Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෙර වස් එළඹි භික්ෂුව තුන් මසක් නිමවූ පසුව වප් පුර පසළොස්වක් දින පෙර වස් පවාරණය ද පසු, පස් එළැඹි භික්ෂූන් ඉල් පුර පසළොස්වක් පොහොය දින පසු වස් පවාරණය ද කරති. පෙර වස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණය මහා පවාරණය වශයෙන් සැළකේ

බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ පරිදි උපසම්පදා භික්ෂූන් වහන්සේ ගී‍්‍රස්ම ඍතුවෙහි අවසන් පොහොය වන ඇසළ පුර පසළොස්වක් දින පොහොය කැර එදිනට පසු දින හෙවත් ඇසළ අව පෑළවිය දින පෙර වස් සමාදන් වෙති. එය “පුරිමිකා “ යනුවෙන් හඳුන්වයි. එදින වස් වැසීමට නොහැකි වූ යම් භික්ෂුවක් වෙත් නම්, නිකිණි පුර , පසළොස්වක දින පොහොය කැර පසු දින හෙවත් නිකිණි අව පෑලවිය දින පසු වස් එළඹෙති. එය ‘පච්චිමිකා ‘ යනුවෙන් හඳුන්වයි.

පෙර වස් එළඹි භික්ෂුව තුන් මසක් නිමවූ පසුව වප් පුර පසළොස්වක් දින පෙර වස් පවාරණය ද පසු, පස් එළැඹි භික්ෂූන් ඉල් පුර පසළොස්වක් පොහොය දින පසු වස් පවාරණය ද කරති. පෙර වස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණය මහා පවාරණය වශයෙන් සැළකේ.

“අනූජානාම් භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං තිහිට්ඨානේහි පවාරෙතුං දිට්ඨෙනවා සුතේනවා පරිසංඛායවා සාවෝභවිස්සති අඤ්ඤමඤ්ඤානුලෝමතා ආපත්තිවුට්ඨානතා විනය පුරෙක්ඛාරතා “ මහණෙනි, වස් විසූ භික්ෂූන් කෙරෙහි දුටු දෙයකින්, ඇසූ දෙයකින්, සැකකල දෙයකින්, චෝදනා කිරීම සඳහා සංඝයා ඉදිරියෙහි පැවරීම අනු දනිමි. එය ඔබ සියලු දෙනාගේම තම තමන්ගේ දුටු වරද පෙන්වාදීමේ අනුකූලතාව වෙයි” යනුවෙන් විනය ප්‍රඥ්පතියක් පැනවූහ.

කොසොල් ජනපදයෙහි වස් විසූ භික්‍ෂූන් වහන්සේ පිරිසක් වස් අවසානයේ ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේ බැහැ දුටහ. මහණෙනි, ඔබ සතුටින් විසුවෝදැ’යි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළෙන් එයට පිළිතුරු දෙන උන් වහන්සේ, එසේය ස්වාමීනි, අපි මෙම වස් කාලය තුළ එකිනෙකා සමග කථා නොකළෙමු. පිඬු සිඟා පළමුව ආරාමයට පැමිණි අය දාන ශාලාව සූදානම් කළෙමු. පසුව පැමිණි අය වැළදීමෙන් පසු ඉතිරි වැඩ කළෙමු. පැන් භාජනය හිස් නම් පළමුව දුටු අය එය පිරවීමු. එම කටයුත්ත තනිවමැ කළ නොහැකි නම් අතින් සංඥා කැර, අනෙකකුගේ් සහාය ගත්තෙමු. එක් වචනයක්වත් කථා නොකළෙමු” යනාදී වශයෙන් පිළිතුරු දුන්හ.

එවිට බුදුරජාණන් වහන්සේ, මෙම මෝඝ පුරුෂයෝ බොහෝ අපහසුවෙන් ගත කැර පහසුවෙන් සිටියාහුය’යි කියති. මෙවැනි මෘග වෘත කිසිවකුගේත් පැහැදීම පිණිස හේතු නොවේයැ’යි වදාරා, ඉහත විනය ශික්ෂා පදය පැනවූහ. මෙවැනි ශික්ෂා පද පැනවූයේ භික්ෂූ සමාජයේ යහපත් සඳහාත්, අයහපත් අයට නිග්‍රහ පිණිසත්, නොපහන් අයගේ පැහැදීම පිණිසත්, පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි කිරීමටත්, සද්ධර්මයේ චිර පැවැත්මටත්, විනය ආරක්ෂා කැර ගැනීමටත්, සංඝයාගේ සමඟිය වැඩි දියුණු කැර ගැනීමත් ආදි කිහිපයක් බලාපොරොත්තුවෙනි. භික්‍ෂූන් වහන්සේ අතර ගොළුවන නින්දාවට ලක් කැර දුටු වරද පෙන්වා දීමේ කරුණු අගය ඉස්මතු කළහ. දුටු වරද පෙන්වාඳීම කෙනෙක් යහමගට ගත හැකි ක්‍රියාමාර්ගයකි. එසේ කිරීම මෛත්‍රීපූර්ණවාඳගෙම කුසල කර්මයකි. දුටු වරද කීමෙන් මෙත්තාවච් කර්මය පුරා.....” යනුවෙන් සාමණේර බණ දහම් පොතෙහි සඳහන් වන්නේ කුඩා කල සිටම පුහුණු විය යුතු උසස් ගුණ ධර්මයක් නිසායි.

භික්‍ෂූන් වහන්සේට සැමදා එකම ස්ථානයේ වැඩ සිටීම අපහසුය. එම නිසා එකම ස්ථානයක සිට මේ පොරොන්දුවෙන් නිදහස් වී, කැමැති පරිදි චාරිකාවේ යෙදීම, පිණිසත්, වස් තෙමස අවසන පවාරණය අනුදැන වදාළහ. මෙවැනි කරුණු ගණනාවක් මුල් කැරගෙන පවාරණය අනුදැන වදාළහ. මෙසේ අනු දැන වදාළ පවාරණය සැළකිය යුතු විනය කර්මයකි. පවාරණය කරන දිනයේ ද පොහොය කරන දිනයේ මෙන්මැ, මූලික වත් පිළිවෙත් කළ යුතුය. පොහොය ගෙය අතුගා ශුද්ධ පවිත්‍ර කැර, පුපකරණ පුබ්බකිච්චා නිමවා වැඩිහිටි භික්ෂූන් වහන්සේගේ අනුමැතියෙන් සුනාතුමේ භන්තේ සංඝෝ අජ්ජ පවාරණා පණ්නරසී යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝ තේවාචිකං පවාරෙය්‍ය ඒසා ඤත්තී” යනුවෙන් ඤත්තිය තැබිය යුතුය. මෙම වාක්‍යය ඒ ඒ අවස්ථාව අනුවැ වෙනස් කැර ගැනීමට සිදු වෙයි. පළමුව වැඩිමහලු භික්ෂූන් වහන්සේ උක්කුටිකයෙන් වැඩ හිඳ පවාරණ වැකිය තුන් වරක් කියා පවාරණය කළ යුතුය. ඉන් පසු වැඩිමහලු පිළිවෙළට අනෙකුත් භික්ෂූහු පවාරණය කැරෙති. සියලු දෙනා වහන්සේ පවාරණය කැර නිම වන තුරු උක්කුටිකයෙන් වැඩ සිටීම ශාසනික පිළිවෙතයි.

විනයට අනුවැ පවාරණ නවයක් ඇත. එනම් චාතුද්දසී, පංචදසී, සාමග්ගී, තේවාචික, ද්වේවාචික, ඒකවාචික සංඝ, ඝණ, පුග්ගල යනුවෙනි. වස් වැසූ භික්ෂූන් පවාරණය කැර නිමවූ පසු වස් නොවැසූ, වස් ඡේදනය වූ , වස් විසීමට නොහැකි වූ , භික්ෂූන් “පරිසුද්ධෝ අහං භන්තේ පරිසුද්ධෝතිමං ධාරේථ “ යන වාක්‍යය කියා පිරිසුදු උපෝසථය කරනු ලබති. පවාරණය කිරීමට සීමා මාලකයකට වැඩමවීමට අපහසු ගිලන් භික්ෂුවක් නම්, පවාරණයට කැමැත්ත දෙමි. මගේ පවාරණ ඡන්දය ගෙන යනු මැනවි. මා පිණිස පවාරණය දෙන මැනවි “ යනුවෙන් පවාරණය දිය යුතු වෙයි. එසේ නොමැති නම් ඇඳක හෝ සුදුසු අසුනක තබා, සඟ මැදට ගෙන ගොස් පවාරණය කළ යුතු වෙති.

පවාරණයෙන් පසුව වස් විසීම අවසන් නොවේ. පසු දින අරුණ නැගෙන තුරු වස් සමාදානය තිබේ. මෙම විනය කරුණු දක්වා ඇත්තේ ඉතා ලුහුඬින්ය. මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේට චීවර මාසය තුළ කඨින චීවරයක් ලැබීමේ අයිතිය තිබෙන අතර, කඨින චීවරයක් ලද භික්ෂුවටත් පූජා කළ දායක දායිකාවන්ටත් මහත් ඵල මහා ආනිශංස අත්වේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.