Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීල ධනය

මනුෂ්‍ය ජීවිතයක සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහුගේ හෝ ඇයගේ කායික වාචසික හික්මීම තුළ ය. මිනිස් චර්යාවන්ගේ සාර්ථකත්වය මුදල් මත පමණක් ම රඳා නොපවතී. එයට සීලය හෙවත් හික්මීම ද අත්‍යවශ්‍ය වේ. ඒ අරුතින් ගත්කල සීලය ද මිල කළ නොහැකි ධනයකි. අංගුත්තර නිකාය පඤ්චක නිපාතයේ පංචධන සූත්‍රයට අනුව සීලය යනු ධනයකි. “කතමඤ්ච භික්ඛවේ සීලධනං ඉධං භික්ඛවේ අරියසාවකෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති පෙ: සුරාමේරය මජඣපමා දට්ඨානා පටිවිරතෝ හෝති ඉධං උච්චති භික්ඛවේ සීල ධනං” මහණෙනි, සීල ධනය කවරේද? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේද එය සීල ධනය යි.

බුදු දහමෙහි ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය යි. ඊට අමතරව දස සිල්, අට සිල්, සතර සංවර සීලය ලෙස ප්‍රභේද වෙයි. තවද පහාන සීල, වේරමනී සීල, චේතනා සීල, අවිතික්කම සීල වශයෙන් ද පස් වැදෑරුම් වේ. මෙයින් අට සිල් සහ දස සිල් පොහොය දින වලදී උවැසි උවැසියන් විසින් ද සමාදන් වන සීලයන්ය. එසේම දස සීලය සාමණේරයන් වහන්සේලා ද සමාදන් වේ. මේ ආදී වශයෙන් ගත් කල බුදු දහමේ ආචාර විද්‍යාත්මක අංශයට ගැනෙන සීලය නොයෙක් ආකාරයෙන් දක්වා ඇත. මේ හැම සීලයකින්ම කරනු ලබන්නේ මිනිසා හික්මවීම ය. එසේත් නැතිනම් සංවරයට පත්කිරීම යි. විශේෂයෙන්ම පංචසීල ප්‍රතිපදාව ගත් කල ඒ තුළ ප්‍රධාන වශයෙන්ම අංශ දෙකකි.

1. කායික සංවරය
2. වාචසික සංවරය වශයෙනි.

මෙම පංචසීල ප්‍රතිපදාව අබුද්ධොත්පාද කාලයන්හි පවා පැවති බවට ජාතක කතාවන් සාක්‍ෂි දරයි. විශේෂයෙන්ම කුරු ධම්ම ජාතකය, වට්ටක ජාතකය මෙයට කදිම නිදසුන්ය. එසේම ජෛන සාසනය තුළද ශික්‍ෂා පද හතරක් පැවති බවට සාධක හමුවේ. එය “උවාසග දසාධී” නමින් හඳුන්වා ඇත.

දීඝ නිකායේ මහා සුදස්සන සූත්‍රයට අනුව බෝසතාණන් වහන්සේ පූර්ව භවයක කළ කුසල කර්මයක හේතුවෙන් මහා සුදස්සන නම් චක්‍රවර්තිව ඉපදුනහ. ඊට හේතුව පෙර බවයේ රැකි සීලය යි. මෙහි “දම යනු සිත දැමීමෙන් කළ පෙහෙවස් විසීම හා සංයමය යන්නෙන් සීලය ද කියවෙතැයි අට්ඨකතාවේ විස්තර වේ.”

බෞද්ධ දර්ශනයේ මෙන්ම අන්‍ය දර්ශන තුළ ද “සීලය” යන්නට සමාන ප්‍රතිපදා දක්නට ඇත. ඒවා මෙතරම් ක්‍රමවත් නොවූව ද එවැනි ප්‍රතිපදා ඇතිබව කිවයුතු ය. අන්‍ය දර්ශනයන්හි “තපස්” යන්න මෙයට යොදා ඇත.

බුදු දහම තුළ ප්‍රතිපත්ති පූජාව ට මූලිකත්වය ලබාදෙයි. බුදු දහමේ දැක්වෙන්නේ,

“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ”

යනුවෙනි. මෙයින් ප්‍රකාශවන්නේ මනා නුවණැත්තා සීලයෙහි පිහිටා සමාදියත්, ප්‍රඥාවත් වඩන බවයි. බෞද්ධ දර්ශනයේ පරමාර්ථයත් ප්‍රඥාව ලබාගැනීම යි. එයට යන ගමනේ දී සීල, සමාධි, ප්‍රඥාවෙන් යුතු අරි අට මඟ වැදගත් වේ. “සීලය ඇති තැන ප්‍රඥාව ඇත, ප්‍රඥාව ඇති තැන සීලය ඇත. සිල්වතාට නුවණ ඇත, නුවණැත්තාට සිල් ඇත.” යනුවෙන් සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ප්‍රකාශ කළ කල්හි බුදුරදුන් එය අනුමත කර වදාළ සේක.

සීලචාරිත්‍ර හා වාරිත්‍ර වශයෙන් දෙයාකාර වේ. නියම සීලය වාරිත්‍ර සීලය වුව ද චාරිත්‍රයෙන් තොර වාරිත්‍රයක් නැත. “වත්තං න පරිපූරෙන්ති න සීලං පරිපූරති” වත් නොපුරන්නාට සිල් නොපිරේ යැයි පවසන්නේ එහෙයිනි. එසේම සමාජයක යහපැවැත්ම රඳාපැවතීමට උගත්කම ම ප්‍රමාණවත් නොවේ. එම උගතුන්ගේ හික්මීම හා සංවරය ඉතා වැදගත් වේ. උගත්කමින් පමණක් පෝෂිතවූ පුද්ගලයා බැබළීමට පත් නොවේ. “සීලමෙව සුතා සෙය්‍යො” ලෙස දැක්වෙන්නේ සීලයෙන් තොර උගත්කම හුදෙක් තමන්ගේ මෙන්ම අනුන්ගේ ද අයහපතට හේතුවන බවයි. “සීල ගන්‍ධ සමො ගෙන්‍ධා කුතො ගාමං භවිස්සති” යනුවෙන් සිල් සුවඳ හා සමාන සුවඳක් ලොව නැති බව බුදුරදුන් දේශනා කර ඇත.

ස්වභාවයෙන් ම සීලය මිනිසාට ආභරණයක් නොවේ. එය ආභරණයක් කරගත යුත්තේ මිනිසා ය. එනම් සමාදන් වූ සීලය ආරක්‍ෂාකර ගැනීමෙනි. ඔබ නිත්‍ය සීලය ලෙස පංච සීලය කොතෙක් සමාදන්ව ඇද්ද? පොහෝ දින අට සිල් සමාදන්වීම ආදී යහපත් සිරිත් පිළිපැදීම තුළ ඔබට චාරිත්‍රමය සීලය සම්පූර්ණ කරගත හැකිය. එයින් අවබෝධ වන එක් දෙයක් නම් “ඔබ සීල ධනය රැස්කරගත් අයෙකු බවය” සීලය නිසි ලෙස පූරණය කරන්නා, ධර්මයට අනුව “අනවජ්ජ සුඛ” ලැබූවෙක් වෙයි. මන්දයත් සීලය තුළ පිහිටා කරන සියලු ක්‍රියාවන් යහපත් ක්‍රියාවන් බවට පත්වන නිසාය. ඒ තුළ නිරෝගි සැප වැඩිවීම පමණක් නොව ඔබ ගත කරන නිවැරදි ජීවිතය ගැන සිතා ඔබටම සතුටු විය හැකිය.

බුදු දහමට අනුව සිල් රැකීමට කාලයක් දිනයක් වේලාවක් වයස් බේදයක්, පාට පක්‍ෂ බේදයක් නැත. එය ශ්‍රද්ධාවෙන් තම දිවි දෙවෙනි කොට රැකිය යුතු ය.

“කිකී ව අණ්ඩං චමරී ව වාලධිං - පියං ව පුත්තං නයනං ව රකකං
තථෙව සීලං අනුරක්‍ඛ මානකා - සුපේසලා හොත සදා සගාරවා”

බිත්තර රකිනා කිරලෙකු මෙන් ද, වල්ගය රකිනා සෙමර මුවෙකු මෙන්ද, එකම පුතු රකිනා මවක මෙන්ද, එකම ඇස රකිනා කෙනෙකු මෙන් සීලය රැකිය යුතුය. මෙයට කදිම නිදසුනක් ශාසන ඉතිහාසයෙන් සොයා ගත හැකි ය. මහා වත්තනි වනයේ විසූ තෙරුන් වහන්සේ කෙනෙකු සොරුන් විසින් රස කිඳ වැලකින් බැඳ දැමූහ. එවිට උන්වහන්සේ ශික්‍ෂා පද බිඳෙතැයි වැල නොකඩා සත් දවසක්ම එහිම හිඳ භාවනා කොට අනාගාමීව බඹලොව උපන්නේ ය. තවද ලක්දිව විසූ එක්තරා සොර මුලක්, එක් තෙරනමක් රසකිඳ වැලකින් බැඳ දැමූහ. එකල්හි ලැවු ගින්නකින් වනය දැවී ගොස් උන්වහන්සේ ගින්නට අසුව රහත්ව පිරිනිවී සේක.

එසේම සමාදන් වන සීලය පිරිසුදු වන්නේ කෙසේද යන්න පිළිබඳව විසුද්ධි මාර්ගයේ දක්වන්නේ මෙසේය. “සමාදන් වූ සීලය කඩ නොකොට මනාකොට ආරක්‍ෂාකර ගැනිමෙන් ද, කැඩුණු සිල් පද, වත් මානත් පුරා ඇවැත් දෙසා පිරියම් කරගැනීමෙන් ද සත් ආකාර මෛථුන්‍ය ධර්මයෙන් වෙන්වීමෙන් ද, ක්‍රෝධ උපනාහ, මක්ඛ පලාස ආදී පාප ධර්මයන් දුරුකොට අල්පේච්ඡතාව ලද දෙයින් සතුටුවීම ආදී ගුණ ධර්මයන් වර්ධනය කරගැනීමෙන් ද සීලය පිරිසුදු බවට පත්වේ.” බෞද්ධ ආචාර විද්‍යාවට අයත්වන සීලය පිරිසුදු වීමේ ක්‍රම දෙකකි.

1. සිල් බිඳගැනීමේ දොස් දැකීම,
2. සිල් ආරක්‍ෂා කිරීමේ ආනිසංස දැකීම,

තවද, සීලය ආරක්‍ෂා කිරීම තුළ ප්‍රධාන වශයෙන් ආනිසංස පහක් ලැබේ.

1. මහත් වූ සැප සම්පත් ලබයි.
2. මහත් වූ කීර්තියක් ලබයි,
3. රජ බමුණු ආදි පිරිසක් මැද වුවද විශාරදව නොපැකිලිව ගමන් කරයි.
4. සිහියෙන් යුතුව කාල ක්‍රියා කරයි,
5. මරණින් මතු සුගතියෙහි උපදී.

සීලය ආරක්‍ෂා නොකිරීම, එසේත් නැතිනම් සිල් පද බිඳ ගැනීම තුළ ද දෝෂ පහක් ඇත. දුස්සීල වූ පුද්ගලයාට අත්විදීමට සිදුවන කාරණා පහකි.

1. මහත් වූ බෝග විනාශ වෙයි
2. කීර්තිය විනාශ වෙයි
3. නිතරම මුළු ගැන්වෙයි.
4. සිහි මුලාව මියයයි.
5. මරණින් මතු දුකට පත්වෙයි.

මෙම කරුණු වලට අමතරව සිල් වත් බව හා දුසිල් වත් බව තුළින් ලැබෙන ප්‍රතිඵල රාශියකි. එය එදිනෙදා ජන ජීවිත දෙස බලන විට පෙනීයයි.

සීලයෙහි උසස් බව කොතරම් ද යත්, සිල් සුවඳ හැම සුවඳකටම වඩා උතුම් බව ධම්ම පදයේ පුප්ඵ වග්ගයේ දොළොස්වන ගාථාව තුළින් පැහැදිළි කරයි.

“චන්දනං තගරං වාපී – උප්පලං අත වස්සකී
එතේසං ගන්‍ධ ජාතානං - සීල ගෙන්‍ධී අනුත්තරෝ”

සඳුන් සුවඳ මල් සුවඳ ආදි දෑ අතුරෙන් සිල් සුවඳ ඉතා අගනේ ය. සිල් සුවඳ දෙව්ලොව පවා පැතිර යන බව ධම්මපදයේ දහතුන්වන ගාථාව තුළින් පැහැදිළි කරයි.

“අප්පමත්තෝ අයං ගෙන්‍ධී - යායං තගර චන්දනී
යොච සීල වතන් ගෙන්‍ධී - වාති දේවේසු උත්තමෝ”

මල් සුවඳ උඩු සුළඟට නොහමන බව සත් ගුණවතුන්ගේ සිල් සුවඳ උඩු සුළඟේ පවා හමන බවත් පුප්ඵ වග්ගයේ එකොළොස් වන ගාථාව තුළ දැක්වෙයි. ධම්මපදට්ඨ කථාව තුළ ද මේ සම්බන්ධව කථා රාශියක් දක්නට ලැබේ. සිල් සුවඳින් සසුන බැබළවූ ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ නොයෙක් අවස්ථා වලදී බුදුරදුන් අගයකර ඇත.

සීලය තුළ ප්‍රධාන වශයෙන් ම පාපයට හා ලජ්ජාවට බිය පවතී. එවැනි පුද්ගලයා දස කුසල කර්මයන්හි නිරන්තරයෙන් යෙදේ. එවැනි පුද්ගලයන් සතුන් මැරීමෙන් වළකී, සතුන් වෙත මෛත්‍රිය, කරුණාව දක්වයි. සොරකම් සිදු නොකරන අතර දන් දීම් ආදියෙහි යෙදේ.

සීලාචාරව තම දිවි පැවැත්ම ගෙන යයි. බොරුවෙන් මිනිසුන් මුළා නොකරන අතර අර්ථ විරහිත වදන් කතා නොකරයි. එසේම රහ මෙර පානය කිරිම තුළින් තම ප්‍රකෘති සිහිය විකෘති කර නොගනියි. එවැනි පුද්ගලයා බිරිඳට සැමියෙක් ලෙස ද, දරුවන්ට ආදර්ශමත් පියෙකු, මවක ලෙස තම යුතුකම් ඉටුකරමින් ජීවත්වෙයි. එවන් අය සැබැවින් ම “මනුස්ස” යන්නට ගැලපෙන අයුරින් තම ජීවන වටපිටාව නිර්මාණය කරගැනීමට පෙළෙඹේ.

තවද තමන් සිල් වත් යැයි ලොවට හැඟවීම කුහක පිළිවෙතකි. “සීලය” වැරදි ලෙස අවබෝධ කර ගැනීමකි. සැබෑ සීලවන්තයා යනු තමා සිල් වත් යැයි නොපවසයි. දෙව්දත් තෙරුන් පංච වරයක් ඉදිරිපත් කරන ලද්දේ ද මේ කුහකත්වයෙනි.

සීලය උසස් ධනයක් වන්නේ එය පැවැරිය නොහැකි, සොර සතුරෙකුට ගත නොහැකි, උසස් ප්‍රතිපදාවක් නිසාවෙනි. බුදු දහමේ එන සීලය චිත්ත පාරිශුද්ධිය පදනම් කරගත් ප්‍රඥාව ලබා ගැනීමේ අනුපූර්ව ප්‍රතිපදාවකි. බුදු දහමෙහි එන අනෙක් දහම් කරුණු මෙන් ම සීලය ද අනුපූර්ව ප්‍රතිපදාව පදනම් ව ගොඩනැඟුනකි. විශේෂයෙන් සමාජයක ගැටුම් හා ප්‍රශ්න අවම කර සාමකාමී නිරවුල් පරිසරයක් බිහිකිරීම එහි විශේෂ ලක්‍ෂණයකි.

සමාජයක් යනු පුද්ගල එකතුවකි. සමාජය ප්‍රශ්න ගැටළුවලින් යුක්ත ය. පෞද්ගලික හා සමාජ ප්‍රශ්න මතු වන්නේ කායික, වාචසික, මානසික, සංවරයෙන් තොරව ක්‍රියා කරන විටය.කය සිත වචනය සංවර වු කළ ප්‍රශ්න තුනීවී යයි. මේ සඳහා දස සිල් අට සිල් නොමැති වුවද පන්සිල් ප්‍රමාණවත් ය. ගැටළු ව තිබෙන්නේ සීල ප්‍රමාණය මත නොව අප එය ආරක්ෂා කිරීම හෝ නොකිරීම මතය. නිත්‍ය සීලය වන පංච සීලය හික්මීම හා සමාජ ගැටළු විසඳීමට ප්‍රමාණවත් වේ.

මිනිසා සත්ත්වයා මෙන් ම ගහ කොළ වලට හානි පමුණු වන්නේ නැතිනම් එතන “පාණාතිපාතා” යන ශික්ෂා පදය ආරක්ෂා වේ.

එය තුළ විශේෂයෙන් ම මානව නිදහස ආරක්ෂා වේ. යමෙක් සොර කමෙන් තොර වන්නේ නම් අනෙකාගේ භාණ්ඩ දේපළ ආරක්ෂා වේ. ගැටුම් අවම වේ. එසේම පොදුජනයා සතු දේපළ සොරකම් කිරීම තදබල වැරැද්දකි. මේ තුළ දුගී දුප්පත් බව ඉහළ යාහැකිය. “අදින්නාදානා” ශික්ෂා පදය පිළිපදින්නේ නම් ගැටුම් අවම කරගත හැකිය. රටක නීතිරීති ධර්මතා සංස්කෘතියට ගරුකරන විට කාමාශාව පාලනය කරන විට තුන් වන ශික්ෂා පදය ආරක්ෂා වේ. ඒ තුළින් දික්කසාදය, මව පිය අහිමි වීම වැනි සමාජ ගැටළු පැන නොනඟී. මිනිසුන් මුළාවට පත් නොකිරීමෙන් මුසාවාද ශික්ෂාපදය ආරක්ෂා වේ. මිනිසා අප්‍රමාදයට පත් කරන සුරාපානය අත් හැරි විට පස් වන සිල් පදය ආරක්ෂා වේ. මෙය ක්‍රියාවට නැගීමේ දී වඩාත් උචිත වන්නේ තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීම ය. විනය පිටකයේ එන “සාගත” හිමියන් මීට කදිම නිදසුනකි. විසකුරු සතෙකු වුවද තම ආධ්‍යාත්මික බලයෙන් දමනය කළ හැකි වුවද සාගත හිමියන් සුරාපානය කළවිට ගැඩවිල්ලෙකුවත් දමනය කරගත නොහැකි විය. නූතන සමාජයේ ප්‍රශ්න ඉතා සංකීර්ණය. මෙවන් ප්‍රශ්න විසඳීමෙහි ලා සීලය ඉතා වැදගත් වේ. එය සැබැවින් ම අපට වැටහෙන්නේ සීලය ආරක්ෂා කරන්නට උත්සුක වූ විට ය. බෞද්ධයා විසින් සිදුකළ යුතු වන්නේ ශක්ති ප්‍රමාණයෙන් සීලය ආරක්ෂා කිරීම ය. එය දෙලොව දියුණුවට ද හේතු වේ. අප වැඩි කළ යුත්තේ සිල් ගනු ලබන වාර ගණන නොව එය ආරක්ෂා කරනු ලබන වාර ගණන ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.