Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

පුප්පානි හෙව පචිනන්තං
ඛ්‍යා සත්ත මනසංනරං
අතිත්තං යෙව කාමෙසු
අන්තකො කුරුතේ වසංති

පින්වත්නි,

මාතෘකා කළ ගාථාවෙහි සාමාන්‍ය අදහස වන්නේ මල්කරුවකු ගසින් ගස මල් සොයා යන්නාක් මෙන් පංචකාම සැප නමැති මල්සොයමින් එහිම ඇලුණු සිත් ඇති වස්තුකාම ක්ලේශකාමයන්ට වසඟ වූ පුද්ගලයා මාර වසඟයට යන්නේ ය. යනුයි.

(පුප්පානි හේව පචිනන්තං - මල් කඩා රැස් කරන්නකුමෙන්) මල් රැස් කරන අයට කෙතරම් මල්ලැබුණත් ඔහු එයින් සෑහීමකට පත්නොවේ.

(බ්‍යාසන්ත මනසංනරං - තදින් ඇලුණු සිත් ඇති සත්ත්වයා)

එමෙන්ම වස්තුකාමයට මෙන්ම ක්ලේශ කාමයට ඇලුණු පුද්ගලයා එයින් සෑහීමකට පත් නොවේ.

අතිත්තං ඒව කාමේසු - කාමයන්හි නොසෑහුණු පුද්ගලයා තමන් පි‍්‍රය කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයන්හි තදින් එල්බගනී. අසීමිත ආශාවෙන් එය වැළඳ ගනී. එමෙන්ම ගේදොර, ඉඩකඩම්, රන්, රිදී, මුතු, මැණික්, යානවාහන ආදිය කෙරෙහි අසීමිත වස්තුකාමයක් ඇති කර ගනී. මෙසේ එම අවස්ථාවේදී ලැබෙන ක්‍ෂණික සැපත ස්ථිර ලෙස සලකන මිනිසා අනන්තවූ දුකක් මෙලොව මෙන්ම පරලොවදීද විඳියි. ආශාව, තණ්හාව, අඥාන පුද්ගලයා එය තමන්ට හිතකර ලෙස සිතයි. වෙළඳාම්, ගොවිතැන් ආදී නොයෙක් රැකියා කරන පුද්ගලයා අව්වැසි නොබලා, මැසි මදුරු උවදුරු විඳිමින් නයි පොළොන් ආදී විසකුරු සතුන්ගේ උවදුරු වලට ගොදුරු වෙමින්, තමකුසට ආහාරයද නිසිලෙස නොලබමින් අනන්ත දුක්විඳිමින් ධනය රැස් කරයි. මෙම අසීමිත ආශාව, තණ්හාව නිසා මෙලොවම අසීමිත දුක්විඳී පරලොවදීද දුක් විඳී.

රට්ඨපාලසූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. ඌණො ලොකො අතිත්තො තණ්හා දාසො ලෝකයාට කෙතෙක් ලැබුණත් සෑහීමක් නැත. ඔහු තණ්හාවට දාසයෙක් වී ඇත. කොරව්‍ය රජතුමා රට්ඨපාලහාමුදුරුවන්ගෙන් මෙසේ අසනව. “ස්වාමීනී, ලෝකයා තණ්හාවට දාසවෙලා ඉන්නව. කිසිම සෑහීමකට පත්වන්නෙ නැහැ කියලා ඔබවහන්සේ දේශනා කරනව. මෙය තේරුම් ගන්නෙ කොහොමද? රට්ඨපාල හාමුදුරුවො පවසනව, “රජතුමනි, පෙරදින විශ්වාස කටයුතු පුරුෂයෙක් ඇවිත් ඔබතුමාට කියනව, දේවයන් වහන්ස අසවල්ජනපදය හරිම දියුණුයි, බොහොම ධනවත්, රන්, රිදී, මුතු, මැණික් අනන්තයි. සුළු පරිශ්‍රමයකින් ඒ ජනපදය දිනාගන්න පුළුවන්. මෙසේ කිව්වොත් ඔබතුමා මොකද කරන්නේ?

“ස්වාමිනි, මා ඒ ජනපදය යටත් කරගන්නවනෙ” රජතුමා කියනවා. ඒ වගේම වෙනත් ප්‍රදේශයකින් මේවගේ පුරුෂයෙක් ඇවිත් කීවොත් ඔබ මොකද කරන්නේ? රට්ඨපාල හාමුදුරුවො අහනව, මොනවද ඒ ජනපදත් මා යටත් කරගන්නව. රජතුමා කියනවා. “රජතුමනි, මේ ලෝකේ කෙතෙක් ලැබුණත් සෑහීමකට පත් නොවන බව කීවෙ එනිසයි.” රට්ඨපාල හාමුදුරුවො රජතුමාට පෙන්නල දුන්න.

මෙසේ තමන්ට කොතෙක් ලැබුණත් එයින් සෑහීමකට පත්නොවන මිනිසා එය සොරසතුරන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට, අව්වැසි ගින්නෙන් ආරක්‍ෂාකර ගැනීමට දිවා රෑ නොබලා කුසට අහරක්ද නැතිව වෙහෙසෙයි. ‘තණ්හා’ නමැති ගින්නෙන් සිත දැවෙමින් පවතී. මෙසේ අසීමිත වස්තු කාමය මෙන්ම ක්ලේශ කාමය නිසා මෙලොව මෙන්ම පරලොවදීද අනන්ත දුක්විඳී.

පතිපූජිකා නම් කාන්තාවක් නිමිතිකර බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාථාව භික්‍ෂූන් වහන්සේලාට දේශනා කළ සේක. මාලාහාරී නම් දිව්‍යරාජයෙක් තව්තිසා දෙව්ලොව විය. මෙම දිව්‍යපුත්‍රයා දෙවඟනන් පිරිවරා දිනක් මල් උයනට ගියේ ය. දෙවඟනන් පිරිසක් ගස් නැඟ මල් නෙලති. දෙවඟනන් පිරිසක් මල් රැස්කර දේව පුත්‍රයාට පළඳවති. පිරිස අතර සිටි එක් දෙව්දුවක් ආයුෂ ගෙවී යාමෙන් එම අවස්ථාවේ දී දෙව්ලොවින් චුත වූවා ය. දෙව්ලොවින් චුත වූ ඇය සැවැත්නුවර එක් කුළගෙයක උපන්නාය. පෙර අත්බව සිහිකිරීමේ නුවණ ඇයට ලැබී තිබිණ. ඇය පෙර අත්බව ගැන සිතන්නේ මාලාභාරි දෙව්පුතුගේ බිරිඳ ලෙස උපත ලබා තිබුණ අන්දමත්, එහිදී සැපසම්පත් ලැබූ අන්දමත් දුටුවා ය. මනුෂ්‍ය ආත්මයේ සැපසම්පත් වලින් සෑහීමකට පත් නොවූ ඇය නැවත මාලාභාරි දෙව්පුතුගේ බිරිඳවීම සඳහා පින්දහම් කළාය. ඇය සොළොස් හැවිරිදි වියේදී සරණ ගියා ය. සරණගිය පසුද ඇය අනේකප්‍රකාර භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කළා ය. තමන් කුසල් කරන සෑම මොහොතක මෙන්ම භික්‍ෂූන් වහන්සේට දන් බෙදන අවස්ථාවලදීද “මෙපිනෙන් නැවත මාහිමියා වෙත උපදීවා! කියමින් නිතරම හිමියාපතා පින්දහම් කළා ය. නිතර හිමියාපතා පින්දහම් කරන බැවින් මැයට පතිපූජිකා යනුවෙන් නම් කළහ. ඇය නිතර බොජුන්හල අමදින්නීය පැන්පෙරා තැබීම, අසුන් පැනවීම ආදිය පතිපූජිකා අතින්ම කරන්නීය. නිතර විහාරයට ගොස් උවටැන් කරන ඇයට භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කළයුතු අන්දම ගැන මනා පළපුරුද්දක් වූවා ය. දානය දීම සඳහා පැමිණෙන අනෙක් අයද තමන්ගේ දානය අවශ්‍ය ලෙස පිළියෙළ කර දීමට ඇයටම දෙන්නාහ. මෙසේ කුසල් කරන ඇය තම සැමියාම පතන්නීය. කල්යත්ම ඇය පුතුන් සිවු දෙනකුගේ මවක් වූවාය. දිනක් ඇය දන් දී ගිය කල්හි හදිසියේ කලුරිය කළා ය.

මනුෂ්‍ය ආත්මය හැර ගිය පතිපූජිකා ඇයගේ ප්‍රාර්ථනය අනුව නැවත මාලාභාරි දෙව්පුතුගේ දෙව්විමනේම ඔහුගේ බිරිඳ වී උපන්නාය. ඒ වන විටත් අනෙක් දෙවඟනෝ මාලාභාරි දෙව්පුතුට මල්පලඳවමින් උන්නාහ. මැය දුටු මාලාභාරි දෙව්පුතු ‘සොදුර උදය පටන් ඔබ නොදුටිමි. ඔබ කොහේ ගියේදැයි’ විමසීය.

මම මෙතැනින් චුතව ගොස් මනුෂ්‍ය ලෝකයේ සැවැත්නුවර කුළගෙයක උපන්නෙමි. එහිදී සරණගොස් පුතුන් සිවුදෙනෙක් ලැබීමියි දෙවඟන පැවසුවා ය. ‘එහි කොපමණ කලක් විසුවේදැයි’ දෙව්පුත් විමසූ විට දසමසක් කුසේ සිටි අතර සොළොස් වියේ දී සරණගියෙමි. එම විවාහයෙන් පුතුන් හතර දෙනෙක් ලැබුයෙමි. මනුෂ්‍ය ලෝකයේ උපන්දා පටන් ඔබ පතා පින්දහම් කළෙමි. ඒ පින් බලෙන් නැවත ඔබ වෙත උපන්නෙමියි දෙව්දුව පැවසුවාය. ‘මනුෂ්‍ය ලෝකයේ පරමායුෂ කෙතෙක්දැයි දෙව්පුතු විමසන ලදුව, මනුෂ්‍ය ලෝකයේ පරමායුෂ අවුරුදු එක්සියයක් පමණයයි ඇය කීවාය. ‘එසේනම් ඔබගේ මනුෂ්‍යලෝකයේ ආයුෂය අපගේ දිව්‍යලෝකයේ ආයුෂයෙන් දිනකින්ද අඩක් පමණ යයි දෙව් පුතු පැවසීය.

පසුදා දනට වැඩිය භික්‍ෂූන් වහන්සේ පතිපූජිකා මියගිය බව අසා ඇය උපන්නේ කොහිදැයි දැනගැනීමට බුදුපියාණන් වහන්සේගෙන් විමසූහ. “මහණෙනි! ඇයගේ ප්‍රාර්ථනය අනුව ඇය නැවත ඇයගේ සැමියා ළඟම උපන්නේයයි බුදුරජාණන් වහන්සේ වදාළහ. ඇයගේ සැමියා ළඟ ඇය නොමැති බව භික්‍ෂූන් වහන්සේ පැවසූහ. මහණෙනි! ඇය පින්දහම් කරමින් ඇය ප්‍රාර්ථනා කළේ තව්තිසා දෙව් ලොව තම සැමියා ළඟ ඉපදීමට ය. එසේ ඇය තව්තිසා දෙව්ලොව තම සැමියා ළඟම ඉපදී ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මනුෂ්‍යලෝකයේ සම්පත් සෑහීමකට පත් නොවූ පතිපූජිකා පින්දහම් කළේ ඉන්ඔබ්බට ගිය දිව්‍ය ආත්මයේ සම්පත් ලැබීමට ය. ඇයගේ එම කුසල් චේතනාව අනුව නැවත දිව්‍ය ලෝකයේ උපන්නාය. ඇය භව තණ්හාව ඇතිව කුසල් කළ හෙයින් ඒ කුසලය අනුව දිව්‍ය ආත්මයේ උපත ලැබූවද ඇයට සසරින් එතෙරවීමක් නම් නැත. කුසල් කළ යුත්තේ නිවන ප්‍රාර්ථනා කරගෙනය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.