Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝකයේ නොයෙක් සුවඳවත් මල් වර්ග තිබේ. එම සුවඳවත් මල් වර්ග වලට අමතරව තවත් සුවඳ විලවුන් ඇතුළු සුවඳවත් ද්‍රව්‍ය හා නොයෙක් සුවඳ ලබා ගන්නා ක්‍රමද ඇත. ඒ අතර මල් සුවඳ ස්වභාවිකව ඇති වී පැවතී නැතිවේ. පිච්ච, රෝස, සේපාලිකා ආදි විවිධ සුවඳින් යුක්ත මල් වර්ග මේ ලෝක ධාතුව තුළ පවතී. ඒවාගේ සුවඳ කාලයක් තුළ ඇතිවී නැති වන අතර යම් දුර ප්‍රමාණයක් ඇතුළත පැතිරී යනු ඇත. එනම් එම මල් ඇතුළු සියලු සුවඳ වර්ග යම් සීමාවන් තුළ පවතින බව පැහැදිලි ය.

බෞද්ධයාගේ අත්පොතක් වන ධම්ම පදය තුළින් බුදුරජාණන් වහන්සේ මල් සුවඳක ඇති සීමාව හා සිල් සුවඳෙහි ඇති අසීමිත බව දේශනා කොට ඇත. ධම්ම පදයෙහි පුෂ්ප වග්ගයෙහි සඳහන් 11,12,13 යන ගාථාත්‍රය කියවීමෙන් ඒ බව පැහැදිලි වේ.

“ න පුප්ප ගන්ධො පටිවාතමේති
න චන්දනං තගර මල්ලිකා වා
සතං ච ගන්ධො පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසො පවාති”

(මල් සුවඳ උඩුසුළඟට නොහමනේය, සත් ගුණවතුන්ගේ සිල් සුවඳ උඩු සුළඟට ද හමනේය)

“චන්දනා තගරං වාපී
උප්පලං අථ වස්සි කී
එතේසං ගන්ධ ජාතානං
සීල ගන්ධො අනුත්තරෝ “

(සඳුන් සුවඳ - මල් සුවඳ දෑ අතුරෙන් හට ගැනෙන (නොඑක්) සුවඳට වඩා සිල් සුවඳ මැ ඉතා අගනේය)

“අප්ප මත්තෝ අයං ගන්ධො
යායං තගර චන්දනී
යෝච සීලවතං ගන්ධො
වාති දේවසූ උත්තමෝ “

(තුවරලා - සඳුන් සුවඳ ඉතා සුළුය. සිල්වතුන්ගේ සිල් සුවඳ දෙවියන් අතර පවා පැතිරේ)

සීලය යනු “ කාය වාග් සමෝධානං සීලං “ ආදි වශයෙන් කය වචනය සංවර කර ගැනීමයි. සීලයෙහි වටිනාකම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් දුටුව හා ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කළ තවත් උත්තමයෙක් නැති තරම්ය. එනිසාම උන්වහන්සේ සීලයට සුවිශේෂී ස්ථානයක් ලබා දී ඇත. ත්‍රිපුණ්‍ය ක්‍රියා, දස පාරමිතා, දස රාජධර්ම යන ස්ථානයන්හි සීලය යන වචනය දෙවෙනි ස්ථානයෙහි තබා තිබේ. සප්ත විසුද්ධි වල පළමුව දක්වා ඇත්තේ සීලයයි. එයින් පැහැදිලි වන්නේ සීලය මොන තරම් පුද්ගලයා හා සම්බන්ධ වන මාතෘකාවක්ද යන වගයි.

බුදුරජාණන් වහන්සේ තරම් සිල් සුවඳින් අග්‍රවූ උත්තමයෙක් තවත් නැති තරම්ය. උන් වහන්සේ තුන් ලෝකයටම අග්‍ර වූ සේක. උන්වහන්සේගේ සිල් ගුණය තුන් ලෝකයෙහිම පැතිර ගිය බව සඳහන් වේ. එම සිල් සුවඳට සමකල හැකි සුගන්ධයක් මුළු තුන් ලෝකයේම ඇත්තේද නැත. බුදු, පසේ බුදු, මහරහත් යන නික්ලේසී උත්තමයන් වහන්සේලා සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥාන යන උසස් ගුණයන්හි පිහිටා කටයුතු කළහ. ඒ අතර සිල් ගුණය ප්‍රධාන වේ.

සිල් ගුණයෙන් පිරිපුන් අයට මුළු ලෝකයාම වන්දනා මාන කරනු ඇත. ඒ බව පැහැදිලි වන තැනැක් ලෙස සක්‍ර දේවේන්ද්‍රයාගේ වැඳීම හැඳින්විය හැකිය. දිනක් සක්‍ර දේවේන්ද්‍රයා මාතලී රථාචාර්යවරයාත් සමග අහසින් ගමන් කරන විට සක්‍ර දේවේන්ද්‍රයා පොළොව දෙසට වැඳ නමස්කාර කරන්නට විය. එවිට මාතලී රථාචාරයා ප්‍රශ්න කරන්නේ ඔබ දෙවියන්ගේ නායකයා වෙලත් ඇයි මනුස්ස ලෝකයට වඳින්නේ කියාය. එවිට සක්‍ර දේවේන්ද්‍රයා

“යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීල වන්තා උපාසිකා
ධම්මේන ධාරං පෝසෙන්ති
තං නමස්සාමි මාතලී “

යනුවෙන් මනුෂ්‍ය ලෝකයෙහි සමහරක් දෙනා ධාර්මික දිවි පැවතක් ගත කරමින් අඹුදරුවන් පෝෂණය කරමින් සිල්වන්තව, ගුණවන්තව ජීවත්වේ. ඔවුන් සඳහා මම නමස්කාර කරමි යනුවෙනි.

සීලය යනුවෙන් හික්මීම, හැඳියාව , සංවර බව ආදි වශයෙන් අර්ථ දැක්වීමට පුළුවන. හික්මීමක් නොමැතිකම නිසා සමාජය තුළ නොයෙක් සාපරාධී ක්‍රියා සිද්ධ වේ. විනයක් ඇති සමාජයක හා විනයක් නැති සමාජය වෙනස අපට පැහැදිලිව දැකගත හැකිය. මෙහිදි සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයෙහි හික්මීම තිබිය යුතුය. ධම්ම පදයේ චිත්ත වග්ගය තුළින් සිතේ අසංවර බව පෙන්වන බුදුහිමි නොහික්මුනු සිත කුළුමීමෙකුට සමාන කොට ඇත. ඒ තරමටම සීලයක් නැතිවීම භයානක බව පැහැදිලි කොට ඇත.

සිතින් අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යා දෘෂ්ඨි යන වැරදිද කයින් සතුන් මැරීම , සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය යන වැරදි තුනද වචනෙන් බොරුකීම, කේලාම් කීම, නපුරු වචන කීම, හිස් වචන කීම යන වැරදි හතරද යන වැරදි දහය ත්‍රිවිධද්වාරයෙන් සිදුවන දස අකුසල් ලෙස හැඳින්වේ. අසංවර කම, අසීලාචාර කම ඇති වන්නේ ඉහතින් සඳහන් කල වැරදි දහයෙනි. එම වැරදි කිසිවකු අනුමත නොකරනවා සේම සමාජ සංස්ථාවට ව්‍යසනයක්ද ගෙන දෙනු ඇත. එනිසා සිල්වත් වීම අවශ්‍ය වන්නේය. සිල්වත් වීම තුළින් මුළු සමාජ පද්ධතියටම යහපතක් සිදුවනු නිසැකය. සීලයෙහි ප්‍රභේද පිළිබඳ විමසා බැලීමේදි සීලයෙහි ඇති වටිනාකම පැහැදිලි වේ. ඒ අනුව සීලයෙහි කොටස් 04 ක් පිළිබඳ කරුණු අනාවරණය වේ. එනම්

1. ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය
2. ඉන්ද්‍රීය සංවර සීලය
3. ආජීව පාරිශුද්ධ සීලය
4. ප්‍රත්‍ය නිශ්ශි‍්‍රත සීලය
සීලයෙහි ප්‍රභේද වශයෙන් දැක්වූ මෙම කොටස් 4 සමස්තයක් ලෙස කොටස් හතකට බෙදා දැක්වීමට පුළුවන. එනම්

1. චාරිත්ත සීලය,
2. වාරිත්ත සීලය,
3. ආභිසමාචරික සීලය,
4. ආදි බ්‍රහ්මචරියක සීලය,
5. ලෞකික සීලය,
6. අපාන කොටික සීලය,
7. ලෝකෝත්තර සීලය

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි එක්තරා දේවතාවෙක් අභ්‍යන්තරික බාහ්‍ය වුත් ක්ලේශ ජටාව නැති කළ යුත්තේ කෙසේදැයි ප්‍රශ්න කළේය. ඊට බුදුරජාණන් වහන්සේ මේ ලෙස පිළිතුරු දුන්හ.

“ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤෙංච භාවයං
ආතාපි නිපකෝ භික්ඛු
සෝ ඉමං විප්ටයේ ජටං “

ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි වන්නේ බෞද්ධ විමුක්ති මාර්ගයෙහි මූලිකම පදනම ශිලය වන බවයි. ශීලය තුළින් පුද්ගලයාගේ ගමන් මාර්ගය නිවැරදි පැත්තට යොමු කරනු ඇත. ඕනෑම දරුණු පුද්ගලයෙක් සිල්වත් වූ කල්හි මුළුමහත් සමාජයටම එහි ආනිසංස ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අංගුලිමාල වැනි දරුණු පුද්ගලයෙකුට පැවිදි වීමත් සමග විශාල පිරිසකට සෙත ශාන්තිය සැලසුනි. දරුවන් බිහිකිරීමට සිටින මව්වරුන්ට ආශීර්වාදයක් උදෙසා අංගුලිමාල පිරිත පවා දේශනා කරන්නට යෙදුනේ එම හේතුවෙනි. සිල්වත්වීමේදී ලැබෙන විපාක පිළිබඳවද දේශනා කර ඇත. එනම්

1. මහත් වූ භෝගස්කන්ධයක් ලැබීම
2. කීර්තිය ඇතිවීම
3. විසාරද බව
4. මුළා නොවූ සිතින් මරණයට පත්වීම
5. මරණින් මතු සුගතිගාමි වීම

ශීලය තුලින් මුළු ලෝකයම සුවපත් වනු ඇත. සිත , කය, වචනය යන තුන්දොර හික්මීම තුළින් කෙනෙකුගේ සීල ගුණය ඉස්මතු වේ. එය මුළු මහත් සත්වයාටම සැප පිණිස පවතී. බුදුරජාණන් වහන්සේගේ සිල් සුවඳ මුළු විශ්වයටම පැතිරී ගිය බව අපි දනිමු.දෙවි දේවතාවුන්ගෙන් පවා වන්දනා මානයට ලක්වූයේ එම හේතුවෙනි.

අද සමාජයේද සිල්වත් ගුණවත් අය සිටිති. භික්ෂුන් වහන්සේලා ඇතුළු ගිහි බෞද්ධයන් සිල් සමාදන්ව එම සිල් සුවඳ ප්‍රදේශය පුරාම පතුරනු ඇත. පංච ශීලය අෂ්ඨාංග සීලය, දස සීලය, ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය සීලය ආදි දෙඅංශය තුළම සිල් රකින පිළිවෙත දක්වා ඇත. එම සිල්පද නිසා මුළු මහත් සමාජයටම සුවඳ දැනෙනු ඇත. මල් සුවඳට වඩා වෙනත් සුවඳවත් දේ් වලට වඩා සිල් සුවද හමා යන්නේ එම හේතුවෙනි. එනිසා අප සැම කෙනෙක්ම සුවඳවත් මලක් සේ අරටුවක් ඇති ගසක් සේ බැබළෙන ආකාරයෙන් ශිල්වත්ව ගුණවත්ව ජීවිතය පවත්වාගෙන යමින් දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කර ගනිමු.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.