පිණ්ඩපාතය
			
			 
			ශාස්ත්‍රපති 
			සුමුදු භාග්‍යා කංකානම්ගේ 
			 
			 
			 
			පිණ්ඩපාතෙට බෙදල ආපහු 
			ගන්න සිරිතක් නෑ. ඒත් නැන්දම්මා
			සැරදාන නිසා නොගෙනත් බෑ. 
			ඒ නිසා සුමේධා දුවලා ගිහින් 
			හාමුදුරුවන්ට වැඳලා නැන්දම්මා 
			කියපු දේ කිවුවා.
			හාමුදුරුවන්ට සුමේධා ගැන
			දුක හිතුණා. ‘ කමක් නෑ දුව, 
			මේ කැවිලි ටික ආපහු ගන්න. 
			ගිහින් නැන්දම්මට දී සමාව 
			ගන්න.’ එහෙම කියල 
			හාමුදුරුවෝ පාත්තරේ 
			වහගෙන යන ලේන්සුවත් 
			සුමේධාට දුන්නා. 
			 
			 
			හාමුදුරුනමක් පිණ්ඩපාතේ වැඩලා. සුමේධාට හරි සතුටුයි. සුමේධා දන් දෙන්න 
			හරිම කැමතියි. සුමේධාගේ අම්මත් තාත්තත් හැමදාම කියන දෙයක් තමයි දන් දීම 
			ඉතාම වටින පින් කමක් බව. ගමේ ඉන්න කාලේ සුමේධලාගේ ගෙදරට නිතර ම වාගේ 
			භික්‍ෂූන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. සුමේධා තමයි පිණ්ඩපාතේ පූජා 
			කරන්නේ. 
			සුමේධා මේ ගෙදරට ආවේ ළඟදී. කසාද බැඳලා ඇවිත් තාම සුමානයක්වත් නැහැ.  
			පිණ්ඩපාතෙට මොනවා හරි පූජා කරන්න ඕනෑ. සුමේධා කෑම මේසය දිහා බැලුවා. 
			නැන්දම්මා රස කැවිලි ගොඩක් හදලා. සුමේධා බොහොම සතුටින් රස කැවිලි 
			පාර්සලයක් හැදුවා.  
			දෑතින්ම අරගෙන ගිහින් හාමුදුරුවන්ගේ පාත්තරයට පිළිගැන්නුවා. 
			‘සුවපත් වේවා! නිවන් සම්පත් ලැබේවා! ‘ හාමුදුරුවෝ පින් දුන්නා. 
			සුමේධා ගෙට එනකොට නැන්දම්මා කෑම මේසය ළඟ. 
			‘ මෙතන තිබුණු රස කැවිලි අඩුයි. කවුරු හරි හොරෙන් කාල තියෙනවා. කවුද 
			කෑවේ? මට ඇත්ත දැනගන්න ඕන’. 
			‘කවුරුවත් කෑවෙ නෑ අම්මේ මම පිණ්ඩපාතෙට බෙදුවා.’ 
			නැන්දම්මාට අලුත් ලේලි එක්ක තරහ ගියා. ‘ මම මේවා හැදුවේ නෑදෑ කෙනෙක් 
			ආවොත් සංග්‍රහ කරන්න හිතාගෙන. කාගෙන් අහලද පිණ්ඩපාතෙට බෙදුවෙ?’ 
			‘තරහ ගන්න එපා නැන්දම්මෙ, පින් සිද්දවෙනවනෙ අපි හැමෝටම.’ 
			‘ මට ඕන ඇති පිනක් නෑ. වහාම ගිහිං කැවිලි ටික ආපහු ගේනව’ 
			පිණ්ඩපාතෙට බෙදල ආපහු ගන්න සිරිතක් නෑ. ඒත් නැන්දම්මා සැරදාන නිසා 
			නොගෙනත් බෑ. ඒ නිසා සුමේධා දුවලා ගිහින් හාමුදුරුවන්ට වැඳලා නැන්දම්මා 
			කියපු දේ කිවුවා. 
			හාමුදුරුවන්ට සුමේධා ගැන දුක හිතුණා. 
			‘ කමක් නෑ දුව, මේ කැවිලි ටික ආපහු ගන්න. ගිහින් නැන්දම්මට දී සමාව 
			ගන්න.’ එහෙම කියල හාමුදුරුවෝ පාත්තරේ වහගෙන යන ලේන්සුවත් සුමේධාට 
			දුන්නා. 
			‘ දුව හැමදාම මේ ලේන්සුවෙන් මූණ පිහිදාන්න. දවසෙන් දවස මූණ ලස්සන 
			වෙයි.’ කියලත් කිවුවා. 
			සුමේධාත් හැමදාම හාමුදුරුවො කියපු විදියට ලේන්සුවෙන් මූණ පිහ දැම්මා. 
			සුමේධාගේ මූණ දවසෙන් දවස ලස්සන වුණා. නැන්දම්මට හරි පුදුමයි. මොකක්ද 
			මේකෙ රහස? දවසක් එයා බොහොම ආදරෙන් කතා කරලා ලේන්සුවේ රහස අහගත්තා. 
			‘අනේ හොඳ දුව වගේ මටත් ඔය ලේන්සුව දෙන්න. මමත් ආසයි ලස්සන වෙන්න. 
			සුමේධා බොහොම කරුණාවෙන් නැන්දම්මාට ලේන්සුව දුන්නා. ඒත් පුදුම වැඩක් 
			වුණේ. නැන්දම්මගෙ මූන එන්න එන්නම කැත වුණා. ඌරෙකුගේ මූණ වගේ වුණා. 
			සුමේධාට හරි දුකයි. එයා ගියා හාමුදුරුවො හොයාගෙන. නැන්දම්මාට වෙච්ච දේ 
			සේරම කිවුවා.’ අනේ මගේ නැන්දම්මාටත් ලස්සන රූපයක් ලබා දෙන්න’ ඇය 
			බැගෑපත්ව ඉල්ලා සිටියා. 
			‘ ලෝභ කම මසුරුකම තියෙන අය ඔය ලේන්සුවෙන් මූණ පිහ දැම්මම වෙන්නෙ ඔය ටික 
			තමයි. නැන්දම්මට කියන්න ලෝභ කම අතෑරලා හොඳ හිතින් ලේන්සුවේ අනිත් 
			පැත්තෙන් මූණ පිහිදාන්න කියලා. එතකොට එයත් ලස්සන වෙයි. 
			සුමේධා දුවගෙන ගිහින් මේ විස්තරේ නැන්දම්මාට කිවුවා. එයා තමන්ගේ නරක 
			ගති ගැන ඇත්තටම කනගාටු වුණා. සුමේධාගෙන් උපදෙස් අරගෙන ලෝභකම දුරු කළා. 
			කරුණාවන්තව හැමෝටම උදවු කරන්නත් පටන් ගත්තා. ඊට පස්සේ ලේන්සුවේ අනිත් 
			පැත්තෙන් මූණ පිහිදානකොට එයත් දවසෙන් දවස ලස්සන වුණා. 
			 
			ජපන් බෞද්ධ කතාවක් ඇසුරෙනි.  |