Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විසිතුරු ප්‍රතිභාන උපදවන අංගුත්තර නිකායෙන්...

දුක නිපාතයේ (අංගුත්තර නිකායේ ) සමචිත්ත වග්ගයේ අටවන සූත්‍රයෙහි දැක්වෙනුයේ හොරු (චොරා) සහ රජවරු (රජානො) පිළිබඳව කාරණයකි .” ඇතැම් කාලයකදී සොරු බලවත්වෙති. (චොරා බලවන්තො හොන්ති ) එවිට රජවරු දුබල වෙති. සොරු බලවත්ව, පිරිවර සහිතව , ධන ධාන්‍යයෙන් ආඪ්‍යව, යාන වාහන ඇතිව සිටින විට රජවරු ඇතුළු නුවරට පිවිසීමට හෝ ඇතුළු නුවරින් නික්මෙන්නට හෝ පිටිසර පළාත්වල (පච්චන්තිමෙ වා ජානපදෙ ) කටයුතු සංවිධානය කිරීමට හෝ අවස්ථාවල නොලබති. මැති ඇමති ප්‍රභූවරු පවා තම සිතැඟි සේ කටයුතු කිරීමට අසමත්ව සොරුන්ට භය වී, අවනතව ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කරති.

“එලෙසින්ම මේ සසුනේ පවිටු දුසිල් භික්‍ෂූහු යම් කලෙක පිරිස් බලය, ලැබය ධනයෙන්, බලයෙන් ආඪ්‍ය වේද එකල්හි පි‍්‍රයශීලි සිල්වත් භික්‍ෂූහු (පෙසලා භික්ඛු තස්මිං සමයෙ දුබ්බලා හොන්ති ) දුර්වල වෙති. පුන පුනා නිශ්ශබ්ද වෙමින් සංඝයා මැද කරබාගෙන හිඳීම හෝ පිටිසර පළාත්වලට පලායෑම හෝ සිල්වත් භික්‍ෂූහු සිදුකරති. (සංඝමජේඣෙ සංකසායන්ති, පච්චන්තිමෙ වා ජනපදෙ භජන්ති ) ධර්මාශෝක රජ දවස මෙබඳු තත්වයක් ඇතිව තිබු බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. කලින් කලට, යුගයෙන් යුගයට මෙවැනි තත්ව ඇතිවිය හැකි බව බුද්ධ දේශනාවේ සඳහන් වේ.

“ඇතැම් කාලවලදී රජවරු බලවත් වන අතර සොරු දුබල වෙති. සොරු දුබල වූ කල්හි රජුට ඇතුළු නුවරට පිවිසීම, ඇතුලු නුවරින් පිටවීම, පිටිසර දනවුවල කටයුතු කිරීම ඉතා පහසුය. (ඵාසු හොති) මැති ඇමති ප්‍රභූවරුන්ටද නිදහසේ රටේ දියුණුවට කටයුතු කළ හැකිවේ. එමෙන්ම යම් කාලයක් සිල්වත් පි‍්‍රයශීලි භික්‍ෂූන්ගේ බලය වැඩිවේද එකල්හි දුසිල් පවිටු භික්‍ෂූහු සඟ මැද කරබාගෙන සිටිති. (සංකසායන්ති) හිතු හිතු තැන්වල යති.

මේ කාරණා දෙකින් බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස , වැඩ පිණිස හේතුවනුයේ (බහුජනහිතාය බහුජන සුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං) සිල්වත් පි‍්‍රයශීලි භික්‍ෂූන්ගේ බලය වැඩිවීමයි. දුසිල් පවිටු භික්‍ෂූන්ගේ බලය වැඩිවීම දෙව්මිනිසුන්ට හිත සුව පිණිස හේතු නොවේ.

වැරැදි පිළිවෙත් හෙළා දකියි

තථාගතයන් වහන්සේ ගිහියාගේ හෝ පැවිද්දාගේ පවිටු දුසිල් පිළිවෙත් කිසිකලෙකවත් අගය නොකළ සේක . ඒ බව අංගුත්තර නිකායේ දුක නිපාත සමචිත්ත වග්ගයේ නව වන සූත්‍රයේ මෙසේ දැක්වේ. “ ද්වින්නාහං භික්ඛවෙ මිච්ඡා පටිපත්තිං න වණණෙමි . ගිහිස්ස වා පබ්බජිතස්ස වා “ මහණෙනි! මම දෙදෙනෙකුගේ වැරැදි පිළිවෙත් වර්ණනා නොකරමි. එනම් ගිහියාගේ හෝ පැවිද්දා ගේ යන දෙදෙනාගේයි. දස අකුසල් සිදුකරන මිථ්‍යා පිළිවෙත් නිසා මේ දෙදෙනාටම විදර්ශනා මාර්ගය වැඩිය නොහැකිවේ. (නාරාධකො හොති ඤායං ධම්මං කුසලං ) කුසල් දහම් මැනවින් අවබෝධ කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය නොහැකි වේ.

ගිහි පැවිදි දෙනොගේම මනාවූ පිළිවෙත් පිරීම (සම්මා පටිපත්තිං) බුදුපියාණන් වහන්සේ නිතර ම අගය කළ සේක. ඒ දෙදෙනා නිවැරැදිව පිළිපැදීම හේතුවෙන් විදසුන් මඟ වැඩිය හැකිවේ. කුසල් මඟ මැනවින් අවබෝධ කරගෙන සෝවාන් ආදි මඟඵල ලැබීමට හැකියාව ලබාගනියි. (ආරාධකො හොති ඤායං ධම්මං කුසලං )

බුදුසසුන අතුරුදන් කරන්නෝ

සමචිත්ත වග්ගයේ දසවන සූත්‍රයෙහි මෙම ශ්‍රී සද්ධර්මය අතුරුදහන් කරන භික්‍ෂූන් පිළිබඳව දැක්වේ.

ඔවුන්ගේ ලක්‍ෂණ :-

1. දුග්ගහිතෙහි සුත්තන්තෙහි – වරදවා ගන්නා ලද සූත්‍රාන්ත ඇති බව
2. දුග්ගහිතෙහි බ්‍යඤ්ජනපතිරූපකෙහි – ශබ්ද චින්තායෙන් වරදවා ගන්නා ලද අර්ථ ව්‍යංජන ඇති බව
3. අත්ථංච ධම්මංච පටිබාහන්ති – පෙළ හා අටුවා ප්‍රතික්‍ෂේප කරන බව

මැනවින් දේශිත තථාගත භාෂිත සූත්‍රය මොවුන් තම සිතැඟි සේ අර්ථ ව්‍යඤ්ජන පටලවා වරදවා සිය මතයන් ආකල්ප අදහස් හෙළි දක්වන සේ අර්ථ විග්‍රහ කරන අතර අටුවා හා පෙළ ප්‍රතික්ෂේප කරති. මෙවැනි ලක්‍ෂණවලින් යුතු පැවිද්දෝ බහුලව ජනපි‍්‍රයව වෙසෙති. බුද්ධකාලයේ සිටම පවත්වාගෙන එන (බුදුකැලි මහ අටුවාව) අටුවාව පසුව මිහිඳු මහරහතන් වහන්සේ හෙළ බසින් තැබු අතර ත්‍රිපිටක පාළිය පාලි භාෂාවෙනුත් අටුවාව සිංහල භාෂාවෙනුත් අප අතර භාවිතයට ගැණුනි. සම්බුද්ධ දේශිත සූත්‍ර ධර්ම සිංහලට නැගීම එදා මිහිදු මහරහතන් වහන්සේ පවා නොකළ කාර්යයකි. සිංහල බසින් නියම අර්ථ ව්‍යඤ්ජන ඇතිව සම්බුද්ධ දේශනාව පැවැත්විය නොහැක. ඒ සඳහා යෝග්‍යම වනුයේ පාලි භාෂාවයි.

මෙසේ වරදවා ගන්නා ලද සූත්‍ර ධර්ම ජනතාවට දේශනා කරන, පාලි ත්‍රිපිටකය හා පාලි අටුවාවත් ප්‍රතික්‍ෂේප කරන භික්‍ෂූන් නිසා සිදුවන අයහපත ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ මෙසේ දැක්වූහ.

1. බහුජනාහිතාය පටිපන්නා බහුජනාසුඛාය - බොහෝ ජනයාට අහිත පිණිස, නොසැප පිණිස පිළිපන්නාහු වෙති.
2. බහුනො ජනස්ස අනන්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං – බොහෝ ජනයාට ද දෙවිමිනිසුන්ට ද අනර්ථය පිණිස, අහිත පිණිස දුක් පිණිස හේතුවේ.
3. බහුංච තෙ භික්ෂු අපුඤ්ඤං පසවන්ති - එහ් භික්‍ෂූහු මෙනිසා බොහෝ අකුසල් ද රැස්කර ගනිති.
4. තෙවිමං සද්ධම්මං අන්තරධාපෙන්ති – ඔවුහු මේ ශ්‍රී සද්ධර්මය (විවිධ භාෂාවන්ට නඟා) අතුරුදහන් කරති. සම්බුදු සසුන නැති කරති.

මෙනිසා බුද්ධිමත් ගිහි පැවිදි සෑම දෙනාම මෙම අන්තරායකාරී තත්වයෙන් මිදිය යුතුය. මැනවින් ගන්නා ලද පාලි සූත්‍ර ධර්ම පාලියෙන් ම හෝ සිංහල බසින් වැරැදි ලෙස ගැනීමට නොහැකි වන සේ අර්ථ ව්‍යඤ්ජන සහිතව, අවුවාවට ද පෙළටද ගැලපෙන සේ ධර්මය පතුරුවන ගිහි පැවිදි සැම දෙනාම

බොහෝ දෙනාට හිත පිණිස, සුව පිණිස පිළිපන්නාහු වෙති

දෙවිමිනිසුන් ප්‍රධාන සැමට අර්ථය පිණිස, හිත පිණිස සැප පිණිස පිළිපන්නාහු වෙති.

බොහෝ පින්ද (පුඤ්ඤං) රැස්කර ගනිති
මේ ශ්‍රී‍්‍ර සද්ධර්මය ඉදිරියටත් සුරක්‍ෂිත කරති.
තෙවිංම සද්ධම්මං ඨපෙන්ති

විවිධ පිරිස්

අංගුත්තර නිකායේ දුක නිපාතයේ පරිසවග්ගය විවිධාකාර පිරිස් පිළිබඳව සඳහන් වන සූත්‍ර ධර්ම දහයකින් සමන්විතය. සෑම සූත්‍රයකම පිරිස් දෙකක් (ද්වෙමා භික්ඛවෙ පරිසා ) පිළිබඳව සඳහන් වේ.

1. නොගැඹුරු (ප්‍රකට) පිරිස - උත්තානාච පරිසා

මේ සසුනෙහි පැවිදිව සිටින වික්‍ෂිප්ත සිත් ඇත, උස්ව නැඟුණුමානය ඇති , චපල ,රළුවදන් ඇති, ප්‍රලාප පවසන, මුළාවු සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති එනිසාම සමාධිගත සිතක් නැති එකඟ වූ සිත් නැති භ්‍රාන්ත සිත් ඇති, සංවර නොකළ නිසා ප්‍රකෘති ඉඳුරන් ඇති භික්‍ෂූහු ප්‍රකට නොගැඹුරු පිරිස වෙති.

2. ගැඹුරු (අප්‍රකට ) පිරිස – ගම්භීරා ච පරිසා

වික්‍ෂිප්ත නොවු සිත් ඇති, උස්ව නැගි මානය නැති, චපල නොවු, මිහිරි වදන් ඇති, සංවර වදන් ඇති, හිස්වදන් නොපවසන, එළඹ සිටි සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව ඇති, සමාධිගත සිතැති, එකඟ වූ සිතැති, සංවර කළ ඉදුරන් ඇති භික්‍ෂූහු අප්‍රකට ගැඹුරු පිරිස වේ.

3. බෙදුණූ (ව්‍යග්‍ර) පිරිස - වග්ගා ච පරිසා

ඇතැම් භික්‍ෂූහු වාග් ප්‍රයෝගයෙන් ගැටෙමින්, කලහ කරමින්, විරුද්ධ මතවාද දරමින්, ඔවුනොවුන් කට නැමැති ආයුධයෙන් පහරදී ගනිමින් (භණ්ඩන ජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤ මඤ්ඤං මුඛසන්තීහි විතුදන්තා ) වෙසෙති. ඔවුන් අසමගි බෙදුනු පිරිස වේ.

4. සමඟි (සමග්‍ර) පිරිස - සමග්ගා ච පරිසා

ඇතැම් භික්‍ෂූ පිරිසක් සමඟිව, සතුටු වෙමින් විවාද නොකරමින්, කිරි හා දියමෙන් සැසැදෙමින්, ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇසින් බලමින් වෙසෙත්ද ඒ සමගි පිරිස නම් වේ. (සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරොදකීභූතා . අඤ්ඤමඤ්ඤං පියචක්ඛුහී සම්පස්සන්නා)

5. අනග්ගවතී (උතුම් පුද්ගලයන් නැති) පිරිස අනග්ගවතී ච පරිසා ඇතැම් භික්‍ෂූ පිරිසක් සිවුරු, පාත්‍රා ආදි පිරිකර බොහෝ රැස්කර ගෙන සසුන ලිහිල් කොටගෙන, තමා පිරිහවන පංච නීවරණ ධර්මයන්ට වහල්ව , උතුම් විවේකය නම් වූ නිවණ පිළිබඳ බහා තැබූ වීර්ය ඇතිව ( නිවණ පිළිබඳව සිතක්වත් නූපදවා) නොලැබූ ධ්‍යාන විදර්ශනා මාර්ග හා ඵල ලැබීමට උත්සාහ නොගනිමින්, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධර්ම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට උත්සාහ නොගෙන නිෂ්කාරණව පසුවෙති. ඔවුන්ගේ ශිෂ්‍ය හිමිවරුද පශ්චිම දායක කාරකාදීහුද දිට්ඨානුගතියට ගොස් එලෙසින්ම සසුන දූෂණය කරති. මේ අනග්ගවතී පිරිස නම් වේ.

6. අග්ගවතී (උතුම් පුද්ගලයන් ඇති) පිරිස අග්ගවතීච පරිසා

ඇතැම් භික්‍ෂු පිරිසක් බහුභාණ්ඩික නොවී (පිරිකර ගොඩගසාගෙන නොගෙන) සසුන ලිහිල් කොට නොගෙන, පංච නීවරණ දුරු කිරීමෙහි ම නියැලෙමින්, උතුම් විවේකයෙහි නිතර යෙදෙමින් නොපැමිණි ධර්ම ප්‍රතිලාභය පිණිස වෙර වඩමින්, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධ්‍යාන විදර්ශනා මඟ ඵල වඩමින් සිටිත්ද ඔවුන්ගේ ශිෂ්‍යයෝත් පශ්චිම ජනතාවත් ඒ මඟ යති. අනුකරණය කරති. (දිට්ඨා නුගතිං ආපජ්ජති) මේ අග්ගවතී පිරිස නම් වේ.

7. අනාර්ය ශ්‍රාවක පිරිස - අනරියාච පරිසා

ඇතැම් භික්‍ෂු පිරිසක් තෘෂ්ණාව හැර මේ පංචස්කන්ධය දුක කැයි තත්වූ පරිද්දෙන් නොදනීද තණ්හාව දුක ඇති කරන හේතුව යැයි නොදනිත් ද තණ්හාව සමුච්ඡේද කිරීමෙන් දුක නිරෝධවන බව තත්වූ පරිදි නොදනිත් ද ආර්ය අෂ්ඨාංගික මාර්ගය දුක නැති කරන මාර්ගය බව තත්වාකාරයෙන් නොදනිත් ද ඒ පුහුදුන් (චතුරාර්ය සත්‍යාවබෝධය නොලත්) පිරිස අනාර්ය නම් වේ.

8. ආර්ය ශ්‍රාවක පිරිස - අරියා ච පරිසා

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව යථාභූත ඤාණදර්ශනයෙන් දුටු භික්‍ෂු පිරිස ආර්ය ශ්‍රාවක පිරිස නම් වේ. සෝවාන් මාර්ගයේ සිට එන මාර්ගස්ථ හා ඵලස්ථ පුද්ගලයෝ අට දෙන මිට අයත් වේ. ඔවුහු සේඛ (සෝවාන් මාර්ගස්ථයාගේ සිට අර්හත් මාර්ගස්ථයා දක්වා) පුද්ගලයෝ සතක්ද අසේඛ පුද්ගලයෙක් (අර්හත් ඵලස්ථ) දැයි ප්‍රභේද කෙරෙති.

9. කසළ පිරිස - පරිසකසටො

යම් භික්‍ෂු පිරිසක් ඡන්දයෙන් , ද්වේෂයෙන්, මෝහයෙන් හා භයින් යන සතර අගතියෙන් අගතියට යන්නේ ද ඔවුහු කසළ පිරිස නම් වේ.

මතු සම්බන්ධයි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.