Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රේමයේ නිසි අරුත

“පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං,
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

ප්‍රේමය නිසා ශෝකය උපදී ප්‍රේමය නිසා භය උපදී. ප්‍රේමයෙන් වියුක්ත වූ කල්හි පුද්ගලයාට ශෝකයත්, භයත් හට නොගනී. ප්‍රේමයෙහි ස්වභාවය ඇතැඹුලක් සේ වටහා ගන්නට බුදුරදුන් තරම් සමත් වූවෙකු තවත් නැත.

ප්‍රේමය නිසාම විරහව උපදින බව පැහැදිලි සත්‍යයකි. මේ බව බුදුරදුන් වදාළේ, “පියෙහිවිප්පයෝගෝ දුක්ඛෝ”යනුවෙනි. එනම් පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් බවයි. සිය වේදනාව ප්‍රකාශ කරගත නොහැකිව ප්‍රේමයෙන් මත්ව සිදු කරගන්නා ස්වයං විනාශකාරී ක්‍රියා බුදුදහමෙහි අනුමත නොකෙරේ. ජනපද කල්‍යාණියගේ රූපයෙන් මත් වූ නන්ද කුමාරයාට පෙනෙන සේ රුවැති ස්ත්‍රී රූපයක් මවා නවදැලි හේනක දැවී යන වැඳිරි රුවක් බවට පරිවර්තනය කරමින් බුදුරදුන් ජීවිතයේ යථාර්ථය පසක් කළේ එහෙයිනි.

ප්‍රේමය හා විරහව යන කාරණා පෘථග්ජන සමාජයකට අස්වාභාවික නොවේ. උත්පත්තියේ සිටම ඇලීම්, බැඳීම් හා ගැටීම් සමඟ දවස ගෙවන පුද්ගලයාට ප්‍රේමය මූලිකාරම්මණයකි. බුදුදහම හා සබැඳි ජාතක කතා සාහිත්‍යයේ දී ද බුද්ධකාලීන සමාජයේ ඓතිහාසික පුවත් වලද ප්‍රේම පුරාණ පිළිබඳව අඩුවක් නැතිව සඳහන් වන්නේ එය ස්වභාවික මනුෂ්‍ය අවශ්‍යතාවයක් වන නිසාම ය. නමුත් ප්‍රේමය රාගයටත් පරාර්ථය ආත්මාර්ථයටත් පෙරළා ගත් අද්‍යයතන ලාංකේය තරුණ පරපුරේ භූමිකාව ප්‍රශ්නකාරී වී ඇත.

මනරංජිත වන ප්‍රේමයෙන් දිවිතොර කරගන්නා පිරිස් නිසා ප්‍රේමය කුමක් සඳහාද කවුරුන් වෙනුවෙන් ද යනාදි ලෙස සමාජයෙන් ප්‍රශ්න කෙරේ. නමුත් ප්‍රේමාතූරව දිවි තොර කරගත්තෝ සිටියේ අද පමණක් නොවේ. මාන්නක්කාර සැඩොල් දූ ස්වර්ණ තිලකාවගේ රූපයට ලොල් වූ උද්දාල බමුණාගේ කතාව ඊට මනාව දෙස් දෙන්නකි. ලෝකාස්වාදයට ලොල් වූ උද්දාල බමුණාගෙන් ශිල්ප ලබාගැන්ම අසීරු බව වටහා ගත් සිසු පිරිස එක් වී සිය ගුරුන්ගේ අඹුව වූ ස්වර්ණ තිලකාව පණපිටින් පුළුස්සා මරා දමයි. මේ පුවත කන වැකුණු උද්දාල බමුණා, ස්වර්ණ තිලකා දවාහල ගින්නටම පැන සිය දිවි තොර කරගනියි. ප්‍රේමය රාගයට හරවාගත් කල ඇවිලුණු ගින්නෙන් වටිනා ජීවිත දෙකක් අහිමි විය. වර්තමාන හා අතීත සිදුවීම් අතර ඇති ඒකරූපතාවට උද්දාල බමුණාගේ කතාව කදිම නිදසුනකි.

ප්‍රේමය හේතුකොට ගෙන ඇති කරගන්නා ස්වයං විනාශය ප්‍රතික්‍ෂේප කළ ද විරහවෙන් ජනිත වන ආත්ම ප්‍රකාශනය සෞන්දර්ය ඉමකට ගෙනයාම බුදුදහම අගය කරයි. විරහ වේදනාවෙන් පෙළුණු පංචසිඛ නමැති දෙව්ලොව වීණා වාදකයා වරෙක බුදුරදුන් හමුවට පැමිණ වීණා වාදනයක යෙදුණ බව සක්ක පඤ්හ සූත්‍රයෙහි සඳහන් වෙයි. පංචසිඛගෙ හදවතේ නැඟුණ පෙම්වතිය වෙන්වීමේ වේදනාව එහිදී ප්‍රකාශ විණි. සංගීතය අසා සිටි බුදුරදුන්,

“සන්සන්දන්ති වො පංචසික
තන්තිස්සරෝ ගීතස්සරේන
ගීතස්සරෝ තන්තිස්සරේන”

පංචසිකය, ඔබගේ වාදනය සමඟ ගායනය ඉතා හොඳින් ගැළපෙයි යනුවෙන් ඔහුගේ බෙර වැයුම අගය කරයි. බෝසතුන් කුස රජුව ඉපිඳ සිටි ආත්මභාවයේ පබාවතිය දිනාගැනීමට විඳි දුක්ගැහැට මෙහිදී අපට සිහිපත් වේ. ප්‍රේමය රාගයට හරවාගත් ජීවිතයේ යථාව පසක් කළ ද ප්‍රේමවන්තයන්ට ප්‍රතිපක්ෂව කරුණු දැක්වූ අවස්ථා බුද්ධ චරිතය තුළ දී හමු නොවේ.

සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වාදෙන ස්වාමි – භාර්යයා යුතුකම් ලෝකයක් සුවපත් කරලීමට ඉවහල් වෙයි. නිවැරැදි යුවති පති බන්ධනය බුදුරදුන් උපමාකර ඇත්තේ දෙවියෙකු හා දේවතාවියකගෙ එක්වීමකට ය. මේ බව සංවාස සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කරන්නේ, “දේවෝ දේවියා සද්ධිං සංචසති” යනුවෙනි. වරෙක බුදුරදුන් හමුවට පැමිණෙන ‘නකුල’ අඹු සැමි යුවළ පිළිබඳව බුදුරදුන් දේශනා කළ ප්‍රශංසාත්මක දහම් කරුණු ඕනෑම ප්‍රේමවන්තයෙකුට හෝ ප්‍රේමවන්තියකට මහඟු උපදේශයකි.

අද වන විට ගෝලීයකරණය නමැති මනුදම් බිඳ දමන ආර්ථික මිථ්‍යාවෙහි ගොදුරක්් බවට ප්‍රේමය පත්ව තිබේ. අනෙක් සෑම දෙයක් සේම ප්‍රේමයෙහි වින්දනයද ආකාස්මික දෙයක් බවට පත්ව ඇත. අතීත පෙම් හසුන ජංගම දුරකතනයෙන් යවන කෙටි පණිවුඩයක් තරමට කෙටිවීම අහම්බයක් නොවේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ පුද්ගලයින් යන්ත්‍ර බවට පත්ව ඇත.

පුද්ගලයාට විවේකීව ස්වකීය ජීවිතය විඳගැනීමේ අවකාශය ගෝලීය රාමුව තුළ ඇහිරී ගොස් ය. බහුතරයක් පිරිස් ජීවිතය විඳවන්නේ එහෙයිනි. කාර්යබහුල දිවිගෙවන පුද්ගලයින්ගේ සිත් සතන් බෞද්ධ දර්ශනයෙන් දුරස්වීම සිදුවන්නේ නිරායාසයෙනි. පුද්ගල ජීවිතය ප්‍රේමය තුළින් යථාර්ථවාදීව දැකීමට සම්බුදු දහම මනා තෝතැන්නක් ලබාදෙයි.

ප්‍රේමය සාමූහික පුද්ගලයින්ට අනිවාර්යය සාධකයකි. ප්‍රේමයෙන් වෙළී සිටින පෙම්වතුන් තම තමන් සිතන පතන අයුරින් ඔවුන්ගේ එක්වීම සිදුනොවුන විට ජීවිත වලට විනාශකාරී දේ සිදු කර ගැනීම වර්තමානයේ සුලභ කරුණක් බවට පත් වී ඇත.

පුද්ගලයා තුළ තණ්හාව ජනිත වන්නේ ප්‍රේමය නිසාවෙනි. ජීවිත පිළිබඳව, පි‍්‍රය වස්තූන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි ආශාව නැතිනම් ලොල්බව පුද්ගලයා විනාශය කරා යොමුකරවයි. සම්බුද්ධ දර්ශනයේ සඳහන් වන්නේ,

“තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

තණ්හාව නිසා ශෝක, භය හටගනී. තණ්හාව නැති කල්හි ශෝකයත්, භයත් නූපදී, ලෞකික ජීවිතය තුළ ආශ්වාදය සොයා ඇදෙන පුද්ගලයින්ට තණ්හාව ප්‍රහාණය කළ නොහැකි බව සැබෑ ය. තණ්හා මූලයෙන් අන්ධ නොවී කල්ගෙවීමට ජීවිත පවත්වාගෙන යාමට, ප්‍රේමය වටහා ගැනීමට සම්බුද්ධ දේශනාවේ සඳහන් දහම් කරුණු ඉවහල් වෙයි.

පෙම්වතුන් තුළ ප්‍රේමයෙන් බිඳුනු කළ සිය දිවි තොර ගැනීම්, ප්‍රකෝපකාරී සිත් පහළ වීම නිසා අනෙකා මරා දැමීමට පෙළඹීම ආදී විනාශකාරී ක්‍රියා සිදුවෙනු ඇත.

දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් බැලූ කළ ඇතැම්විට වැඩිවශයෙන් මනුෂ්‍ය ඝාතන සිදුකර ඇත්තේ ප්‍රේමය නිසා මුලා වූ පිරිස් බව පෙනේ.

ප්‍රේමයට ශෝචනීය ඉරණමක් අත් වී ඇත්තේ පුද්ගල අනුවණ ක්‍රියාකලාපයන් නිසා ය.

ජීවිතය පිළිබඳව හරි දැනුමක් ගැඹුරු පරිඥානයක් නොමැතිකම නිසා අකාලයේ සිය ජීවිත විනාශ කර ගැන්මට තරුණ පරපුර යොමු වී තිබීම අභාග්‍යකි.

තරුණ පරම්පරාව ප්‍රේමයේ නිසි අරුත වටහා ගතයුතු කාලය පැමිණ ඇත. ප්‍රේමය පළිගැනීමක් නොවිය යුතු ය. ප්‍රේමය කළ යුත්තේ නිසි අවබෝධයෙන් ය. තාවකාලික නවාතැන් පොළක රැඳී සිටින සියලුදෙනාටම මතු යම් දවසක සියලු දෙය අතහැරයන්ට සිදුවේ. සඳහම් දේශනා අනුව ප්‍රේමය පසුතැවිල්ලට සාධකයක් කරනොගෙන තම තමන්ගේ ලෞකික ජීවිත ආලෝකවත් කරගැනීමේ පහන් සිළුවක් බවට පත් කර ගත යුතු ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.