සැබෑ
කඨින උත්සවය
කුමක්ද?
ඉංගිරිය සුදම්පාය
ධර්මායතනවාසී
බෝකුන්දර කුසලධම්ම හිමි
වස්සාවාසය අවසන් වන දිනට පැවැත්වෙන උත්සවය කඨින උත්සවය නම් විය. මේ
පිළිබඳව අද විවිධාකාරයෙන් පැවැත්වෙන කඨින පින්කම් හා ඒවායේ ආනිසංස
බුදුදහම සමග සසඳා බැලීම මේ ලිපියේ අරමුණ යි.
බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ මුල් භාගයේ දී බුදුරජාණන් වහන්සේත්
භික්‍ෂූන් වහන්සේලාත් අවුරුද්ද පුරාම චාරිකාවේ හැසුරුණාහ. ලංකාවේ මෙන්
නොව ඉන්දියාවේ ඍතු තුන අන්ත තුනකි. එහි වැසි හාර මාසය තුළ තදින්ම
වර්ෂාව පවතී.
මේ හාර මාසය තුළ චාරිකාවේ හැසිරීම නතර කොට සියලුම පිරිවැජි කණ්ඩායම් එක
තැනකට වී සිටීම සම්ප්‍රදායක් වී තිබිණි.
මේ ගැන තැකීමක් නො කොට දිවා රෑ සෑම කල්හිම චාරිකාවේ යෙදෙන භික්‍ෂූන්ට
විරුද්ධව මහජන උද්ඝෝෂණයක් ගොඩනැගෙන්නට විය.
“මනුස්සා උජ්ඣායන්ති , ඛීයන්ති, විපාචෙන්ති කථං හි
නාම සමණා ශාඛ්‍ය පුත්තියා හේමන්තම්පි
ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති හරිතානි
තිනානි සම්මද්දන්තා එකීන්ද්‍රියං ජීවං විහේටෙන්තා
බහු කුද්දකෙ පානෙ සංඝාතං ආපාදෙන්තා ? “
මහා වග්ග පාලි
මේ වර්ෂාව කාලෙදි තීර්තකයො, පරිබ්‍රාජකයො, නිගන්ඨයො එක තැනකට වෙලා
ඉන්නව. ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙ මහණුන් පමණක් චාරිකාවෙ හැසිරීම
සම්ප්‍රදාය කඩකිරීමක් බැවින් , ඊට විරුද්ධව මහජන උද්ඝෝෂණ පැතිරෙන්නට
විය. මේ කරුණු සැලකිල්ලට ගෙන මහජන මතයට ගරු කිරීමක් වශයෙන් බුදුරජාණන්
වහන්සේ විසින් වස් එළැඹීමේ ශික්‍ෂා පදය අනුදැන වදාළ බව මහා වග්ග පාළියේ
සඳහන්ව තිබේ.
ඒ මෙන්ම චාරිකාවේ හැසිරෙන භික්‍ෂූන්ට වර්ෂාව කාලයේ දී එක තැනකටවී පන්න
ශාලාවක වාසය කිරීමට අනුදැන වදාළ සේක. පන්න ශාලාව යනු වියළි කොළ
අතුසෙවිළි කර, අසුරා කරන ලද මඩුවකි. මෙ වැනි පන්න ශාලා ගම් නියම් ගම්
වල මිනිසුන් විසින් සාදා වැසි හාර මාසයේ දී වැඩ සිටීමට භික්‍ෂූන්ට
ආරාධනා කරන්නට විය. එදා භික්‍ෂූන් වහන්සේ වැසි හාර මාසයේ වැඩ සිටි පන්න
ශාලාව සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නොයෙක් හේතු යුක්තීන් මත පන්සල බවට
පත්වී දොළොස් මාසයම එක තැන ගත කරන්නට සාදාගත් මන්දිර බවට අද ඇතැම් ඒවා
පත්ව තිබේ.
පුරා අටමාසයක් චාරිකාවේ හැසුරුණූ භික්‍ෂූන් වැසි හාර මාසයේ එක තැනක
වාසය කිරීම “ වස්සාවාස “ නම් වූයේය. වස්වසන භික්‍ෂූන් වහන්සේ එක්සත්ව
විනය නීතින්ට යටත්ව සිටිම අනිවාර්ය විය. හැම අවස්ථාවකම මේ අනුව හැසිරීම
අසිරු වූ හෙයින්, වස්සාවාසය අවසානයේ දී පවත්වනු ලබන උපොසථ රැස්වීමේ දී
තමා අතින් සිදු වූ ඇවැත් හා අතපසුවීම් සෑම භික්‍ෂුවක් විසින් ම සභාව
ඉදිරියේ දෙසිය යුතුයැයි බුදුරදහු අනුදැන වදාළහ.මෙහිදී උපොසථ රැස්වීමේ
ක්‍රමයම අනුගමනය කෙරිණි. වස් හාර මාසය අවසානයේ දී පවත්වනු ලබන එ වැනි
රැස්වීමක් “පවාරණ “ නමින් හැඳින්විණි.
මෙම පවාරණ උත්සවයේ එක අංගයක් වනුයේ වස් පවාරණය වන දිනට එකතු වී ඇති
සිවුරු භික්‍ෂූන් අතර බෙදා දීමයි. මෙය කඨින උත්සවය නම් විය. භික්‍ෂූන්ට
ගිහියන් විසින් පූජා කරන ලද මසා නිම නොකළ සිවුරු හා රෙදි පිළි ලැබී
තිබුනේ නම් සංඝයා රැස්වී කඨින උත්සවයක් පවත්වනු ලබන බව ප්‍රකාශ කළ යුතු
යැයි නීතියක් විය.
මෙම උත්සවයේ ප්‍රධාන කාර්ය වූයේ සිවුරු වලට අවශ්‍ය පරිදි රෙදි කැපීම,
මැසීම හා පඬු ගැසීම ආදිය භික්‍ෂූන්ට භාර කිරීම යි. එක් දිනක් ඇතුළත
කඨින සිවුරු මසා නිම කළ යුතු විය. සිවුරු මසා නිම වූ කළ ඒවා පන්න
ශාලාවේ වැඩ සිටි භික්‍ෂූන් අතර බෙදා දුනි. මෙම සිවුරු වලට නියම
අයිතිවාසිකම ඇත්තේ කාටදැයි තීරණය කිරීමට විනය නීති පනවා තිබිණි.
මහාවග්ග පාළිය හොඳින් පරිශීලනය කරන්නෙකුට සැබෑ කඨින උත්සවය මෙය බැව්
වටහා ගැනීමට පුළුවන. නමුත් අද විහාරස්ථාන වල පවත්වනු ලබන කඨික උත්සව
සංදර්ශන බවට පත්කර ගෙන තිබේ. දැන් ඒවා හඳුන්වනු ලබන්නේ කඨින පින්කම්
වශයෙනි.
අට මහ කුසල් වලද පළමු තැන දී ඇත්තේ කඨින චීවර පූජාවටය. මේවා අද
බෞද්ධයන් මොන තරම් අන්ධ භක්තියකින් කරනවා දැයි තේරුම් ගැනීමට වල්පොල
රාහුල හිමිපාණන්ගේ “සත්‍යොදය “පොතින් කොටසක් මෙම ලිපියට ඇතුළත් කිරීම
ඉතා අගනේයයි මට හැඟුණි.
“ ප්‍ර: කඨිනං ච පරික්ඛාරං වාසදානංච උත්තමං
බුද්ධ පපමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලෙඛණං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා කාරණමපිච
කරණං වච්චකුටියා, අට්ඨපුඤ්ඤානි වුච්චරෙ
මේවා අටමහ කුසල් හැටියට ප්‍රසිද්ධය. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
උ: මා සිතන හැටියට මෙය ද ලාභ ප්‍රයෝජන ලැබීමට යොදන ලද ප්‍රයෝගයකි.
1.කඨින චීවර පූජා කිරීම 2. අටපිරිකරදීම 3. ආවාස දානය 4 .බුදුන් ප්‍රධාන
සංඝයාට දන්දීම 5.බණ පොත් ලියවීම 6. කුඹුරු දීම 7.බුද්ධ ප්‍රතිමා සෑදීම
8.වැසිකිළි සෑදීම යන මේවා අටමහ කුසල් බැව් මේ ගාථා වලින් ප්‍රකාශ වෙයි.
නමුත් මේ එකක්වත් එතරම් සැලකිය යුතු නොවේ.මේවා පින් සිදුවන ක්‍රියා
හැටියට පිළිගත හැකි වුවත් , මහ කුසල් යැයි කීමට යුතුකමක් නැත. මේ
සියල්ලමත් එක සිල්පදයක් රැකීම තරම් නොවටී. මේ ගාථාවේ හැම පදයකින්ම වාගේ
භික්‍ෂූන්ට ලාභයක් සැලසෙන්නට වැඩ පිළියෙල කරනු ලැබේ.මේවායේ ආනිසංසද මුව
නොසෑහෙන පරිදි භික්‍ෂූහු වර්ණනා කරති. මේ වැඩපිළිවෙළ නිසා මනුෂ්‍යයෝ
අභ්‍යන්තර ධර්මයන්ගෙන් බොහෝ දුරට ඈත් වී සිටිති. වීර්ය, අධිෂ්ඨානය,
සත්‍ය, ශාන්තිය, මෛත්‍රිය, ප්‍රඥාව ආදි ශ්‍රේෂ්ඨ ගුණයන් ගැන කිසිත් නො
සලකා බාහිර දේම බුද්ධාගම කොට සලකන්නට බොහෝ දුරට පුරුදුවී තිබෙන්නේ
මෙබඳු ඉගැන්වීම් නිසාය.
“සත්‍යොදය” වල්පොල රාහුල හිමි
බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක ස්වකීය ධර්මාන කාලයේ දී පින්
අනුමෝදන් කර ඇති තැනක් තුන් පිටකයේ දක්නට නැත. දානය පමණක් නොව වෙහෙර
විහාර ආරාම ආදිය පූජා කළ දායක දායිකාවන්ට පවා ඒවා පිළිගැනීමෙන් පසුව
සිදුකළේ බුත්තානු මෝදනාවකි. පින් අනුමෝදන් කළේ නැත. පින්අනුමෝදනාව
කරනු ලැබුවේ ආත්මවාදීන්ය. මෙය කියවන පාඨකයා සමහර විට කලබල වී තිරොකුඩ්ඩ
සූත්‍රය දේශනා කළේ පින් අනුමෝදනා කිරීමට නො වේ දැයි සිතනු ඇත.
එ වැනි අය කාලාම සූත්‍රය ගැන අවධානය යොමු කිරීම මැනවි. “ මා පිටක
සම්පදානේන “ පිටකයෙහි තිබූ පමණින් පිළිගන්නට එපා යැයි වදාළේ එ වැනි
දෙයක් එක් වරම පිළිගැනීමෙන් සත්‍ය වටහා ගැනීමට නොහැකි හෙයිනි.
පසු කාලවලදී බුද්ධ භාෂිතයන් නො වන බොහෝ දේ පෙළපොත් වලට ඇතුළත් කර තිබේ.
තිරොකුඩ්ඩ සූත්‍රය ද එ වැනි සූත්‍රයක් බව බුද්ධ වචනයත් සමග සසඳා බලන කල
වැටහෙනවා ඇත.මෙම සූත්‍රයෙන් ආත්ම වාදය බුදුසමය තුළට පෑල දොරින් ඇතුළත්
කිරීමට ප්‍රයත්නයක් දරා ඇති බව පෙනෙන්නට තිබේ.
දානයේ ආනිසංස ඉතා කෙටියෙන් පැහැදිලි කරතොත් එම ආනිසංස දෙපාර්ශ්වයටම
අයත් වන්නේ මෙසේ ය. භික්‍ෂුවකට දානයට ආහාර වේලක් පූජා කරන්නේ නම්,
එයින් භික්‍ෂුවට ලැබෙන ආනිසංසය උන්වහන්සේගේ කුසගින්න නිවීමෙන් ආයු,
වර්ණ , සැප, බල , ප්‍රඥා බල යන පහ ලැබීමයි. දානය පිරිනැමූ දායකයාට
එයින් ලැබෙන ආනිසංසය එම භික්‍ෂූන් වහන්සේගෙන් ධර්මය අසා සත්‍ය අවබෝධ කර
ගැනීමයි.
සිවුරක් හෝ වෙනත් පිරිකරක් පූජා කිරීමෙන් ද එම ස්වාමීන් වහන්සේගේ
අවශ්‍යතාවයන් සපුරා ගනු ලැබේ. දන් දුන් පුද්ගලයාට මෙයින් සත්‍ය අවබෝධ
කර ගැනීමට උපකාරයක් වන්නේ නම් ඊටත් වඩා ලොකු ආනිසංසයක් තවත් කොයින්ද?
බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සිය දහස් ගණන්
භික්‍ෂු සමූහයාට මිනිසුන් දන් දුන්නේ පින් බලාපොරොත්තුවෙන් නොව
යුතුකම් ඉෂ්ඨ කිරීමක් වශයෙනි.
බුදුදහම ආගමක් බවට පත් වීමෙන් පසුව නොයෙකුත් පුද පූජා කටයුතු වලට හා
පින්කම් වලට බෞද්ධ ජනතාව හසුකර ගැනීම නිසා අද බෞද්ධයා ආර්ය මාර්ගයෙන්
බොහෝ දුරට ඈත් වී සිටිති.
ජිවන යාත්‍රාව වන්දනා ගමනක් කරගත් බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අනුන්ගෙන්
පිහිට බලාපොරොත්තු වෙනි. අනුන්ගෙන් උදව් උපකාර පිහිට බලාපොරොත්තු වන්නේ
අභ්‍යන්තර ගුණධර්ම දියුණුවක් නැති ස්වකීය බුද්ධියෙහි හා ශ්‍රමයෙහි
වටිනාකම නොදත් නිවට නියාළු මිනිසුන් බව වටහා ගැනීමට මෙම සූත්‍ර පාඨය
කදිම නිදසුනකි.
තමාට තමාත් නැති කල අනුන්ගෙන් කුමන පිහිටක් ද?
“අත්තාහි අත්තනොනාථො - කොහි නාථො පරොසියා “
නොපෙනෙන බලවේගවලට වැඳ වැටෙන කන්නලව් කරන
යාඥා කරන බුද්ධිහීන මිනිසුනට මෙය හොඳ පාඩමකි.
විචාර බුද්ධියෙන් තොර අන්ධ භක්තියෙන් හෙබි සමාජයක මිනිසුන් රවටා ගැනීමට
කපටි පුද්ගලයින් ආගම අවියක් කොට ගනිති. ආගමේ නාමයෙන් කරනු ලබන සියලු
පින්කම් හා පූජා කටයුතු වලින් කවරදාවත් ඔවුන්ට දුකින් මිදීමට නොහැකිය.
දුකින් මිදීමට පැවිදි උතුමන්ටත් ගිහි ඕදාත වසන ජනතාවටත් බුදුන් වහන්සේ
දේශනා කළේ එකම මගකි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කිසිදු පුද පූජාවක්
ආර්ය මාර්ගයට ගව්ගණනකවත් සම්බන්ධයක් නැත. එසේ හෙයින් මිථ්‍යා
දෘෂ්ඨියෙන් මිදී දහම් ඇස පාදා ගැනීමට උත්සුක වීම මැනවි. |