කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ
රත්මලාන ශ්‍රී රත්නාරාමාධිපති
බස්නාහිර පළාත් සහිත
කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
අධ්‍යාපනපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චේ අඤ්ඤමහාසමානෝ
ඛියේථ කප්පෝ චිරදීසමන්තරේ
වණ්ණෝ න ඛියේථ තථාගතස්ස
වාසනාවන්ත පින්වත්නි
සම්බුද්ධ ශාසනය ආරම්භ වී දැනට වසර දෙදහස් පන්සිය පනස්හතර හමාරක් පමණ ගත
වී ඇත. තව මාස අටකින් 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදා වන්නේ ය. මේ අතර
2012 දී ලෝක විනාශයක් ගැන ආරංචි පැතිරෙමින් පවතී. ඒ මෙක්සිකෝවේ
මායාවරුන්ගේ දින දර්ශනය 2012.12.21 අවසන් වන බැවිනි.
ඒ අනුව මෙක්සිකෝවේ හිටපු රාජ්‍ය නායකයකු වූ පාකර් වෝටින් විසින් මෙම
අනාවැකිය පළකොට ඇත. කෙසේ වෙතත් සප්ත සූර්යෝද්ගමන ලෝක විනාශයක් නම් නොවන
බව ස්ථිර වශයෙන් ම කිව හැකි ය.
‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ යන දේශනාවට අනුව ධර්මයෙහි හැසිරෙන්නා
ධර්මය ම ආරක්ෂා කරයි. මේ බව විපත් සිදුවේ යයි සම්මත කාල පරිච්ඡේද වල දී
ධර්මානුකූල දිවි පැවැත්ම නිසා එම කාල වකවානු සැපවත්ව දිවි පැවැත්මට
ලැබුණු බව අත්දැකීම් අනුව කිව හැකිය. මෙයට අවුරුදු හැට හැත්තෑවකට උඩ දී
ද ලෝක විනාශයක් වේ යයි පළවීමෙන් මිනිසා දැහැමි වීම නිසා ඒ වකවානුව
සශ්‍රීක කාලයක් වූ බව පැරැන්නෝ කියති. තවත් නිදසුනක් ලෙස අෂ්ට ග්‍රහ
යෝගය දැක්විය හැකිය. බොහෝ දෛවඥයන් කීවේ මහා විනාශයක් වන බවය. මේ නිසා
ශීල සමාදාන ධර්ම දේශනා, පිරිත් දේශනා වෙනත් යහපත් වැඩ රටේ බහුලව
සිදුවිය. මිනිසා දැහැමි දිවිපෙවෙතක් ගත කරන්නට විය. ඒ නිසා ග්‍රහ
යෝගයෙන් සිදුවේයයි කී විපත් කිසිවක් නො සිදුවිය. ලෝක විනාශය කෙසේ වෙතත්
මනුෂ්‍ය සංහතියට විශාල විපතක් සිදුවන්නට ඉඩ ඇත. එනිසා ඉහත විපත්
සමයයන්හි මෙන් ධාර්මික වුවහොත් ඒ විපත් දුරුවී යනු ඇත.
පරලොවට පමණක් නොව මෙලොව සමාජ ශුභ සිද්ධියට අදාළ වන ශ්‍රේෂ්ඨ ධර්මයෙකි
බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ. මෙම නෛර්යානික ශ්‍රී සද්ධර්මය
අවබෝධ කරගැනීම සඳහා අප බෝධිසත්වයන් වහන්සේ නියත විවරණයෙන් පසු
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් සපුරා ඇත. ප්‍රථමයෙන් ම මුහුදේ සත්
දිනක් මව කරපින්නාගෙන පිහිනා මාතෘ විවරණයක් ලබා ගත්තේ ය. එතැන් සිට සත්
අසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යක් මනෝ ප්‍රණිධානය සපුරා අනියත විවරණ ලබාගෙන වාග්
ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුවේ ය. අප ගෞතම බුදුරජාණන්
වහන්සේ ප්‍රඥාධිතක බෝසත්වරයෙකි. ශ්‍රද්ධාධික බෝසත්වරයෝ අටසංඛ්‍ය කල්ප
ලක්ෂයක් පාරමී දම් සපුරති. වීර්යාධික බෝධිසත්වයෝ දහසය අසංඛ්‍ය කල්ප
ලක්ෂයක් පෙරුම්දම් සපුරති. මේ කාල පරිච්ඡේද දෙස බලන විට පෙනීයන්නේ
සම්බුද්ධත්වය ලැබීමට කෙතරම් අසීරුද යන්න යි.
ඒ නිසාම ‘බුද්ධුප්පාදො ච දුල්ලභො’ බුද්ධෝත්පාදය දුර්ලභය. ‘කිච්ජෝ
බුද්ධානං උප්පාදො’ බුදුවරුන්ගේ ඉපදීම අසීරුය. යනාදී වශයෙන් දේශනාවෙහි
සඳහන්ව ඇත. ‘එකපුග්ගලෝ ලෝකේ උප්පජ්ජමානො උප්පජ්ජති කථාමෝ ඒක පුග්ගලෝ
තථාගතො අරහං සම්මා සම්බුද්ධෝ’ ලෝකයේ අසහාය පුද්ගලයෙක් ලෝකයෙහි උපදනේය.
ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. බුදුකෙනෙක් ලොව කවර කෙනෙකුටවත් සමාන
වන්නේ නැත. එහෙයින් උන්වහන්සේ අසම නම් වෙති. ඒ අසම උත්තමයන් වහන්සේ
සමාන වනුයේ තවත් එවැනිම අසම උත්තමයන් වහන්සේ නමකට ය. එසේ අසම උත්තමයන්ට
ම සමාන හෙයින් අසමසම නම් වන සේක. උන්වහන්සේ ගේ් ගුණසම්භාරය අනන්තය.
කෙනෙකුට හිතාකියා නිමාවක් කළ නොහැකිය.
බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චේ අඤ්ඤමහාසමානෝ
ඛීයේථකප්පෝ චිරදීසමන්තණො
වණ්ණොන ඛීයේථ තථාගතස්ස
බුදුවරයන් වහන්සේ නමක් තම ජීවිත කල්පය මුළුල්ලේම වෙන ධර්මයක් නො දෙසා
බුදුගුණ පමණක් ප්‍රකාශ කළහොත් ආයුෂ් කල්පය අවසාන වෙයි. එහෙත් බුදුගුණ
අවසාන නො වෙයි. යනු ඉහත සඳහන් ගාථාවේ අදහස යි. සිංහල භාෂාවේ ශ්‍රේෂ්ඨ
ග්‍රන්ථයක් වන අමාවතුර ලියා ඇත්තේ ‘පුරිසදම්ම සාරථි’ ගුණය විස්තර කිරීම
සඳහාය. ‘අරහං’ ගුණය විස්තර කොට මයුරපාද හිමියෝ පූජාවලිය ලියූහ. එහෙත්
එයිනුත් කියැවෙනුයේ ‘අරහං’ ගුණයේ අංශු මාත්‍රයෙකි.
ලෝකයේ කවර කෙනෙකුගේ වුවත් මොනයම් හෝ අඩුපාඩුවක්, වරදක් ඇත. එහෙත්
සම්බුදු බවට පත්වන උත්තමයන් වහන්සේ නමකගේ ගතිගුණවල හෝ ශරීරයේ කිසිම
අඩුපාඩුවක් නැත. ඒ නිසා සර්වතෝ භද්‍රවන සේක. මාර පරාජයෙන් පසුව මාරයා
රන්ද්‍රගවේෂීව දොළොස් වසරක් උන්වහන්සේ පසුපස ඇවිද්දේය. එහෙත් රහසින්වත්
උන්වහන්සේ අතින් සිදුවන වරදක් අල්ලා ගැනීමට නොහැකි විය. පසුව තමා කළ
ක්‍රියාව බුදුරජාණන් වහන්සේට දන්වා ‘මින්පසු ඔබ වහන්සේගේ සිදුරු
සොයමින් පසුපස නො එන්නෙමි’ යි ගමන නවතා දැමීය. ගිනිගොඩක් දල්වා නිවා
දැමු විට පොළොවේ උණුසුම් ගතිය පවතින්නාක් මෙන් රහතුන් වහන්සේ කෙලෙස්
නැසුවත් පෙර ආත්මවල දී ඇතිවුණු පුරුදු බලපාන්නේ ය. වාසනා ගුණ නමින්
හැඳින්වෙනුයේ සසර පුරුදුවලට යි.
පිළින්දිවච්ච මහරහතන් වහන්සේ මිනිසුන්ට කථාකළේ වසලයා, රොඩියා ආදී
වශයෙනි. එසේ කථාකළත් උන්වහන්සේගේ සිත තුළ ඊර්ෂ්‍යා ක්‍රෝධ නොවීය. පෙර
ආත්ම පන්සියයක් ම බ්‍රාහ්මණ වංශයෙහි ඉපදුණු නිසා එම ආත්මවල ගති සිරිත්
මේ ආත්මයටත් බලපා ඇත. එහෙත් බුදුවරයන් වහන්සේ නමකට එබඳු වාසනා ගුණ නැත.
සවාසනා සකල ක්ලේශ ප්‍රහීණ කොට ඇති බැවිනි.
ඉතිපිසෝ පාඨයෙන් බුදුගුණ නවයක් කැටිකොට දක්වා ඇත. එසේ කැටිකොට දැක්වූයේ
ද බුදුරජාණන් වහන්සේ විසින් ම ය. බුදුවරයන් වහන්සේ නමකගේ ආයුෂ ප්‍රමාණය
වෙනස් වුවත් චතුරාර්ය සත්‍ය ධර්මයෙහි - පටිච්ච සමුප්පාදයෙහි කිසිම
වෙනසක් නැත.
දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ ආණා ප්‍රාතිමෝක්ෂය නොදෙසති. දේශනා
කරනුයේ අනුශාසනා ප්‍රතිමොක්ෂය පමණි. මේ නිසා දීර්ඝායුෂ්ක බුදුවරුන්ගේ
ශාසනය බුදුරදුන් පිරිනිවීමෙන් පසු පරම්පරා දෙක තුනකින් අවසන් වෙයි. ආණා
ප්‍රාතිමෝක්ෂය දේශනා කරන නිසා අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාසන දීර්ඝ
කාලයක් පවතී.
මිනිසුන්ගේ ආයුෂ ඉතා දීර්ඝ කාලවල දී බුදුවරු පහළ නොවෙති. හේතුව? ඒ
කාලවල ලෙඩදුක් නැති නිසාත් මැරෙන පුද්ගලයන් එතරම් දකින්නට නොලැබෙන
නිසාත් අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පැහැදිලි කිරීමට අපහසු
නිසාය. මෛත්‍රී‍්‍ර බුදුරජාණන් වහන්සේගේ ආයුෂ වසර අසු දහසෙකි. එමෙන්ම
පරමායුෂ අවුරුදු එකසිය විස්සකට අඩු කාලවල දී ද බුදුවරු පහළ නොවෙති. ඊට
වඩා අඩු කාලවලදී බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කළ නොහැකි නිසාය.
බුදුබවට පත්වීමේ පරම පවිත්‍ර චේතනාව සසර දුක් විඳීන අනන්ත සත්ත්වයන් ඒ
සසර දුකින් එතෙර කරවීමය. ඒ පරමාර්ථය මුදුන්පත් කර ගැනීම සඳහා උන්වහන්සේ
සුදුසුකම් ලබාගත්හ. බුදුරජාණන් වහන්සේ තමන් තුළ නැති ගුණයක් තම
ශ්‍රාවකයන් තුළ ඇතිකර ගතයුතු යයි දේශනා කොට නැත.
පළමුව එම ගුණ තමන් තුළ ඇති කරගෙන ශ්‍රාවකයන්ටත් ඒ ගුණ වැඩීමට උපදෙස්
දුන් සේක.
සත්‍යාවබෝධය ලබාගත් භාග්‍යවතුන් වහන්සේ අවබෝධය පිණිස දම් දෙසති.
(බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දෙසේති)
දමනය වූ භාග්‍යවතුන් වහන්සේ දමනය පිණිස දම් දෙසති. (දන්තෝ සෝ භගවා
දමතාය ධම්මං දේසේති)
සංසිඳුනා වූ භාග්‍යවතුන් වහන්සේ සංසිඳීම පිණිස දම් දෙසති (සන්තෝ සෝ
භගවා සමථාය ධම්මං දේසේති)
තෙරපත් භාග්‍යවතුන් වහන්සේ තරණය පිණිස දම් දෙසති. (තිණ්ණෝ සෝ භගවා
තරණාය ධම්මං දේසේති)
පිරිනිවියා වූ භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණය පිණිස දම් දෙසති.
(පරිනිබ්බුනො සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති )
කරුණාව මුල්කොට ගෙන පෙරුම්දම් පුරා බුද්ධත්වය ලබාගත් නිසාත් දිනපතා
හිමිදිරි පාන්දර හා සන්ධ්‍යා භාගයෙහි මහා කරුණාවෙන් ලෝකය බලා වදාරණ
නිසාත් බුද්ධ ශාසනය කරුණා ශාසනය නමින් හඳුන්වනු ලැබේ. එසේ බලා
බුදුරජාණන් වහන්සේ ලෝකාර්ථ චර්යායෙහි හැසුරුණු සේක.
පල බර ගස් වලට ගල් මුල් වදින්නාක් මෙන් සමාජ මෙහෙවරක් කරන අයට ප්‍රශංසා
මෙන් ම නින්දා අපහාස ද විඳින්නට සිදුවේ. බුදුරජාණන් වහන්සේ ලෝකාර්ථ
චරියාවෙහි යෙදුණ නිසා රාජ රාජ මහාමත්‍යාදීන්ගේ පුද පූජා ප්‍රශංසා ලැබූ
අතර ඊට නොදෙවැනි වන්නට නින්දා අපහාස ලැබුණි.
බුදුරදුන් කෙරෙහි අස්ථානයේ ක්‍රෝධය ඇති කරගත් මාගන්ධියා දශ ආක්‍රෝෂ
වස්තූන්ගෙන් ම උන්වහන්සේට බැන්නෙව්වාය. චිංචිමානවිකාව මාගම්සෝළි පෑවා
ය. එම චෝදනාව බුදුරදුන්ට මහා සංඝයාට යොමු කළහ. සමහර බමුණෝ පැමිණ
බුදුරදුන්ගේ මුහුණට ම බැණ වැදුණෝ ය.
දෙවිදත් තෙර ගල් පෙරළුවේ ය. මේ සෑම ක්‍රියාවකින්ම ඉස්මතු වූයේ
බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණය යි.
2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අප බුදුරජාණන් වහන්සේගේ
චරිතාපදානයෙන් හෙළි පෙහෙළි වූ ගුණ දහම් අප අපගේත් චරිතවලට ගලපා ගැනීමට
උත්සාහ වඩමු. බුදුරජාණන් වහන්සේට කෙරෙන ලොකුම පූජාව එයයි. |