Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය පියුමක් කරගන්නේ කෙසේද?

ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් අතර ඇති ඇතැම් දේ සදාචාර විරෝධී මිනිසුන් විසින් සිදුකරන ලද සාපරාධී ක්‍රියාවන් බවට පත්ව ඇත. ඒ අතර සොරකම, සත්ව ඝාතනය ආදිය ප්‍රමුඛත්වයට පත්ව තිබේ. සැකෙවින් කිවහොත් මිනිසා කිසිම පැකිලීමකින් තොරව බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පඤ්ච ශීලයේ ශික්‍ෂා පද කඩා බිඳ දැමීමට පුරුදුව සිටියි. එය කෙතරම් පහත් තත්ත්වයට වැටී ඇත්දැයි සඳහන් කළහොත් පඤ්ච ශීලයේ පස්වැනි ශික්‍ෂා පදය යම් පුද්ගලයෙක් ආරක්‍ෂා කරයි නම් එය සලකන්නේ ඔහු තුළ ඇති කිසියම් දුර්වලකමක් ලෙසිනි.

ඔහු සමාජයෙන් කොන්කර තැබීමට තරම් එයට හේතුවක් කරගත් අවස්ථා කොතෙකුත් අසන්නට ලැබෙයි. එම ශික්‍ෂාපදය කැඩූ අඳ බාලයින් සිදු කරනුයේ මුළු සමාජයම දැඩි පීඩාවට පත්කරන ක්‍රියාවන් බව නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන ප්‍රවෘත්තීන්ගෙන් තහවුරු වේ.

ලෝකයේ සත්වයින් අතරින් ඇතැම් සත්වයෝ ඒකචාරීව ජීවත් වෙති. එහෙත් ඒ අතරින් මිනිසා යනු සමූහචාරී සත්වයෙකි. එයට හේතුව මිනිසා සමාජීය සත්වයකු වීමයි. සමාජීය සත්වයන් වන මිනිසුන් අතර විවිධවූත් විෂමවූත් කායික ලක්‍ෂණ මෙන්ම සිතුම් පැතුම් හා රුචි අරුචිකම් වලින් පිරි මානසික ලක්‍ෂණ ද පෙන්වීම සාමාන්‍ය තත්ත්වයකි. මිනිසාගේ හැසිරීම ද එකිනෙකාට වෙනස් වූ ස්වභාවයක් පෙන්නුම් කරනු ඇත.

ඒ අතර යහපත් කටයුතු කරන, අයහපත් කටයුතු කරන, යුතුකම් ඉටු කරන, යුතුකම් ඉටුනොකරන, සත්පුරුෂ මෙන්ම අසත්පුරුෂ ගති පෙන්නුම් කරන ආදී චර්යාවන්ගෙන් යුත් මිනිසුන් සිටිනු දක්නට ලැබෙයි.

එවන් විෂම වූ සමාජයක වරදෙහි නොබැදි දුසිරිත්වල නොගැටී යම් පුද්ගලයෙකුට සිටිය හැකිනම් ඔහු එම සමාජය තුළ සැබවින්ම සුවිශේෂී පුද්ගලයෙකි. එවැනි පුද්ගලයා බුදුසමයේ හඳුන්වා ඇත්තේ පද්මාකාර ජීවිතයක් ගතකරන්නෙකු ලෙසිනි. පද්මය හෙවත් පියුම මඩෙහි හටගෙන එහිම වැඩී මඩ සහිත ජලයෙන් උඩට මතු වී එම මඩ සහිත ජලයෙහි නො තැවරී විකසිතව මුළු පරිසරයම සුවඳවත් කරයි. මඩ ගොහොරුවක ඉතාම ලස්සන මනා සුවඳක් ඇති පියුමක් පිපෙයි. එසේ පිපී විකසිත පියුම ප්‍රදේශයම සුවඳවත් කරන්නාසේ ඇතැම් පුද්ගලයින් ද විවිධ දුබලතා ඇති මිනිසුන් මැද උපන්නේ වූවද ඔවුන් තුළ ඇති විවිධ කිළිටි සමඟ නොගැටී පද්මාකාර ජීවිත ගතකරනු දක්නට ලැබෙයි.

බුදු සමය තුළ ඇති අපේක්‍ෂාව ද එබඳු පුද්ගලයන් ගොඩනැඟිය යුතු බවයි. එවන් පද්මාකාර ජීවිතයක් හෙවත් නිවැරදි දැහැමි ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය උපදෙස් පුද්ගලයාට කොතෙකුත් බුදු සිරිතින් මෙන්ම ශ්‍රාවක චරිතවලින් ද ලබාගත හැකිය.

සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් සියලු කෙලෙස් දුබලතා නැතිකළ බුදුරජාණන් වහන්සේ අනේක විධ වූ දුබලතා ඇති මිනිසුන්ගෙන් පිරි සමාජයේම ජීවත් වූහ.

උන්වහන්සේ ඒ සමාජයේම හැසිරෙමින්, සමාජයට යහපත සලසාදීම වෙනුවෙන් ගම් දනව් පුරා සැරි සරමින්, සදහම් දේශනා කරමින් ලෝකාර්ථ චර්යාවේ නිරතවන්නට විය. එහෙත් සමාජයේ පැවති දුබලතාවලින් කිසිවිටකත් අපවිත්‍රනොවී බුදුන් වහන්සේ වැඩ සිටියහ.

පුණ්ඩරිකං යථා වග්ගු - තොයෙන නුපලිප්පති
නුප ලිත්තෝමිහි ලොකේන – තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මණ

බුදුරජාණන් වහන්සේ ගතකළ පද්මාකාර ජීවිතය පිළිබඳ කියවෙන මෙම ගාථාවෙහි අදහස වන්නේ ජලයෙහි ඉපිද ජලයෙහිම වැඩී ජලයෙන් ඉහළට මතුවී ජලයෙහි නොගැටී සිටිනා රත් නෙළුමක් හෝ සුදු නෙළුමක් පරිද්දෙන් කෙලෙස් ගහන මිනිසුන් අතරම ඉපිද ඔවුන් අතරම, වැඩී කෙලෙසුන්ගෙන් තොරව සමාජයේ ඉස්මතුව නොගැටී වැඩ සිටින නිසාම උන්වහන්සේ ‘බුද්ධ’ නම් වන බවයි.

මෙම පද්මොපමාවේ පරමාදර්ශය බුදුරජාණන් වහන්සේ වන්නේ තත්කාලීන සමාජයේ නානාවිධ වූ විෂම සිතුම් පැතුම් හා චර්යා ධර්මවල නිරත වූ සුවහසක් පුද්ගල කණ්ඩායම් අතර බුදුන් වහන්සේ ඒ කිසිදු මිථ්‍යා මතවාදයක නොගැටී නො ඇලී සිටි හෙයිනි.

උන්වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගැනීමට හැකියාවක් පැවති එකල සිටි එකම කණ්ඩායම වූයේ ශ්‍රාවක සංඝ නමින් එකල ප්‍රකටව සිටි මහ රහත් උතුමන් පමණි. මහ රහතන් වහන්සේලාගේ ජීවිතය ද එකල සමාජයේ ප්‍රකටවූයේ සුපුස්පිත පද්මයන් පරිද්දෙනි.

යථා සංඛාරනස්මිං – උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්ථ ජායෙථ - සුචිගන්ධං මනෝරමං
ඒවං සංඛාර භුතෙසු - අන්ධ භුතෙ පුථුජ්ජනෙ
අතිරෝචති පඤ්ඤාය - සම්මා සම්බුද්ධ සාවකො

“මහ මඟ දැමූ කසළ ගොඩෙහි මනා සුවඳැති සිත්ගන්නා වූ නෙළුමක් පිපෙන්නාක් මෙන් කසළ ගොඩවල් බඳුවූ පුහුදුන් මිනිසුන් අතර උපන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උතුමන් නුවණින් ඒ හැමදෙනාටම වඩා බබළයි.” යන අදහස ඇති ගාථා ද්වය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ ද පද්මොපමාවට සැබවින්ම යෝග්‍ය බව අවධාරණය කරයි.

එබඳු බුදුසිරිත හා බුද්ධ ශ්‍රාවක චරිතවල ඇසුර ලබන බෞද්ධ පුරුෂයා ද යම් පමණකින් හෝ පද්මාකාර ජීවිතයක් ගතකිරීමට උත්සාහවත් විය යුතු ය. එකී උත්සාහවත් වීම තුළ පුද්ගල ජීවිතය පමණක් නොව සමස්ත සමාජය ද යහපතකරා යොමුවන බව මෙහිදී අවධාරණයෙන් පෙන්වාදිය යුතු ය. එම යහපත් බව සමාජය තුළ උදාවන්නේ බුදු සිරිත හා බුද්ධ ශ්‍රාවක චරිත වත්මන් පුද්ගලයා ද තම ජීවිතයට මුහුකර ගන්නේ නම් පමණි. ලෝකය පුරා වෙසෙන මිනිසුන් අතර දක්නට ඇති ප්‍රධානතම දුබලතාවක් වන්නේ ක්‍ෂාන්තිය හෙවත් ඉවසීම නොමැති කමයි. එම නිසා පුද්ගලයා සමාජය තුළ බොහෝ කරදරවලට ලක්වනු දක්නට ලැබෙයි. එහෙත් බුදුසමයේ සඳහන් වන පරිදි උදාර පුරුෂයා කිසිවිටකත් ක්‍රෝධයෙන්, වෛරයෙන්, රාගික සිතිවිලි වලින් සිත කිළිටිකර නො ගනිති.

බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තණ්හා, රති, රගාවන් උත්සාහ කළේ උන්වහන්සේගේ එකී චෛතසිකයන් උද්දීපනය කිරීම සඳහායි. එහෙත් බුදුරජාණන් වහන්සේ ඒ දෙස බැල්මකුදු නො හෙලුවේ තවදුරටත් එම ගොහොරු මඩේ නොගැලීමට තරම් පිවිතුරු බවට පත්ව තමන් වහන්සේ වැඩසිටි හෙයිනි.

අක්කෝසක භාරද්වාජ, කසී භාරද්වාජ, මාගන්ධියා වැන්නවුන්ගේ හැසිරීම් හමුවේදීත් බුදුරජාණන් වහන්සේ කිසිදු තරහක් අමනාපයක් ඇතිකර නො ගත්හ. ඇතැම් රජ, මැති, ඇමතිවරුන්ගෙන් විවිධ වූ සත්කාර සම්මාන උන්වහන්සේට ලැබුණු බව සඳහන් වේ. සැකෙවින් කිවහොත් ලාභ, යස, ප්‍රසංසා, සැප මෙන් අලාභ, අයස, නින්දා, දුක් යන සෑම අංශයකින්ම ප්‍රතිචාර බුදුරජාණන් වහන්සේට විඳින්නට විය. එහෙත් ඒ කිසිවක් හමුවේ කිසිවිටකත් බුදුරජාණන් වහන්සේ නම් චලිත නොවීය. ආවේගකාරී නොවී ය.

එසේ චලිතවී ආවේගකාරී වී ඒ හා ගැටී වැඩ නොසිටියහ. එසේ එම මඩ ගොහොරුවට උන්වහන්සේ නොවැටී සුවඳවත් පද්මයකව වැඩසිටියේ උන්වහන්සේ තුළ පැවති පුරුදු පුහුණු කළ ක්‍ෂාන්තිය හෙවත් ඉවසීමේ ගුණය නිසාවෙනි.

බුදු, පසේ බුදු, මහරහත් උතුමන් වහන්සේලා ඉවසීමෙන් කටයුතු කරන්නා සේ සමාජයේ ජීවත්වන පුද්ගලයාත් ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් තම ජීවිතයට එළඹෙන අභියෝග විසඳා ගැනීමට කටයුතු කරයි නම් ඔහු නිකෙලෙස් උතුමන්ගේ පද්මාකාර ජීවිතයට සමීපවීමට උත්සාහවත් වන්නෙකි.

එපමණක් නොව පුද්ගලයා සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම, දැඩි ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය යන දස විධ අකුසල කර්මවලට ගොදුරු නොවී සල්ලේඛ පටිපදාවෙන් යුක්තවන්නේ නම් එවැනි පුද්ගලයා ද බුද්ධා දි උතුමන්ගේ පද්මාකාර ජීවිතයක් සඳහා හුරු පුරුදු වන්නෙක් ලෙසින් හඳුන්වාදිය හැකිය. බුදුදහම ඇසුරෙන් පුද්ගලයා ඉගෙනගන්නා යහ පුරුදු කවර දුෂ්කරතාවන් හා ආශාවන් තිබුණ ද ඡන්ද, දෝස, භය, මෝහ යන සතර අගතියෙන් අගතිගාමී නොවී ආරක්‍ෂා වීමට වගබලාගත යුතු ය.

නිරන්තරයෙන් පුද්ගලයා හා සමාජය ව්‍යසනයට ලක්වන පඤ්ච දුෂ්චරිතයෙන් වෙන්ව සිත වැඩීමට හේතුවන භාවනානුයෝගී පිළිවෙතට යොමුවීමෙන් පද්මාකාර ජීවිතයක් කරා ළඟාවීමට අදිටන් කරගත යුතු ය. ඇතැමුන් එම නිවැරැදි මඟ හඳුනා නොගෙන සමාජානු යෝජනය වීම සඳහා යැයි සාවද්‍ය මත ප්‍රකාශ කරමින් මත් වතුරට දුම් වැටියට ගොදුරුව කටයුතු කරන්නේ සමාජයේ බොහෝ දෙනකුගේ ද මඩ තවරමින් තම සියොලගේ ද මඩ තවරා ගනිමිනි. බුදු සමය යනු විචාර පූර්වක දහමකි.

එබැවින් විචාර පූර්වක පුද්ගලයන් එවැනි ප්‍රකාශවල නො එල්ලී තම ජීවිතය බුද්ධාදී උතුමන්සේ මඩ ගොහොරුවක් නමැති සමාජයේ හටගත් පද්මයක් සේ මඩේ ද ජලයේ ද නොතැවරී විකසිතව සුවඳ පතුරුවන්නා සේ වැජඹීමට අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් යුතුව කටයුතු කර සුවඳවත් පද්මයක් බවට පත්වනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.