Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මොකක්ද මේ කලකිරීම

කලකිරීම යන්නට වැඩි දෙනා, ව්‍යවහාර කරනුයේ වැරැදි අර්ථ කථනයකි. එනම් වැඩි කතා නැතිව, ඉස රැවුල් නොබාන, සිවුරු පිරිකර ආදිය ගැන, පිරිසුදුකම ගැන සැලකිල්ලෙක්, නැති යම් භික්‍ෂුවක් මුණ ගැසුණොත්, ඒ භික්‍ෂුවගේ හිතවත් පිරිස විමසන්නේ, “ඇයි හාමුදුරුවනේ කලකිරිලා වගේ” යන්නය.

ගිහි දිවියක් ගතකරන කෙනෙකු වුව, ඇඳුම් පිළිවෙළකට නො අඳින පිරිසුදු කමක් නැති, කෑම, බීම ගැන වැඩි සැලකිල්ලක් නො දක්වන අන් අය සමඟ වැඩි ඇසුරක් නැති ගිහි කෙනෙකුගෙන් වුවත් අන් අය විමසනුයේ “කලකිරිලාද?” යන්නය.

කලකිරීම යනුවෙන් බුදුරජාණන් වහන්සේ, සලකන්නේ, මේ කාරණා පාදක කරගෙන නොවේ.

කිළිටි ආකාරයෙන් ජීවත් වීමවත්, වැඩ කටයුතුවලට දක්වන අලසබව වත්, කෑම බීම පිළිවෙළකට නොගැනීමවත්, මේ එකදු කාරණයක්වත්, කලකිරුණු අයෙකුගේ ලක්‍ෂණ නොවේ.

කලකිරීමට පත් අයෙකුගෙන් බැහැරට දක්නට ලැබෙන්නේ, මේ දක්වන ලද කරුණුවල විරුද්ධ පැත්තය.

නැත්නම් අනෙක් පැත්තය. ඒ අනුව යම් භික්‍ෂුවක් නම්, පිළිවෙළකට දානය වළඳන, පැහැදිලි දින චරියාවක් ඇතිව, ක්‍රියාවල යෙදෙන, පිළිවෙළකට හිස රැවුල් බාන, ප්‍රියශීලි ලෙස වාසය කරන, දුටු අයගේ ප්‍රසන්නතාවට ලක්වන, ප්‍රසන්න වූවන්ගේ ඒ ප්‍රසන්න භාවය, තවත් දියුණු කරන, වීර්ය සම්පන්නව නැඟී සිටින බවම, කලකිරුණු අයෙකුගේ ලක්‍ෂණයෝය. හෙවත් ලකුණු වේ.

ගිහි කෙනෙකු ගත් විට, ගිහි ජීවිතයට අනුකූලවන පරිදි කළයුතු, නොකළ යුතු දේ, මැනවින් හඳුනාගෙන, ඒ ගැන අවධානය ඇතිව, ධෛර්යසම්පන්නව, ප්‍රියමනාප බවින්, කල් යවන්නා කලකිරුණු අයෙකි.

අප බොහෝ විට, කලකිරෙන්නේ, පුද්ගලයන් කෙරෙහිය. එසේම යම්, යම් දේවල් කෙරෙහිය. ස්ථාන ගැනය. ප්‍රදේශ ගැනය. බොහෝවිට පුද්ගලයන් ගැන කලකිරීම ගත්විට සියුම්ව විමසා බැලුවහොත් ඔහුගේ සිත තුළ කලකිරීමට හේතුව පුද්ගලයන් කෙරෙහි පවතින ද්වේශ (තරහ) සහගත සිතයි. එය කලකිරුණු කෙනෙකුගේ ලක්‍ෂණයක් නොවේ. මෙසේ කලකිරුණු ඇතැම් අය වනගතවීමට සිතති. පැවිදි බව ලබාගැනීමට සිතති. එමඟින් තමන් කලකිරුණු කෙනෙකු බව ඒත්තු ගන්වන්නට වෙර දරති.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේටත්, කලකිරීම ඇතිවිය. ඒ කලකිරීම ඇතිවූයේ පුද්ගලයන් ගැන නොවේ. පළාත් හෝ ස්ථාන ගැන නොවේ. ඒ හැමටම වඩා පළල් අයුරින්, ගැඹුරු අයුරින්, සියලු සත්ත්වයන්ම විඳින අත්දකින, දුක ගැන කලකිරීම ඇතිවිය. විශ්ව සාධාරණ ධර්‍මයක් ලෙස සනාතනික ධර්‍මයක් ලෙස සත්ත්වයා මුහුණපාන, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්පයෝග ගැන එතුමන්ට කලකිරීම ඇති විය.

කලකිරීම යනු නැඟී සිටීමය. වීර්යවන්තව, එඩිතරව නැගී සිටීමය. මන්දගාමී, ථීන මිද්ධ සංකල්පයක් නොවේ.

කලකිරීම වැඩි, වැඩියෙන් දැනෙන ඥානවන්ත තැනැත්තා නැඟී සිටීම, වැඩි වැඩියෙන් කරයි. නැඟී සිටින්නේ කුමක් වෙනුවෙන් ද?

එනම් රාගය නැති කිරීම පිණිසය. රාග, විරාගය පිණිසය. නැතහොත් විරාගී දර්ශනයක් අවබෝධ කරගැනීමට ය. රාගී සංකල්පනාවන් නිරතුරුවම අප සිතේ පහළ වේ.

මේ ඉන්ද්‍රියන් පහත්, සිතත් මුල්කොට රාගී ආශා සහගත අදහස් පුහුදුන් මනස තුළ ගොඩ නැඟේ. ඒ අනුව කලකිරුණු පුද්ගලයන්ගේ ප්‍රමුඛතම කටයුත්ත නම්, නැතහොත් ලක්‍ෂණය නම් මේ පිළිබඳව වැටහීමෙන් ජීවිතය ගෙනයාමයි.
කිළිටි ආකාරයෙන් ජීවත් වීමවත්, වැඩ කටයුතුවලට දක්වන අලසබව වත්, කෑම බීම පිළිවෙළකට නොගැනීමවත්, මේ එකදු කාරණයක්වත්, කලකිරුණු අයෙකුගේ ලක්‍ෂණ නොවේ.

ඇස, කණ යන ඉන්ද්‍රියයන් පහ ගැනම කලකිරේ. රූපය, ශබ්දය, ගඳ, සුවඳ රස, ස්පර්ශයන් ආදී ඉන්ද්‍රියයන් පහටම ගැටෙන, ගොදුරුවන දේ ගැන කලකිරේ.

රූප විඥානය ගැන කලකිරේ. විඳීම හෙවත් වින්දනය ගැන කලකිරේ. ඊට හේතුව කුමක්ද? ඒ සියල්ල තුළ, කිසිවක් නිත්‍ය නොවන බැවිනි. අනිත්‍ය බැවිනි. සැපයක් නොවන නිසාය. අප පිණිස නොපවතින නිසාය. ආත්ම නොවන නිසාය. මේ අනුව මේ ඉන්ද්‍රියයන්වලට ගොදුරුවන දේ ගැන කලකීරීම ඇතිකරගත් බැවිනි. ඒවා ගැන උපාදාන නොකරයි. බැඳුම් ඇති කර නොගනියි. සියලු දුකට මුල වනුයේ ද, උපාදානය යි. දුකේ උපත බැඳීම යි හෙවත් උපාදානය යි. දුකේ උපත වූ උපාදානයට හේතුව, තෘෂ්ණාවම වේ. බුද්ධ වචනය තුළ පැහැදිලිවම ප්‍රකටවම ඒ බව දක්වා ඇත.

මේ අනුව කලකිරීම යනුවෙන් පැහැදිලි වන්නේ, යමක ආදීනව පැහැදිලිව අවබෝධ කොට එය අත්හැර දැමීමේ ක්‍රියාවලිය යි.

ඒ අනුව කලකිරුණු පුද්ගලයා නැඟී සිටින වීර්යෙන් ද ප්‍රඥාවෙන් ද, සිහියෙන් ද, සමාධියෙන් ද වාසය කළ යුතු ය. බුද්ධ වචනය තුළ, බෞද්ධ දර්ශනය තුළ, කලකිරීම එසේ අර්ථ දක්වා ඇත. විග්‍රහ වී ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.