Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් කෙසේ පෙළ ගැසෙමු ද?

“සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු “ යන වාක්‍යය අප රටේ බොහෝ තැන්වලදී ප්‍රදර්ශනය වන අයුරු දක්නට ලැබේ. එහෙත් අපේ ජනතාව මෙහි සැබෑ අරුත දැන සිටිතියි කිව හැකි ද? එසේ සිතීමට සිදු වූ කරුණ පළමුව කිව යුතු යැයි සිතමි.

මෑතක දී පවත්වන ලද බෞද්ධ විභාගයක ප්‍රශ්න පත්‍රයට ඇතුළත් එක් ප්‍රශ්නයක් වූයේ, (1) සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්ද? (2) එයට පිළිවෙතින් පෙළගැසෙන්නේ කෙසේද? යන්නයි. මෙය දහම් පාසල්වල උගන්වන ගුරු භවතුන් සඳහා වූ විභාගයක් නිසා මෙයට යහපත් පිළිතුරු අපේක්‍ෂා කළා යුතු විය. එහෙත් දැන ගන්නට ලැබුණු පරිදි දහම් ගුරු භවතුන් අතරින් විශාල සංඛ්‍යාවක්, අප අවුරුදු පතා පවත්වන වෙසක් උත්සවයක් 2011 දී පැවැත්වීමට අපේක්ෂා කරන සම්බුද්ධත්ව ජයන්තියත් අතර වෙනසක් ඇතැයි නොදනිති. ගුරුභවතුන් එසේ නම් සිසුන් ගැන අමුතුවෙන් සමීක්ෂණ පැවැත්වීම අනවශ්‍යය.මේ ප්‍රශ්නයේ දෙවැනි කොටස ගැන ද කිව යුත්තේ එයම බව දැන ගන්නට ලැබුණු කරුණු වලින් හෙළිවේ. අප ආගමික වශයෙන් කරගෙන යන කටයුතු තවදුරටත් එලෙසින් ම පවත්වාගැනීම විනා පිළිවෙතින් පෙළගැසීම ගැන කිසිදු විශේෂතාවක් මේ අය නොදන්නා සේ ය.

මේ ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත්තේ ම රටේ මේ ගැන පවතින තත්වය දැන ගැනීමටත්, ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කර වීමටත් බව සිතිය හැකියි. මේ නිසා, මෙහි මාතෘකාව වූ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ යුතුව ඇතැයි සිතේ. එය සම්බුද්ධත්ව ජයන්තියට පෙළගැසීම සඳහා අවශ්‍ය මූලික සකස්වීම ද විය හැකියි.

සිදුහත් උපත, මහ බෝසතුන් බුද්ධත්වයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය යන බුද්ධ චරිතය හා සම්බන්ධ ප්‍රධාන අවස්ථා තුන නිමිති කොටගෙන බෞද්ධයා වෙසක් පොහොය අති උත්කර්ෂවත් ආකාරයෙන් සමරන බව බෞද්ධ අබෞද්ධ කවුරුත් දනිති. මේ දිනය ගණන් ගන්නේ සම්බුද්ධ පරිනිර්වාණයේ සිටය. ඒ අනුව, 2011 වසරට සම්බුද්ධ පරිනිර්වාණයේ සිට අවුරුදු 2555 කි. ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වීමෙන් පසු අවුරුදු 45 ක් ජීවමානව වැඩ විසූහ. 2555 ට ඒ අවුරුදු 45 ක් එක් වූ විට අවුරුදු 2600 කි. එය ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ගත වූ වසර ගණනයි.අප දැන් පෙළ ගැසෙන්නේ ඒ දිනය සැමරීම සඳහාය.

අප විසින් පළමුවෙන් වටහා ගත යුත්තේ “ සම්බුද්ධත්වයට පත්වීම “ යන සංසිද්ධිය විශේෂයෙන් සැමරිය යුතු අවස්ථාවක් වන්නේ කෙසේද යන්නයි.

කිසිවකු හෝ කිසියම් සිදුවීමක් මිනිසාගේ විශේෂ අවධානයට යොමු වන්නේත් විශේෂ සැලකිලි දැක්වීමට හේතු වන්නේත් ඒ තැනැත්තාගෙන් හෝ ඒ සිදුවීමෙන් ලෝකවාසී ජනතාව අත්කරගත් යහපත නිසාය. සම්බුද්ධත්වයද ඒ අයුරින්ම ඇගැයීමට ලක් විය යුත්තේය. එය ලොව පහළ වූ අනෙකුත් ශ්‍රේෂ්ඨ මිනිසුන් හා අනෙකුත් ශ්‍රේෂ්ඨ සිදුවීම් පහත් කොට සැළකීමට ගන්නා ප්‍රයත්නයක් නොවේ. එය එසේ නොවිය යුතුද වෙයි. මේ අනුව, බෞද්ධයාට මෙන් ම අබෞද්ධයාට ද සම්බුද්ධත්වය උත්සවාකාරයෙන් පැවැත්වීමට අර්ථවත් අවස්ථාවක් උදාකරදෙයි.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ අතිශ්‍රේෂ්ඨ උත්තමයා (හෝ වෙනත් අයට ද පිළිගත හැකි පරිදි උත්තමයකුද ) වූ සේක් නම්, බුද්ධ ධර්මයටද එවැනිම උසස් තත්ත්වයක් හිමිවේ නම්, ආර්ය සංඝ සමාජයද ඒ අයුරින්ම ශ්‍රේෂ්ඨ සමාජ සංස්ථාවක් නම්, බුද්ධ ශාසන ඉතිහාසය විමසා බලන විට එමගින් ලෝකයා දායාද කර ගත් දේ මිනිසාගේ යහපතට ම හේතු වී ඇත්නම් සම්බුද්ධත්ව ජයන්තිය පැවැත්වීම බෞද්ධ අබෞද්ධ සෑම දෙනාගේම යුතුකමක් පමණක් නොව වගකීමක් ද වෙයි. බෞද්ධයාට මෙහි ඇත්තේ එයට වඩා සුවිශේෂ වගකීමක් බව ද පිළිගත යුතුය.

මෙහිදී ගෞතම බුදුරජාණන් වහන්සේ ද, බුද්ධ ධර්මයද, බුද්ධ ශාසනය ද සම්බන්ධයෙන් වෙනත් ආගම් දහම් පිළිගන්නා උගතුන් විසින් මෙන්ම නිදහස් මත දරණ අපක්ෂපාති විද්වතුන් විසින්ද කරන ලද ප්‍රකාශ නිවැරැදි නිගමනයකට බැස ගැනීම සඳහා බෙහෙවින් උපකාරී වෙයි.ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් විසින් සංග්‍රහ කරන ලද ‘බුඩිසම් ඉන්ද අයිස් ඔෆ් ඉන්ටලෙක්ට්‍රවල්ස් ‘ නම් වූ කෘතියට මෙවැනි ප්‍රකාශ රාශියක් ඇතුළත් වෙයි. එයින් ගත් ප්‍රකාශ කිහිපයකින් මේ අදහස් කියැවේ.

මෑත කාලයේ පහළ වූ මහා හින්දු ශාන්තුවරයකු වන මහත්මා ගාන්ධීතුමා පෙන්වා දෙන ආකාරයට, වර්තමාන හින්දු ආගමේ ප්‍රධාන ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව සකසා ගන්නා ලද ඒවාය. එනිසා හින්දු ආගම ඒ මනා ගුරුවරයා වන බුදුරජාණන් වහන්සේට සදා ණය ගැතිය. කෘතඥතාව දැක්විය යුතුය . (52 පිටුව) මුස්ලිම් විද්වතකුගේ අදහසක් එහි මෙසේ දැක්වේ.

බුදුරජාණන් වහන්සේ බෞද්ධයාට පමණක් හිමි සම්පතක් නොවේ. උන් වහන්සේ සකල ලෝකවාසීන්ට අයත් සම්පතකි. උන්වහන්සේගේ ධර්මය සැම දෙනාටම පොදුය.උන්වහන්සේගෙන් පසු පහළ වූ සෑම ආගමක්ම බුදුරජාණන් වහන්සේගේ යහපත් ඉගැන්වීම් අයත් කර ගත්තේ ය (16 පිටුව) ඉන්දියාව, බුරුමය, හා ලංකාව සම්බන්ධ තරුණ ක්‍රිස්තියානි සංගමයක ලේකම් තනතුර හෙබ වූ මහාචාර්ය සෝන්ඩර්ස් පෙන්වා දී ඇත්තේ, මිනිස් වර්ගයාගේ අති බහුතරයේ පූජනීයත්වයට පත් වූ, මිනිසුන් දැන සිටි එකම උත්තමයා බුදුරජාණන් වහන්සේ ලෙස හැඳින්විය හැකි බවයි. (13 පිටුව)

මෙසේ ශ්‍රී‍්‍ර ලංකාවේ මිනිසුන් අදහන, අනෙක් ප්‍රධාන ආගම් තුනටම අයත් විද්වතුනගේ නොමඳ ගෞරවයට හා පිළිගැනීමට බුදුරජාණන් වහන්සේත්, බුද්ධ ධර්මයත් ලක් වී ඇති බව මැනැවින් පැහැදිලිය. බුදුදහම ව්‍යාප්ත වූ ලෝකයේ විවිධ රටවල සංස්කෘතීන් සාහිත්‍යය, කලාශිල්ප, සිරිත් විරිත් , අධ්‍යාපන ක්‍රම, පාලන ධර්ම, සහ අර්ථ ක්‍රමයන් පෝෂණය වූ ආකාරය ශාසන ඉතිහාසයෙන් ප්‍රකට කෙරෙන්නේ අනෙකුත් ආගම දහමකට උරුමකම් කිව නොහැකි තරමේ සම්භාවනීයත්වයකිනි.

මේ සියල්ලට බුදුදහම හිමිකම් කියනුයේ මිනිස් චින්තනයේ ස්වාධීනත්වය, ආගමික සහනශීලි ස්වභාවය, සාමකාමි බව හා මිනිසාගේ උදාරත්වය ඉතා ඉහළින් අගය කරමින් බව විද්වත්හු පෙන්වා දෙති. මෙතෙක් ලොව පහළ වූ මහා විද්‍යාඥයා ලෙස සැළකෙන ඇල්බට් අයින්ස්ටයින් මෙසේ අනාවැකි පළකරයි.

අනාගත ලෝකයේ විශ්වීය ආගම පුද්ගල දෙවියකු, ආධානගාහිත්වය හා දේවකේන්ද්‍රීය චින්තනය බැහැර කළ ස්වාභාවිකත්වයේද අධ්‍යාත්මයේ ද සුසංයෝගයක් වන ආගමික චින්තාවකි. මේ විග්‍රහයට එකඟ වන්නේ බුදුදහම පමණි.(21 පිටුව) සම්බුද්ධත්ව ජයන්තිය උත්කර්ෂවත් ව පැවැත්විය යුත්තේ ඉහතින් සාකච්ඡා, කරන ලද කරුණු සැළකිල්ලට ගත යුතු හෙයිනි. බෞද්ධයා පිළිවෙතින් පෙළ ගැසිය යුත්තේ එනිසාය. එය කෙසේ කළ යුතුද?

බුදුසසුන, පරියත්ති සාසනය, පටිපත්ති සාසනය හා පටිවේධ සාසනයැයි ත්‍රිවිධය. පරියත්තිය යනු බුද්ධ ධර්මයයි. එය ත්‍රිපිටකාගත ධර්මයයි. ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමයි. පටිපත්තිය යනු පිළිවෙතයි. එනම් දැනුම අනුව, තම චරිතය බුදු දහමට එකගව ගොඩ නඟා ගැනීමයි. බෞද්ධයාගේ වචනය ද, ක්‍රියාවද, ජීවිකාව ද දහමට අනුව හැඩ ගසා ගැනීම එයට අයත් වේ. පටිවේධය යනු අවබෝධයයි. දැනගත් දහමට අනුව හැඩ ගසා ගත් ජීවිතය තුළින් දහම අවබෝධ කර ගනිමින් අවසන් අරමුණ වන නිර්වාණය කරා ක්‍රමයෙන් ගමන් කිරීමයි. මෙසේ පරියත්තිය ද පටිපත්තිය ද පටිවේධය කරා යොමුවී ඇත.

මෙහිදී අවධාරණය වන්නේ පටිපත්තියයි. එනම් පිළිවෙතයි. චර්යා මාර්ගයයි. බෞද්ධයා මැනැවින් තේරුම් ගෙන ඇති පරිදි තෙරුවන් සරණ ගොස් පන්සිල්හි පිහිටීම මේ චර්යා මාර්ගයෙහි ප්‍රථම පියවරයි. මේ පියවර සාර්ථක කර ගත හැක්කේ, දහම පිළිබඳ යම් ප්‍රමාණයක වැටහීමක් ඇත්නම් පමණය. එසේ නැතිව,අප පුරුදු වී ඇති ආකාරයට අවශ්‍ය ප්‍රමිතියෙන් තොරව, කෙතරම් නම් වාර ගණනක් තෙරුවන් සරණ යෑමේ සහ පන්සිල් සමාදන් වීමේ පාඨ කියවුවත් පිළිවෙතෙහි පිහිටා සිටීමට නොහැකිවෙයි. මෙහි සදහන් කළ ප්‍රමිතිය කුමක්ද? එය හැඳින ගැනීම සඳහා පෙළදහමෙහි සඳහන් වන අවස්ථා දෙකක් විමසා බැලීම ප්‍රමාණවත්ය.

නන්දිය නමැති ශාක්‍යයා දිනක් බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි, සෝතාපත්තියාංග සතර සපුරා නැති තැනැත්තා ප්‍රමාද විහාරී “ දැයි අසා සිටියේය. එවිට භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වුයේ, සෝතාපත්තියාංග සතර සපුරා නැති තැනැත්තා සසුනෙන් බැහැර වූවකු බවයි. පෘථග්ජනයකු බවයි. ඉන්පසු උන්වහන්සේ වදාළේ සෝතාපත්තියංග සතර සපුරා ගෙන සසුනට ඇතුළත් විය හැකි ආකාරයයි. අපට මෙහි දී වැදගත්ම කරුණු වන්නේ සෝතාපත්ති අංග සතරත්, එය සපුරා ගත යුතු ආකාරයත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද විස්තරයයි.

කෙටියෙන් කිවහොත් සෝතාපත්ති අංග සතර යනු

1. අවෙච්චප්පසාදයෙන් යුක්තව එනම් කරුණු තේරුම් ගෙන බුදුන් සරණ යෑම.
2. කරුණු තේරුම් ගෙන දහම් සරණ යෑම
3. කරුණු තේරුම් ගෙන ආර්ය මහා සංඝයා සරණ යෑම සහ
4. ආර්යයන් පි‍්‍රය වන ආකාරයට (=අරියකන්ත) සීලයෙහි පිහිටීමයි.

දෙවන අවස්ථාව මෙයයි. අනේපිඬු සිටුවරයා ගිලන් වූ අවස්ථාවක ඔහු බැලීමට වැඩි සැරියුත් මහ රහතන් වහන්සේ සිටුවරයාට වදාළ දහම ගැන අනඳ තෙරුණුවන් බුදුරජාණන් වහන්සේට දැන් වූ පසු, බුදුහාමුදුරුවන් සැරියුත් මහ තෙරණුන්ගේ පාණ්ඩිත්‍යය ගැන ප්‍රශංසා කොට ඒ දහම ගැන වදාළ කරුණකි.

සෝතාපත්තියංග සතර දස ආකාරයකින් සැරියුත් හිමියන් විස්තර කර දෙසූ බව බුදුහාමුදුරුවෝ මෙහි දී පෙන්වා දුන්හ. ඒ දස ආකාරය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ඇතුළත් අංග අටටද, අර්හත්වයේ දී එකතුවන සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංග දෙකටද යන අංග දහයටම ඇතුළත් වන ආකාරයයි.

මෙහිදී අපට වැදගත් වන්නේ බෞද්ධයන් නිතිපතා කෙරෙන තෙරුවන් සරණ යෑම සහ පන්සිල්හි පිහිටීම මේ අයුරින් අවධාරණය කිරීම ය.

එනිසා තෙරුවන් සරණ යෑම සහ පන්සිල් සමාදන් වීම සුළු කොට තැකිය යුතු ආගමික චාරිත්‍රයක් නොව න බවත් එහෙත්, එහි ඇති අගය මතුවන්නේ එයට හිමි ප්‍රමිතිය රැක ගත හොත් පමණක් බවත් ය. එය සැබෑ බෞද්ධ පිළිවෙත බවට පත් වන්නේ ඒ ආකාරයෙන් පමණකි. අප පිළිවෙතින් පෙළ ගැසීමට නම් දහමට අනුව වටහා ගත යුතුව ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දෙතැනදී කරන ලද අවධාරණයයි. ප්‍රමිතිය වන්නේ එයයි.

කරුණු දැන තෙරුවන් සරණ ගිය පුද්ගලයා උපාසක හෝ උපාසිකා නාමයෙන් හැඳින්වෙයි. හෙතෙම උපාසක චණ්ඩාලයෙකු හෝ උපාසක මළකඩක් නොවිය යුතු බව බුදුහාමුදුරුවෝ වදාරති. උපාසක චණ්ඩාලයා කවරෙක්ද? යම් බෞද්ධයකු ශ්‍රද්ධාව නැත්තේ වේද, සිල්වත් නොවේද? පෙරනිමිති ආදි වූ බාහිර මිථ්‍යා කරුණු හරවත් දේ ලෙස සළකයිද කර්මය හා විපාකය වෙනුවට එවැනි දෑ පිළිගන්නා අයකුවේ ද, සසුනෙන් පිටත්කර පළමුව පිදිය යුත්තන් සොයන්නකු වේ ද හෙතෙම උපාසක චණ්ඩාලයෙකි, උපාසක මළකඩකි.

බුද්ධ ශ්‍රාවකයා නම් යාඥාවෙන්, ප්‍රාර්ථනාවෙන් අරමුණූ ඉටු කර ගැනීමට නොසිතා, ඒ සඳහා ගත යුතු මඟ දැන එහි ගමන් කරන්නෙකැයි බුදුහාමුදුරුවෝ අනේපිඬු සිටාණන්ට පෙන්වා වදාළහ.

විශේෂඥ වෛද්‍යවරයන් කොතෙකුත් සිටිය දී ලෙඩ සුව කර ගැනීමට යාඥාවන්ට එකතු වන බෞද්ධයෝ කෙතරම් සංඛ්‍යාවක් අප අවට සිටිත් ද?

බෝධි පූජා පැවැත්වීම උසස් ආගමික චාරිත්‍රයකි. එහෙත් විභාග පාස් වීමට,ලෙඩ සුව කර ගැනීමට පමණක් බෝධි පූජා තබන්නෝ අප අතර විරලද?

ඉතා හොඳ බෞද්ධයන් වශයෙන් පෙනී සිටින අපෙන් කී දෙනෙක් නම් තම දූ දරුවන්ගේ ආවාහ විවාහ උත්සව වලදී පමණක් නොව තම මවුපියාදීන්ගේ පින් පැමිණවීමේ පින්කම් වලදීද මත්පැනින් නා ගන්නෝ ද?

එළුවන්, කුකුළන් සිය ගණනින් බිලි දී කරන පූජා පසෙක තිබිය දී, අප රටේ සියයට අසු එකක් කුකුල් මස් පරිභෝජනය කරතැයි මාධ්‍යයෙන් ඇසෙන්නේ පාණාතිපාතා වේරමණී ශික්ෂාපදය රැකෙන නිසා ද? අලුත් එළවළුවක් සකස් කළත් එයද කුකුල් මස් රසට තිබිය යුතු නොවේද?

අපේ පිළිවෙතෙහි බෞද්ධකම රැඳී ඇති තරම් තේරුම් ගැනීමට මෙයට වඩා බොහෝ දෙනාට සමීපතම කරුණු බොහෝ ඇතැයි කිව යුතුය.

අසල්වැසියාගේ, නිවස, වාහනය, දියුණුව බලා සිටීමට නොහැකිව ඇතැම්හු අණවින හදි හූනියම් කරවති. අප කීර්තිය ඇති කිරීමට කටයුතු කරති.

කළ යුතු කටයුතු කොතෙකුත් තිබිය දී නැකතට, වේලාවට, හඳහනට, ග්‍රහයාට ජීවිතය කැප කරන්නෝ කොතෙක් සිටිත්ද? පොහොසතුන්, බලවතුන් අනුකරණයට, ඔවුන් හා තරගයට අනුන්ට පෙන්නීමට නැතහොත් ස්වකීය කෑදරකම සඳහාම ඕනෑම අසික්කිත කමක් කරන්නෝ අප අතර කොපමණ සිටිත්ද? මේ කරුණු සනාථ කිරීම සඳහා විශේෂයෙන් නිදසුන් ඉදිරිපත් කළ යුතු නැත.

ඒ තරමට ම අපට මේවා ගැන අත්දැකීම් බහුලය.

මේ කරුණු මෙනෙහි කරන අපට පිළිවෙතින් පෙළ ගැසීමට මොන තරම් ඉඩකඩ තිබේදැයි සිතා ගත හැකියි. අපේ කතාබහ, අපේ එදිනෙදා කටයුතු , අපේ ජීවන ක්‍රමය සැබවින් තෙරුවන් සරණ ගිය, පන්සිල්හි පිහිටි බෞද්ධයකුට සුදුසු වන අයුරු සකසා ගත යුතුව ඇත.

එසේ සිතා අපගේ චර්යාව අවංකව හැඩ ගසා ගැනීමෙන් අපට සම්බුද්ධත්ව ජයන්තිය සඳහා පිළිවෙතින් පෙළගැසීමට අවස්ථාව උදාවේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.