Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු

මහත් වූ දුෂ්කරතා මැද සම්මා සම්බුද්ධත්වයට පත් වූ අප මහා බෝසතාණන් වහන්සේ පන්සාලිස් වසරක් ලොවට ධර්මය දේශනා කළ සේක. අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට වසර 2600 ක් සපිරෙන්නේ 2011 වෙසක් පුන් පොහෝ දිනය.

ඒ වෙනුවෙන් සිදුකරනු ලබන වැඩසටහන් සඳහා සම්බුද්ධත්ව ජයන්තියට කමිටුවක්ද පත්කර ඇත. එම කමිටුවේ ලේකම් ධූරය දරන්නේ හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.කළුපහන මහතාය. ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකින් මේ ලිපිය සකස් කර ඇත.

මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය මහ ඉහළින් සැමරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යය දි.මු.ජයරත්න මැතිතුමා විසින් කටයුතු ආරම්භ කරන ලදී. ඒ සඳහා තෛ‍්‍රනිකායික මහා සංඝ රත්නයේ ආශිර්වාදය, අනුශාසනා හා උපදෙස් ද ලැබී ඇත.

මේ සඳහා 26 දෙනකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කරන ලදී. මේ සියලු කාර්යයන්ට මඟ පෑදුණේ බෞද්ධ සමිති සමාගම් 14 ක් විසින් කරන ලද ඉල්ලීමකි.

බෞද්ධ රටක් ලෙසින් ලොව පිළිගත් ශ්‍රී ලංකාව සම්බුද්ධත්ව ජයන්තිය මෙතරම් ඉහළින් සැමරීමට හේතු වූ කරුණු රාශියකි. වසර 2600 ක් තිස්සේ අප ආ මේ ගමනේ සාර්ථක අසාර්ථක භාවයන් මත මෙවර තේමාව ලෙස ගෙන ඇත්තේ ‘සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු ‘ යන්නයි. වර්තමාන සමාජයේ ඇතිවී තිබෙන පිරිහීම වැළැක්වීමත් සාරධර්ම යළි ගොඩනැඟීමත් මේ පිළිවෙතින් පෙළ ගැස්වීමේ ප්‍රධාන අරමුණ වේ.

කෙතරම් ආඩම්බරයෙන් ප්‍රකාශ කළද වසර දෙදහස් ගණනක බුදුදහමක් පැවතියද අප රට ක්‍රමයෙන් නොදැනුවත්වම සාරධර්ම පිරිහී යන ස්ථානයක් බවට පත්ව ඇත. අපරාධ රැල්ල දිනෙන් දිනම වැඩිවී යයි. මත් උවදුර, බාල දරුවන් අපයෝජනය , ස්ත්‍රී අතවර මේ ආදි නොයෙකුත් සමාජ විෂමාචාරයන්ගෙන් අපේ සමාජය පෝෂණය වෙමින් පවතී.

ඇත්ත තත්ත්වය මෙයයි. මේ තත්ත්වයට අභියෝගාත්මකව මුහුණ දීමද මෙහි එක් අරමුණකි.

අතීතයේ දික්කසාදයක් අසන්නට පවා ලැබුණේ කලාතුරකිනි. එහෙත් අද උසස් යැයි සලකනු ලබන බොහෝ පවුල්වල අය දික්කසාද සඳහා උසාවි ගානේ රස්තියාදු වනු පෙනේ. තම පවුල් ආරක්ෂා කර ගැනීම පළමුව කළ යුතුය. පවුල නම් වන සමාජයේ කුඩාම ඒකකයේ මෙසේ ඇතිවන අවුල් වියවුල් සමාජයේම විශාල විනාශයකි.

මේ සියල්ල දුටු මෙරට බෞද්ධ නාහිමිවරුන් පිළිවෙතින් පෙළ ගැසෙමු. යනුවෙන් මේ ව්‍යසනය වැළැක්වීමට මෙවර 2600 වන සම්බුද්ධත්ව ජයන්තියේදී පියවර ගෙන තිබේ. ඒ සිවුවනක් පිරිස පිළිවෙතින් පෙළ ගැස්වීමෙනි.

මොකක්ද මේ ‘පිළිවෙතින් පෙළ ගැසෙමු ‘ කියන්නෙ?සිවුවනක් පිරිස තමන්ට හැකි උපරිම ආකාරයෙන් සාර ධර්ම ගොඩ නැංවීමට යොමු කිරීම පිළිවෙතින් පෙළ ගැස්වීමේ ක්‍රමවේදයයි. ඒ යටතේ උපාසක උපාසිකාවන් නිසා ශීලය හෙවත් පංච ශීලය රැක ගැනීමෙන් මෙරට සමාජ සංවර්ධනයේ විශාල පිබිදීමක් ඇති කළ හැකිය. පංච ශීලය එක් අතකින් ආගමික ශීලයකට වඩා සමාජයේ ජීවත්වීම උදෙසා ලබා දී ඇති දෛනික දිවි පෙවෙතකි.

පංච ශීලයට අයත් වන කරුණු අතර මුල්තැනක් ගන්නේ අන් අයගේ ජීවිත රැක දීමයි. එමෙන්ම අන් අයට සොර සතුරු බියකින් තොරව ජීවත්වීමට ඉඩ සැලසීමයි. කාමයෙහි වරදවා නොහැසිරීම නිසා සමාජයෙහි විශේෂයෙන්ම පවුල් සංස්ථාවෙහි ගැටලු ඇති නොවේ. මුසාවාදය හෙවත් බොරුව දුරස්වීම තුළින් සමාජයේ සියලු දෙනා තුළ අන්‍යයන් කෙරෙහි විශ්වාසනීයත්වයක් ඇතිවේ. එසේම මදයට හා පමාවට හේතුවන සුරාව ඉවත් කිරීම තුළින් මත්වීමත් සියලු කාර්යයන්හි පමාවීමත් සිදු නොවේ. එමඟින් තමාත්, පවුලත් සමාජයත් සියල්ල ආරක්‍ෂා වේ.

මේ අනුව පංචශීලය නිසි ලෙස රැකීමට ගිහි උපාසක උපාසිකාවන් හුරු කරවීම මෙවර තේමා පාඨයේ මූලිකම අරමුණය. පංචශීල පිළිවෙත ගිහියන් පෙළ ගැස්වීමත් එසේම භික්ෂූන් වහන්සේලාද තමන්ට හිමි සාමණේර හෝ උපසම්පදා භික්ෂූන්ට හිමි ශීලය හෝ නිසි පරිදි රැක ගෙන ගිහියන්ටත් , සසුනටත්, රටටත්, ලෝකයටත් සෙත සැලසීම භික්‍ෂූන් වහන්සේලාට මඟ පෙන්වීම අනෙක් අරමුණය. එසේම සිල් මාතාවන් උදෙසාද නිසි ආකාරයේ ක්‍රම වේදයක් තුළින් එම සිල් මාතාවන්ගේ ශීලයත් රැක දීමටත් ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය රටටත් සසුනේ උන්නතියටත් ලබා දීමටද මෙහිදී බලාපොරොත්තු වේ.

තමන් විසින්ම අදාළ ප්‍රතිපදාවන්හි පිහිටා කටයුතු කිරීමට හුරු කිරීම ‘පිළිවෙතින් පෙළ ගැසෙමු ‘ යන්නෙහි නියමාර්ථය ලෙස ගත හැකිය.

මේ යටතේ ගිහි පැවිදි දෙපාර්ශ්වයම පිළිවෙත් ඔස්සේ සාරධර්ම වර්ධනයට යොමු කිරීම් සිදු කරනු ලැබේ.

බෞද්ධාගම අදහන පිරිස පමණක් නොව සියලු ලක් වැසියන්. එක් කර පිළිවෙතින් පෙළ ගැස්වීමේ මෙම සදාචාර වර්ධන වැඩසටහන දියුණු කර ගැනීමට අපේක්‍ෂා කෙරේ. මේ සඳහා 26 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. එම කමිටුවට භික්‍ෂූන් වහන්සේලා 18 නමක් අඩංගුවේ. ඊට අමතරව බෞද්ධ සංවිධානවල සභාපතිවරු සිවු දෙනෙක්ද රාජ්‍ය නිලධාරීන් සිවුදෙනෙක්ද අන්තර්ගත වේ.

මේ 26 දෙනාගේ කාර්යභාරය වන්නේ සදාචාර වර්ධනය පිණිස ඉටු කිරීමට සැලැසුම් කර ඇති මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමත් ඊට සහාය ලබාදීම හා සහාය ලබා ගැනීමත්ය.

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් හා අනුශාසනා මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර ඇති මෙහෙයුම් කමිටුව මසකට වරක් රැස්වී සාකච්ඡා කර එළැඹෙන තීරණ අදාළ ස්ථානවලට ක්‍රියාත්මක කිරීම සඳහා දන්වනු ලැබේ. සත්‍ය වශයෙන්ම මෙහෙයුම් කමිටුව මූලික කටයුතු සිදු නොකරන අතර අදාළ ආයතනවලට එම කටයුතු සිදු කිරීම සඳහා උපදෙස් ලබාදීම සිදු කෙරේ. මෙම කමිටුවේ මූලිකත්වයෙන් ප්‍රධාන කරුණු 20 ක් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කෙරේ.

මෙම කරුණු 20 අතුරින් 5 ක් විශේෂ හා වැඩි අවධානයට යොමු කළ යුතු කරුණු ලෙසින් සලකා කටයුතු කෙරේ.

1. ශාසනාභිවෘද්ධිය ඇති කිරීම
2. සදාචාර වර්ධනය කිරීම
3. දහම් අධ්‍යාපනය නැංවීම
4. ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි දියුණු කිරීම
5. මාධ්‍ය කටයුතු විධිමත්ව සිදුකිරීම
මේ අතර මුල් තැන් ගත් කරුණු 5 වේ.

ශාසනාභිවෘද්ධිය යටතේ ශාසනයේ දියුණුව වෙනුවෙන් දැනට හඳුනාගෙන ඇති ගැටලු නිරාකරණය කටයුතු කිරීමත් විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට භික්ෂූත්වය පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට යොමු කිරීමත් මෙහිදී සිදු කෙරේ. මේ සඳහා පිරිසක් වැඩි වශයෙන් තෝරා ගැනීමට අපේක්‍ෂිතය.

එසේම විහාරස්ථාන හා අවට දකින අයට ප්‍රසන්න පෙනුමක් ලබාදීමත් මේ යටතේ සිදු කෙරේ. මේ සඳහා ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් වැඩමුළුද පැවැත්වේ. මාතලේ දිස්ත්‍රික්කයේ මේ වන විටත් වැඩමුළු දෙකක් පවත්වා ඇත.

එසේම විහාරස්ථාන කළමනාකරණයටද මෙහිදී අවධානය යොමු කෙරේ. ඒ සඳහා දායක දායිකාවන්ගේ සහාය ලබා ගැනීමද මෙහිදී සිදු කිරීමට අපේක්‍ෂිතය. අතීතයේ පැවැති ගමයි පන්සලයි අතර තිබූ සබැඳියාව යළිත් ඇති කිරීමේත් මේ කර්තව්‍යය පහසුවෙන් කර ගත හැකි බව මෙහිදී අපේක්‍ෂිතය.

එක් හිමිනමක්වත් එක් පන්සලකින් සසුන් ගතකිරීම ශාසන උන්නතියේ දියුණුව සඳහා ගන්නා පියවරක් ලෙසත් සලකනු ලැබ ඇත.

මේ වනවිට 2009 වසරේ සිටදරුවන් 306 දෙනකු සසුන් ගත කර ඇත.

සදාචාර වර්ධන කටයුතු උදෙසා මේ කටයුතු ප්‍රාදේශීය මට්ටමින් සිදුකිරීම අරමුණය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙම සදාචාර වර්ධනය ක්‍රියාවට නැංවීමටද අදහස් කෙරේ.

මෙහිදී ශාසනයට ඇතුළු කරන සාමණේර හිමිවරුන් කැපකරු මාපිය ක්‍රමයේ ඇතුළත් කිරීමටද කටයුතු යොදා ඇත. 1990 වසරේ මුල් භාගයේදී අරඹන ලද මෙම කැපකරු මාපිය (සාමණේර හිමිවරුන්) ක්‍රමය යටතේ අධිශීලයෙහි පිහිටන තුරු එම කැපකරු මාපිය ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම ආගමික කටයුතු අමාත්‍යංශයෙන් අඩුපාඩු සහිත විහාරස්ථානයන්හි එම අඩුපාඩු සම්පූර්ණයෙන්ම දුරු කරලීමටද මේ යටතේ පියවර ගනු ඇත.

දස සිල් මාතාවන් උදෙසාද ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා කටයුතු කිරීමද මෙහිදී සිදු කෙරේ. අපේ රටේ පමණක් නොව ලොව කිසිදු තැනක මෙහෙණි සස්න (භික්‍ෂුණී ශාසනයක්) මේ වන විට නොමැති බව අපගේ මහනායක හිමිවරුන්ගේ මතය වී ඇත. එහෙයින් දසසිල් මාතාවන්ගේ ආරාම කටයුතු ආදියද සොයා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සඳහා පියවර ගැනීමද මීට සමාගමීව සිදු කෙරේ.

සදාචාර වර්ධනය යටතේ හෝ පැවැති සදාචාර වර්ධනය ගුණ දහම් යළි සමාජය තුළ ඇතිකිරීම මෙහිදී හේතුවේ. අපරාධ සියල්ල අවම කිරීමද මේ යටතේ අපේක්‍ෂා කරනු ලබන තවත් වැදගත් වූ සදාචාර අංගයකි. අද වන විට අපරාධ රැල්ල ඉතා ඉහළ මට්ටමක පවතින බව සංඛ්‍යාලේඛන වලින් මෙන්ම දිනපතාම මාධ්‍යවලින්ම අසන්නට ලැබේ.

එසේම වර්තමානයේ අපරාධ ඉතා සූක්ක්‍ෂම අන්දමින් සිදු කිරීමට අපරාධකරුවන් පෙළඹී ඇති අයුරු පැහැදිලිව පෙනේ.

කලකට පෙර හොර මත්පැන් සමාජ විරෝධී ක්‍රියාවක් ලෙසින් පත්වන නමුත් අද වන විට මත් ද්‍රව්‍ය මත්පෙති මෙන්ම ඖෂධ ලෙසින් සැකසූ මත් ද්‍රව්‍යයද වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත. පාසල් තුළට පවා මෙය පැතිර ඇත. ගුරුවරයා සිසුන්ට මත් ද්‍රව්‍ය ලබාදෙන පරිසරය තුළ සාරධර්ම ගොඩ නැගිය නොහැකිය. මවත් දුවත් එකම දින වෙනත් පුරුෂයන් සමග පැන ගිය පුවතක් පසුගියදා වාර්තා විණි. මේ තත්ත්වය මත සාරධර්ම ගොඩ නඟන්නේ කෙසේද?.

මෙය අප ඉදිරියේ ඇති පැනයයි. වැඩිහිටියන්ට සැලකීම වැනි හෝ පැවැති මූලික සාරධර්ම පවා අද ඉවත්ව ගොසිනි. පාසල් ගුරුවරයකුට පමණක් නොව තම මවට පියාට පවා බස් රථයේ අසුන නොදී දරුවන් අසුන්ගෙන යන අවස්ථා පවා අද දක්නට ඇත. මේ තත්ත්වය ඉවත් කර සදාචාර වර්ධනය කිරීම පිළිවෙතින් පෙළ ගැසිමේ ක්‍රමෝපායන් අතරට අයත්වේ.

එසේම දහම් අධ්‍යාපනය නැංවීම උදෙසා දහම් පාසල්, පිරිවෙන් ඇතුළු සියලුම බෞද්ධ අධ්‍යාපනය නැංවිය හැකි ක්‍රමෝපායන් කරා අවධානය යොමු කිරීමද මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.

දහම් පාසලේ සිසුන්ගේ දැනුම කුසලතා වර්ධනය පිණිස අවශ්‍ය කටයුතු යෙදීමත් මෙම දහම් අධ්‍යාපනය නැංවීම යටතේම සිදු කෙරේ. ථේරවාද බෞද්ධ රටවල් සමඟ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීමත් එම රටවල් සමඟ දූත පිරිස් හුවමාරු කර ගැනීමත් එමඟින් ජාත්‍යන්තර ලෙසින් බෞද්ධාගමට ප්‍රබෝධයක් ඇති කරලීමත් මෙහි තවත් අරමුණකි. වෙසක් පොහෝ දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබුණේ මේ නිසාය.

එසේම මාධ්‍ය හා සම්බන්ධ වැඩ පිළිබඳවද මේ අතර බෙහෙවින් වැදගත් වේ. එමඟින් බෞද්ධ දැක්ම අරමුණ පරමාර්ථ හා මෙම වැඩසටහන සම්බන්ධව ජනතාව දැනුවත් කළ හැකිවනු ඇත.

“පිළිවෙතින් පෙළ ගැසීමේ “ වැඩසටහන ඔස්සේ මෙරට නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරලීමට ගනු ලබන මේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට සියලු ගිහි පැවිදි පුද්ගලයන්ගේ සහාය ලබාදීම යුතුකමක් හා වගකීමක්ද වන්නේය.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.