වහුමුවේ
විජයවංස නා හිමි ප්‍රශ්නය
“එවමෙතස්ස කෙවලස්ස දුක්ඛකන්ධස්ස නිරෝධො හොති. අයං ඛො භික්ඛවෙ ලෝකස්ස
අත්ථාංගමාතී” මෙසේ මේ දුක් රාශියෙහි නිරෝධය (නැතිවීම) වෙයි.
මහණෙනි! ලෝකයේ නැතිවීමද මෙයයි. (සංනි. ලොකසූත්‍ර) බුදුරජාණන් වහන්සේ
දුක හා ලෝකය ඇතිවීම හා නැතිවීම විවරණය කළ අවස්ථාවකි මේ. ධර්මාවබෝධය
සඳහා බෙහෙවින් ඉවහල්වන අවස්ථාවක් වන මේ බුද්ධ දේශනාව තමා සතු
ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය අනුව භවගාමී වීමත් භව නිරෝධයත් සිදු වන
බව පැහැදිලි වෙයි. විවරණයක් කරන්න.
පිළිතුර
ධර්ම පාඨය සූත්‍රාගතව මෙසේ ය.
“චක්ඛුංච පටිච්ච - රූපෙච සොතංච පටිච්ච - සද්දෙච ඝානංච – පටිච්ච –
ගන්ධෙච – ජිව්හංච – පටිච්ච රසෙ ච කායංච පටිච්ච ඵොට්ඨබ්බෙච මනංච පටිච්ච
ධම්මෙච උප්පජ්ජති මනො විඤ්ඤාණං” ඇසත් රූපයත් නිසා කණත් ශබ්දත් නිසා
නහයත් ගඳත් නිසා දිවත් රසත් නිසා කයත් ස්පර්ශයත් නිසා සිතත් දහමත් නිසා
මනො විඤ්ඤාණය උපදී. ඒවායෙහි එක්වීම වේදනාවයි.
වේදනාව ප්‍රත්‍යකොටගෙන තෘෂ්ණාව උපදී. ඒ තෘෂ්ණාවෙහිම නිරවශේෂ විරාග
නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මෙසේ දුක්
රාශියෙහි නිරෝධය වේ. මහණෙනි! මේ ලෝකයේ නැතිවීමත් එයයි.
ප්‍රශ්නය
සිල්වත් කම මිනිසාට සම්පතකි. (පංච ආනිසංසා සීලවතො සීල සම්පදාය) මෙලොව
සහ පරලොව සිල්වතෙකු ලබන සම්පත් පහකි. ඒ මොනවාද?
පිළිතුර
භෝග සම්පත්, යහපත් කීර්තිය, අභීත තේජස් බවින් පිරිස් මැද සිටී. මනා
සිහියෙන් යුතු මරණය පවා සිදුවෙයි. මරණින් මතු දෙව්ලොව උපත ලැබීමේ සම්පත
ද සිල්වත් බවින් ඔහු ලබා ගනී.
ප්‍රශ්නය
සංයුත්ත නිකාය පච්චය සූත්‍රාගත දේශනා පාඨයකි මේ. “ඉති අයංච ජරා - ඉදං ච
මරණං ඉදං චුච්චති භික්ඛවෙ ජරාමරණං” මෙසේ මේ ජරාවද - මේ මරණයද - මේ ජරා
මරණ යයි කියනු ලැබේ. ධර්මානුකූලව මෙම ජරා මරණ යන දුක් විවරණය කරන්න.
පිළිතුර
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායෙහි, දිරීමක්, දත්වැටීමක්, කෙස් පැසීමක් ඇඟ
රැළි වැටීමක්, ආයු පිරිහීමක්, ජරා යැයි කියනු ලැබේ. ඒ ඒ සත්වයන්ගේ යම්
වෙන් වීමක් බිඳීමෙක් අතුරුදහන් වීමක් සිදු වේ නම් මරණය සම්මුති මරණය
නමින් ද, පංචස්ඛන්ධයන්ගේ බිඳීමක් ජීවිතින්ද්‍රියාගේ සිඳීමක් වෙයිද එය
මරණය නම්වෙයි.
ප්‍රශ්නය
පෙළ දහමට අනුව විශිෂ්ට ගති ලක්‍ෂණ ‘අරිය වොහාර’ සත්පුරුෂයන්ගේ පැවැත්ම
යනුවෙන් සඳහන් වෙයි. ඒ මොනවාද?
පිළිතුර
සත්පුරුෂයන්ගේ පැවැත්ම ආකාර සතරෙකි. මුසාවාදයෙන්් වැළකීම, කේළාම්
කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම යන ආකාර
සතරය.
ප්‍රශ්නය
බුදු දහමට අනුව විපත්තිදායක අවස්ථා පහක් පිළිබඳ සටහන් වෙයි. ඇතැම්
විපත් අපායගාමී වන තරම් දුකකට පත් නොවන අතර සමහර විපත් ඒකාන්ත වශයෙන්ම
මරණින් මතු අපායගාමී දුකකට හේතුවනු ඇත. මෙම ව්‍යසනයන් (විපත්) මොනවාද?
පිළිතුර
ඤාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය, ශීල ව්‍යසනය, දුෂ්ඨි ව්‍යසනය
යනු ව්‍යසන සතර වේ. ශීල ව්‍යසනය හෝ දුෂ්ටි ව්‍යසනය සත්වයෝ මරණින් මතු
අපා දුකකට ඒකාන්තයෙන්ම පත් වන්නේ ය.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහිදී ශ්‍රාවකයන් වහන්සේ
හමුවකදී දේශනා කළ ධර්මපාඨයක් මෙසේ ය. “එවමෙව ඛ්වාහං භික්ඛවෙ අද්දසං
පුරාණං මග්ගං පුරාණංඤ්ජසං පුබ්බකෙහි සම්මා සම්බුද්ධෙහි අනුයාතං”
(සං.නි. අභි. තගරසූත්‍ර) මහණෙනි! පෙර වුසු සම්මා සම්බුදුවරයන් විසින්
අනුගමනය කරන ලද පැරණි මඟ පැරණි මාවත කවරේද? යත්, බුදුරජාණන් වහන්සේ
විසින් තම ශ්‍රාවකයන් උදෙසා දේශනා කරන ලද පැරණි මාවත කුමක්ද? ඒ
(අනුයාත) අනුගමනය කළ බුදුරජාණන් වහන්සේ ලබාගත් අවබෝධය කුමක්ද?
පිළිතුර
මහණෙනි! ඒ පැරැණි මාවත, මේ අරි අටඟ මගමය, එනම් සම්මා දිට්ඨි,සම්මා
සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා
සති, සම්මා සමාධි යන්නයි. (තමනුගච්ජිං තමනුගච්ඡන්තො ජරා මරණං
අවිභඤ්ඤසිං)මම එය අනුගමනය කළෙමි. අනුගමනය කරණුයෙමි. ජරාමරණ දැනගත්තෙමි.
මෙසේ, ජරා මරණ හටගැනීම (සමුදය) ජරා මරණ නිරෝධය දැනගතිමි. මෙසේ ජාති,
භව, උපාදාන, තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාම රූප, හා විඤ්ඤාණය
දැන ගත්තෙමි. එසේම විඤ්ඤාණ නිරෝධගාමිනී පටිපදාව දැන ගත්තෙමි. එසේ
සංස්ඛාර හා සංඛාර සමුදය දැන ගත්තෙමි. එසේම එයින් සංඛාර නිරෝධ හා සංඛාර
නිරෝධ ගාමිණී පටිපදාවද දැනගත්තෙමි. බුදුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හා
ප්‍රනීත්‍ය සමුද්පාද ධර්මය එක්තැන කොට දේශනා කරන ලද සුවිශේෂ අවස්ථාවකි
මේ.
ප්‍රශ්නය
ශරීරයෙහි යථා ස්වභාවය පැහැදිලි කරන භාවනාවට කායගතා සති භාවනාව යනුවෙන්
හැඳින්වෙයි. මෙම භාවනාව ව්‍යවහාරික වශයෙන් වෙනත් නමකින් හැඳින්වෙයි. ඒ
නම කුමක්ද?
පිළිතුර
පිළිකුල් භාවනාව යනුවෙනි.
ප්‍රශ්නය
“යායං තණ්හා පොහොභවිකා නන්දිරාග සහගතා” පුනර්භවයක් සඳහා ඇලීම් සහගත
තෘෂ්ණාවෙහි එක් අංගයකි, කාම තණ්හාව පැහැදිලි කරන්න.
පිළිතුර
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම වස්තූන් පිළිබඳ කැමැත්ත කාම
තණ්හාව නම් වෙයි.
ප්‍රශ්නය
කාම, භව, විභව යන ත්‍රිවිධ තෘෂ්ණාව සහමුලින්ම අභාවයට යාම දුක්ඛ
නිරෝධාර්ය සත්‍යයයි. මෙම සත්‍යවබෝධයෙහි අවසානය කුමක්ද?
පිළිතුර
නිර්වාණාවබෝධය හෙවත් නිවන්සුවයට සැපත්වීම ය.
ප්‍රශ්නය
තථාගතයන් වහන්සේගේ මහා කරුණානෙතට යොමු වූ ඇය සිටුදියණියකි. තම
දෙමාපියන් සහ ස්වාමිපුරුෂයාත් එකම සහෝදරයාත් එකම දා මිය යෑමෙන්
සෙනෙහෙබර ලෝකය අහිමවූ අසරණ කාන්තාවකට බුදුපිහිට ලබා සුවපත් වූවා ය. මේ
විපතට පත් කාන්තාව කවුද? බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතුවී
පෙනෙන්නෙහිද?
පිළිතුර
සිය ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ පටාචාරා නම් වූ ඇය
බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් මෙහෙණ සසුනට ඇතුළත්ව රහත්බව ලබා
විනයවාදී මෙහෙණින් වහන්සේ අතුරෙන් අගතනතුරු ද ලැබුවා ය.
ප්‍රශ්නය
දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වන ප්‍රධාන අංග මොනවාද?
පිළිතුර
අත්තකිලමථානු යෝගය, කාමසුඛල්ලිකානු යෝගය හා මධ්‍යම ප්‍රතිපදාව, වූ ආර්ය
අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය හා නිවන පිළිබඳව සඳහන් වෙයි.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ හමු වූ එක්තර ගෘහපතියෙකු මෙසේ කියයි. ස්වාමීනි! මේ
මගේ බිරිඳය. ඇය නව යොවුන් වියෙහි දී විවාහ කරගතිමි. මැය කයින් තබා
සිතිනුදු පතිවත නොඉක්ම වන්නී ය. එහෙයින් ස්වාමීනී! අප දෙදෙනා මෙලොව දී
මෙන්ම පරලොව දී ද එක්ව ජීවත් වෙමු. මේ ප්‍රකාශකයා කවුද?
පිළිතුර
නකුල පිතුවරයා විසින් බුදුරජාණන් වහන්සේ අබිමුවෙහි දී කළ ප්‍රකාශයකි.
|