සදහම් දැනුම
වහමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය :
බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා සිටුවරයෙක් තම පුත්‍රයා ගැන
විමසා සිටියේය. “බුදුහු” මදකට මෙහි අසුන් ගන්න ඔබට පුතා දැකගන්නට
ලැබෙනවා ඇතැයි වදාළහ. ප්‍රථම වතාවට තිසරණ සරණ ගිය ගෘහස්ථයා ඔහුම විය.
මේ තැනැත්තා කවුද?
පිළිතුර
යසකුල පුත් පිය සිටුවරයා
ප්‍රශ්නය :
බුදු රජාණන් වහන්සේට ඝෝෂිතාරාමය කුක්කුටාරාමය පාවාරිකාරාමය යන ආරාම
කරවා පූජා කළ දායක වරුන් කවුද?
පිළිතුර:
කොසැඹෑ නුවර ඝෝෂිත සිටුතුමා ඝොෂිතාරාමය ද කුක්කුට සිටුතුමා
කුක්කුටාරාමය ද පාවාරිකාරාමය පාවාරික සිටුතුමා ද කරවා බුදුරජාණන්
වහන්සේට පූජා කරන ලදී.
ප්‍රශ්නය :
කම්මස්ස කාරකො නත්ථි විපාකස්සච වෙදකො ආදී වශයෙන් ඇති මෙම ධර්ම පාඨයෙහි
අදහස පැහැදිලි කරන්න.
පිළිතුර :
කර්මය කරන තැනැත්තෙක් නැත. විපාකය විඳින තැනැත්තෙක් ද නැත. ශුද්ධ වූ
ස්කන්ධ ධර්මයෝ පමණක් පවතින්නාහ. මෙසේ දක්නා “විදසුන්’ නුවණම යහපත්
දැකීම වෙයි.
ප්‍රශ්නය:
පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක් ද? බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි
කරන්න.
පිළිතුර
බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් අනතුරුව තමා කුඩා වියෙහිදී ලබාගත්
ධ්‍යානයන් උපදවා ගනිමින් පහසුවෙන්ම චිත්ත ඒකාග්‍රතාවය ලබා ගත හැකිවිය.
උන් වහන්සේ ගේ සිත ඕනෑම දෙයක් යථා ස්වරූපයෙන් විකෘති නොකර
ප්‍රතිබිම්බනය කරන නිමල කැඩපතක් මෙන් විය.
මෙසේ සිත සංසුන්ව පිවිතුරුව කෙලෙස් මලින් විමුක්තව අකම්පිතව සිටි කල්හි
උන්වහන්සේ “පෙර ජන්මයන්හි තත්ත්වය සිහිපත් කිරීමේ නුවණ” පුබ්බේ
නිවාසානුස්සති ඤාණය වෙත සිත යොමු කළහ. පෙර ජන්මයෙහි තත්ත්වය සවිස්තරව
අනුස්මරණය කළහ. මේ වූකලී රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහිදී උන්වහන්සේ
සාක්ෂාත් කරගත්තාවූ ප්‍රථම ඤාණය විය.
ප්‍රශ්නය:
මෙම බුද්ධානුසාසනාව ඉතා සුවිශේෂ වූ අවස්ථාවක සුවිශේෂ වූ පුද්ගලයෙකු
අරභයා කරන ලද්දකි.
බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින් ගාථා කියා භෝජන වැළඳීම මට
ගැලපෙන්නේ නැත. රහතුන්ගේ ගතිය එය නොවේ. බුදුවරු එබඳු ආහාර ප්‍රතික්‍ෂේප
කරති. මේ පිළිවෙත පවත්නා තුරු ජීවිකාව එසේමය. අනුත්තරවූ නික්ලේශී වූ
භාග්‍යවතුන් වහන්සේට වෙනත් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න. කුසල බීජ
වපුරන්නට රිසි අයට උන්වහන්සේ පින් කෙතක් හෙයිනි.
සාකච්ඡාවට බඳුන් වූ සුවිශේෂ තැනැත්තා කවුද අවස්ථාව කුමක් ද?
පිළිතුර :
එකොළොස්වන වස ඒකනාලා බමුණුගම “කසී භාරද්වාජ” නම් බමුණාට දේශනා කරන
ලද්දකි. බමුණා සහ බුදුරජාණන් හමුව කළ සංවාදයෙන් අනතුරුව, කසීභාරද්වාජ
බමුණා ලොකු තලියක් කිරිබතින් පුරවා බුදු රජාණන් වහන්සේට පූජාකළේ මෙසේ
පවසමිනි. භවත් ගෞතමයන් වහන්සේ ක්‍ෂීර පායාසය වළඳන සේක්වා ඔබ වහන්සේ
ගොවියෙකි. අමෘතත්වය අස්වැන්න සේ දෙන වගාවක් කරන හෙයින් භවත් ගෞතමයන්
වහන්සේ ද ගොවියෙකි. බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින් ගාථා කියා
ලබාගත් භෝජන වැළඳීම මට ගැලපෙන්නේ නැත.
රහතුන්ගේ ගතිය එය නොවේ. බුදුවරු එබඳු ආහාර ප්‍රතික්‍ෂේප කරති. මේ
පිළිවෙත පවත්නාතුරු ජීවිකාව එසේමය. අනුත්තරවූ නික්ලේෂීවූ භාග්‍යවතුන්
වහන්සේට වෙනත් ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්න. කුශල බීජ වපුරන්නට
කැමැති අයට උන් වහන්සේ පින් කෙතක් හෙයිනි.
ප්‍රශ්නය
යම්සේ නූල් පන්දුවක් උස් තැනක සිට දමා ගැසූවිට නූල දිගහැරී ගොස් නූල
අවසන් වූවිට නවතීද එසේම බාල පණ්ඩිත සියල්ලෝම සසර ගමන්කොට දුක් කෙළවර
කෙරෙත්. මේ බුද්ධ කාලීන එක් ශාස්තෘවරයෙකුගේ ඉගැන්වීමකි. මේ
ශාස්තෘවරයාගේ නම කුමක් ද?
පිළිතුර
මක්ඛලී ගෝසාල ශාස්තෘවරයා
ප්‍රශ්නය:
බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි පැරැණි දඹදිව පැවැති ජන
හිතකාමී නිරෝගී සුවය සඳහා විවිධ බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු පාලි
ත්‍රිපිටකයට ඇතුළත්ව ඇත. වර්තමානිකයන්ට ද බෙහෙවින් යහපත්වනු ඇත.
පැහැදිලි කරන්න.
පිළිතුර :
“යාගු” කැඳබීම උදෑසන දෛනික පිළිවෙතක් කරගත යුතු බව භික්‍ෂූන් උදෙසා කළ
අනුසාසනාවකි. එහි ආනිසංස ප්‍රයෝජනයන් දසයක් බව සඳහන් වේ. එනම් :
1. දීර්ඝායුෂ ඇතිවේ
2. ශරීරය පැහැපත් ප්‍රසන්නශීලී වෙයි
3. ශාරීරික සැහැල්ලු සුවය ගෙන දේ.
4. ශක්තිය ලැබේ.
5. පටිභාණ හෙවත් ධාරණ ශක්තිය ලැබේ.
6. සාගින්න (කුසගින්න) නිවාලයි
7. පිපාසාව නැති කරයි
8. වාතය සමතුලිත වෙයි
9. වස්ති විශෝධනය (මළ පහකිරීම) පහසු කරයි
10. ආහාර ජීරණය පහසු කරයි
(මහා භෙජජ්ජ්ක්ඛන්ධක)
පස්ගෝරස
කිරි, දී කිරි, තක්ක(මෝරු), නවනීත (වෙඬරු), සප්පි (ගිතෙල)
අෂ්ටපාන වර්ග
1. අඹ පැන්
2. දඹ (ජම්බු) පැන්
3. ඇටි කෙසෙල් පැන්
4. කෙසෙල් පැන්
5. මී පැණි (මධු)
6. මිදි පැන්
7. ඕලු පැන්
8. පාරුසක පානය (ඖෂධීය කොත්තමල්ලි ඉඟුරු ආදී)
ප්‍රශ්නය :
“ මම සැප විඳිමි” යන සක්කාය දිට්ඨිය යම්තාක් සත්වයා තුළ පවතී නම් ඒ
තාක් ඔහු තුළ භවයෙන් ඉවත්වීමේ කැමැත්ත පහළ නොවේ. මේ මිථ්‍යාදෘෂ්ටිය
සත්වයා තුළින් ඉවත්කළ හැකි මාර්ගය පැහැදිලි කරන්න.
පිළිතුර :
“දුක්ඛ නිරෝධ මාර්ග සත්‍යය” සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙයි. සම්මා
දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයයි. එසේත් නැත්නම් තමා ගැනම
යථා පරිද්දෙන් තේරුම් ගැනීමයි. (යොනිසොමනසිකාර) යනුවෙන් ධර්මයෙහි එය
සටහන් වෙයි. සීල, සමාධි, ප්‍රඥ වශයෙන් ත්‍රිවිධ වූ ශික්ෂණයට අනුව
පිළිවෙත සකස්කර ගැනීමෙන් මිථ්‍යා දෘෂ්ටියෙන් වෙන්ව සම්මා දිට්ඨියෙහි
සිත යෙදවිය හැකිය.
ප්‍රශ්නය :
කෙනෙකු පිරිසුදු වන්නේ හෝ කිළිටි වන්නේ ඔහුගේ සිතිවිලි (චෛතසික) නිසාය.
(චිත්තෙන සං කිලිස්සන්ති) සිතිවිලි වලින් ඔහුගේ සිත හා ගත දෙක්හි
ස්වරූපය විනිශ්චය වන අතර අනාගතය (මතු භවය ද) හැඩ ගැසේ. නරක සිතිවිලි
නිසා (පදුට්ඨෙන චෙතසා) පුද්ගලයා අයහපත් වන අතර යහපත් සිතිවිලි නිසා
(පසන්නේන චෙතසා) ඔහු යහපත් පුද්ගලයෙකු වේ.
ඇතැම්විට එක සිතිවිල්ලක් ලොවම විනාශ කිරීමට හෝ ලොවම ආරක්‍ෂාකර ගැනීමට
සමත් විය හැකිය. පෙල දහමෙහි සම්මා සංකප්ප සම්මා දිට්ඨි එම (ප්‍රස්තුත)
නිගමනයන් විවරණය කොට ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර :
ප්‍රථමයෙන් නිරවද්‍ය සිතිවිලි (චෙතනා) ඇතිකර ගතයුතු ආකාරය පැහැදිලි
කරගත යුතුය.ඒ අනුව නිවැරැදි සිතිවිලි ආකාර තුනක් බව අවබෝධ කරගත යුතුය.
එනම් : නෙක්ඛම්ම සංකප්පය ලෞකික වූ කම් සැප අත්හැර වෙන්වීම හෝ රාගය
ආත්මාර්ථය අස්මිමානය වැනි සිතිවිලි වලට ප්‍රති විරෝධතාවයක් වන (පුද්ගල
නෛරාත්මය) සියල්ල අනිත්‍යය බව හා හේතුඵල සබඳතාවය අනුව පැවැත්ම සිදුවන
බව වටහා ගැනීමය. දෙවැන්න අව්‍යාපාද සංකප්පයයි. මෛත්‍රිය, දයාව, කරුණාව
යනු ද්වේෂය, වෛරය, ක්‍රෝධය වැනි දෙයට විරුද්ධ සංකල්පයයි. තෙවැන්න
අවිහිංසා සංකප්පයයි. කෘරකම හා රුදුරුකමට ප්‍රතිපක්‍ෂ අවිහිංසාව හා
කාරුණිකත්වය සහිත සිතිවිලි වැඩීමයි.
තවද සිත හා සිතිවිලි ලෝභ ද්වේෂ හා මෝහ යන අකුසල චෙතනා නිසා (පදාට්ඨ)
සිත දුෂිත වෙයි. ලෝභ, ද්වේෂ හා මෝහ අකුසල මූලයන්ට හේතු පාදක වන්නේ
මිච්ඡා සංකප්ප සහ මිච්ඡා දිට්ඨි යන ප්‍රස්තුතයන් ය. සිත අකුසල මූලයන්
කරා යොමු ගත නොකොට කුසල මූලයන් මගින් සමාහිත සිත සකස්කර ගතහැකිය. බාහිර
(උපක්කිලෙස) අරමුණු මගින් සමාහිත සිතක් කිලිටි විය නොහැකිය.
ප්‍රශ්නය :
බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි දී ශ්‍රාවකයන් වහන්සේලා
හමුවකදී දේශනා කළ ධර්ම පාඨයකි මේ. එවමෙව ඛ්වාහං භික්ඛවෙ අද්දසං පුරාණං
මග්ගං පුරාණංඤ්ජසං පුබ්බකෙහි සම්මා සම්බුද්ධෙහි අනුයාතං (සං: නි: අභි:
තගර සූත්‍ර) මහණෙනි! පෙර වුසූ සම්මා සම්බුදු වරයන් විසින් අනුගමනය කරන
ලද පැරණි මග පැරැණි මාවත කවරේ ද යත් බුදු රජාණන් වහන්සේ විසින් තම
ශ්‍රාවකයන් උදෙසා දේශනා කරන ලද පැරණි මාවත කුමක් ද? ඒ (අනුයාත) අනුගමනය
කළ බුදු රජාණන් වහන්සේ ලබාගත් අවබෝධය කුමක් ද?
පිළිතුර :
මහණෙනි ! ඒ පැරැණි මාවත, මේ අරි අටඟ මගමය. එනම් සම්මා දිට්ඨි ප්‍රධාන
අංග අටය. (තමනුගච්ඡි තමනු ගච්ඡන්තො ජරා මරණං අබ්භඤ්ඤාසිං) මම එය
අනුගමනය කළෙමි. අනුගමනය කරනුයෙමි. ජරා මරණ දැන ගත්තෙමි. මෙසේ ජරා මරණ
හටගැනීමම(සමුදය) ජරා මරණ නිරෝධය දැනගතිමි. මෙසේ ජාති, භව, උපාදාන,
තණ්හාව, වේදනාව, ස්පර්ශය සළායතන, නාම රූප හා විඤ්ඤාණය දැන ගත්තෙමි.
එසේම විඤ්ඤාණ නිරෝධ ගාමිනී පටිපදාව දැන ගත්තෙමි .එසේ සංස්කාර හා සංඛාර
සමුදය දැන ගත්තෙමි. එසේම එයින් සංඛාර නිරෝධ හා සංඛාර නිරෝධ ගාමිණී
පටිපාදව ද දැන ගත්තෙමි.
බුදුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හා ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය එක්තැන්
කොට දේශනා කරන ලද සුවිශේෂ අවස්ථාවකි මේ.
|