Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙණිපිටිය ශ්‍රී න්‍යග්‍රෝධාරාම විහාරය


සීමා මාලකය

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ කොට්ඨාසයට අයත් දෙණිපිටිය අතිශයින් වැදගත් මෙන්ම පෞරාණික ග්‍රාමයකි. ක්‍රි.ව. 1780 - 1810 අතර කාලයේ මාතර යුගයට හිමිකම් කියන ප්‍රකට කිවිඳීය වූ දෝන ඉසබෙලා කොරනේරියා පෙරුමාල් හෙවත් ගජමන් නෝනා කිවිඳීයගේ නුගරුක වැනුම නම් කවි පන්තිය හා දෙනිපිටිය ග්‍රාමයද බැඳුණු නිසා එය ඉතිහාසයේ කියැවෙන නමක් බවට පත්විය.


පැරැණි නුගරුක හා චෛත්‍යය

මෙම දෙණිපිටිය නම් ග්‍රාම වරයේ ගජමන් නෝනා විසින් ඇගයුම් කොට කවි කී නුගරුක සමීපයේ ම දෙණිපිටිය ශ්‍රී න්‍යග්‍රෝධාරාම මහා විහාරය පිහිටා ඇත. ක්‍රි.ව. 1775 දී තෙල්ලඹුරේ ශීලානන්ද නම් ස්වාමීන් වහන්සේ නමක් මෙම විහාරය ආරම්භ කොට ඇත. දෙණිපිටිය නුගරුක අසලට පැමිණි ගජමන් නෝනා කිවිඳීය දෙණිපිටිය ශ්‍රී න්‍යග්‍රෝධාරාම මහාවිහාරය වැඳ පුදාගත් බව ඓතිහාසක ලේඛන සාක්ෂි දරයි. තෙල්ලඹුරේ ස්වාමීන් වහන්සේ වසර 18 ක් පමණ එහි වැඩ සිට ඇත.

දැනට දකුණේ ඇති විශාල දාගැබ්වලින් එකක් වන මෙම විහාරයේ දාගැබේ අඩක් මෙන්ම පෞරාණික චිත්‍ර සහිත විහාර ගෙය නිමවා ඇත්තේ උන්වහන්සේ ගේ යුගයේදී ය. මෙයින් පසු ක්‍රි.ව. 1887 දක්වා කිසිදු ස්වාමීන් වහන්සේ නමක් මෙම විහාරස්ථානයේ වැඩ සිට නැත. 1887 දී දෙණිපිටියේ ප්‍රභූ® පිරිසක් මල්වතු මහා විහාරයේ අනුදැනුම මත බොරාල ශ්‍රී නන්දාරාම මා හිමියන් බොරාල ශ්‍රී සුනන්දාරාමය නම් විහාරස්ථානයේ සිට වැඩමවා ගෙන වුත් විහාරස්ථානය උන්වහන්සේට පවරා ඇත.


සැතපෙන පිළිම වහන්සේ

වැලිගම අග්‍රබෝධි රජමහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාල අග්‍රගණ්‍ය පඬිරුවනක් වන බද්දේගම ධම්මරතන නායක ස්වාමින් වහන්සේ වෙතින් අධ්‍යාපනය ලද බොරාල නන්දාරාම නා හිමියෝ ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනය ලබා ප්‍රවීණ පණ්ඩිත උපාධියෙන් ද වෛද්‍ය ශිරෝමණී උපාධිය ද විශිෂ්ට ලෙස සමත් වූහ.


ශාස්ත්‍රපති දම්පහල ධම්මපාල හිමි

උන්වහන්සේ දේශීය වෙදකමේ ප්‍රවීණයෙක් දවූහ. ඉතා අලංකාර ලෙස පුස්කොල පොත් ලිවීමෙන් ඉංගී‍්‍රසි පාලකයන්ගේ පවා පැසසුම් ලබා ඇත. ප්‍රදේශයේ සෑම ආරාමයකම දැනට ඇති තල්පත් වල ලියන ලද පුස්කොල පොත් බොරාල ශ්‍රී‍්‍ර නන්දාරාම ස්වාමින් වහන්සේ අතින් ලියවුනු ඒවාය. උන්වහන්සේ බොහෝ පාලි පොත් සඳහා සංස්කරණ ග්‍රන්ථ ද ලියා ඇත. අඩක් පමණ ඉදිකොට තිබූ චෛත්‍ය සම්පූර්ණ කොට අංග සම්පූර්ණ ආරාමයක් බවට පත් කළේ බොරාල ශ්‍රී නන්දාරාම නා හිමිපාණන් ය. ක්‍රි.ව. 1952 දී උන්වහන්සේ අපවත්වීමෙන් පසු ශිෂ්‍ය දෙණිපිටියේ ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන්වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූහ. උන්වහන්සේ පිරිත් දේශනයට හා දේශීය වෙදකමට ද දක්ෂ වූහ.

1985 වසරේ ධම්මාලංකාර නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු හැව්වෝවිට ධම්මාරාම ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූහ. විහාර කර්මාන්තයේ අඩුපාඩු සපුරා 1964 වසරේ දී ශ්‍රී‍්‍ර න්‍යග්‍රෝධාරාම දහම් පාසල ආරම්භ කළේ හැව්වෝවිට ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. වර්තමානයේ මෙම දහම් පාසල මගින් විශාල ශිෂ්‍ය පිරිසකට දහම් අධ්‍යාපනය ලබාදෙයි.‍


ඉතිරි වී ඇති පැරැණි කැටයමක්

වහලය දිරා කඩා වැටීම හා බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමාදිය ජරාවාසව තිබීම නිසා ඒවායේ ප්‍රතිසංස්කරණයක් 1972 දී ආරම්භ කොට ඇත. මහනුවර සම්ප්‍රදායේ ප්‍රතිමා චිත්‍ර නිර්මාණය කොට තිබූ විහාරයේ ප්‍රතිමා හා චිත්‍ර නවීන ලෙසින් සැකසීම නො දැනිමකින් හෝ අත්වැරදීමකින් සිදුව තිබීම සෝචනීය වූවකි. දැනට පෞරාණික අංගයක් ලෙස ඉතිරිව ඇත්තේ විහාරයේ ඇතුළත උළුවස්සට යොදා තිබූ ඉතා අලංකාර හංස පූට්ටුව පමණි.


බෝධීන් වහන්සේ

1999 වසරේ හැව්වෝවිට ධම්මාරාම ස්වාමීන් වහන්සේසේගේ අපවත් වීමෙන් පසු දෙණිපිටියේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ සහ හැව්වෝවිට ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති දම්පහල ධම්මපාල ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වූහ.

ධම්මපාල හිමියන්ගේ විහාරාධිපතීත්වය තුළ දී නළ ජලය සැපයීම, ලැගුම්ගෙවල් සහිත දෙමහල් දාන ශාලාවක් ඉදිකිරීම, කැඩි බිඳී ගිය ආරාමික කොටස් ප්‍රතිසංස්කරණය කිරීම, විහාර භූමිය වටා ආරක්ෂිත ප්‍රාකාරයක් ඉදිකිරීම් වැනි දේ කිසිවකුගේ ආධාරයකින් තොරව ස්ව ශක්තියෙන් සිදුකර ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.