මාතර බෝධීන් වහන්සේ
එච්.ජී. පියසේන
මාතර නගරයට ප්‍රවිෂ්ට වන සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා
ආමාමෑණි බුදුපියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන
දර්ශනයක් එකවරම දෙනෙතට දිස්වේ. එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන
ඓතිහාසික පුරාවෘත්තයක් නිහඬව කියා පාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත
පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඓතිහාසික බෝධිරාජයායි.
කොළඹ සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ උයන්වත්ත ක්‍රීඩාංගණයට
මුහුණලා පිහිටා ඇති මේ පරම පූජනීය මාතර ඓතිහාසික බෝධිරාජයා ක්‍රි.ව.
515 දී මෙරට රාජ්‍යත්වයට පත්වී සිටි මහා කිවිවරයෙකු ලෙස සැළකෙන
කුමාරදාස නිරිඳු කල දක්වා දිවෙන ඓතිහාසික පසුබිමක් ඇති ස්ථානයක් බව
පෞරාණික ලේඛන හා ජනප්‍රවාද අනුව සනාථ වේ.
මෙම බෝධිරාජයා රෝපණය කිරීමේ අවස්ථාවට කුමාරදාස රජුගේ ආරාධනයෙන් රාජ්‍ය
අමුත්තකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී
ජීවිතක්‍ෂයට පත් වූ කාලිදාස මහා කිවිදාණන්ගේ චිතකයට පැණ දිවි නසාගත්
බිසෝවරුන් අනුස්මරණය කිරීම සඳහා සිදු වූවක් බව ජනප්‍රවාදයේ සඳහන් වන
අතර පුරාතන සාහිත්‍ය ග්‍රන්ථයක් වූ පැරකුම්බා සිරිත නම් වූ සිංහල
කාව්‍ය ග්‍රන්ථයේ ද එය සඳහන් වීමෙන් සනාථ වේ. එම කතා ප්‍රවෘත්තියට
සම්බන්ධ තවත් පුරාවෘත්තයකට අනුව කුමාරදාස රජු සියදිවි හානිකර ගත්
චිතකයට තම බිසෝවරු පස් දෙනාත් සමග රජුද, උපදෙස් දුන් පඬිවරුද යන සත්
දෙනාද පැන දිවි තොර කර ගත් බව සඳහන් වේ.
මේ ශෝකාන්තය සිහිපත් වන්නට මාතර නගරය තුළ බෝධි 7 ක් රෝපණය කළ අතර එදා
පටන් මේ ස්ථානය “හත්බෝධි වත්ත” නමින් හඳුන්වන ලදී. මාතර ඓතිහාසික
බෝධිරාජයා එම බෝධීන් වහන්සේලා අතරින් එකක් ලෙස විශ්වාස කෙරේ. මෙම මාතර
ඓතිහාසික බෝධීන් වහන්සේ අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා
බෝධිරාජයාණන් වහන්සේගේ ගෝත්‍රයට අයත් වන බව උද්භිද විද්‍යාඥයින් විසින්
කරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.
එවකට මෙරට පාලනය කරන ලද ඉංගී‍්‍රසි පාලකයින් මේ ඓතිහාසික පූජා භූමියට
විවිධ තර්ජන එල්ල කරන ලද අතර මාතර නගර සභාභූමිය පුළුල් කරන අටියෙන් හා
බෞද්ධයින්ට පාඩමක් ඉගැන්වීමේ අදහසින් ඔවුන් විසින් මෙම බෝධීන් වහන්සේ
කපා ඉවත් කිරීමට දින පවා නියම කර ගන්නා ලදී.
එහෙත් එවකට මාතර නගරයේ සිටි බෞද්ධ ව්‍යාපාරිකයන් රාජ්‍ය නිලධාරීන් හා
මාතර නගර සභාවේ නිලධාරීන් ද සෙසු බෞද්ධ ජනයාද එක්ව විවිධ තර්ජන ගර්ජන
මැද්දේ ඉතා අපහසුවෙන් එය ආරක්‍ෂා කර ගෙන තිබේ.
ඔවුන්ගේ මූලිකත්වයෙන් බෝධීන් වහන්සේ අබියස බුද්ධ ප්‍රතිමාවක් වඩා
හිඳුවා වන්දනාමාන කිරීමට කටයුතු සැළැස්වූ අතර මෙහි පූජනීයත්වය ඔප්
නැංවීමට කුඩා බුදු මැදුරක් ද කුඩා චෛත්‍යයක් ද දේවාල දෙකක් ද ඉදිකරන
ලදී. මුලින් ඉදිකළ මෙම කුඩා චෛත්‍යය විහාර මන්දිරය පිටුපස දැනුදු දක්නට
ලැබේ.
මාතර බෝධි ආරක්‍ෂක සභාවේ සාමාජිකයන් අතුරෙන් පරලෝසැපත් බී. ආරියරත්න
මහතාත්, බී.පී. සයිමන් අප්පුහාමි මහතාත්, කේ.ජී. කරනේලිස් මහතාත් මේ
සඳහා පෙරමුණ ගත් පිරිස අතර වේ.
1961 වර්ෂයේ දී කේ.ටී. සෝමපාල, සී.ඒ. ධර්මසේන සහ ආර්. පෑලිස් යන
මහත්වරු ස්වකීය ධන පරිත්‍යාගයෙන් චෛත්‍යයක් ගොඩනැඟීම ආරම්භ කරන ලදී.
මෙසේ ක්‍රමයෙන් දියුණු වෙමින් පැවති මාතර බෝධි රාජයාගේ ඉදිරි පැවැත්ම
හා ආරක්‍ෂාව සඳහා 1962 ඔක්තෝබර් 19 වන දා මාතර බෝධි ආරක්‍ෂක සභාව
පිහිටුවන ලදී.
මාතර බෝධි ආරක්‍ෂක සභාවේ ප්‍රථම සභාපති ධූරයට එඩ්මන් සමරසේකර මහතා පත්
වූ අතර 1978 දක්වා වසර 17 ක් නොකඩවා එතුමා එම තනතුර හොබවමින් අකලංක
අමරණීය සේවාවක් සිදු කරමින් බෝධිරාජයාගේ උන්නතිය සඳහා කටයුතු කරන ලදී.
ඔහුගේ අභාවයෙන් පසු පිළිවෙළින් හෙන්රි ගුණසේකර සී.ඒ. හේමචන්ද්‍ර, නීතිඥ
රිචඩ් කුලතුංග, එස්.කේ. චන්ද්‍රසෝම, අමරදාස කුමාරනායක, රෝහාන්ත සමරසිංහ
යන මහත්වරු පත් වූ අතර වර්තමාන සභාපති ලෙස කටයුතු කරන්නේ ප්‍රදේශයේ
සම්භාවනීය පරපුරකට අයත් ප්‍රභූවරයකු වන ඩිහාන් සමරසේකර මහතායි. එතුමා
තම කාලයත් ධනයත් ශ්‍රමයත් මේ සඳහා කැප කරමින් ජාතික හා ආගමික හැඟීමෙන්
යුතුව රටටත් සමාජයටත් සම්බුද්ධ ශාසනයටත් මේ තුළින් උදාර ජාතික ආගමික හා
සමාජයීය මෙහෙවරක් කරමින් මෙහි උන්නතිය සඳහා කටයුතු කරන බව
ප්‍රශංසාභිමුඛයෙන් සඳහන් කළ යුතු ය.
මාතර බෝධි ආරක්‍ෂක සභාව මඟින් සිදු කරන සේවාවන් රාශියකි. අඩු
ආදායම්ලාභී පවුල් වල දරු දැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරි
නැමීම, පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන්
ශිෂ්‍යත්ව පිරි නැමීම, මාතර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර දීම,
ආර්ථික අපහසුතාවලින් යුතු පවුල් වල දරු දැරියන්ට හා වැඩිහිටියන්ට
නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම, රෝහල් ගතව ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් සඳහා
බෙහෙත් වර්ග ලබා දීම, අක්‍ෂි කාච ලබා දීම, ප්‍රදේශයේ දහම් පාසල්
අධ්‍යාපනය නඟා සිටුවීමට ද්‍රව්‍ය හා මූල්‍යමය වශයෙන් ආධාර ලබා දීම
ශාසනික, සංස්කෘතික හා සමාජයීය පරිත්‍යාග සිදු කිරීම, ප්‍රදේශයේ පාසල්
සිසුන් උදෙසා අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙරහුරු සම්මන්ත්‍රණ පැවැත්වීම
අනාගතයේ ශාසනික පැවැත්ම සඳහා අවශ්‍ය ධර්ම විනයධර සඟ පරපුරක් බිහිකරලීමේ
අරමුණින් බුද්ධ ධර්මය ඉගැන්වීමේ ව්‍යාපෘති පිළියෙල කිරීම, ප්‍රදේශයේ
පවත්නා විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ආදි ශාසනික, ජාතික හා සමාජයිය
කටයුතු රාශියක් සිදු කරනු ලබයි.
|