Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙත් වැඩීම බුදු සමයේ ඉගැන්වෙන ප්‍රධානතම සංකල්පයකි.අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් මත පිහිටමින් ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගිවෙත්වා ‘ යනුවෙන් ප්‍රාර්ථනා කිරීම මෙලොව පරලොව දෙකේම මහානිසංසදායක පින්කමක් වන බව කරණීයමෙත්ත, මෙත්තානිසංස, ඛන්ධ පරිත්ත වැනි සූත්‍ර දේශනාවල දැක්වේ.

මෙත් වැඩීම බෞද්ධ පිළිවෙත්වල අනිවාර්ය අංගයක් බැවින් බෞද්ධයෝ තෙරුවන් වැඳීමෙන් අනතුරුව ස්වල්ප වේලාවක් මෙත් වැඩීමට ද යොමුවෙති.

ප්‍රධාන ආරක්‍ෂක දේශනාවක් වශයෙන් ද සැලකෙන, මෙත්වැඩීම පිළිබඳව ඉගැන්වෙන කරණීයමෙත්ත සූත්‍රය, මෙත්වඩන්නා තුළ පැවතිය යුතු ආකල්ප සමුදායක් ද ඉදිරිපත් කරයි. මේ ආකල්පයන් , පිළිබඳව බොහෝ විට සාකච්ඡා කරනුයේ මෛත්‍රි භාවනාවෙන් වියුක්තව බර රහසක් නොවේ. එහෙත් මෙත් වඩන්නා තුළ එම ආකල්ප සමගාමීව වැඩෙනන අයුරු විමසා බැලීම ඉතා උචිතය. කරණීයමෙත්ත සූත්‍රයේ යථොක්ත ආකල්පයක් පිළිබඳව සදහන්වන ගාථාව මෙසේය.

සක්කො උජූච සූජූච
සුවචොචස්ස මුදු අනතිමානී
සන්තුස්සකොච සුභරොච
අප්පකිච්චොච සල්ලහුක වුත්ති
සන්තින්ද්‍රියොච නිපකොච
අප්පගබ්භො කුලෙසු අනනුගිද්ධො
නච ඛුද්ධං සමාචරෙ කිඤ්චි
යන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං

මෛත්‍රී වැඩීම යනු අවංකව සියලු සතුන් ඇතුලු ලෝකය විෂයෙහි යහපතක් වේවායි ප්‍රාර්ථනා කිරීමය. සිටින, ගමන් කරන, වාඩිවී සිටින හා නිදන හැම අවස්ථාවකම කිසිවකු මඟ නොහැර (අනවසෙසා) සියල්ලන් කෙරෙහි මෙත් සිතින් ක්‍රියා කළ යුතු බව කරණීයමෙත්ත සූත්‍රයෙහි දැක්වේ. ඉන් අදහස් කෙරෙන්නේ අපගේ ජීවිතයේ හැම ක්‍රියාකාරකමක් සමඟම මෛත්‍රී චින්තාව මුසුවිය යුතු බවයි.

මෙත් වඩන්නා තමන්ගේ එදිනෙදා කටයුතු තමන්ටම කරගත හැකි කෙනෙක් විය යුතුය. තම උවමනා එපාකම් අනුන් ලවා කරවා ගැනීමේදී සිත දොම්නසට අමනාපයට පත්වන අවස්ථා එළැඹේ. අනුන්ට බරක් නොවී තමන් මතම යැපෙන්නට හැකි නම් මෙත් සිත පවත්වා ගැනීම පහසුය. දියුණු කළ මෙත් සිතිවිලි ඇත්තෙකුට අමනාප සිතින් තොරව සිටිය හැකිය.

‘උජු’ යනු සමාජයට අවංකවීමයි. මෙත් වැඩිය යුත්තේ හිතා හිත සියල්ලන්ටම විය අහිතවත් අය මඟහැර නො වේ. එබැවින් බාහිර සමාජය වෙත අවංක විය යුතුය.

ත මන් තමන්ට ද අවංක විය යුතුය, යන්නයි. ‘සුජූ’ යන්නෙන් අදහස් කෙරෙන්නේ ‘සියල්ලෝ සුවපත් වෙත්වා ‘ යනුවෙන් තමන් සිතන සිතිවිල්ල තම හදවත තුළම අවංක විය යුතුය. ජාති කුල වර්ග ආදි පටු හැඟීම් වලට වහල් නොවිය යුතුය. සුවච යනු කීකරු බවයි. වෙනත් විදියකින් කිව හොත් අනුන්ට සවන් දෙන සුලු බවයි. දුර්වල වීම හෙවත් අකීකරුවීම නිසා ඇතිවන්නේ ගැටුමකි. ගැටීමෙන් සිත පීඩාවට හා දොම්නසට පත්වේ. එවිට මෙත් සිත දුර්වල වෙයි. එබැවින් මෙත් වඩන්නා අවවාද ඉවසන සුලු කෙනෙක් විය යුතුය.

දැඩි සිතක් හෙවත් නොනැමෙන සුළු සිතක් ඇත්තා තම අභිලාෂයන්ට එරෙහි වන හැම තැනදී කුපිත වෙයි. එසේ නම් මෙත් වැඩීමට නොදැඩි මෘදු (මුදු) සිතක් තිබිය යුතුමය. තම සිතැඟිවලට පටහැනි අත්දැකීම්වලට මුහුණු දෙන විට උපේක්‍ෂාව ඇතිකරගත හැක්කේ මුදු සිතැත්තෙකුටමය. සිත මුදු ගුණයෙන් තොර නම් විරුද්ධ අරමුණ කෙරෙහි හිතෛෂි විය නොහැකිය.

අතිමානී බව හෙවත් උඩඟුවීමේ ස්වභාවය මෛත්‍රියට බාධාවකි. තමන්ගේ උඩඟු සිත නො ඉවසන අන්‍ය පුද්ගල ක්‍රියාකාරකම්වලදි සිත දේවේෂයට නැඹුරුවීම වැළැක්විය නොහැකිය. එනිසා නිහතමානීව සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතුය.

ලද දෙයින් සතුටුවන (සන්තුස්සකො) පුද්ගලයා තමන් බලාපොරොත්තුව සිටි එහෙත් නොලැබුන දේ පිළිබඳව කනස්සල්ලට හෝ පසුතැවිල්ලට පත් නොවෙයි. ප්‍රත්‍යපහසුකම් සලසන්නා කෙරෙහි සිත දූෂ්‍යකර නොගනී.

ලද දේ කොතරම් රළු පරළු වුවත් අමිහිරි වුවත් වැදගත් සිතින් ඉවසයි. කැලැඹීමට පත් නොවුණු එම සිතේ මෙත් සිතිවිලි බිජුවට සරු සාරව වැඩෙයි. සුභරතාව නම් පහසුවෙන් පෝෂණය කළ හැකි වීමයි. ඉතා සරල චාම් ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ බලාපොරොත්තු අල්පය. සුළු දෙයකින් සෑහීමට පත්වන එවැන්නකු නොලත් ලාභයක් නිසා මානසික ව්‍යාකූලත්වයට පත් නොවෙයි. සිත් රිදීම් ඇතිකර නොගනී. මෙත් සිතුවිල්ලට ගැලපෙන මානසික පසුබිමක් ඔහු තුළ ඇත.

නිමක් නැති වැඩ කරපින්නා ගත් කෙනෙකුගේ සිතට ඉස්පාසුවක් නැත. නොතැන්පත් වියවුල් ගත් ඇති එවැන්නකුගේ සිතේ කිපෙන සුලු බව සාමාන්‍ය ලක්‍ෂණයකි. එබැවින් තමන්ට දරාගත හැකි සීමාවකට තමන්ගේ කටයුතු සීමාකර ගැනීම (අප්පකිච්ච) විවේකී මනසක් ඇතිකර ගැනීමට මඟක් වෙයි. අනුන්ටත් තමන්ටත් හිතකර ප්‍රාර්ථනාවන් දියුණු කළ හැක්කේ එබඳු විවේකී මනසක් තුළය.

සැහැල්ලු දිවි පැවැත්ම (සල්ලවුකවුත්ති) මෙත් සිතට මනා අනුබලයකි. විවිධ වගකීම් බරින් පීඩනයට පත්වූ තැනැත්තාට ඒවා ඉටුකර ගැන්මට දුෂ්කර හෝ නොහැකි අවස්ථාවල සිතෙහි කලකිරීම් ඇතිවිය හැකිය. කලකිරීමෙන් දොම්නසට පත් සිතින් කරන මෙත් වැඩීමේදී ඇතැම් පුද්ගලයන් මෙත් සිත් රාමුවෙන් ගිලිහීයාම වැළැක්විය හැකි නොවේ.

ඇස , කන, දිව, නාසය, ශරීරය හා සිත යන ඉඳුරන් හා ගැටෙන රූපාදී අරමුණු පසුපස පාලනයකින් තොරව යන්නේ නම් එබඳු සිතක පහසුවෙන්ම කාමරාගයත් ව්‍යාපාදයත් ඇතිවන බව පැහැදිලිය.

එවිට සරාගී අරමුණේදී මෙත් සිත කාම නිශි‍්‍රත ආලයක් වෙයි. නොරිසි අරමුණක් නම් ව්‍යාපාදය හෙවත් ද්වේෂය ඇතිවෙයි. එබැවින් මෙත් වැඩීම සඳහා දැමුණු ඉඳුරන් ඇතිවීම ඉඳුරාම අවශ්‍යවන්නකි. උත්පත්තියත් සමඟම මිනිසුන් තුළ විවිධ වෙනස්කම් සහිතව බුද්ධිමය ශක්තියද පිහිටයි. පෙළ බසින් මෙය හැඳින්වෙන්නේ ‘නිපක ‘ යනුවෙනි. කරුණු කාරණා තේරුම් ගැනීමට ඉවහල් වන තර්කන හැකියාවෙන් යුත් බුද්ධියක් නොමැති අඥානයන් ඉතා ඉක්මණින් සප්‍රාණික හා අප්‍රාණික අරමුණු සමඟ ගැටෙනු දක්නට ලැබේ. නිපක ඥානශක්තියෙන් පිරිපුන් පුද්ගලයා තමන් හා ගැටෙන අරමුණු පිළිබඳව නුවණින් කල්පනාකොට සිත සන්සුන් කර ගනී. නිදසුනක් ලෙස සොබාදහමේ න්‍යාය තේරුම් නො ගන්නා අයෙක් එහි පීඩාකාරි වෙනස්වීම් කෙරෙහි ද්වේෂ සිතක් ඇති කර ගනු නොඅනුමානය. එහෙත් නුවණැත්තා නුවණින් විමසා මැදහත් සිතින් ඉවසා ගනී.

ප්‍රගල්භ නොවීම හෙවත් බුහුටි නොවීම අප්පගබ්භයයි. ආචාරසමාචාර විධි නොතකා හැරීම. වැඩිහිටියන්ට ගරු නොකිරීම, නොහික්මුණු ගතිය ප්‍රගල්භතාවේ ඇතැම් ලක්‍ෂයයි. මේ නොසරුප් ගති ඇත්තකු තුළ කෙසේ මෙත් සිතක් වර්ධනය කළ හැකිද? දඩබ්බර ගති පෙන්වන ඔහු ආත්මාර්ථය උදෙසා මෙත් සිත ඉක්මනින්ම අමතකර කර දමයි.

කුලයන්හි නොඇලීම (කුලෙසු අනනුගිද්ධො) විශේෂයෙන්ම පැවිද්දන් සම්බන්ධ කරුණකි. කෙසේ නමුත් මෙත් වඩන පැවිද්දා හෝ ගිහියා මානයෙන් තොරව සමස්ත ප්‍රජාව කෙරෙහි සමමානසිකත්වයෙන් සිටිය යුතුය. යම් යම් පුද්ගලයන් හෝ පවුල් කෙරෙහි අසාමාන්‍ය බැඳීමක් තිබීමෙන් වන්නේ මෛත්‍රිය ලෞකික පේ‍්‍රමබන්ධනයක් බවට පත්වීමයි. ඒ නිසා කුලයන්හි නොඇලී පොදු පුරුෂයකු ලෙස කටයුතු කළ යුතුය.

මෙත් වඩන්නා නුවණැත්තවුන්ගේ ගැරහීමට හේතු වන කුඩා වරදකින් වුව මිදුණු තැනැත්තෙක් වෙයි. දෝෂ දර්ශනයට හේතුවන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් නුවණැත්තවුන්ගේ ගර්හාවට ලක්වන නිසා සිත කම්පාවට පත්වෙයි.

එම ද්වේෂ මූලික කැලඹීම තුළ මෙත් සිත වැඩිය නොහැකිය. මෙත් සිත වැඩීම සාර්ථකත්වයට පත්වීමට නම් ආකල්ප සමුදායකින් පෝෂණය විය යුතු බව පූර්වෝක්ත විස්තරයෙන් පැහැදිලි වන අතරම මෙත් වඩන්නකු ඒ නිසාම කොපමණ ආකල්ප සමුදායකින් පොහොසත් වන්නේ ද යන්නත් මින් පැහැදිලි ව මෙත් වැඩීමෙන් අමිතුරන් පවා මිතුරන් බවට පත්වෙන බැවින් මිනිසුන් පමණක් නොව යක්‍ෂභූ®ත පේ‍්‍රත පිශාචාදී අමනුෂ්‍යයන් අසුභඵල ලබාදෙන ග්‍රහනක්‍ෂත්‍රාදීන් පවා යහපත් බවට පත්කර ගත හැකිය.

මෙත් සිත් ඇත්තාට පණ ඇති සතුන්ගෙන් පමණක් නොව පණ නැති වස්තුවලින් පවා නපුරක් සිදු නොවන බව සාමාවතී ආදි බෞද්ධ කථා වස්තුවලින් කියැවේ. එබැවින් උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වන මෛත්‍රි චින්තාව ජීවිතයේ කුදුමහත් කාර්යන්හිදි ප්‍රගුණ කිරීමට බෞද්ධ අබෞද්ධ සියලු දෙනා සිතට ගැනීම වැදගත්ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.