Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින චීවර පූජාව

වස් කාලය ඇසළ, නිකිණි, බිනර , වප් යන මාස හතරින් නිමාවේ. මෙයින් ඇසළ පොහෝ දිනට පසු දින පටන් වප් මැදින්පෝය දින දක්වා වූ මාස තුන බුද්ධ ප්‍රඥප්තියක් අනුව භික්‍ෂූන් වහන්සේ පෙර වස් සමාදන්වීම කළ යුතුවේ. යම් කිසි හේතු නිසා මෙම දිනයට වස් සමාදන්වීමට අපහසු වූයේ නම් නිකිණි අව පෑලවිය දිනයේදී වස් සමාදන් වීමට හැකිය.

වැසි සමයේදී තණකොළ ආදි පැලෑටි ලියලා වැඩීම සිදුවේ. කුඩා පණුවන් ආදිය පොළොව මතුපිට වාසය කරති. පයට යට වුවහොත් එම ජීවීන් පෑගීම, මිරිකීම නිසා මැරීයාම සිදුවේ. අවිහිංසාව පරම ධර්මය කොට සැලකීම භාරතීය ජනතාවගේ පොදු හැඟීමයි. මෙහිදී චාරිකාවේ හැසිරෙන බෞද්ධ භික්‍ෂූන් වහන්සේ තණ පැලෑටි නසමින්, සතුන් මරමින් ඇවිදින විට ලක්වු දෝෂාරෝපණය නිසා “අනුජානාමී භික්ඛවේ වස්සානං වස්සං උපගන්තුං ....” මහණෙනි! වස්සාන ඍතුවෙහි වස්එළඹෙන්නට අනුදනිමි” යනාදී වශයන් වදාළ සේක. කුරුළු කොබෝ සතුන් පවා කැදලිවලට වී වැඩිපුර කල් ගත කරනුයේ වැසි කාලයේදීය.අන්‍ය තීර්ථක පූජකවරුද දිසා චරණයෙහි නොයෙදී වැසි සමයේදී කිසියම් තැනකට වී සිටියහ.

නමුත් වස් විසූ භික්‍ෂුවට වග වලස් නයි පොළොං යක්‍ෂ භූත ගිනි ජාලා ආදි කුමන හෝ උවදුරක් ඇතිවේ නම් සත්තාහකරණයෙන් යා හැකිය. එයින් වස් බිඳීමෙන් ඇවැත් සිදු නොවේ. තවද යැපෙන පමණට දානය නොලැබීම් අදිය නිසාද වස් අරම වෙනස් කළ හැකිය. ගමන් කරන රථයක හෝ ශාලක ගැලක කුමක වුවද වස් වසන්නට අවසර තිබුණත් රුක් බෙනයක රුක් දෙබලක , එළිමහනක, වහල දොර නැති තැනක,සොහොනක , දේවාලයක, ආදි තැන්හි වස් වසන්නට අවසර නැත. මේ කාලය තුළ ධුතාංග රැක්ම, ධර්ම දේශනා කිරීම ගුණ දහම් පිරීම විශේෂයි. සැදැහැවතුන්ට කුසල් රැස්කරගත හැකි පුණ්‍ය සමයකි.

වස් විසීමේදී මුලින්ම කළ යුතු චාරිත්‍රයක් ඇත. එනම් වැසි සළුවක් ලබා ගැනීමයි. ඉල්ලීමක් නොමැතිව කරන පූජාවද එයට වඩාත් සුදුසුය. විශේෂයෙන්ම අධිෂ්ඨාන කර ගත යුතු චීවරයකි. එය වස් වසන දිනයට කලින් මාසයක් ඇතුළත පඬු පොවා සකස් කරගත යුත්තකි. එහෙත් වස් වසන දිනය වනතුරු අධිෂ්ඨාන හෝ පරිභෝග නොකළ යුතුය. දායක පක්‍ෂයෙන් නියමිත කාලයේදී නොලැබුණහොත් සුදුසු කෙනෙකුගෙන් ඉල්වා ගත යුතුය. හේතුව වැසි සමයේදී සිවුරු හිඟයෙන් පීඩා නොවිඳීම සඳහාය.

කඨින පින්කම් සැදැහැවත් බෞද්ධයන්ට ඇති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. එය ආනිසංස වශයෙන් තිස් කල්පයක් අපාගත නොවීමට හේතුවන්නකි. සත්‍ය ලෙසම පංච ශීලය ආරක්‍ෂා කරමින් දැහැමි ජීවිතයක් ගත කරන අයෙකු කරන වස් ආරාධනයකින් ලැබෙන ආනිසංස ඉමහත්ය. හේතුව මේ සඳහා වැඩි කාලයක් සුදානම වීමයි. කුසලයක ආනිසංස වැඩි වන්නේ ශීලය ප්‍රධාන කරගෙන දරණ පරිශ්‍රමය අනුවය, වස් කාලය අවසානයේ චීවරයක් පූජා කිරීමෙන් පමණක් කඨිනානිසංස ලබාගත නොහැක. එසේම අතහිත දීමෙන්ම පමණක්ම සම්පූර්ණ අනුහස් සපුරා ලද හැකි බව සිතීමද වැරැදිය. නමුත් යන්තම් හෝ මෙබඳු පින්කමකට සම්බන්ධ වීමද ආනිසංස දායකය. කුමන හේතුවකින් හෝ ජීවිතයේ එක් වරක් කඨිනානිසංස පුණ්‍ය කර්මයක් සපුරා ගැනීමට හැකි වුවහොත් සසර වසන තුරු බලගතු වාසනා මහිමයක් ලැබෙනු ඇත.

භාවනාව මනා ලෙස භාවිතා කොට සුභාවිත කරගැනීම සඳහා වැසි සමය යහපත්වේ. නොවදාළ දහම අධ්‍යයනය කර ගැනීමට උපයෝගී කරගත හැකි බවද අනුදැන වදාළ සේක. ඒ සමයෙහි බොහෝ පිරිස් වස්සාන ඍතුව ලැබීමට පෙර බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ කමටහන් ලබා ගත්හ.සුදුසු සෙනසුන්වල වැඩ වසමින් චිත්ත දියුණුවට යොමු විය. එසේම මහ රහත්භාවය සාක්ෂාත් කරගැනීමට උත්සුක වූ සේක.එකල පාවා නුවර වැසි පිණ්ඩපාතික වූ පාංශුකූලික තෙචීවරික ආරණ්‍යවාසී සංඝයා වහන්සේලා තිස්නමක් වැඩ හුන්හ. සඟරුවන බුදුරජාණන් වහන්සේ දැක කමටහන් ලබා ගැනීමට කැමතිව සැවැත් නුවරට වැඩම කරන්නේ සැවතට යොදුන් හයක් තිබියදී වස්සාන ඍතුව එළැඹිනි.අතරමග සාකේත නුවර නතර විය. වස් කාලය අවසන් වූ වහාම තව දුරටත් වැසි වැටෙද්දී තෙමී ගත් සිවුරුවලින් යුතුව බුදුරජාණනන් වහන්සේ හමුවට පැමිණියහ. එම කරුණ එදා කඨින චීවරයක් මහා සංඝරත්නය වෙත අනුදැනීමේ මඟ විය. දිය බේරෙන තෙමීගත් සිවුරුවලින් යුතුව පීඩාවට පත්ව සිටි තම ශ්‍රාවක පිරිස කෙරෙහි සානුකම්පිත වූ තථාගතයන් වහන්සේ වස් වසා නිමකළ භික්‍ෂූන් වෙත කඨින චීවරයක් පිළිගැනීමට සුදුසු බව වදාළහ. පෙර වස් වසා වස් බිඳ ගැනීමක්ද සිදු නොවු මහා පවාරණයෙන් පවාරණය කළ සංඝයා වහන්සේ නමක් විය යුතුය.

පවාරණය සඳහා රැස්වන වස් විසූ භික්‍ෂූන් වහන්සේ බද්ධ සීමාවකට හෝ උදකුක්ඛෙප සීමාවකට රැස්වීමට පෙර කළ යුතු කාර්යන්ද පවතී. වැඩිහිටි මාහිමිපාණන් වහන්සේලාගේ නියෝගය අනුව යම්කිසි සංඝයා වහන්සේ නමක් විසින් පුබ්බකරණ, පුබ්බකිච්ච ආදී වත් සැපයිය යුතුය. පළමුව සීමා මාලකය පිරිසිදු කිරීම, ඇමදීම ආදිය වේ.රාත්‍රියෙහි නම් සීමාවෙහි පහන් දැල්විය යුතුය. පවාරණය සඳහා වැඩම කරන සෙසු සංඝයාගේ ප්‍රයෝජනය සඳහා පානීය වූද, පරිභෝජනීය වද පැන් අවශ්‍යය. වැඩ හිඳීමට අසුන් පැනවිය යුතුය. පවාරණයට පෙර අන්‍ය සීමාවක පවාරණය කර පැමිණි භික්‍ෂූන්ගෙන්ද ගිලන් භික්‍ෂූන් වෙතොත් ඒ අයගෙන්ද ඡන්දය හා පාරිශුද්ධි බව තහවුරු කිරිම වැදගත්ය. එය කයින් හෝ වචනයෙන් හෝ ඒ දෙකින්ම හෝ ලබාගත යුතුයි. මෙහිදි ඡන්දය සමාන සංවාසයක් සංඝයා හා පවාරණය කිරිම සදහා සීමාවට රැස්වීමට මත්තෙන් දිය හැකිවේ. ආරෝචනය සංඝයා රැස්වු කල්හිම සිදු කෙරේ. එය ඍතු පිළිබඳවත් ගත වූ හා ඉදිරි පෝය පිළිබඳවත් දැනුවත් වීමකි. සංඝයා කොපමණද යන්න ගණන් ගැනීමද සිදු කෙරේ. ඉන් පසු පිරිසෙහි ව්‍යක්ත භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ කරගෙන සංඝ සම්මුතියක් අනුව සිදුවේ. ඤන්තිය තබන ලෙස නියෝග කිරීමට ප්‍රථම එහි සමස්ත භික්‍ෂු සංඛ්‍යාවද පවාරණයට පළමු යෝග්‍ය බව පැවසිය යුතුය. එසේම පූර්ව කෘත පඤ්චකය පූර්ව කරණිවලින් පසුව කරන නමුත් පැවරීමට පළමු කළ යුතු නිසා “ පුබ්බ කිච්චං “ ලෙස පූර්ව කෘත්‍ය යෝග්‍ය බව දේසිතය.

ප්‍ර‍්‍රධාන වශයෙන් පවාරණය ත්‍රිවිධාකාරය. චතුද්දයි. පණ්ණරසි හා සාමාගී‍්‍ර වශයෙනි. එහෙත් සවිස්තර ලෙස පවාරණයෙහි ප්‍රභේද තව ආකාරයකි. ඤන්තිය තැබීමට තෝරාගත් තෙරුන් විසින් සිවුර ඒකාංශ කොට පොරවා උක්කුටිකයෙන්ද හිඳ, සංඝ තෙමේ මෙසේ පවාරණය කරන්නේය. “දිට්ඨෙනවා සූතෙනවා...පෙ” ඉන්පසු සියලුදෙනා වහන්සේද එය අනුගමනය කරමින් හිඳ වෘද්ධ තෙරුන් නම් ආවුසො කියාද නවක නම් “ භන්තෙ...වශයෙන්ද පවාරණය කළ යුතුය.

“සුනාතු මේ භන්තෙ සංඝො අජ්ජ පවාරණ චතුද්දසී යදි සංඝස්ස” යනාදී වශයෙන් පවාරණ ඤන්තිය සිදු කෙරේ. පසළොස්වක දිනයක් නම් පණ්ණරසී ලෙස භාවිත වේ. පවාරණ වාක්‍ය සංඝං භන්තෙ පවාරණා දිට්ඨෙනවා, සුතෙනවා, පරිසංඛ්‍ය වූ වදන්තු මං භන්තෙ අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාමි දුතියම්පි, තතියම්පි වශයෙන් විය යුතුය. පවාරණයේදී යටත් පිරිසෙයින් පස් නමක් හෝ වැඩි ප්‍රමාණයක් සිටිය හැකිය. අන්ඤමඤ්ඤ පවාරණය සතර නමකට ද සීමා වේ. තුන් නමකට අඩු විට අධිෂ්ඨාන පවාරණය සිදුකළ හැකිය. එබැවින් එය එක නමකටද කිරීමට අවසර ඇත. එසේම එහි බිඳුණු වස් ඇති භික්‍ෂු තෙමේද පෙර වස් නොවිසි භික්‍ෂූ තෙමේද වස්විසීමක් නොමැති භික්‍ෂු තෙමේද සිටී නම් “ පරිශුද්ධො “ අහං භන්තෙ පරිසුද්ධොතී මං ධාරේථ...”යනුවෙන් පිරිසුදු පොහොය කළ යුතුය.

නෛර්යානික සම්බුද්ධ ශාසනය නිරුපද්‍රිතව පවතින මෙකල උපසම්පදාව ලත් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටීම ඉමහත් ගෞරවයකි. බොදු බැතිමතුන් විසින් වස් විසීමට ආරාධනය කිරිම චාරිත්‍රයක් ලෙස සිදු කරති. සමහරු තබන ලද තම නිවාසයන්හිදී පදිංචියට පෙර වස් වසා පින්කම් සිදු කරයි. දැහැත් ගොටුවක් පිළිගැන්වීමෙන් ආරම්භ කරන වස් විසීමත් චීවර මාසයේ සිදුකරන කඨින පින්කම් මුල , මැද අග යන තුන් තැන්හිම සංවිධානය බොහෝ ගිහි පින්වතුන් විසින් කරනු ලබන්නකි.

කඨින වස්ත්‍රය මහා සංඝයා වහන්සේ වෙත පූජා කිරීමට පෙර ඒ පිළිබඳ අසන දෙය පමණක් භික්‍ෂූන් වහන්සේ කියාදි නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. එය අහසින් පහත් වූ දෙයක් පරිදි සංඝයාට හැඟෙන අයුරින් පූජා කිරීමට හැකි තරමට යහපත් බවක් පුරාතනයේ සිට සිංහල බෞද්ධයන් අතර පැවතුණි. තෙමසක් පුරා වස් පින්කම් පැවැත් වූ බෞද්ධ ජනතාවගේ තවත් පූජා පින්කම් සමයක් අරඹයි. වප්මස අවපෑලවිය සිට ඉල් මස පුර පසළොස්වක පෝය දක්වා එය පැවැත්වේ. චීවර මාසය නම් වූ මේ කාලය තුළ නියමකරගත් එක් දිනකදී එක් තැනකදී අවුරුද්දේ එක් වරක් පමණක් කළ හැකි පුණ්‍ය කර්මය කඨින පූජා පින්කම් වශයෙන් හඳුන්වයි.

පඨවිරිවත ජාතු කම්පතෙ - න ච ලති මේරු රිවාති වායුනා
වජිර මිව න භිජ්ජතෙ ඝනං – තමෙද මතො කඨනංති වුච්චතී

කඨින චීවර දානමය කුසල කර්මය මහා පොළොව මෙන් කිසි දිනක කම්පා නොවේ. මහමෙර මෙන් අධික සුළඟින් නොසැලේ. දියමන්ති පර්වතයක් මෙන් නොබිඳෙන හෙයින් මේ ස්ථාවර කුසලයට “ කඨින’’ යැයි කියනු ලැබේ.

‘කඨින’ දානමය කුසලය අට මහා කුසල් අතර ප්‍රධාන වන්නේය. ආර්ය පුද්ගල මහා සංඝ රත්නය වෙනුවෙන් මහ මෙර උසට සියලු ආමිස දානයන් අභිබවා කඨින පූජාව අගතැන් ගනී.

“කඨින වන්තං නාම බුද්ධප්පසන්නං “ යනුවෙන් සමන්ත පාසාදිකා විනය අටුවාගත පාඨයෙන් දැක්වෙන පරිදි කඨින චීවරය සියලු බුදුවරයන් වහන්සේ විසින්ද පසස්නා ලද්දකි. ඒ මඟින් සියලු ලෝකවාසීන්ටත් විශේෂයෙන්ම බෞද්ධයන්ටත් වටිනා ආදර්ශයක් දුන්හ. එසේම විනය නීතිරීති සමූහයකින් සම්පූර්ණ වූ මහා අනර්ඝ පරිස්කාරයකි.

ශ්‍රී ලංකාවාසි බෞද්ධ ජනතාව ඉමහත් හරසරින් පවත්වන උත්සව අතරින් කඨින පූජෝත්සවය ප්‍රධානය. බෞද්ධ පින්වතුන් පුරුද්දක් වශයෙන් කඨින පූජා පින්කම හිමිදිරි පාන්දර සිදු කරයි. පෙර වස් පවාරණය කළ භික්‍ෂූන් වහන්සේ බුදුරජාන් වහන්සේ නියම කර ඇති පරිදි සැදැහැවත් දායක පිරිස පූජා කළ වස්ත්‍රය කඩ කපා පඬුඳ පොවා සකස් කර කප් බිංදුව තබා අධිෂ්ඨාන කර ගනියි. දෙපට සිවුර , තනිපට සිවුර හෝ අඳනය යන තුන් චීවරයන්ගෙන් එකක් ඒ සඳහා සකස් කර ගනී. අනුබුදු මිහිදු මා හිමියන්ගේ සමාරම්භ වූ තැන් පටන් ශාසනයෙහි මේ දක්වා පැවත එන චාරිත්‍රයකි. වංශ කථා අනුව අතීතයේ ලක් රජය හෙබවූ නරපතියෝ මේ මහා පින්කම මහානර්ඝ අන්දමින් පැවැත්වූ බව වංශ කථාවලින් දැක්වේ. ගමක වෙසෙන සාධු ජන සමාජය සාමූහිකව එක්ව සිදු කළ හැකි පුණ්‍ය කර්මයකි. වස් වසා වැඩ සිටින සංඝයා වහන්සේලාට වස්ත්‍ර හෝ චීවරයක් පූජා කිරීමය. ඉතාම දුර්ලභ ගණයේ කුසල කර්මයක් රැස්කරගත හැකි අවස්ථාවකි. ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, ආදි රටවල කඨින පුණ්‍ය උත්සවය නොයෙකුත් විචිත්‍ර ආකාරයෙන් සිදුවේ. නිවන් දක්නා ජාතිතෙක් උපනිශ්‍රය වන පරලොවද සුගතිගාමී කරවන උදාර වූ කුසල ශක්තියකි. ඇසළ අව පෑලවිය දිනයේ පටන් වස් නොබිඳා රැකගත් උපසම්පදා වූ භික්‍ෂූහු පවාරණය කරනු ලබයි. වස් විසීම නිම කළ උපචාර සීමාව තුළදී සැදැහැති දායකයන් විසින් පූජා කරනු ලබන කඨින වස්ත්‍රය ලබාගත යුතුය. ඉන් පසු සංඝයා විසින් එය බද්ධ සීමාවකදී වියත් භික්‍ෂුවරයෙකුට පැවරීම සිදු කෙරේ. පවරණ ලද චීවරය පසුදා අරුණ නැගෙන්නට ප්‍රථම අතුරා නිමා කොට අනුමෝදන් කළ යුතුය. යම් හෙයකින් වස් විසු භික්‍ෂූන් වහන්සේ වස්සච්ඡෙදනය කර ගන්නේ නම් කඨින චීවරයක් ඇතිරීමට ඉඩක් නොමැත. කඨින වස්ත්‍රය ලද භික්‍ෂුන් වහන්සේ නියමිත පරිදි සිවුරක් ලෙස එය පිළියෙල කරගත යුතුය කඩ කපා මසා නිම කර තමන් එතෙක් අධිෂ්ඨානය කරමින් පරිහරණය කළ සිවුරුද පච්චුද්ධරණය කෙරේ.

අභිනව කඨින චීවරය කප් බිංදුව තබා තනිපට සිවුරක් නම් “ ඉමිනා උත්තරා සංඝෙන කඨිනං අත්ථරාමී “ යන වාක්‍යයෙන් කඨිනය අතුරා නිම කළ හැකිය. දෙපට සිවුරක් නම් ඉමාය සංඝාටිකා වශයෙන් ගනු ලබයි. අඳනයක් නම් ඉමාය අන්තර වසේන “ යනුවෙන් අතුරා නිමකළ යුතුය. ඉන් පසු එම විහාරස්ථානයේ වස්විසු උපසම්පන්න සියලු භික්‍ෂූන් වහන්සේගේ ඡන්දය සමඟින් අත්ථං භන්තේ (ආවුසො) සංඝස්ස කඨිනං ධම්මිකො කඨිනත්ථාරෝ අනුමෝදථ යනාදී වශයෙන් අනුමෝදන් කරනු ලබයි. කඨින චීවරය ගිහි පින්වතුන් විසින් සංඝයාට පූජා කරන නමුත් එය ඔවුහු පි‍්‍රයමනාප භික්‍ෂූන් වහන්සේ නමකට දියයුතු බව පැවසීමටද ඉඩක් නැත. එහි සම්පූර්ණ තීරණය සංඝයා සතුය. එසේම පැවිදි පක්‍ෂය හා ගිහි පිරිස අතර මනා සංයමයකින් සිදුකරනු ලබන ශාසනික වූ එකම සුවිසල් කුසල කර්මයද කඨින පින්කමය.

ගුණ නුවණින් පරිපූර්ණ රාජ රාජ මහාමාත්‍යාදි පුණ්‍යකාමීහු සිල්වත් මහ සඟරුවන ඇසුරු කරමින් ඒ , ඒ විහාර ආරාමයන්හි මහත් ශ්‍රද්ධා භක්තියෙන් කරනු ලබන විශේෂ කුසල කර්මයකි. අපමණ පින් ඇතිවන අනුහස් ඇති කඨින සිවුරක් පූජාකරගත් අයට ආනන්තරික කර්ම හැර ඉන් මෙපිට කවර විදියේ අකුසල කර්මයක් කෙරී තිබුණද ඒවා යටපත් කිරීමේ ශක්තියක්, බලයක් ඇතිවේ. දෙවි මිනිස් දෙගතියෙහිම සැරිසරමින් මහාකල්ප හතකින් පමණ මෙම කුසලයෝ විපාක ලැබිය හැකිය. සක්දෙවි රජෙකුවීමට හේතුවන කුසලයකි. උපනූපන් සෑම තැනකදීම සියලු සම්පත් ලැබීමට හේතුවේ. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ යන උසස් කුලවල ඉපදීමට උපකාර වේ. සෑම තැන්හිම පි‍්‍රය, මනාප පුද්ගලයෙකු වේ. මෙම අනර්ඝ කුසල කර්මයෙහිදි සංඝයා වහන්සේලාට අවශ්‍ය කැපසරුප් බඩු බාහිරාදියද පූජා කිරීමක්ද සිදු වේ. ඉදල, කොස්ස, පැදුර, කොට්ටය, පාපිස්ස, ආදිය උපකරණ පමණක් නොව විහාරස්ථානයට අවශ්‍ය ඇඳ පුටු ආදි ගරු භාණ්ඩයෝද පූජා කළ හැකිය. වැඩ සිටින සියලුම භික්‍ෂූන් වහන්සේලාට සිවුරු පූජා කිරීමද වස්සාවාසික චීවරපූජා නමින් හඳුන්වයි. එපමණක් නොව දායක පිරිස විසින් විහාරස්ථාන භූ®මිය එළි පෙහෙළි කොට විහාර, බෝමළු ධර්මශාලා දී ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමද සිදු කරනු ලබයි. සිංහල බොදු සැදැහැවතුන්ට මේ මහානිසංසදායි කුසල ක්‍රියාවම උතුම් චාරිත්‍රයකි. පුරා මාස තුනකට වඩා පිළිවෙත් පිරීම නිසා පැවිදි පක්‍ෂයට ලැබෙන අනුහසද බොහෝය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.