Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
සොළොස් මහා ජනපද වලින් “අවන්ති “ ප්‍රදේශය ද එකකි. අවන්ති ජනපදය අස්සක ජනපදයට යාබදව පිහිටියේය. ශාසනික ඉතිහාසය හා එක්වගිය තොරතුරු බොහොමයක් මෙම ප්‍රදේශයෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර 
බුද්ධ කාලයෙහි අවන්ති ජනපදයේ අගනුවර වූයේ උදේනි නුවරයි. මෙය පිහිටියේ උතුරු අවන්තියේ චර්මන්වතී නදී තීරයේය. කාත්‍යායන (කච්චායන) මහ රහතන් වහන්සේ ගේ ජන්ම භූ®මිය අවන්තියයි. ලක්දිව බුදු සමය පිහිටුවා වදාළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ද උපන්බිම මෙයම විය. කුරරඝර නම් අවන්ති ජනපද නුවරක් විය. ‘කාලි’ නම් උපාසිකාව ‘කුරරඝරයෙහි විසූ තැනැත්තියකි. ඇගේ පුත් කුටිකණ්ණා සොණ ස්ථවිර බුදුරදුන් ගෙන් තනතුරු ලත් රහත් උතුමෙකි. වේදිසා නම් නුවරක් ද අවන්ති ජනපදයෙහි පිහිටා ඇත. සැරියුත් මුගලන් දෑගසව් ධාතු නිදන්කොට චෛත්‍යය මෙහි පිහිටා ඇත. අශෝක මහ රජතුමාගේ බිසව වූ “වේදිස “ දේවී ශාක්‍ය කුමරියගේ ජන්ම භුªමියද මෙයම විය.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ අවසාන චාරිකාවෙහිදී ‘නාලන්දාවෙන් ‘ පාඨලී ගමට වැඩියහ. එගම් වැසියන් අරභයා සවස් වරුවෙහි දුස්ශීල සීල විපතට හේතු හා සිල්වතාගේ සීල සම්පත්තියට හේතු ද පැහැදිලි කළහ. බුදුරදුන් පාඨලී ගම්වැසියන් උදෙසා දේශනා කොට වදාළ දුශ්ශීල ශීලවිපත් කරුණු පස මොනවාද?

පිළිතුර
දුශ්ශීල ශීලවිපත් හේතු පසකි

1. කටයුතු ප්‍රමාදයෙන් සම්පතින් පිරිහීම
2. දුශ්ශීල බව නිසා අපකීර්තියට පත්වීම
3. තේජසින් පිරිහී සැකමුසුව සභාගත වීම
4. මරණය සිහිමුළාවෙන් යුතුවීම
5. මරණින් මතු දුගතිගාමී වීම


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්ඛවෙ ආරාමං “ මහණෙනි! ආරාම පිළිගැනීමට අවසර දෙමියි. අනුදැන වදාළහ. බුද්ධ ශාසනය උදෙසා පිදූ පළමුවන ආරාමය මෙය විය. මෙම පුවතෙහි සඳහන් වන පළමුවන ආරාමය කුමක්ද? පිදු දායකතුමා බුදුරදුන් හමු වූ සුවිශේෂ අවස්ථාව සහ දෙදෙනා අතර ඇතිවූ සංවාදයද සඳහන් කරන්න.

පිළිතුර
ගයාවෙහි කිහිප දිනක් වාසය කළ තථාගතයන් වහන්සේ උරුවේල කාශ්‍යපාදි දහසක් රහතන් වහන්සේ පිරිවරාගෙන රජගහ නුවර “ ලට්ඨි” නම් වනයෙහි රුක්සෙවනක වැඩහුන් සේක. බිම්බිසාර රජු උයන්පල්ලාගෙන් බුදුරදුන් වැඩි බව අසා පැහැද සපිරිවරින් බුදුරදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියහ. තුන් බෑ ජටිල දමනයෙන් අනතුරුව ඒ සඳහා එක් රැස්වූ සියලු පිරිසට “ මහා නාරද කස්සප ජාතකය “ දේශනා කළහ. දේශනාවසානයෙහි රජ හා පිරිස සෝවාන් විය. සෝවාන් වූ බිම්සර මහරජ බුදුරදුන් වෙත පැමිණ තම ප්‍රාර්ථනා පසක් ඇතිව සිටි බව කීය. ඒ ප්‍රාර්ථනා නම් 1. රජවීම 2.තමාගේ රාජ්‍යයට බුදුන්වහන්සේගේ වැඩම කිරීම 3. බුදුන් වහන්සේගෙන් බණ ඇසීම 4. බුදුන් වහන්සේගේ සමීප ආශ්‍රය 5. ධර්මය අවබෝධ කර ගැනීම යන ප්‍රාර්ථනා පසයි.


ප්‍රශ්නය
මහණ භවත් ගෞතමයෝ අප මෙන් ස්ව සන්තාන දමනයෙන් රහත් වනසේ නොදන්නා නමුත් ‘ නයින් ‘ දමන ආනුභාව ඇතියහ යි. රහත් ගුණ තමන් වෙතම තබා දුටහ. මෙම ප්‍රකාශය කළ තැනැත්තා කවරෙක්ද මෙසේ ප්‍රකාශ කිරීමට හේතු වු දෑ මොනවාද?

පිළිතුර
බුදුන් වහන්සේ උරුවෙල කාශ්‍යපයන්ගේ අසපුවට වැඩම කර කාශ්‍යපයෙනි! තොප අවසර දෙතොත් තොපගේ මෙම ගිනිහල් අද එක රෑ සැතපෙනු කැමැත්තම්හයි වදාළහ. එකල උරුවෙල කාශ්‍යපයෝ “ මහණ භවත් ගෞතමයෙනි. අප සේ වූ තපස්වී වරයනට නවාතැන්දීම සුදුසුමය. එහෙත් කිව යුතු යමක් ඇත. මේ ගිනිහල් ගෙයෙහි විෂඝෝර වූ නාග රාජයෙක් වෙසේ. හේ අප රහත් හෙයින් අපට කිසිවකුත් නොකෙරෙයි. නො රහත් වූ ඔබට යම් උපද්‍රවයක් කෙළේ නම් අයහපතෙකියි කීහ. දෙවන , තෙවන, වරද බුදුරදුන් අවසර ඉල්ලූ නමුත් කාශ්‍යපයෝ නයාගේ දැඩිකම් කියා පෑහ.

බුදුන් වහන්සේ නයින්ගේ් දැඩිකම් කීමෙන් පලක් නොවන බව වදාරා උරුවෙල කාශ්‍යපයන් ගෙන් අවසර ගෙන ගිනිහල් ගෙට වැඩමවා බුද්ධාසන පනවා පළක් බැඳ වැඩහුන්හ. නාගරාජයාගේ විවිධ දැඩිකම් මෙත් සිතින් බැහැර කොට නාග විෂ නැතිකොට පාත්‍ර ධාතුව ඇතුලේ දරණලා හොවා උහාසන උරුවෙල කාශ්‍යපයෝ කැඳවා තොපගේ නයින්ගේ සැටි බලවයි වදාළහ. ඉහත සඳහන් ප්‍රකාශය උරුවෙල කාශ්‍යපයින් විසින් එම අවස්ථාවෙහිදී කළ ප්‍රකාශයකි.


ප්‍රශ්නය
බුදු දහමට අනුව සියලු සසර දුක් කෙළවර නිවන් පසක් කරගනු කැමැතියන් විසින් ත්‍රිවිධ වූ ශික්‍ෂණයකට අනුව පිළිවෙත් ගරුක විය යුතුය. එහි පළමු පියවර ශීලයයි. විවරණයක් කරන්න.

පිළිතුර
කය - වචන දෙකින් සිදුවන්නා වූ පාපයන්ගෙන් වැළකීම ශීලයයි. සීලයෙන් තොර ප්‍රඥාවක් හෝ ප්‍රඥාවෙන් තොර ශීලයක් හෝ නැත. “ සීල පරිධොතං පඤ්ඤා පඤ්ඤා පරිධොතං සීලං “ යනුවෙන් දේශනා පාඨයෙහි සඳහන් වන්නේ එයයි. බෞද්ධයා ගේ අවසාන පරමාර්ථය නිර්වාණාවබෝධයයි. නිවන අවබෝධ කරගැනීම සඳහා සිත හෙවත් නුවණ දියුණු කරගැනීමෙන් ප්‍රඥාව වැඩිය යුතුය. ප්‍රඥාවෙන් නිවන් අවබෝධකර ගැනීමට සිත හික්මවා ගත යුතුය. කය වචන දෙකින් සිත සංවර වූ විට සිත ද එක් අරමුණක යෙදිය හැකිය. බෞද්ධ ශික්‍ෂණ මාර්ගය ශීලයෙන් ආරම්භ වෙයි.

ප්‍රශ්නය
කාමාවචර කුසලකර්ම යනු මොනවාදැයි ධර්මානුකූ®ල විවරණයක් කරන්න.

පිළිතුර
අටුවාචාරින් හඳුන්වාදෙන පරිදි “ කුස “ නමති බුද්ධියෙන් ගත යුතු බැවින් කුසල නම් වේ. “අථවා කුච්ජිතෙ පාපධම්මෙ සානතො තනු කරණතො ඔසාන කරණ තො වා කුසලානි “ යනුවෙන් යම් සත්ව කෙනෙක් පිළිකුල් කටයුතු වූ පාප ධර්මයන් තුනී කරත්ද, කෙළවර කරත්ද ඒ සිත් කුසල නම්වේ. තවද සැප විපාක ලබාදෙන බැවින්ද කුසල නම් වෙයි. සිතත් සිතුවිලිත් පිරිසුදු කරන දහම් බැවින් ‘ කුසල් නම් වේ. නින්දා කටයුතු කෙලෙස් දහම් වනසන බැවින්ද කුසල යන නාමය යෙදෙයි. කාමාවචර කුසල් කිරීමෙහි දී ශෝභන සාධාරණ චෛතසික එකුන් විස්ස ඒ ඒ කුසල් සිත් සමඟ උපදී. ඉන් කුසලයට මුල්වන චෛතසික ධර්ම තුනෙකි. ඒ අලෝභ , අදෝස, අමොහ යන කුසල් මුල් තුනයි. කාය කර්ම , මනඞ කර්ම වශයෙන් කාමාවචර කුසල ය තෙවදෑරුම්ය. කාමාවචර කුසලය දාන, ශීල, භාවනා වශයෙන් තෙවදෑරුම් ද වෙයි. අටවැදෑරුම් සිත් වශයෙන්ද දසපින් කිරිය වත් වශයෙන් දශ වැදෑරුම් වෙයි. දස පුණ්‍ය ක්‍රියා සිදු කිරීමෙහි දී කාමාවචර කුසල් සිත් අට එම් පින්කම් සඳහා යෙදෙනු ඇත.


ප්‍රශ්නය
න්‍යාග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ චරිතාපදානයේ විශේෂ වූවෙකි. උන්වහන්සේ කුමන රාජ යුගයකදී කවුරුන් වෙත පැවිදි බව ලැබූවේහිද? නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ සුවිශේෂත්වය කුමක්ද?

පිළිතුරු
මගධයේ පැළලුප් නුවර රජවූ ‘බින්දුසාර ‘ රජුගේ වැඩිමහලු පුත් ‘ සුමන ‘ පසුකාලයකදී යුවරජ තනතුරට පත්විය. බින්දුසාර රජුගේ පියදාස තිස්සය නම් පුත් කුමරුවෝ දෙදෙනෙක් මෝරිය වංශයේම “ ධම්මා “ නම් බිසවගේ කුසින් උපන්හ. බින්දුසාර රජු ඇවැමෙන් පියදාස කුමරු පසුව අශෝක යන නමින් උදේනී පුර යුවරජ බවට පත්ව පැළලුප් නුවර රජබවට පත්විය. අශෝක කාලිංග යුද්ධයෙහි සුමන යුවරජු මරණයට පත්වී මෙන් බියට පත් යුවරජ බිසව බියෙන් තැතිගෙන පලාගොස් නැගෙනහිර වාසල් දොරටුවට ආසන්න සැඬොල් ගමකට පැමිණ නුග ගසක මුලදී පුත් රුවනක් ලැබුවාය. නුග ගසට අරක් ගත් දේවතාවා විසින් ආරක්‍ෂා කරන ලද හෙයින් ‘නිගොඩ’ නම් විය. පසු කලෙක “ වරණ “ නම් මහතෙර නමක් වෙතින් පැවිදි බව ලබා රහත් ඵලයට පත්වූහ. නිග්‍රොධ සාමණේරයන් වහන්සේගේ ශ්‍රමණ ආකල්ප පිළිබඳව සිත් පහදවා ගත් අශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ මෙන් බුදුදහම හදාරා ආසියාවේ බුදුදහම ප්‍රචලිත කරලීමේ පුරෝගාමියා විය.


ප්‍රශ්නය
සංඛිත්තෙන පංචුප්දානක්ඛන්ධා දුක්ඛා “ කෙටියෙන්ම මේ පංච උපාදානස්ඛන්ධයම දුකකි. පෙලදහමට අනුව මෙම දේශනා පාඨය පැහැදිලි කරන්න.

පිළිතුර
බුදු දහමට අනුව සත්වයා පුද්ගලයා මම යන මේ වචනවලින් විවරණය කරනු ලබන්නේ මොහොතක් පාසා වෙනස් වන සුළු කායික - මානසික වේ. හෙවත් ශන්ති පිළිබඳ සමවායයක් පමණකි. මේ සියල්ල කොටස් පහකට (පංචස්ඛන්ධ ) බෙදා දැක්විය හැකිය. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී “ දුක” නම් කවරේද? ඒ වූකලී පංච උපාදානස්ඛන්ධ යම යයි කිය යුතුය. යනුවෙන් පංචස්කණ්ධයම දුක බව පැහැදිලි කළ සේක. දුඞඛය සහ පංචස්ඛන්ධය යනු දෙකක් නොව ඒකීය භාව ලක්‍ෂණ කොට ඇති ධර්ම තාවයක් බව වදාළ. සත්වයා මවාපාන පංචස්ඛන්ධය දුක් පිණිසම පවතින්නේ අනාත්ම ස්වභාවය හෙවත් අනිත්‍ය ස්වභාවය (වනිතර නොවන බව ) නිසාය. දුඞඛාර්ය සත්‍යය පැහැදිලි කිරීමෙහිදි ජාති ජරා ව්‍යාධි මරණ සෝත පරිදෙව ආදි වශයෙන් දේශනා පාලියෙහි විස්තරව අවසානයෙහි )සංඛිත්තෙන පංචපාදනක්ඛන්ධා දුඞඛා ) යනුවෙන් සංයුතියෙහි සියල්ල දුක් සහගතවම වන්නේය.


ප්‍රශ්නය
සම්මා සම්බුද්ධ සාවකො “ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක “ සමූහයා අතුරෙන් තනතුරු ලැබූ සිව්වණක් පිරිස නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර
කොණ්ඩඤ්ඤා සාරිපුත්ත - මහාමොග්ගල්ලාන , මහාකස්සප, අනුරුද්ධ , භද්දිය, වක්කලී, රාහුල, සීවලී, ආනන්ද , කාලුදායි , බක්කුල, සොභිත, උපාලි යන තෙරවරුන් තනතුරු ලබා ශ්‍රාවක වූවෝ වෙති.

මහාප්‍රජාපතීගෝතමී ඛෙමා, උප්පලවණ්ණා පටාචාර ධම්මදින්නා, නන්දා , සොණා, සකුලා, කුණ්ඩලකෙසා, භද්දා , කාපිලානි, භද්දකච්චායනා, කිසාගෝතමි , සිඟාල මාතා යන මේ භික්‍ෂූණීහු තනතුරු ලබා ශ්‍රාවිකාවෝ වුවාය. තපස්සු භල්ලුක අනාථ පිණ්ඩික, චිත්තගහපති හත්‍ථආලවක, මහානාම උග්ගහපති ජිවක නකුල පිතගහපති යයන මොව්හු තනතුරු ලබා ශ්‍රාවක භාවයට පැමිණි උපාසකයෝය. සුජාතා, විශාඛා, ඛුජ්ජුත්තරා සාමාවතී උත්තරා සුප්පාවාසා, සුප්පියා, කාතියානි, නකුල මාතා කාලියන මොවුහු තනතුරු ලබා ශ්‍රාවිකා භාවයට පැමිණි උපාසිකාවෝය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.