී ආචාර්යවරුන් එම සම්ප්‍රදායෙන් බැහැරව අවශ්‍ය අවස්ථාවන්හි ස්වාධීනව ලේඛන කටයුතුවල යෙදී ඇත. මෙසේ පැරැණි ග්‍රන්ථයන්හි දුබල තැන් පසුකාලීන ආචාර්යවරුන් විසින් විවේචනාත්මකව විමර්ශනය කිරීම තුළින් පැහැදිලි වන්නේ පැරැණි ශාසනික අධ්‍යාපනය ස්වාධීන චින්තනයට නැඹුරුව වර්ධනය වූ බවය.

පොත්පත් පරිශීලනය, වාද විවාද පැවැත්වීම සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ආදී මාර්ගයන් තුළින් ධර්ම ශාස්ත්‍රීය කරුණු පිළිබඳව නිවැරැදි තීරණ ගැනීමට පැරැණි ආචාර්යවරුන් ක්‍රියා කොට ඇත. ඒ අතර විශේෂ වන්නේ මතභේද ඉදිරිපත් කිරීමේ දී, සත්‍ය නිදර්ශන පිළිගතහැකි වැදගත් ග්‍රන්ථ ඇසුරින් ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය රැකී තිබීමයි.

සත්‍යය ආනාවරණය වූ කළ තම මතය බැහැර කොට උගත් ආචාර්යවරු නිහතමානීව සත්‍ය මතය පිළිගත් සේක.

වට්ටගාමිණී අභය රජ සමයේ ධර්මකථික හා පාංශුකූලික භික්‍ෂූන් දෙපිරිස අතර ඇති වූ විවාදයේ දී පාංශුකූලික භික්‍ෂු පිරිස පරාජයට පත්වූ නමුත් ඔවුහු විරුද්ධ පක්‍ෂයේ මතය නිහතමානීව පිළිගත්හ. එය ශ්‍රී ලාංකේය බෞද්ධ ශාසනික අධ්‍යාපනයේ පැවැති විශිෂ්ට ලක්‍ෂණයකි.

පෞරාණික බොදු ඉගෙනුම් ක්‍රමය ක්‍රමවත් පදනමක් මත පියවර කිහිපයකින් ගොඩනැඟී ඇත. එහි මූලික පියවර සතර පහත දැක්වේ.

1. අධ්‍යයන (ඉගෙනීම)
2. ධාරණ (උගත් දේ ධාරණය කර ගැනීම)
3. පරිචය (අභ්‍යාසය)
4. පරිපුච්ඡා (විමංසනය)

වර්තමානයේ ප්‍රකට අධ්‍යාපන විශාරදයීන් විසින් විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන අධ්‍යාපන පරමාර්ථයන් හා ක්‍රමවේදයන්ගේ මූලික පදනම ගොඩනැඟී ඇත්තේ ඉහත දැක් වූ සිව්වැදෑරුම් පියවරයන් මතය.

පැරැණි බෞද්ධ අධ්‍යාපනයේ සමස්ත ක්‍රියාවලිය අනුව ශිෂ්‍යයා ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍ර උගනියි. දෙවනුව උගත් දේ සිත්හි දරා ගනියි. ඒ අනුව උගත් දේ පිළිබඳ මනා ප්‍රගුණත්වයක් ලැබේ. එසේ වන්නේ සජ්ඣායනා කිරීමෙනි. අනතුරුව අර්ථ, පාලි, අනුසන්ධි, මුල අග විමසා බැලීම සිදුකරයි. එයින් විචාර බුද්ධියට දොර විවර වෙයි. අතීතයේ බහුශ්‍රැත, ධර්ම විනයධර මහතෙරුන් වාසය කළ සේනාසන වෙත පැමිණි ශාස්ත්‍රාභිලාෂී ශිෂ්‍යයෝ තමන් නොදන්නා දේ දැනගත්තෝ ය.

ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් විසින් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයෙහි ද විනය පිටකයට අයත් මහාවග්ග පාලිය වැනි පැරැණි ග්‍රන්ථයන්හිද අන්තර්ගතවේ.

සිඟාලෝවාද සූත්‍රයට අනුව ගුරුවරයා සිසුන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුකම් පහක් ඉටුකරයි. එනම්,

1. ශිෂ්‍යයා මැනවින් හික්මවීම,
2. ශිෂ්‍යයාට මැනවින් ඉගැන්වීම.
3. ගුරුමුෂ්ටි තබා නොගෙන ශිෂ්‍යයාට අවශ්‍ය සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම.
4. ශිෂ්‍යයා තම මිතුරන්ට හඳුන්වාදීම.
5. ශිෂ්‍යයා උවදුරුවලින් රැක ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ “ආචරියා දක්‍ඛිනා දිසා” (ගුරුවරයා දකුණු දිශාවයි) යනුවෙනි. එනම් ගුරුවරයා ශිෂ්‍යයාගේ දක්‍ෂිණාවන් ලැබීමට සුදුසු වන හෙයිනි.

පැරැණි ලක්දිව ශාසනික අධ්‍යාපනය ඉතා විධිමත්, උසස් තත්ත්වයක පැවතුණේ ය.බොහෝ විට දේශීය බෞද්ධ අධ්‍යාපනයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ සීලතපෝ ගුණයෙන් යුත් ධර්ම විනයධර මහතෙරුන් වහන්සේ ය.

අතීතයේ පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රමුඛත්වය ලැබී තිබුණේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන්ටය. අනෙක් භාෂා ශාස්ත්‍රයන්ද අතිරේකව උගන්වා ඇත. බෞද්ධ ප්‍රබෝධයත් සමඟ ලක්දිව අක්‍ෂර විද්‍යාව, ගෘහ නිර්මාණ කලාව ආදිය ප්‍රචලිතව ගොස් පාරම්පරිකව ඒ පිළිබඳව දැනුම ලබාදීම ආරම්භ විය. එකල අධ්‍යාපනයේ මුදුන් ඵලයක් ලෙස නව මහලෙන් යුත් ලෝවා මහා පහය වැනි ගෘහ නිර්මාණ බිහිවිය. ලෝකයේ ඉදි වූ ප්‍රථම නව මහල් ගොඩනැඟිල්ල වූයේ ලෝවා මහා පායයි. එය සැලසුම් කරන ලද්දේ භික්‍ෂූන් වහන්සේ විසිනි. රුවන්මැලි මහා සෑයෙහි නිර්මාණ කටයුතු භාරව ක්‍රියා කළේ ඉන්ද්‍රගුත්ත නම් මහතෙරුන් වහන්සේය. ක්‍රි.ව. පළමුවන සියවසේ, භාතිය රජ සමයෙහි රජතුමාගේ ධර්මාධිකරණයෙහි අධ්‍යක්‍ෂ වශයෙන් ක්‍රියා කළේ ගෞතම නම් භික්‍ෂූන් වහන්සේ ය.

පස්වැනි සියවසෙහි ලක්දිව විසූ නන්ද නම් භික්‍ෂූන් වහන්සේ, තමන් වහන්සේ විසින් නෙළන ලද බුදු පිළිමයක් ද රැගෙන ධර්මදූත පිරිස සමඟ චීනයට වැඩම කළ සේක. එම ප්‍රතිමාව දැක චීන අධිරාජයා පුදුමයට පත් වූ බවත් චීන නිර්මාණ ශිල්පීන්ට එවැනි රූපයක් නෙළීමට නියම කළ බවත් ඉතිහාසගතව ඇත. පැරණි භික්‍ෂු සමාජය තුළ ගුණගරුක භාවය, ධර්ම විනයෙහි නිමග්න වීම හැරුණු විට විවිධ ශාස්ත්‍රයන්හි, නිපුන වීමද ප්‍රදර්ශනය විය. පස්වන සියවසෙහි බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට වැඩම කළ සමයෙහි අනුරපුර මහා විහාරය ලොව පැවැති උසස් විශ්වවිද්‍යාලයක් ලෙස දියුණුව පැවැති බව විස්තර කොට ඇත.

අනුරාධපුර යුගයේ ආරම්භ වූ බෞද්ධ අධ්‍යාපනය තුළින් ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය ඔපවත් විය. අතීත ලක්දිව බෞද්ධ අධ්‍යාපන ක්‍රියාවලියේ එක් ලක්‍ෂණයක් වූයේ විවිධ භාෂාශාස්ත්‍ර ප්‍රගුණ කිරීමයි. ඒ අනුව මිහින්තලේ ඉඳිකටු සෑයෙන් සහ අනුරාධපුර විජයාරාමයෙන් හමු වූ තඹ තහඩු ලිපිවලින් ද බෞද්ධයන් අතර සංස්කෘත ග්‍රන්ථ ප්‍රචලිතව පැවැති බව පැහැදිලිය.

සංස්කෘත සාහිත්‍යයේ ආභ්‍යසය සහිත සෙල්ලිපි කිහිපයක්ද මෙරටින් හමුවී ඇත. එනම් කුච්චවේලි සෙල්ලිපියේ සංස්කෘත ශ්ලෝක දෙක සහ තිරියාය ශිලා ලේඛනයයි. ගිරි කණ්ඩි හෙවත් ගිරිකණ්ඩික නම් චෛත්‍යය වර්ණනා කිරීමට තිරියාය ලිපිය ලියා ඇත. ත්‍රයිපුස්සක හා වල්ලිතක (තපස්සු හා භල්ලුක) යන වෙළෙඳුන් විසින් මෙම චෛත්‍යය කරවන ලදැයි එහි සඳහන්ව ඇත. සංස්කෘත භාෂාව ලක්දිව ප්‍රචලිතව පැවැති බවට තවත් නිදසුනක් නම් ජේතවනාරාම සංස්කෘත සෙල්ලිපියයි.

අනුරාධපුර යුගයේ දී මහා විහාරය හැර තවත් පිරිවෙන් රාශියක් ද බිහිවිය. එනම් කාලපාසාද පිරිවෙන, දීඝචංකමණ පිරිවෙන, ඵලග්ග පිරිවෙන, දීඝසන්ද පිරිවෙන ආදියයි. මහාවංශ කර්තෘගේ ලැගුම් ගෙය වූයේ දීඝනම් සේනාපති පිරිවෙනය. මහින්දාගමනය සමග බිහිවූ සිංහල ග්‍රන්ථ සමූහය එකතු කළ විට එය මධ්‍යම ප්‍රමාණයේ ඇතුන් සත්දෙනෙකුගේ පමණ උස වෙතැයි බුද්ධඝොසුප්පත්තිය නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ.

කාවන්තිස්ස රජ විසින් ඉදිකරන ලද තිස්මහාරාමයද සිතුල්පව් වෙහෙරද රුහුණෙහි පිහිටි බෞද්ධ අධ්‍යාපනික මධ්‍යස්ථාන විය. එක් සංඝාරාමයක දොළොස් දහස බැගින් රහතන් වහන්සේ වැඩ සිටි බව පැරැණි ලේඛනයන්හි සඳහන් වේ. තිස්සමහාරාමය, ධර්ම පරීක්‍ෂණ ආදිය පවත්වනු ලැබූ මහා ආරාමයක් විය. ප්‍රධාන විද්‍යායතනයක් විය. වස්සාන සමයෙහි තිස්සමහාරාමයට රැස්වන භික්‍ෂූන් වහන්සේ උගත් අටුවා පුනරීක්‍ෂණය කළ බව බුද්ධඝෝෂ හිමියෝ පවසති.

සිතුල්පව් වෙහෙරෙහි විසූ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ලලිතකලාවන් පවා පුරුදු පුහුණු කළ බවත් ලෙන් තනවා ඒවායෙහි සිතුවම් කිරීමට පවා සමත්ව සිටි බවත් අනාවරණය වී ඇත.

අතීතයේ නව මහල්ව පැවැති ලෝවාමහාපායෙහි පහලම මාලයේ සිට ඉහළට සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේ, ත්‍රිපිටකධර, සෝවාන් ඵලයට පත්, සකෘදගාමී ඵලයට පත්, අනාගාමී ඵලයට පත්, මහරහතන් වහන්සේ ද වැඩ විසූ බව මහාවංශය පවසයි. භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය පොත් පත් ආදිය රාජානුග්‍රහයෙන් ලැබුණු අතර උන්වහන්සේ ත්‍රිපිටකය හදාරමින් දහම් දෙසමින් වැඩ සිටි සේක.

ශ්‍රී ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තැනීම ආරම්භ වූයේ බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මිහිඳු මාහිමියන්ගේ අනුශාසනා මත මහාමේඝ වනයෙහි ප්‍රථම සංඝාරාමය බිහි විය. ශ්‍රී ලංකාවේ පැරැණි බිතුසිතුවම් කලාවේ ප්‍රභවය හා විකාශය සිදුවූයේ ද බෞද්ධ අධ්‍යාපනයෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ විසින් ඔවුන් විසූ ලෙන්වල, බිත්තිවල බදාම ගල්වා මිනිස් රූ හැර වෙනත් චිත්‍ර ඇඳ තිබූ බව ලේඛනගතව ඇත. පැරැණි ශිලා ලිපිවල (ක්‍රි.පූ. 2) සිත්තරුන් හෙවත් චිත්‍රකාර යන වදනද දක්නට ඇත. මෙම ශිලා ලිපි, සිතුවම් හා වාසස්ථාන එක් වූ තැන ලෙන් සංකීර්ණ ලෙස ප්‍රකටව පැවතියේ ය.

අතීත බෞද්ධ අධ්‍යාපන ක්‍රමය තුළ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කළ බව නටබුන් වලින් අනාවරණය වේ. මඟුල් මහ වෙහෙර හා පිච්චදෙණිය ලිපිවල ‘වෙජ’ යන වචනය යෙදී ඇත්තේ වෛද්‍ය වෘත්තිකයන් උදෙසාය. දුටුගැමුණු රජ සමයෙහි ලක්බිමෙහි ආරෝග්‍යශාලා 18 ක් පමණ ඉදි වූ බව ලේඛනගතව ඇත. වසභ රජතුමාගේ බිසව රෝගී වූ අවස්ථාවක ඇයට වෙදකම් කළේ භික්‍ෂූන් වහන්සේ විසිනි.

අතීත බෞද්ධ අධ්‍යාපනය ලේඛනයට පමණක් සීමා නොවූයේ ය. පොළොන්නරු යුගයේ දී ආලාහන පිරිවෙන බඳු ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රියාකාරකම් සහිත ආයතන බිහිවූයේ ය. අලාහන පිරිවෙන වෛද්‍ය විද්‍යාස්ථානයක් බව කැණීම්වලින් අනාවරණය වී ඇත.

ශ්‍රී මහා බෝධියත් සමඟ, පේෂ කාර්මිකයෝ ද ලක්දිවට ගොඩබැස්සෝ ය. බෞද්ධ අධ්‍යාපනයෙහි පෙරමුනෙහි සිටි භික්‍ෂූන් වහන්සේ හා ගිහි පඬිවරුන් විසින් අන්‍ය ශිල්ප ශාස්ත්‍රයන්ටද මැනවින් අනුග්‍රහ ලබාදී ඇත. මහානාම රජසමයෙහි (ක්‍රි.ව. 406 – 428 ) මෙරටට පැමිණි බුද්ධඝෝෂ හිමියෝ සිංහල අටුවාවන් පාලියට නැගූසේක. උන්වහන්සේ මෙරටට වැඩම කළේ පිරිසුදු පාලි බුදුදහම ඉගෙනීම උදෙසාය.

ක්‍රි.ව. 522 – 535 අවධියේ, සිලාකාල රජ සමයෙහි පූර්ණ නම් වෙළෙන්දකු ඉන්දියාවට ගොස් “ධර්ම ධාතු” නම් ග්‍රන්ථයක් ලංකාවට රැගෙන ආවේ ය. එය අභයගිරි හා ජේතවන විහාරද්වයන් විසින් මහත් ඉහළින් පිළිගෙන ඇත. චීන ජාතික හියුං සාන් පවසන පරිදි අභයගිරි වාසී භික්‍ෂූන් වහන්සේ විසින් ථෙරවාදයටත් මහායානයටත් අයත් දහම් කොටස් අධ්‍යයනය කරන ලදී. අම්බස්ථල චෛත්‍යය අසල තිබී හමුවූ සෙල්ලිපියක බුදුරජාණන් වහන්සේගේ ත්‍රිකාය සංකල්පය ගැන කියැවෙන ත්‍රිකායස්ථව ගාථාව සඳහන් වේ.

ක්‍රි.ව. 5වැනි සියවස වන විට අභයගිරි විහාරයෙහි භික්‍ෂූන් වහන්සේ 5000 ක්ද මහා විහාරයෙහි 3000 ක්ද අධ්‍යාපනය ලැබූ බව පාහියන් හිමියෝ පවසති. දසවන සියවසේ විසූ උගත් සහ සිල්වත් භික්‍ෂූන් වහන්සේ වූයේ දාඨානාග සහ ධම්මමිත්ත යන තෙරවරුන්ය. “මූලටීකා” නම් ග්‍ර‍්‍රන්ථය ලියූ ආනන්ද හිමියෝ ද උගත් භික්‍ෂූන් වහන්සේ කෙනෙකු විය. ගිහි පැවිදි අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම භික්‍ෂූන්වහන්සේ සතුව පැවතියේ ය. එබැවින් රාජකීයයන් හා නිලධාරීන්ද බුද්ධිමතුන්ද සමග සංඝ සමාජය සමීපව කටයුතු කළේ ය. එම සම්බන්ධය හේතුවෙන් දේශපාලනික, සාමාජික, ආර්ථික හා සංස්කෘතික කටයුතු කෙරෙහි බුදු දහමෙහි හා සගසසුනෙහි ආභාෂය මැනවින් ලැබී ඇත.

බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් පිරිවෙන් පිහිටුවීම ආරම්භ වූයේ ක්‍රි.ව. 4 වැනි සියවසේ සිටය. බුද්ධදාස රජතුමන් විසින් මයුරපාද පිරිවෙන ආරම්භ කරන ලදී. සංඝපාල පිරිවෙන හා දීඝානන්ද සේනාපති පිරිවෙන මහා විහාරික පිරිවෙන් විය. අභයගිරි විහාරය මුල්කරගෙන උතුරුමුල පිරිවෙන, මහනෙත් පාමුල පිරිවෙන හා කපාරාමුල පිරිවෙන බිහිවිය. දකුණු ලංකාවේ තිස්සමහාරාම පිරිවෙන, කපුගම් පිරිවෙන සහ තුලාධාර පබ්බත පිරිවෙන ආදී විද්‍යස්ථාන බිහිවිය.

එම පිරිවෙන්හි ආගමික විෂයයන් ලෞකික විෂයයන් මෙන්ම භාෂාවන් ද උගන්වා ඇත. බුද්ධදාස රජතුමන්ගේ සාරාර්ථ සංග්‍රහය හා කුමාරදාස රජුගේ ජානකී හරණය වැනි පොත්පත් බිහිවූයේ සංස්කෘත භාෂා අධ්‍යාපනය උසස් තත්ත්වයක පැවති බැවිනි. පිරිවෙන් කේන්ද්‍රස්ථානය කරගෙන ලක්දිව අධ්‍යාපනයට විශ්ව කීර්තියක් ලබාදුන්නේ බුද්ධඝෝෂ, ධර්මපාල, ධර්මගුප්ත හා ගොදත්ත වැනි තෙරවරුන්ය.

ගිහියන්ගේ අධ්‍යාපනයේ විවිධත්වයක් දක්නට ලැබී ඇත. එහි ස්වභාවය සෙල්ලිපි හා සීගිරි කුරුටු ගීයෙන් ප්‍රකට වේ. සත්වන අග්ගබෝධි රජතුමා විසින් බෙහෙත් පැළෑටි වර්ගවල ගුණාගුණ පිළිබඳ පර්යේෂණයක් පවත්වන ලද බවද ලේඛනගතව ඇත. ඡෙට්ඨතිස්ස රජතුමා ඇත්දත් කැටයම් ශිල්පයෙහි ප්‍රවීණයකු වූ බව ද පූජාවලියෙන් හෙළි වේ. ශ්‍රී ලංකාවේ ලේඛන විද්‍යාව හා වාග් විද්‍යාව ක්‍රි.පූ. තෙවැනි සියවස තෙක් පැරැණිය.

මිහිඳු මාහිමියන් විසින් මෙරටට රැගෙන එන ලද බුදු දහමෙහි ප්‍රබෝධයෙන් ලක්වැසි ජනතාව තුළ මහා සංයමයක් ජනිතවිය. එම සංයමය, ගවේෂණය හා අධ්‍යයනය කෙරෙහි නැඹුරු වීමට ලාංකික බෞද්ධයාට අවස්ථාව ලබා දුන්නේ ය. එබැවින් බෞද්ධ අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය විදහාපාන කැඩපතක් බඳු විය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.