Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික අරගලය මුවහත් කළ රන්කොත් විහාරය

මෙරට ආක්‍රමණය කළ බටහිර ජාතීන්, පෘතුගී‍්‍රසින් ඉන්පසු ලන්දේසීන් හා ඉංගී‍්‍රසින් පිළිවෙලින් බටහිර ප්‍රධාන වෙරළබඩ තීරය උතුරට හා දකුණට සිය අනසක පතුරවන ලද්දේ විවිධ අවස්ථාවල මෙම බටහිර ආක්‍රමණිකයන්ට එරෙහිව මෙරට දේශපේ‍්‍රමීන් එල්ල කළ කැරළි ගැටුම් යුද්ධවලට මුහුණ දෙමිනි. මේ නිසාම ඔවුන් 19 වන සියවස මුල භාගය වනතුරුම සමස්ත දේශීන්ම යටත් කර ගැනීමට මෙම ආක්‍රමණිකයන්ට අවස්ථාව නොවීය. පෘතුගීසින් හා ලන්දේසීන් හා ඉංගී‍්‍රසින් අතර ආගමික නිකායික මතබේද හා ගැටුම් පැවතුණි. උදාහරණයක් ලෙස පෘතුගිසීන් කිතුනු සම්ප්‍රදායෙන් ඔවුන් අන් කතෝලික සම්ප්‍රදායයන් පමණක් අනුමත කළ අතර සෙසු කිතුනු නිකාය හෙළාදැක බෞද්ධාගම හින්දු ආගමික ස්ථාන පුස්තකාල සමඟින් ඒවා විනාශ කර දමනු ලැබිණි. එය ආගමික සංහාරයක් ලෙසින් ද හැඳින්විය හැකිය. කෙසේ නමුත් එවැනි ආක්‍රමණවලින් බේරීමට පලාගිය කිතුනු පූජකයන් සඳහා රැකවරණය සපයන ලද්දේ කන්දඋඩරට රාජ්‍යයේ පාරම්පරික ලාංකික රජවරුන් විසිනි.

පෘතුගීසින් පලවා හැර අනසක පැතිරවූ ලන්දේසීන්ද ඉන්පසු ආක්‍රමණය කළ පෘතුගීසින් ද සිය අනසක පවත්වා ගෙන යාමට ඉහත ආක්‍රමණිකයින් අනුගමනය කළ ආගම, භාෂාව, අධ්‍යාපනය පරිපාලනය එකිනෙකට සම්බන්ධව පවත්වාගෙන යාමට ක්‍රියාත්මක විය. 19 වන සියවස වනවිට බටහිර දකුණු වෙරළබඩ උතුරු නැගෙනහිර වෙරළබඩ අල්ලාගත් පෘතුගීසි පාලකයෝ උඩරට අල්ලා ගන්නට පෙර රටේ බලයේ සිටි සියලු පාලකයන්ගේ පාලන උපක්‍රම හා මෙරට මේ වනවිට සිටි ස්වදේශිකයන්ගේ මනෝභාවයන් හොඳින් වටහා ගනිමින් තිබුණි. තාන්න මාන්න කෙරෙහි ප්‍රභූ®න් ඉඩම් හිමියන් තුල පැවති කැමැත්ත පාලනයට ඇති කැමැත්ත එකිනෙකා අතර ඇති බල තරගය ඔවුන් ඒ සඳහා උපයෝගී කරගත්තේ ය. 19 වන සියවස මුලභාගය වනවිට ධනවාදී නිෂ්පාදන හා සේවා ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත කළ බටහිර පාලකයෝ ඒ සඳහා ස්වදේශික ජනතාවට පිවිසීමට ඇති මාර්ගය ලෙස යටත්විජිත හිමියාගේ භාෂාව ආගම සිරිත්විරිත් වත්පිළිවෙත් ජීවන ක්‍රම ද හඳුන්වා දෙමින් තම පාරම්පරික ආගම් භාෂා සම්ප්‍රදායන් සිරිත්විරිත් අනන්‍යතාවය බාල්දු කිරීමට ගැරහීමට නොවැදගත් ලෙස සැලකීමට පොළඹවන ලදී.

19 වන සියවස තුළ මෙරට තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1815 උඩරට ගිවිසුම හඳුන්වාදිය හැකිය. තම දේශිකයින් තුළ පැවති බලතරගය හා ගැටුම් උපයෝගීකර ඉංගි‍්‍රසි පාලකයෝ උඩරට ගිවිසුමකින් සියවස් තුනකට ආසන්න කාලයක් යටත්කරගත නොහැකි වූ උඩරට රාජධානිය යටපත් කරගත්තේ ය. මෙහි බරපතල විපාක දැනෙන්ට උඩරට ජනතාවට ගියේ වසර දෙකක් පමණි. 1818 ඌව වෙල්ලස්ස මහා කැරැල්ල ලෙස හඳුන්වන ජනතා නැගිටීම ඇතිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ජයගත හැකිව තිබුණු මෙම කැරැල්ල ඉතා අවාසනාවන්ත ලෙස වර්ධනය කළ ඉංගී‍්‍රසින් යලි අවිබලයෙන් නොනැගිටින ලෙසින් එය ඉතාමත් තිරිසන් ලෙසින් මර්දනය කළේය. දසදහස් ගණන් දේශපේ‍්‍රමීන් රාලලා, නයිදෙලා හා බණ්ඩාරලා පමණක් නොව මෙම අරගලයට දේශීය දෙමළ සටන්කාමීන්ද සම්බන්ධව සිටි බව ඒ පිළිබඳ කෙරී ඇති පර්යේෂණ පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය යටත්විජිත වාදයට එරෙහිව ලාංකිකයන් සිය නිදහස වෙනුවෙන් දරන ලද අවසාන මෙම ප්‍රයත්නයෙන් පසු යළි නොනැගිටින තැතහොත් කැරැල්ලකින් බලය අල්ලා ගැනීමට නොහැකි වන තරමට මර්දනය ප්‍රචණ්ඩව හා අපහාසිත කැරැල්ල මර්දනය කළ පාලකයෝ සිය අනන්‍යතාව පතුරුවාලමින් යම්තම් දේශපාලන සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කෝල්බෲක් කැමරන් කොමිසන්වල නිර්දේශ ක්‍රියාත්මක කරමින් හඳුන්වා දුන්නෝ ය. ඒ සියල්ල අතරතුර යටත්විජිත හිමියාගේ සංස්කෘතික ආක්‍රමණය සමාජ නිෂ්පාදන ක්‍ෂේත්‍රය පුරා විහිදී ගියේය. වරප්‍රසාද ලත් රජයේ හෝ ඉහළ ව්‍යාපාරික ආයතනයන්හි රැකියාවට යාම යටත්විජිත හිමියාගේ් බස පමණක් නොව සිරිත්විරිත් හා ආගම ද අනිවාර්යයයෙන්ම පිළිපැදිය යුතු විය. එසේ ම වරප්‍රසාද තාන්න මාන්න ඉඩකඩම් වෙනුවෙන් ආගම මාරු කිරීමට පමණක් නොව ස්වදේශීය ආගමික සංස්කෘතික සම්ප්‍රදායයන් ගරහන්නට පවා සමහරෙක් පෙළඹුණෝ ය. යටත්විජිත පාලකයින්ගේ ආශිර්වාදය හා අනුග්‍රහය මත මෙරටට පැමිණ ක්‍රියාත්මක වුණු විවිධ මිෂනාරි ආගම්වල අනුගාමිකයින්ගේ මෙම කි‍්‍රයාවන් සෘජුවම එල්ල වූයේ බුදුසමය වෙතය. මීට අමතරව උතුරු ප්‍රදේශයේ හින්දු සම්ප්‍රදායයන් සමග ගැටුණු ආකාරය දැකිය හැකිය. මෙම ක්‍රියාවන්ට එරෙහිව සංවිධානාත්මක ලෙස විරෝධය පෑමේ එක් සන්ධිස්ථානයක් ලෙස 1826 සැ. 15 දා පානදුරේ දී රැස්වුණ බෞද්ධ ප්‍රභූන් විසින් ආණ්ඩුකාරවරයාට යවන ලද පෙත්සම පෙන්වාදිය හැකිය. එහෙත් එයට විකල්ප සංවිධානාත්මක පියවරක් ඉංගී‍්‍රසි ආණ්ඩුව ගත්බව නොපෙනේ.

මේවනවිට දකුණු ලක බෞද්ධ භික්ෂූන් වහන්සේ හා ගිහි පඬිවරුන් හා ප්‍රභූ®න් විසින් මිෂනාරීන් දිගින් දිගටම ගෙනගිය බෞද්ධ විරෝධී ජාතිද්‍රෝහී වැඩ පිළිබඳ ඊට එරෙහිව සංවිධානය වෙමින් සිටියෝය.

ලන්දේසීන් ගේ පාලන සමයෙහි මෙරට ඇරඹුණු සංවිධානාත්මක මුද්‍රණ ව්‍යාපාරත් මේවන විට මිෂනාරීන් විසින් ඉදිරියට ගෙනයමින් බෞද්ධ හින්දු විරෝධි පතපොත පළ කරන තරමට ඉදිරියට යමින් තිබුණේ ය. මේවනවිට රටේ පොදුවේ පැවති ශාසනික පරිහානිය ප්‍රධාන වශයෙන් කැපී පෙනෙනුයේ ධර්ම ශාස්ත්‍රීය අවබෝධය සහිත ගිහි පැවිදි පුළුල් පිරිසක් නොසිටීම නිසාය. මිෂනාරීන් සංවිධානාත්මක ලෙස දේශනා කිරීම ආධාර අනුග්‍රහ ආදී මතවාදයන්ට පුද්ගලයන් කැමති කරවා ගැනීම තාන්න මාන්න වරප්‍රසාද වෙනුවෙන් නොනැමෙන පිරිස් මෙන්ම සංවිධානාත්මක මුද්‍රණ ව්‍යාපාරයන්ට මුහුණදීමට තරම් ආර්ථික සමාජ හැකියාවක් නොමැතිවීම මෙන් ම ගැඹුරු ධර්ම ශාස්ත්‍රිය අවබෝධයක් සහිත පුළුල් පිරිසක් නොසිටීම මේ යුගයේ කැපී පෙණුනි.

මුලින්ම 19 වන සියවසේ මුලභාගයේ මෙරට ඇතිවන පාරුපන වාදය දළ්හි කර්ම වාදය වැනි වාදවලින් පෙනෙන්නේ ධර්ම ශාස්ත්‍රීය වශයෙන් ගිහිපැවිදි පඬිවරුන් සතුව පැවති නොපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීමේ ශාස්ත්‍රීය සංවාද මාලාවකි. බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ප්‍රථම බෞද්ධ මුද්‍රණාලය ලංකාලෝකය මගින් ප්‍රථම සිංහල පුවත්පත පළකරන ලදී. මීට ආසන්න වකවානුවේදී කොළඹ දී දකුණුලකෙන් පැමිණි බටුවන්තුඩාවේ පඬිතුමාගේ ප්‍රධානත්වයෙන් ලක්මිනි පහන පුවත්පත ආරම්භ කරන ලදී. මේ සමගම ඇතිවන ජාතික ආගමික පිබිදීමේ ඉතාම තීරණාත්මක අවස්ථාවක උදාවන්නේ 1873 අගෝස්තු 26 , 28 දෙදින තුළ පැවති පානදුරාවාදය යි.

පානදුරාවාදයට ආසන්න නිමිත්තක් වූයේ 1873 ජුනි 12 වන රන්කොත් විහාරයට නුදුරින් පිහිටි වෙලිසිපලයන් පල්ලියේ ඩාවිඩ් ද සිල්වා දේවගැතිතුමා පැවත්වූ බෞද්ධ විරෝධී දේශනාවකි. මේ පිළිබඳව රන්කොත් විහාරාධිපති වල්පිට ගුණරතන මහානාහිමියන්ට දැනගන්නට ලැබී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ලවා පිළිතුරු දේශනයක් පවත්වන ලදී. මේ ආකාරයෙන් පන්සලේ සහ පල්ලියේ ඔවුනොවුන්ට විරුද්ධ දේශනා සිදුවිය. අනතුරුව මහාවාදය පැවැත්වීමට තීරණය කරන ලදී. ඓතිහාසික පානදුරාවාදයට පසුබිම් වූ රන්කොත්විහාරය මෙරට ජාතික ව්‍යාපාරයේ පසුබිම් කථාව හා බැඳී ඇති ස්ථානයකි. 19 වන සියවසේ මුල් භාගයේ දකුණුලක ජාතික ආගමික ප්‍රබෝධය සමග බස්නාහිර වෙරළබඩ තීරය ඔස්සේ මේ ප්‍රබෝධය ඉස්මතු විය. කතළුවේ ගුණරතන, බටපොළ කල්‍යාණතිස්ස, වල්පිට සුමනතිස්ස, හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් 1810 දී රන්කොත් විහාරය ගල්කන්දේ විහාරය නමින් ආරම්භ විය. රන්කොත් විහාරයේ මූලිකත්වයෙන් සිදුකළ මහාවාදයේ වාර්තාවක් ජෝන් කැපවර් විසින් ටයිම්ස් පත්‍රයේ පළකරන ලදී. ජේ. එම්. පීබල්ස් සංඥාපනයක් ද සහිතව කුඩා පොතක් ලෙස මුද්‍රණය කර ඇමරිකාව ඇතුළු රටවල ප්‍රචාරය කළේය. එයින් පිටපතක් කර්නල් ස්ටීල් ඕල්කට්තුමාට ලැබිණ. එතුමා බ්ලැවැට්ස්කි මැතිනිය ද සමග ලංකාවට පැමිණියහ. එතුමා ලංකාවේ නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළේය. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි විවිධ ලේඛකයන් කවීන් දේශමාමකයන් සමග ලංකාව නව මාවතකට ගෙනයාම සඳහා මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළේය.

ජාතික කාහල නාදය පානදුරාවාදයෙන් මතු වී පසුකාලීන ලාංකික දේශපාලන සංස්කෘතික ගමන්මඟ මුළුමනින්ම මෙහෙයවනු පෙනේ. 19 වන සියවසේ අගභාගයේ දේශපේ‍්‍රමි ජාතික නායකයින් ආගම භාෂාව සංස්කෘතික පදනමක් ඇතිකළ 19 වන සියවස අගභාගයේ ඇතිකළ ආණ්ඩුක්‍රම ප්‍රතිසමාජ පදනම සකස් කළේය. ඒ අර්ථයෙන් ගත්කළ පානදුරා මහාවාදයට නිමිත්ත ඇතිකළ පානදුරේ රන්කොත් වෙහෙර පුරෝගාමී ගමන්මගේ කේන්ද්‍රස්ථානය යැයි නම්කළ හැකිය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.