Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍රි.ව. 1794 දී සාරානාත් පුද බිමෙහි ඒ වන විටද තිබුණු ධර්ම රාජික ස්තූපය කඩා බිඳ දමා එහි ගඩොල් ආදි ද්‍රව්‍ය වලින් ජගත් සිං නම් බරනැස් පාලකයා විසින් ජනපදයක ගෙවල් සැදීම සඳහා යොදා ගන්නා ලදී. මෙම ස්තූපය එසේ ජගත් සිං ගේ මිනිසුන් විසින් විනාශ කරන විට උඩ සිට මීටර් 8.25 යටින් මම ස්තූපයේ විශාල රවුම් ගල් පෙට්ටියක් තුළ කොලපාට කිරිගරුඬ ධාතු කරඬුවක් හමු වූයේය. එහි ධාතුන් , මුතු, රන්වන් හා රන් ආභරණ කීපයක්ද තිබුණි. අසෝක රජතුමා විසින් එහි නිධන් කරන ලද බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේලා ද එහි තිබුණි. ජගත් සිං විසින් ඒවා ගංගා නම් ගඟට දැමූ බැව් වාර්තා වී ඇත.

Buddhist Chrine in India - 1986 D.C AHIR P.26 )
 

මෙම විනාශය පිළිබඳ දැන ගන්නට ලැබුණේ මේ පිළිබඳ සිදු කළ ගවේෂනයක් බරනැස්හි කොමසාරිස්වරයා වූ ජොනතන් ඩන්කන් මහතා විසින් 1798 දී ප්‍රකාශයට පත් කළ සාරානාත්හි පුරාවස්තු පිළිබඳ වාර්තාවෙහිය.

සරානාත් පුද බිම පිළිබඳ පළමුව අවධානය යොමු කළ බ්‍රිතාන්‍ය ජාතිකයා වූයේ කර්නල් සී මැකන්සිය .1815 දී ඔහු විසින් සාරානාත්හි කළ ගවේෂණයෙන් හමු වූ පුරාවස්තු හා මූර්ති කල්කටාවේ ඉන්දියානු කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලදී.

ඉන්පසු ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා සාරානාත් පුද බිම කැණීමට ලක් කළේ 1835 - 36 වර්ෂවලදීය. ඒ කැණීම් වලිදී ඔහු යමෙක් ස්තූපය විවෘත කළේය. එහි තිබී ශිලා ලේඛන පුවරුවක්ද හමු විය.

ධර්ම රාජික ස්තුපය නැවත වරක් ගවේෂණය කිරීමේදි ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් එහි තිබී ශිලාමය ධාතු කරඬුවක්ද සොයා ගන්නා ලදී. ධර්මරාජික ස්තුපයට පිහිටි විහාරයද ඔහු ගවේෂණයට ලක්කළේය.

කනිංහැම් මහතා විසින් ඉහත සඳහන් කළ සාරානාත් ගවේෂන හා කැණීම්වලින් හමුවූ පුරාවස්තු සියල්ලම කල්කටාවේ පිහිටි කෞතුකාගාරයෙහි තැන්පත් කැරුණි.

ඇලෙක්සැන්ඩර් කනිංහැම්ගේ කටයුතු වලින් පසුව සාරානාත් පුද බිමෙහි තිබූ ආරාම වලට අයත් ගල් කරත්ත හැටක සංඛ්‍යාවක් වරුණ ගඟේ පාළම් දෙකක් සෑදීම සදහා යොදා ගෙන ඇත. එයින් කොටසක් රැජිණ විද්‍යාලය සෑදීමට (මෙකල සංස්කෘත විශ්ව විද්‍යාලය) සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සෑදීමට යොදා ගෙන තිබේ.

මෙතෙක් සාරානාත් පුද බිමෙන් සොයාගෙන ඇති බෞද්ධ පුරාවස්තු හා මූර්ති ඵලක මෙසේය.

1. අසෝක ස්තම්භය

2. අසෝක රජු විසින් සාදවන ලද ධමෙක් ස්තූපය

3. ධර්ම රාජික ස්තූපය (එහි මුල් ස්තූපය (ක්‍රි.පූ. 3 වැනි සියවසේදී අසෝක රජු විසින් සාදවන ලදී)

4. සාරානාත් ආරාම සංකීර්ණය

5 .මූල ගන්ධකුටි විහාරය (ප්‍රධාන) ගුප්ත රාජ යුගයේදී (ක්‍රි.ව. 4 -6 සියවස් වලදී සාදවන ලදී)

6. ධම්මචක්ක ජින විහාරය - (කුමාරදේවි විසින් සාදවන ලදී ක්‍රි.ව. 12 සියවස )

7. මීට අමතරව ක්‍රි.ව. 2 -4 සියවස් වලදී කුෂාන රාජ යුගයේදි සාදවන ලද වෙහෙර විහාර හා නටබුන්ද හමු වී ඇත.

අප මේවා කීපයක් පිළිබද විස්තර විමසා බලමු.

1. අසෝක රජුගේ ශිලා ස්තම්භය

ප්‍රධාන විහාරයට බාහිරින් අසෝක රජතුමා විසින් පිහිටුවනලද ස්තම්භය පිහිටියේය. බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන් වහන්සේලා ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා හැටනමකින් යුක්ත මහා සංඝරත්නය එක්රැස් කළ (එනම් සංඝ ශාසනය ඇති කළ ) පුද බිමෙහි මෙම අසෝක ස්තම්භය පිහිටුවන ලදී. මෙහි ශීර්ෂයෙහි පිහිටි (අසෝක කුළුණු හිස) සිංහයින් සතරදෙනෙකු සතර දිසාවට මුහුණ සිටින ආකාරය නිරූපිතය. ධර්ම චක්‍රය සහිත වූ පාදමක මෙම සිංහරූප නෙළා ඇත. අසෝක ශිලා ටැඹෙහි මෙම සිරස අද සාරානාත් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති අන්දම දැක ගත හැකිය.

මෙම අසෝක ශිලා ටැඹෙහි තවත් විශේෂත්වයක් නම් අසෝක රජතුමාගේ රාජ නියෝගයක් (ක්‍රි.පූ 3 සියවසේදී) බ්‍රාහ්මි අක්‍ෂරයෙන් ලියා තිබීමය. එහි සඳහන් වන්නේද සංඝ භේදය කරන භික්‍ෂූන් හෝ භික්‍ෂුණීන් මෙහි සිටි නම් ඔවුන් සුදුරෙදි හඳවා සසුනෙන් පහ කළ යුතු බවය.

Asoka 1925 - D.R.BANDARKAR P.B. 333 - 334 )
 

ඉහතින් සඳහන් කළ පරිදි නූතන ඉන්දියානු රජය මෙහි අසෝක ශිලා ටැම් හිස එහි රාජ්‍ය ලාංඡනය ලෙසටද එහිම නිරූපිත ධර්ම චක්‍රය ජාතික ධජයේ ලාංඡනය ලෙසද යොදා ගෙන ඇත. නූතන ඉන්දියාවට අසෝක රාජ යුගයේ පමණක් නොව බෞද්ධ දර්ශනයේ බලපෑම කෙතෙක් ඵෙතිහාසික ඓතිහාසික වශයෙන් බලපා ඇතිද යන්න මෙයින් ප්‍රත්‍යක්‍ෂ වේ.

මෙම ශිලා ස්තම්භය මීටර් 15 - 25 උසට තිබුණි. එහෙත් එය පසුව කැබලි කීපයකට කැඩී තිබුණි.

අසෝක ස්තම්භයේ පහළම කොටසේ වටවූ ප්‍රමාණය සෙ.මී. 71.1 මුදුන සෙ.මී.55.9 කි.

2. ධර්ම රාජික ස්තූපය

මෙම ස්තූපය පළමුවෙන්ම නිර්මාණය කරන ලද්දේ අසෝක රජතුමා (ක්‍රි.පූ. 273 -232 ) විසිනි. මෙහි විෂ්කම්භය මීටර් 13.49 කි. මෙම ස්තූ®පය ඊට පසු (ක්‍රි.ව. 2 සියවස) කුශාන රජ කෙනෙකු වු කනිශ්ක රජු විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී.

ඉන් පසුව මෙම ස්තූ®පය දෙවන වරට විශාල කරවන ලද්දේ ගුප්ත රජවරුන් (ක්‍රි.ව. 500- 600 ) විසිනි. ඒ ප්‍රතිසංස්කරණ වලදී මීටර් 4.88 පළල වූ ප්‍රදක්‍ෂිණ පථයක් මෙම ස්තූපය වටා කරවා ඇත. එපමණක්ද නොව මෙම ස්තූපය වටා මීටර් 1.35 උස ප්‍රාකාරයක්ද එම ප්‍රාකාරයෙහි දොරටු හතරක් සතර දිසාවෙහිද සාදවා තිබේ.

මෙම ස්තූපයේ කැණීම් වලදී හෙළි වී ඇති කරුණක් නම් ධමෙක් ස්තූ?පය හය වාරයක් මුල් ස්තූපය විශාල කිරීමට කටයුතු කර ඇති ආකාරයයි.

SARANATH - V.S. AGRAWALA - 1992 ARCHAEOLOGICAL SURVEY of INDIA p,17 )
 

මෙම ස්තූපයේ අවසාන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත්තේ කුමාරදේවි නම් බිසවක (ගහඩවාල රජුගේ) විසින් ක්‍රි.ව. 12 වැනි සියවසේදීය. 1794 දී වාරානසි හි එවක පාලකයා වූ ජගත් සිං විසින් මෙම ස්තුªපය විනාශයට පත් කරන ලදී. Buddhist Shrines - in INDIA - 1986 - D.C.AHIR P.29 )

3. මූලගන්ධකුටි විහාරය (ප්‍රධාන)

ධර්මරාජික ස්තූපයට උතුරු දෙසින් ඇති පුරාණ මූලගන්ධකුටි විහාරයට අයත් වූ නටබුන් දැක ගත හැකිය. ක්‍රිස්තු පුර්ණ තුන්වන සියවසේදී අසෝක රජතුමා විසින් නැවත මෙම මූලගන්ධකුටි විහාරය ගොඩනංවන ලදී. මෙම විහාරයේ ගල්කනු හා තවත් නටබුන් මෙහි ඇත. එක පැත්තක් මීටර් 18 - 29 ක් වූ සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක නටබුන් මෙහි තිබේ. බුදුරජාණන් වහන්සේ පළමු වස් විසුවේ මෙහිය.

මෙම ගොඩනැගිල්ල නැගෙනහිරට මුහුණ ලා (දොරටුව) නිර්මාණය කර තිබූ බව පෙනේ. චීන සංචාරක භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියන්ගේ වාර්තා අනුව මූලගන්ධකුටි විහාරය මීටර් 61 පමණ උසය. බුදුරජාණන් වහන්සේ සාරානාත්හි පිහිටි මූලගන්ධ කුටි විහාරයේද ධර්මරාජික ස්තුපය පිහිටි පුද බිමේද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බව හියුංෂාං හිමි සඳහන් කරයි.

බුදුරජාණන් වහන්සේ මූල ගන්ධකුටි විහාරයේ සමවත් සුවයෙන් වැඩ සිටි අවස්ථාවලදී එම අංගනය සක්මන් කිරීම සඳහා යොදා ගත්හ. මුලගන්ධකුටි විහාරය හා ධර්මරාජික ස්තුපය අතර බුදුරජාණන් වහන්සේ සක්මන් කළ සක්මන් මළුව පිහිටා තිබුණි. ඒ පුදබිම් දෙක අතර තිබී බෝධි සත්ව පිළිමයක්ද හමු වී ඇත. මූලගන්ධකුටි විහාරයේ විශාල ගල්කණු හතරක් අද දක්නට ලැබේ. ඊට මැදිවූ ආසනයකි. එය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආසනය සේ සැළකේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.