Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අපි පහුගිය දවස් වල භාවනා තුනක් ගැන කෙටියෙන් කථා කළෙමු. අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, මරණසතිය ගැන, ඒ භාවනාවන් කරන්නේ කොහොමද? කියන විදිහත් අපි සරළව කතා කළෙමු. ඊළඟට ඒ භාවනා පුරුදු කර ගැනීමෙන් අපට උපදවා ගත හැකි කුසලයන්, සැප පහසුකම්, ආනිසංසත් කෙටියෙන් කතා කළා.

අපි තව භාවනා දෙකක් ගැන කතා කරන්න කල්පනා කළෙමු. එකක් සබ්බලෝකේ අනභිරත සංඥාව, අනික සබ්බසංඛ්‍යාරේසු අනිත්‍ය සංඥාව, මේ භාවනා දෙක පුරුදු කර ගැනීම තරමක් සංකීර්ණයි. ඒ සංඥාවල හිත පිහිටුවා ගැනීම අපහසු යි. ඒ නිසා ඒ සංඥාවන් තුළ අපේ හිත පිහිටුවා ගන්න පුළුවන් ආකාරයේ භාවනා විධි දෙකක් කියා දෙන්නම්. අපිට ඒ භාවනා දෙක පුරුදු කර ගැනීමෙන් ඒ අදාළ සංඥාවන් තුළ හිත පිහිටුවා ගන්න අවස්ථාව තියෙනවා.

පළවන එක තමයි සබ්බලෝකේ අනභිරත සංඥාව. (සියලු ලෝකයන් කෙරෙහි අකමැත්ත උපදවා ගැනීම පිළිබඳ සංඥාව) එතකොට සියලු ලෝකය කියලා කිව්ව ඇස, ඇසට පෙනෙන රූප, කන, කනට ඇසෙන ශබ්ද , නාසය , නාසයට දැනෙන ගඳ සුවඳ. දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පහස. සිත, සිතට දැනෙන අරමුණු (සබ්බ සූත්‍රය /ලෝක සූත්‍රය (සං. නිකාය)

මේ විදියට සියලු ලෝකය ගැන කියලා දීලා තියෙන්නෙ භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි. එතකොට අපිට ඒ ඇසත්, ඇසට පෙනෙන රූපත්......ආදී හැම දෙයක් ගැන ම අකැමැත්ත උපදවා ගැනීම තමා තියෙන්නේ. ඇස කෙරෙහිත් අකැමැත්තක් උපදවා ගන්න. ඇසට පේන රූපය කෙරෙහිත් අකැමැත්තක් ඇති කර ගන්න. අප්පිරියාවක් උපදවා ගන්න. හිරිකිතක් උපදවා ගන්න. ඉතින් මේක ලෙහෙසියි ද? අමාරුයි.

අපි තුළ ඇස කෙරෙහිත් ඇසට පෙනෙන රූප කෙරෙහිත් මහත් වූ කැමැත්තක් තියෙනවා. කන, නාසය, දිව, ශරීරය, සිත, මේ කියන ආයතන හැම එකක් ගැනම අප තුළ මහත් වූ කැමැත්තක්, ආශාවක්, ඇල්මක් තියෙනවා. ඒ ඇල්ම තියෙන නිසාම තමයි සසරට යන්නේ. සසරේ කලක් ආවෙත් ඒ ආයතන කෙරෙහි ඇල්ම තියෙන නිසා ම යි. නැවත සසරේ යන්න වුණොත් යන්න වෙන්නෙත් ඒ ඇල්ම තියෙන නිසා ම යි. සසරින් නිදහස් වෙන්න නම් ඒ ඇල්ම දුරු කර ගන්න ඕනෑ. එසේ දුරු කර ගැනීම පිණිස කරන එක උපක්‍රමයක් තමයි අකැමැත්ත උපදවා ගැනීම . ඒ අකැමැත්ත උපදවා ගැනීම පිණිස තමයි සබ්බලෝකේ අනභිරත සංඥාව හුරු කර ගන්න කියලා අපිට භාග්‍යවතුන් වහන්සේ කියා දීලා තියෙන්නේ. ඉතින් ඒක අපිට අපහසුයි. ඇත්තෙන්ම සංකීර්ණ යි. නමුත් උත්සාහ කළොත් පුරුදු කර ගන්ට පුළුවන්.

මේ සඳහා ක්‍රම දෙකක් අනුගමනය කරන්න. සාමාන්‍යයෙන් ඉන්නකොට ඇස ගැන ඇසට පෙනෙන රූපය ගැන අකැමැත්ත උපදවා ගන්න උත්සාහ කරන්න. පැහැදිලි ද? කියන කාරණාව. ඒ කියන්නේ ඇස මිත්‍රයෙක් විදියට දකින්න එපා. පිළිගන්න එපා. කන මිත්‍රයෙක් විදිහට යහපත් දෙයක් විදිහට පිළිගන්න එපා. නාසය, දිව, ශරීරය මේ ආයතන මිතුරෙක් විදිහට පිළිගන්න එපා. ඒක අපි හිතාමතා ම ඒ කෙරෙහි අකැමැති විදිහේ සිතිවිලි උපදවා ගන්න ඕනෑ. එයාට පුළුවන් මේ ඇස හතුරෙක් විදිහට හිතන්න. කන හතුරෙක් විදිහට හිතන්න පුළුවන්. වදකයෙක් විදිහට හිතන්න පුළුවන්. ඒ විදිහට ඇස කෙරෙහි අකැමැත්ත උපදවා ගන්න පුළුවන්. කන කෙරෙහි අකැමැත්ත උපදවා ගන්න පුළුවන්. නාසය කෙරෙහි, දිව කෙරෙහි ශරීරය කෙරෙහි, අකැමැත්ත උපදවා ගන්න පුළුවන්. ඒක අමාරුයි ද? ලෙහෙසියි ද? අමාරුයි.

අපි හිතමු කෙනෙකුට රාගය උපදිනවා. රාගය උපදිනකොට බොහෝ අය ගොඩක් වෙලාවට, කළබල වෙලා යනවා. දැන් මට රාගය තියනවානේ කියලා එක්කෝ බය වෙනවා. එහෙම නැත්තම් රාගයට යට වෙලා යනවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙහෙම හිතන්න. “රාගය අපිට වදයක්” පීඩාවක්, හිරිහැරයක්, ඒකෙන් හිත ගිනිගන්නවා, මහා කරදරයක්. මේ රාගය ඇති වුණේ කොහොමද? මේ ඇහෙන් දැකපු රූපයක්, කනෙන් අහපු ශබ්දයක්,....මේවා මුල් වෙලා තමයි මේ රාගය ඇති වුණේ ඒ විදිහට කල්පනා කරන්න. රාගය ආපු වෙලාවට මේ විදිහට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඉතින් මේක එක පාරට කරන්න බෑ. ටික ටික පුරුදු කර ගන්න කෙනාට කරන්න පුළුවන්. එතකොට අපිට හිතන්න පුළුවන්. මේ ඇස අපිට යහළුවෙක් නෙමේ. හොඳ දෙයක් නම් කරලා නෑ. හතුරු කමක් තමා කරලා තියෙන්නේ කියලා.

මෙහෙම කරන්න නම් ලොකු සිහි කල්පනාවක ඉන්න ඕනෑ නේ ද? හොඳ සිහි කල්පනාවකින් ඉන්න ඕනෑ. හොඳ සිහි කල්පනාවකින් හිටියේ නැත්නම් මේ ඇස, කන, නාසය ගැන ඔය විදිහට හිතන්න පුළුවන් ද? ඒ විදිහට හිතා ගන්න බෑ. ඇයි හිතන්න බැරි. මේ හිතේ එන රාගය එහෙම නැත්නම් වෙනත් පීඩා ස්වභාවයන් මුල් කරගෙන ඒකට යටවෙනවා. ඒ ඔස්සේ අයෝනිසෝ මනසිකාරයට යනවා. ඒවා මුල් කරගෙන යෝනිසේ මනසිකාරයට එන්න කල්පනා කරන්නේ නෑ. රාගයෙන් වේවා, ද්වේශයෙන් වේවා, මෝහයෙන් වේවා පීඩාවක් හිතේ තියන කොට, ඒ වෙලාවේ දී ඒ පීඩාව මුල්කරගෙන හිත යෝනිසෝ මනසිකරයට ගන්න පුළුවන්. එහෙම යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න විදිහක් තමයි මේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන ආයතන ගැන අකැමැති හිත උපදවා ගන්න එක.

රාගය ආපු වෙලාවට රාගයට යටවෙන්න එපා. කල්පනා කරන්න. ඇසින් දැකපු රූපයක් මුල් වෙලා නැත්නම් කනින් අහපු ශබ්දයක්...මේ වගේ දෙයක් මුල් වෙලා තමයි මේ මහ ගින්න හිතේ හට ගත්තේ. ඒ ඇස අපිට හිතවත් බවක් පෙන්නලා නෑ. ඒ ඇස හතුරෙක් විදිහට කටයුතු කරලා තියෙන්නේ. වදකයෙක් විදිහට තමයි මේ ඇහැ අපට සලකන්නේ. ආන්න ඒ විදිහට කල්පනා කළොත් මේ, ඇස, කන, නාසය, දිව, ශරීරය සිත කෙරෙහි අකැමැති හිත උපදවා ගන්න පුළුවන්.

ඒක භාවනාවක් වගේ පුරුදු කර ගන්න. දැනට අපි කරන ආයතන භාවනාව මගින් මේ සංඥාව හුරු කර ගන්න පුළුවන්. ඒක කවුරුත් කරනවාද? කරන්නෙ නැති අය ඉන්නවාද? කරන්නෙ නැති අය ඇති. නමුත් අද ඉඳලා හරි ආයතන භාවනාව කරන්න. ඒ ඔස්සේ අපිට මේ සබ්බලෝකේ අනභිරත සංඥාව හිතට හුරු කර ගන්න පුළුවන්. පැහැදිලි ද මම කියන දේ. මේක සංකීර්ණ යි. සංකීර්ණ නිසා අපිට කර ගන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඒ සංකීර්ණ කම දුරුකර ගෙන මේක අපිට හුරු කර ගන්න පහසු විදියක් තමා මම කිව්වේ . ඒ ඇස කන නාසය දිව ශරීරය කෙරෙහි අකැමැති හිත උපදවා ගන්න. ඒ අතර භාවනාවක් විදිහට පුරුදු කරන්න (දැනට කරන ආයතන භාවනාව) එතකොට ඒ කරුණු දෙකම මුල් කරගෙන සබ්බලෝකේ අනභිරත සංඥාව කියන සංඥාව හිතේ පිහිටුවා ගන්න පුළුවන්.

කලක් යනකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඒ සංඥාව තුළ හිත පිහිටුවාගෙන සමාධිය වඩන්න පුළුවන් කලක් යයි. එකපාරට අපිට කරන්න බැරි වෙයි. ඒ නිසා මේ ක්‍රම දෙක අනුගමනය කරන්න. පළමුවන විධිය මතකයි නේද? සාමාන්‍යයෙන් අපි ඉන්නකොට වාඩි වෙලා හෝ වේවා ඉඳගෙන හෝ වේවා ඇවදිමින් හෝ වේවා අපි ඉන්න වෙලාවෙදි මේ ඇහැ ගැන කන ගැන නාසය දිව ශරීරය ගැන අකැමැති හිත උපදවා ගන්න. ඒවා හතුරො විදිහට වදකයෝ විදිහට එහෙම නැත්නම් අපිට අයහපත කරන දේ විදිහට ඒ ගැන කල්පනා කරන්න ඕනෑ. ඒ අතර ආයතන භාවනාව (දැනට අපි කරන ආයතන භාවනාව) භාවනාවක් විදිහට පුරුදු කර ගෙන යන්න. එතකොට, යම් කලකදී අපිට මේ පුහුණුවීම් දෙකම මුල් කරගෙන “ සබ්බලෝකේ අනභිරත සංඥාව “ කියන සංඥාව හිතේ පිහිටුවාගෙන ඒ මත සමාධිය දියුණු කර ගන්න පුළුවන් කලක් එයි. ඒකට කලක් යයි. හදිසියේ සිදුවන දෙයක් නෙමෙ යි.

ඒ නිසා ආයතන භාවනාව හොඳින් පුරුදු කරන්න. සමහර කෙනෙකුට ආරම්භයේ දී ආයතන භාවනාව සම්පූර්ණයෙන් ම කරන්න බැරි වෙන්න පුළුවන් . අමාරු වෙන්න පුළුවන්.

ඒ නිසා කෙටියෙන් හරි පුරුදු කර ගන්න. ඒ සඳහා මේ භාවනා වැකි පුරුදු කර ගන්න.

හොඳට කය ඍජු කරගෙන වාඩිවෙන්න. එතකොට කයේ තියෙන මැලි ගතිය දුරුවෙලා යනවා. දැන් තේරුම් ගන්න” මම වාඩි වෙලා ඉන්නෙ” කියලා. හෙමිහිට ඇස් වහගෙන අපි ඉන්න තැන හොඳට තේරුම් ගන්න. ඊළඟට ඉඳගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. හිතෙන් ඉඳ ගෙන ඉන්න ඉරියව්ව හොඳට තේරුම් ගන්න. දැන් තමන් බිම වාඩිවෙලා ඉන්නෙ කියල හොඳට තේරුම් ගන්න. දැන් මේ විදිහට මෙනෙහි කරන්න.

මේ ඇස අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වු විපරිණාමයට පත්වන ඇස මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මයි නොවෙයි. මේ ඇස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන ඇස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි.

ඇසට පේන රූප අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රූප, මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. ඇසට පේන රූප අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රූප මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.

මේ කන අනිත්‍යයි අනිත්‍යයි, අනිත්‍යයි , අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන කන මම නොවෙයි. මගේ නොවෙයි, මගේ ආත්මයි නොවෙයි. මේ කන අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වන කන මම නොවෙයි, මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන ශබ්ද මම නොවෙයි. මගේ නොවෙයි, මගේ ආත්මයි නොවෙයි. කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි, අනිත්‍යයි,අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරීණාමයට පත්වන ශබ්ද මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.

මේ නාසය අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍ය වූ දුක් වූ...විපරිණාමයට පත්වන නාසය...මම නොවෙයි....මගේ නොවෙයි...මගේ ආත්මයි නොවෙයි....මේ නාසය අනිත්‍යයි...අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍යය වූ දුක් වු විපරිණාමයට පත්වන නාසය.....මම නොවෙයි..මගේ නොවෙයි...මගේ ආත්මයි නොවෙයි.

නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි...අනිත්‍යයි....අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වු විපරිණාමයට පත්වන ගඳ සුවඳ මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි....අනිත්‍යයි.අනිත්‍යයි අනිත්‍ය වු දුක් වූ විපරීණාමට පත්වන ගඳ සුවඳ මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.

මෙ දිව අනිත්‍යයි. අනිත්‍යයි,අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන දිව මම නොවෙයි. මගේ නොවෙයි.මගේ ආත්මයි නොවෙයි. මේ දිව අනිත්‍යයි. අනිත්‍යයි...අනිත්‍යයි...අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන දිව මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.

දිවට දැනෙන රසය අනිත්‍යයි..අනිත්‍යයි.අනිත්‍යයි....අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රසය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි..දිවට දැනෙන රසය අනින්‍යයි. අනිත්‍යයි.අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රසය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. මේ කය අනිත්‍යයි...අනිත්‍යයි...අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වු විපරිණාමයට පත්වන කය..මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි...මේ කය අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන කය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.

කයට දැනෙන පහස අනිත්‍යයි....අනිත්‍යයි...අනිත්‍යයි....අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන පහස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.

කයට දැනෙන පහස අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන පහස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. මේ සිත අනිත්‍යයි. අනිත්‍යයි...අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන සිත මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. මේ සිත අනිත්‍යයි. අනිත්‍යයි...අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන කය මම නොවෙයි.. මගේ නොවෙයි...මගේ ආත්මයි නොවෙයි...

සිතට දැනෙන අරමුණු අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍යයි, අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන අරමුණු මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. සිතට දැනෙන අරමුණු අනිත්‍යයි...අනිත්‍යයි.අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන අරමුණු මම නොවෙයි. මගේ නොවෙයි.

මගේ ආත්මයි නොවෙයි. සමාධිය බැස යත්වා...කියල හිතන්න. දැන් අස් අරින්න. පුරුදු වෙන්න, පුරුදු වෙන්න සම්පූර්ණ භාවනාව ම කර ගන්න පුළුවන් වෙයි. ඒ නිසා කලබල නොවී උත්සාහයයෙන් කරන කෙනාට ටික කලක් යනකොට ඒ භාවනාව සම්පූර්ණයෙන් කරගන්න පුළුවන් වෙයි. ඒ අතර අර ඇස, කන, නාසය, දිව ශරීරය හිත ගැන අකැමැති හිත උපදවා ගන්න කල්පනා කරන්න බලන්න.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.