උපහාර ලද යුතු
බුදුපුත් මව් පියන්
පැවිද්ද කෙනෙකුගේ
දෙවන උපතයි. පළමු උපතෙන්
උරුම කරගත් පිය උරුමය (වාසගම)
පවා අත්හැර දමා තමා උපන් ගමේ නමින් හැඳින්වීමෙන්
ඔහු පොදු බවට පත් කරයි. බුදුරජාණන් වහන්සේගේ සිය උරුමයට
හිමිකරුවෙකු කරයි. ජනගහණය ලක්‍ෂ දෙසීයක් පමණ වෙසෙන, බෞද්ධ රටක් වශයෙන්
හඳුන්වන නමුදු
ශ්‍රී ලංකාවේ අපට භික්‍ෂූන් වහන්සේ ලක්‍ෂයක් ඇතිකරගත නොහැකි වීමෙන්ම
පැවිද්දේ අසීරු බව තේරුම් ගත හැකි වෙයි.
ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි
ශ්‍රී ලංකා ධම්ම විහාරාධිපති
නෙළුවාකන්දේ
ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ වෙතට වරක් පැමිණි මහානාම ශාක්‍යයා, කෙනෙකු බෞද්ධයෙකු
වන්නේ කෙසේදැයි විමසා සිටියේ ය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ
තෙරුවන් සරණයාමෙන් කෙනෙකු බෞද්ධයකු වන බවයි. බෞද්ධ සමාජය භික්‍ෂු,
භික්‍ෂුණී, උපාසක හා උපාසිකා යන සිව් පිරිසෙන් සමන්විත වේ. ලොව පුරා
විසිරී සිටින සමස්ත බෞද්ධයින්ට 2011 වර්ෂයේ එළඹෙන වෙසක් පොහොය අතිශය
වැදගත් පොහොයකි.
ඒ සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පසක් කරගෙන වසර 2600 ක්
සපිරීමයි. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පිණිස දැන් සිටම විවිධ පින්කම්,
උත්සව සූදානම් කෙරේ. ශ්‍රී ලංකා රජය ද රට පුරා වැඩසටහන් රාශියක්
ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ සම්බුද්ධත්ව ජයන්ති
තේමා පාඨය වන්නේ ‘පිළිවෙතින් පෙළ ගැසෙමු’ යන්නයි. මෙය කාලෝචිතවූත්,
ප්‍රායෝගිකවූත් තේමාවකි.
එහි එක් පියවරක් ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා
පියුම් වැස්ස ජාතික ව්‍යාපෘතිය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ‘බුදු පුත්
මව් පිය උපහාර’ වැඩසටහන හඳුන්වාදීමට පුළුවන. ලක්දිව ථෙරවාද භික්‍ෂු
පරපුර ඇරඹෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුවයි.
අරිට්ඨ ඇමතිවරයා ප්‍රමුඛ පනස් පස් දෙනෙකු සසුන්ගත වීමෙන් ශ්‍රී ලාංකික
භික්‍ෂු පරපුර ඇරඹේ. එදා සිට අද දක්වා ගත වූ වසර දෙදහස් තුන් සියයකට
වැඩි කලක් භික්‍ෂු ශාසනය විනාශයට යා නොදී රැකගෙන එන ලද්දේ මෙරට
භික්‍ෂූන් වහන්සේ විසිනි. ඒ සඳහා උන්වහන්සේ දරන ලද වෙහෙස, කරන ලද කැප
කිරීම, විඳින ලද දුක් ගැහැට අපමණය. බැමිණිටියා මහාසාය වැනි දරුණු විපත්
වලදී පවා සසුනෙන් බැහැර නොවී, සසුන ආරක්‍ෂා කරගත්තේ දිවි පරදුවට
තබමිණි.
නොයෙක් කාල වකවානු වලදී රටට එල්ලවුණු දෙස් විදෙස් බලවේග හා කැරළි කෝලහළ
වලදී ද මෙරට භික්‍ෂූන් වහන්සේ අභීත සෙන්පතියන් සේ නොබියව, මුහුණ දුන්
නිසා භික්‍ෂු ශාසනය මෙරටින් අතුගා දැමීමට එකී බලවේග වලට නොහැකි විය.
වරක් ‘ජම්බුඛාජීවක’ නම් තවුසා සැරියුත් මහ රහතන් වහන්සේ වෙත පැමිණ මෙසේ
විමසයි. සාරිපුත්‍රය මේ ධර්ම විනයෙහි ඉතා දුෂ්කරම කටයුත්ත කුමක්දැයි,
ඔහුට පිළිතුරු දෙන සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ධර්ම
විනයෙහි අති දුෂ්කරම කාර්ය පැවිද්ද බවයි. (පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්මිං
ධම්ම විනයෙ දුක්කරොති) භික්‍ෂූන් වහන්සේ දෙස බලන, දකින බොහෝ දෙනා
සිතන්නේ පැවිද්ද ඉතා පහසු කටයුත්තක් බවයි. එය ධර්ම විනයෙහි ඇති
අපහසුම කටයුත්ත බව ඔබ නොසිතන්නට ඇති. එහෙත් සත්‍යය එයයි. අපි හැම දෙනාම
මේ ලෝකයේ යම් යම් දේවල් සමඟ බැඳී සිටිමු. ඇතැම් බැඳීම් වලින් ඈත් වී
සිටීම කොහෙත්ම කළ නොහැකි තරමට ශක්තිමත්ය. ස්වාමි භාර්යා, මව්පිය දූදරු
සබඳතාවය ඉන් කීපයකි. පැවිදි බිමට ඇතුළත් වන්නා මේ සියලු බැඳීම් අත්
හැරීමට ශක්තියක් ඇත්තෙකු විය යුතු ය.
පැවිද්ද කෙනෙකුගේ දෙවන උපතයි. පළමු උපතෙන් උරුම කරගත් පිය උරුමය
(වාසගම) පවා අත්හැර දමා තමා උපන් ගමේ නමින් හැඳින්වීමෙන් ඔහු පොදු බවට
පත් කරයි. බුදුරජාණන් වහන්සේගේ සිය උරුමයට හිමිකරුවෙකු කරයි. ජනගහණය
ලක්‍ෂ දෙසීයක් පමණ වෙසෙන, බෞද්ධ රටක් වශයෙන් හඳුන්වන නමුදු ශ්‍රී
ලංකාවේ අපට භික්‍ෂූන් වහන්සේ ලක්‍ෂයක් ඇතිකරගත නොහැකි වීමෙන්ම පැවිද්දේ
අසීරු බව තේරුම් ගත හැකි වෙයි. පැවිද්ද අසීරු බව ඇත්තකි. ඊටත් වඩා
අසීරු වන්නේ පැවිද්දෙහි කැමැත්තක් දැක්වීමයි. ගත පැවිදි කලත් තම හිත
පැවිදි කර ගැනීමට අපොහොසත්වන පැවිද්දෝ විපිලිසරව වෙසෙති. තෙරුවන හැර
වෙනත් බලවේග කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරති. සමහරු උපැවිදි වෙති. යම්
පැවිද්දෙකු වඩාත් අසීරුවන පැවිද්දෙහි, සිත අලවා වසයිද ඊටත් වඩා අසීරු
වන්නේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමයි.
බුදුරජාණන් වහන්සේ ධරමාන අවදියේදීම බොහෝ භික්‍ෂූහු ශාසන විරෝධි
ක්‍රියාවල යෙදුණු බවටත්, ඇතැම්හු සිවුරු හැර දමා ගිය බවටත් සාධක තිබේ.
එවක සිටි භික්‍ෂූන් සිදුකළ ශාසන විරෝධි ක්‍රියා නිසා පනවන ලද විනය නීති
වලින්, විනය පිටකය පිිරී පවතී. එදා සසුනට ඇතුළත් වූ ඇතැම් භික්‍ෂූන්
සිදු කර ඇති ඇතැම් ශාසන විරෝධි ක්‍රියා දෙස බලන විට සම්බුද්ධ
පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්මවා ඇති මේ යුගයේ භික්‍ෂූන්
වහන්සේ එතරම් ශාසන විරෝධිහු නොවෙතැයි සිතෙයි.
එසේ ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලාංකික භික්‍ෂුව සර්ව සම්පූර්ණයෙන්ම ශාසන
මාමක යැයි ගම්‍ය නොවේ. ගත වූ වසර දහස් ගණනක කාලය තුළ ධර්මය ග්‍රන්ථාරූඪ
කරන තෙක්, මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඒම, දෙස් විදෙස් ධර්ම විරෝධී හා
ශාසන විරෝධි බලවේග හමුවේ පැරද පලා නොගොස් ඒවා ජය ගනිමින් සසුනත්,
ධර්මයත් රැක ගැනීම, භික්‍ෂුත්වය කෙලෙසා නොගෙන ජාතික ආගමික අධ්‍යාපනික
හා සමාජයීය කටයුතු ඉටු කිරීම සඳහා මෙරට භික්‍ෂුව කරන ලද කැප කිරීම හා
පරිත්‍යාගය අතිමහත්ය. විද්‍යා හා තාක්‍ෂණයෙන් ලොව දියුණුවීම, සන්නිවේදන
ක්‍ෂේත්‍රය පුළුල් වීම, නව නිපදවීම් හා සොයාගැනීම් වැනි මූල සාධකවල
බලපෑම මත ගොඩ නැඟුණු ලොවක අපි ජීවත් වෙමු. මේ සමාජමය පරිසරය තුළ මිනිස්
ජීවිත සංකීර්ණය. අතෘප්තිකරය. අසීමිත ආසාවන් සපුරා ගැනීමට යාම නිසා
එකිනෙකා අතර තරගයක් පවතී.
ඇතැම් සමාජ විරෝධි ක්‍රියාවන්ගෙන් පිරී පවතී. මෙවැනි ලක්‍ෂණ වලින් ගහණ
සමාජයක නොමිනිස්කම් මිස, මිනිස්කම් අපේක්‍ෂා කළ නොහැක. එහෙත් ශ්‍රී
ලාංකික ජන සමාජය එතරම් ප්‍රපාතයකට ඇද වැටී නැත. ඒ මෙරට භික්‍ෂූන්
වහන්සේ කිසිදු ප්‍රතිලාභයක් අපේක්‍ෂා නොකර ඉටු කරනු ලබන උදාර සමාජ
මෙහෙවරෙහි ප්‍රතිඵලයයි. පවුලේ දරු සංඛ්‍යාව දෙතුන් දෙනෙකුට සීමා කිරීම
නිසා, පැවිදිවෙන ප්‍රමාණයේද අඩුවක් පවතී. පැවිදි බිමට ඇතුළත්ව සිටින
අයගෙන් ද උපැවිදිවීමේ වැඩි ප්‍රවණතාවක් මෑතක සිට දැකිය හැක. බොහෝ විට
පෞද්ගලික, ආයතනික හෝ සමාජමය ගැටලු ඊට හේතු විය හැක.
උපැවිදි වූවනට දොස් නැගීමට වඩා ඔවුන් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳව
වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලාගේ අවධානය යොමු කළ යුතුව තිබේ. ගිහි පිරිසට
ද භික්‍ෂූන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීමෙහිලා විශාල වගකීමක් තිබේ.
මව්පියන්ට මේ ලෝකයේ උත්තරීතර සම්පත තම දරුවායි. පුත්තා වත්ථු මනුස්සානං
යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වේ. මව්පියන් හා දරුවන් අතර බැඳීම සම්,
මස්, නහර, ඇට, ඇටමිදුලු සිදුරු කරගෙන සිරුර තුළට බැස තිබේ. දරුවන්ගෙන්
දෙමාපියනුත්, දෙමාපියන්ගෙන් දරුවනුත් වෙන් වූ විට දෙපිරිසම අතර ඉමහත්
සංවේගයක්, දුකක් හටගනී. සුදෝවුන් මහ රජතුමා, මව්පියන්ගෙන් දරුවන් වෙන්
කළ විට ඇතිවෙන දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේට කරුණු සැල කර සිටීමෙන්
පසුව, දෙමාපිය අවසරයකින් තොරව දරුවෙකු පැවිදි නොකරන ලෙසට ප්‍රඥප්තියක්
ද පැනවූහ.
ස්වල්පයක් වුවත් භික්‍ෂූන් වහන්සේ, මේ අසීමිත බැඳීම කඩා දැමීමට සමත් වූ
වීර්යාධිකයෝ ය. කතපුඤ්ඤතා ගුණ ඇත්තෝ ය. බොහෝ දෙනා පැවිදි බව ලබන්නේ ළමා
අවධියේදී ය. අසීමිත දරු සෙනෙහස නිසාම කඳුළු පිරුණු දෑසින් යුතුව දුක්
වන මව්පියන් දෙස බලා, ආරාමයකට පැමිණ නුපුරුදු පරිසරයක නුපුරුදු ජීවන
ප්‍රතිපදාවකට හැඩ ගැසීමට සසර පුරුද්දක් තිබිය යුතුමය. දීඝනිකායේ චාතුම
සූත්‍රය ඊට සාක්‍ෂි සපයයි. චාතුම වනයට රැස්වූ සාමණේර භික්‍ෂූන් ඇමතූ
බුදුරජාණන් වහන්සේ වදාළේ, පැවිදි බිමට ඇතුළත්වීම, ස්නානය සඳහා කෙනෙකු
නුපුරුදු ජලාශයකට බැසීමකට උපමා කරමිණි. නුපුරුදු ජලාශයකට බසින තැනැත්තා
බිය විය යුතු කරුණු සතරකි. එනම් දිය රැළි ගැන දැනගැනීම, දිය සුළි
ඇද්දැයි දැන ගැනීම, ජීවිතයට හානි කරන කිඹුලන් ගැන දැන ගැනීම හා
කිඹුලන්වැනි වෙනත් භයානක සතුන් ඇද්දැයි දැන ගැනීමයි. මේ කරුණු ගැන
නොදැන නුපුරුදු ජලාශයකට බසිනු ලබන්නාට විනාශය ළංවිය හැක. පැවිදි දිවිය
සැබවින්ම නුපුරුදු එකකි. ඊට ඇතුළත්වන තැනැත්තාට සමාජයෙන් එල්ලවන බලපෑම්
අති විශාලය.
පැවිදි වූ මොහොතේ පටන් දුවන්ට එපා, කෑ ගහන්ට එපා, හිටගෙන කන්ට එපා,
අවේලාවේ වළඳන්ට එපා ආදී වශයෙන්, එපා එපා කියන වචන අසන්නට සිදුවේ. මෙය
කරදරයක් කොට සලකන කෙනා තරහෙන් සිවුරු හැර දමායයි. සමාජයෙන් එන මෙවැනි
රැළි ගැන පැවිද්දා දැනගෙන සිටිය යුතු ය. තම වයසේ පසුවෙන ළමයින්ගේ ඇඳුම්
මෝස්තර, ඔවුන් කන බොන දෑ, කන බොන වෙලාවන් ආදිය දකින සාමණේර භික්‍ෂූන්ට
ද ඒ පිළිබඳව ආසාවක්, ඇතිවෙයි. එනිසාම පැවිද්ද දඬුවමක් සේ සිතා ඇතැම්හු
සිවුරු හැරයති.
ළමයින් සතුටුවෙන, විනෝද වෙන ආකාරය දෙස බලා, ඇස් කන් නැත්තවුන් සේ
සිටීමට සාමණේර අවදියේ පසුවෙන අයට සිදු වී තිබේ. මේ අසීරුතාවය මොන තරම්
අමාරුවෙන් මැඩගෙන සිටින්නේදැයි ඔබට වටහාගත හැකිනම් පැවිද්දෙහි
දුෂ්කරතාව තේරුම්ගත හැක. තමාට ඇති වටිනාම සම්පත වන දරුවා සසුනට පුදා,
සිත සනසා ගන්නා මව්පියන් ද සැබෑ වීර්යාධිකයෝය. පුණ්‍යවන්තයෝ ය. හැමදා
ගෞරව ලැබිය යුත්තෝ ය. මව්පියන්ගේ කැමැත්තෙන් තොරව දරුවන් පැවිදි නොකළ
යුතු බැවින්, මව්පියන් තම දරුවන් සසුනට පූජා නොකළහොත් සසුන අතුරුදහන්
වේවි. භික්‍ෂූන් නොමැති තැන සසුන නොපවතී. කොතරම් වෙහෙර විහාර තිබුණත්
පලක් නොවේ.
එබැවින් දරුවන් පැවිද්දට යොමු කළ මව්පියන් තවත් කාලයක් සසුන සුරැකීමට
ශක්තියක් ලබා දුන් පිරිසකි. ඔවුන් ඇගයීම සසුන් වැඩ කැමති සත්පුරුෂ හැම
දෙනාගෙම පරම යුතුකමද වෙයි. තම දරුවා සසුනට පිදූ මව්පියන් ලබන පරම සතුට,
අන් කිසිදු මවකට හෝ පියෙකුට ලැබී නැත. සමාජය ඔවුන් ඇගයීමෙන් ඔවුනගේ
සතුට තවතවත් වැඩිවෙයි. අනෙකුත් දෙමාපියනට සසුන් කෙත පෝෂණය කිරීම සඳහා ද
එය ඉමහත් ශක්තියක් වනු ඇත. |