Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස,
‘කඨිනංච පරික්ඛාරං වාසදානංච උත්තමං
බුද්ධප්පමුඛ සංඝස්සං දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච සංඝස්ස පටිමාකරණම්පිච
කරනං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි වුච්චරෙ ‘

වප්

පොහොයෙන් ආරම්භ වන්නේ චීවර මාසයයි. එය භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසගේ පින් වැඩෙන කාල සීමාවකි. වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ මහා පවාරණය සිදු කරන්නේ වප් පොහොය දිනයේ ය. වප් අව පෑළවිය දින පටන් ඉල්පුර පසළොස්වක පොහොය දක්වා කාල සීමාව තුළ පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් ලැබීමේ හැකියාව පවතී.

මේ මහා පින්කම සිදු කිරීම ආරම්භ වීම ඇතුළුව බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රධාන දෙවිවරුන්ට තවුතිසාවේදී අභිධර්මය දේශනා කර යළිත් සංකස්ස පුරයට පෙළහර පාමින් වැඩම කිරීම, සැරියුත් හිමියන් නුවණින් අග්‍රස්ථානය ලැබීම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බව ලැබීම, මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි මහාරිට්ඨ හිමියන් ථූපාරාම විහාර මධ්‍යයේදී විනය පිටකය සංගායනා කිරීම, ජය ශ්‍රී මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව රන් කටාභයෙහි පිහිටීම යන සිදුවීම් මුල් කර ගනිමින් වප් පොහොය, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්හු ආමිස ප්‍රතිපත්ති කුසල් සිදු කර ගනිමින් සමරනු ලබති.

පෙර සඳහන් කළ පරිදි අටමහ කුසල්හි පළමු පින්කම කඨින චීවර පූජාව, මේ පොහොයෙන් ආරම්භ වේ. බෞද්ධයාට කර ගත හැකි ඒ අටමහා කුසල් පිළිබඳව අද අපි කෙටියෙන් නමුත් සිහිපත් කර ගනිමු.

ඉහත ගාථා පිළිවෙළින්ම අටමහා පින්කම් මෙසේය.

1. කඨින චීවරයක් පූජා කිරීම
2. අටපිරිකරක් පූජා කිරීම
3. ආවාස ගෙයක් සාදවා සඟ සතුකොට පූජා කිරීම
4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි සඟ සතු දානය පූජා කිරීම
5. බුද්ධ ධර්මය ලිවීම හා ලියැවීම
6. සඟ සතුකොට හෝ බුද්ධ පූජා වශයෙන් කෙත්වතු පූජා කිරීම,
7. බුදු පිළිමාදිය තැනවීම
8 .වැසිකිළි තනවා සඟ සතු කොට පූජා කිරීම කඨින චීවරයක් පූජා කිරීම

මෙය අට මහා පින්කම් අතර පළමුවැනි පින්කම වෙයි. එසේම මහානුභාව සම්පන්න මහානිසංශ ගිහි පැවිදි දෙපරිසගේම කුසල් වැඩීමට හේතු වන පින්කමකි.

කඨින චීවර දානමය කුසලය මහ පොළොව මෙන් කිසි විටෙකුදු කම්පා නොවන්නකි. මහා මේරු පර්වතය මෙන් මහා සුළඟින් නොසෙල්වෙන්නකි. ඒක ඝන වජිර පර්වතය මෙන් නොබි‍ෙඳන්නකි. සියලු ආමිස දානයන් අතර උසස්ම පින්කමකි. වසරකට විහාරස්ථානයක එක් වරක් පමණක් සිදු කළ හැකි දුර්ලභ ගණයේ පින්කමකි. කඨින යන වචනය තුළම ඇත්තේ නොබි‍ෙඳන , නොසෙල්වෙන මහත් ගරුගාම්භීර පින්කමක්ය යන අදහසයි. එය ලැබිය හැක්කේ පෙර වස් සමාදන් වූ උපසපන් භික්‍ෂූන් වහන්සේ හෝ භීක්ෂුණීන් වහන්සේලාටය. කඨින චීවරයක් පූජා කිරීමට සිවුවනක් පිරිසෙන් ඕනෑම කෙනෙකුට පුළුවන. ඒ සඳහා තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය හෝ ඉන් කවරක් වුව කම් නැත. කඨින චීවර පූජාව බොහෝ විහාරස්ථාන වල අලුයම් වේලේ පෙරහරින් වැඩමවා පූජා කරන්නේ ඉතා ශ්‍රද්ධා සම්පන්නව ය. කඨින චීවර පූජාව කොතරම් ආනිසංශ සහිතද යන්න නාගිත චරිතාපදානය කියැවීමේදී දත හැකිය. කඨින චීවර පූජාව දෙව්ලෝ, මිනිස් ලෝ සැප සම්පත් ලැබීම අගතියකට නොයෑම , උසස් කුලවල ඉසුරුමත්ව ඉපදීමට හේතුවන්නකි. කාටත් පි‍්‍රය උපදවන, කීර්තිය, තේජස පැතිර යන නිවනට මඟ කියන පින්කමකි. එනිසාම ගිහි පැවිදි දෙපිරිසම චීවර මාසය තුළ ඊට සමගාමීව නොයෙක් පින් දහම් වල යෙදීම අගය කළ යුතු කාරණයකි.

අටපිරිකර පූජාව

බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන වදාළ පරිදි භික්ෂූන් වහන්සේගේ සරල පැවැත්මට උපකාර වන පැවිදි බවේද සලකුණ අටපිරිකරයි. ඊට දෙපට සිවුර, තනිපට සිවුර , අඳනය , පාත්‍රය, දැලිපිහිය, ඉදිකටුව, සිවුරු පටිය හා පෙරහන්කඩය ඇතුළත් වේ.

සැදැහැවත් බෞද්ධ ජනතාව ධර්මදේශනා, සාංඝීක දාන, පැවිදි පින්කම් ආදී අවස්ථාවන්හිදී අටපිරිකර පූජා කරති. එයද මහත්ඵල පින්කමකි. පිළිකා, දද, කෘෂ්ඨ ආදි රෝගාබාධ හට නොගනී. දරුණු සතුන්ගේන් හානි නොපැමිණේ. උතුම් මිනිස් බව ලැබීමට හේතු වේ. එසේම මතු බුදුවරයන් සමීපයේ ඒහි භික්ෂූ භාවය ලද හැක්කේද අටපිරිකර පූජාව සිදු කළ අයට පමණි. ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයේ පැවිද්ද ලද පිරිස 28,850ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ විස්තර කෙරේ. එසේම බන්දුල මල්ලිකා , විශාඛා, සුජාතාවන් ලද මහඟු වූ මහලිය පලඳනාව ලබන්නට මතු කාන්තාවක්ව උපන්නහොත් හැකියාව ලැබෙන බව බණ පොත්වල සඳහන්වේ.

ආවාස දානය

ආවාස දානය දිවා රෑ පින් වැඩෙන ක්‍රියාවක් බව සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයෙහිද සඳහන් වේ. සංයුත්ත නිකායේ ‘ කිං දද ‘ සූත්‍රයේදී කුමක් දීමෙන් සියල්ල දෙන්නේ වේදැයි එක් දෙවියකු විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ ‘යමෙක් ආවාස දේ නම් හෙතෙම සියල්ල දෙන්නේ වේ ‘ යැයි වදාළහ.

බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට ආරාම ගොඩනගා පූජා කළ බුද්ධ කාලයේ දානපතීන් පිළිබඳ තොරතුරු බෞද්ධ කථා පුවත් වලින් හමුවේ. ශාක්‍යයන් විසින් කළ නීග්‍රෝධාරාමය ද , බිම්බිසාර රජතුමා කරවු වේළුවනාරාමය ද, අනේපිඬු සිටුතුමා පූජා කළ ජේතවනාරාමය ද ඉන් නිදසුන් කිහිපයකි. එය දෙව් විමන් ලැබ මතු භවයක නිර්වාණය පසක් කර ගන්නටද හේතු වන පුණ්‍ය කර්මයකි. පොදු මානුෂිය අවශ්‍යතා අතර නිවාස ගණයේ සැලකෙන අවාස පූජාව භික්ෂූන් වහන්සේගේ ඇලීම පිණිස නොව සීත, උෂ්ණ ආදි පීඩාවන්ගෙන්,මදුරු මැස්සන්ගෙන් ආරක්ෂා වීම, ස්වභාවික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම පිණිස වෙයි. පෙරලා එහි අනුසස් පූජා කරන්නවුන්ටද ලැබේ.

සාංඝීක දානය

සාංඝීක දාන පින්කම් නිතර නිතර විහාරස්ථාන නිවෙස් වල සිදු කරන පින්කමකි. එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට පූජා කරන දානයයි. පින් කැමැත්තෙන් කරන සුළු අහරක් සතෙකුට පවා දීමෙන් ඉන් ලැබෙන ආනිසංශ සුළු නැත. සෝවාන් ඵලය සඳහා පිළිපදින තැනැත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන් දීමෙන් ආනිසංශ අනන්ත, අප්‍රමාණ බව බුද්ධ දේශනාවෙහි සදහන් වෙයි. සාංඝීක දාන වර්ග හතකි.

ධර්මය ලිවීම හා ලියැවීම

ධර්මය ලියා එය කියැවීමටත්, ඉගෙන ගැනීමටත් අවස්ථාව සලසා දීම අටමහා කුසලයන්ගෙන් එකකි. එයින් ධර්මය නොනැසී පැවතීමට රුකුලක් වන අතරම කියවන්නා තුළද ශ්‍රද්ධාව, බුද්ධිය ජනිතවී පවින් ඈත්වේ. එය බෞද්ධ ප්‍රතිපත්ති මඟට පිවිසීමට ඉඩ සැලසේ. එනිසා “ සබ්බ දානං ධම්ම දානං ජිනාති “ සියලු දානයන් අතර උතුම් දානයක්ද වේ. අතිතයේ පටන් රජවරු, ඇමතිවරු, සඟ යතිවරු, පඬිවරු දහම් පොත්පත් ලිවූහ. මේ කුසල කර්මය සිදුකර ගන්නට මහන්සි ගත්හ. එය හුදෙක් බුදු දහමේ චිරස්ථිතියට ඍජුවම බලපෑ බව නොකිව මනාය.

කුඹුරු පූජාව

දන් නොලැබෙන කාලවල විහාරාරාම සතු කුඹුරු වලින් ලැබෙන අස්වැන්නෙන් රැස්කර තබන ධාන්‍ය ප්‍රයෝජනයට ගත හැකිය. අතීතයේ විහාරාරාම වල භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක් වැඩ සිටි නිසා එය උන්වහන්සේලාට පහසුවක් විය. ක්‍රි.ව. 5 වන සියවසේ පාහියන් භික්ෂූන් වහන්සේ ලංකාවට වැඩම කළ සමයේ අභයගිරියේ භික්ෂුන් වහන්සේ 5000 ක්, මහා විහාරයේ භික්ෂුන් වහන්සේ 3000 ක් ආදී වශයෙන් වැඩ සිටියහ. එකල දානය සඳහා කුඹුරු වලින් ලැබුණු අස්වැන්න මහත්සේ ප්‍රයෝජනවත් විය. එනිසා අතීතයේ රජවරු ඇමතිවරු ආදි පිරිස් විහාර සඳහා කෙත්වතු පූජා කළහ. ඒවාට යමෙකු හානි කිරීම මතු බලු කපුටන් වී ඉපදීමට හේතු වන අකුසලයක් බව ඇතැම් සෙල්ලිපිවල සඳහන් කර තිබේ. භික්ෂූන් වහන්සේගේ දාන පහසුව සඳහා මෙසේ කුඹුරු පූජා කිරීම අටමහා කුසල කර්මයන්ගෙන් එකකි.

පිළිම කරවීම

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොසිටියත් බුද්ධ ප්‍රතිමාවක් සමීපයට ගිය විට උන්වහන්සේ ජීවමාන වන් හැඟීමක් ඇතිවේ. උන්වහන්සේගේ මහා මෛත්‍රිය, කරුණාව, අපට දැනේ. හුදෙක් බුදු පිළිමයක් තුළින් ඇති වන මේ ශ්‍රද්ධාව තව කෙනෙකුට ඇති කරවීමේ අරමුණින් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම මහානිසංශ දායක කුසලයකි.

බුද්ධ ප්‍රතිමා නෙළීමද බොහෝ දුරාතීතයට දිව යයි. අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව දෙස බලා ඉන්දියාවේ හිටපු අගමැති ජවහල්ලාල් නේරුතුමා ලැබූ මානසික සුවය, නිවීම පිළිබඳව එතුමාගේ සටහන් වලින්ද කියැවේ. එකී සුවය තව කෙනෙකුට ලබා දෙන බුදු රුව ඉදිකරවීමද අටමහා කුසලයකි.

වැසිකිළි කරවීම

පරිසරයේ පිරිසුදු බව පුද්ගලයාගේ පිරිසුදු බවටද නීරෝගී බවටද හේතුවකි. එනිසා භික්ෂුන් වහන්සේ පැවිදි ජීවිතය තුළ සම්පූර්ණ කරන වත් අතර වැසිකිළි වතද වේ.

වත් සම්පූර්ණ නොකරන භික්ෂුව සීලයද සම්පූර්ණ නොකරන බව ‘ වත්තං න පරිපුරෙන්තො න සීලං පරිපූරති ‘ යනුවෙන් දැක්වේ. ඒ නිසා භික්ෂුන් වහන්සේ වැසිකිළිය ඉතා පිරිසුදුව පවත්වාගෙන ගියහ. එය තම ශීලය පරිපූර්ණ වීමටද හේතුවක් විය. සනීපාරක්‍ෂාව සඳහා වැසිකිළි තනවා පූජා කිරීමද මහා පින්කමක් වශයෙන් ගැනේ.

ඉහත කී අටමහා කුසල කර්ම සිදු කර ගැනීම තුළින් පුද්ගලයාට මහත්ඵල ආනිශංස ලැබෙන අතරම පුද්ගලයන් තුළ පවත්නා ලෝභ, ද්වේශ, මෝහ ආදි අකුසල් දුරුකර ගැනීමටද හේතුවේ. මෙලොව, පරලොව දෙලොවටම සුබදායක වේ. පුද්ගලයන් තුළ බැඳීම දුරුවේ.අවසානයේ ලෝකෝත්තර පරම සුවය නිවන් සැපත සාක්ෂාත් කර ගැනීමටද හේතුවේ.

එනිසා එවන් මහත්ඵල වූ අටමහා කුසල කර්මයන් වැඩි වශයෙන් සිදු කෙරෙන චීවර මාසය ඇරඹෙන මේ වප් පුර පොහෝදා ඒ පිළිබඳව ශ්‍රද්ධාසම්පන්න ඔබට දැනුම්වත්ව කටයුතු සිදු කිරීමට භාග්‍යය ලැබේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.