Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වත්මන් සමාජය තුළ විධිමත් අධ්‍යාපනය පිළිබඳව ඇත්තේ විශාල අවධානයකි. එක් විටක එය විවාදාත්මකය. ශ්‍රී ලංකාව වැනි ආසියාතික බෞද්ධ රටවල අධ්‍යාපන රටාව බටහිර අධ්‍යාපන ක්‍රමවේදයන් තුළින් සැකසී ඇති බව පෙනේ. ඒ කෙසේ වුවද අධ්‍යාපනය පිළිබඳ සංකල්පය ඉතා ජනපි‍්‍රය විෂය මාතෘකාවක් වුවද, නිශ්චිත වූද පහසු වූද අර්ථ නිරූපනයක් දීම ඉතා අපහසු කාර්යක් බවට පත්ව තිබේ. අප අධ්‍යාපනවේදීන් පවසනුයේ අධ්‍යාපනය යනු බුද්ධි, ආකල්ප කුසලතා සංවර්ධනය අධ්‍යාපනය ලෙසයි. එහෙත් වත්මන් අධ්‍යාපන රටාව තුළ ලෞකික ජීවිතය සරිකර ගැනීමටත් එමගින් මෙලොව සංවර්ධනය සඳහා පමණක් බුද්ධිමතුන් බිහිකරීම ඉලක්ක වූ බවක් පෙනේ. දාර්ශනික පදනමක් මත අධ්‍යාපන පරමාර්ථ සකස් වේ නම් මෙතරම් අධ්‍යාපනය පිළිබඳ වාද විවාද ඇතිවිය යුතු නැත. මෙම අධ්‍යාපන ක්‍රමවේදයේ අවසාන මඟපෙන්වන්නා වනුයේ ගුරුවරයායි. ගුරුවරයාට අධ්‍යාපනයේදී පැවරී ඇති වගකීම අති විශාලය.

මෙලොව එළිය දකින මිනිසාගේ සිත උපතේදී ඉතා ප්‍රභාශ්වරය. මෙසේ ප්‍රභාෂ්වර සිතකින් උපදින දරුවාගේ ප්‍රථම ගුරුවරයා වනුයේ එම දරුවාගේ මව හා පියතුමාය. මේ ලෝකයේ අධ්‍යාපන, ආගමික දාර්ශනිකයන් අතරින් ප්‍රමුඛස්ථානය හිමිවනුයේ අප ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේටය. උන්වහන්සේගේ අධ්‍යාපන දර්ශනයට අනුව දෙමාපියන් හඳුන්වා දී ඇත්තේ පූර්ව ආචාර්යවරු ලෙසය. ඔවුන් “ බ්‍රහ්මාති මාතා පිතරෝ “ වශයෙන් මහා බ්‍රහ්මයාටද ඉහළින් ස්ථානගත කර ඇත.

බුදුන් වහන්සේ විසින් දෙමාපියන් ඉතා උසස් ලෙස පූජනීය තත්වයේ සලකා “ පුබ්බේ ආචාර්ය “ වරු ලෙස හැඳින්වීම, ඔවුනට කල ඉහලම ගෞරවයෙන් පිදීමකි.

මේ අනුව දරුවාගේ ප්‍රථම ගුරුවරයා වන මව හා පියාට පැවරී ඇති වගකීම අති විශාලය. මව හෝ පියා පෙන්වන දේ කියා දෙනදේ හරි වේවා වැරදි වේවා එය හරි ලෙස පිලිගැනීම දරුවාගේ සිරිතය. මේ නිසා දෙමාපියන් හරිදේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් වටහා ගෙන විචක්ෂණ බුද්ධියෙන් යුතුව හරි දේ හරියට කියාදීමට තරම් දැනුවත් විය යුතුය. එයට හේතුව වනුයේ දරුවාගේ අධ්‍යාපන උල්පත ආරම්භ වනුයේ දෙමාපියන් තුලින් බැවිනි. එසේ නොවුන හොත් දරුවාගේ අනාගත ගමන් මඟ අවිනිශ්චිත වනු ඇත.

දෙමාපියන්ගෙන් පසු සමාජයට ක්‍රම ක්‍රමයෙන් පිවිසෙන දරුවාගේ ඊළඟ මඟපෙන්වන්නා වනුයේ ගුරුවරයායි. බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේදී “ ගුරුවරයා “ වෙනුවට පාලි ත්‍රිපිටකයේ සදහන්ව ඇත්තේ “ ආචාර්යවරයා “ යනුවෙනි. මේ අනුව බුදුන්වහන්සේ විසින් දෙමාපියන් “ පුබ්බේ + ආචාර්ය = පුබ්බේචාරිය යනුවෙන් හැඳින්වීම කෙරේ අවධානය යොමු කිරීම වටී. පොදුවේ ආගමික ශාස්තෘන් හැඳින්වීමටත්, ගුරුවරුන් හැඳින්වීමටත් මෙම “ ආචාර්ය” පදය නාමය පාවිච්චි කර ඇත. දිසාපාමොක් ආචාර්යතුමා මෙහිදී ඉතා වැදගත් ජනපි‍්‍රය චරිතයකි. බුදුන් වහන්සේ මෙහිදී අදහස් කර ඇත්තේ කවරකු වුවද , ආචාර්ය ශික්ෂාවෙහි ලෞකික හෝ ලෝකෝත්තර අරමුණ ඔස්සේ ශිෂ්‍යයා මෙහෙයවන්නා හෙවත් හික්මවන්නා ආචාර්ය වුවද, ආචාර්ය ශික්‍ෂාවෙහි ලෞකික හෝ ලෝකෝත්තර අරමුණ ඔස්සේ ශිෂ්‍යයා මෙහෙයවන්නා හෙවත් හික්මවන්නා ආචාර්ය බවකි. (සිංහල ශබ්ද කෝෂය 420 පිටුව ආචාර්ය) අප ගෞතම බුදුන් වහන්සේ මෙහිදී ආචාර්යවරයා සතු ගුණාංග ලෙස විනීත, වියත්, විශාරද, බහුශ්‍රත, ධර්මධර, ධර්මානුකූල පුද්ගලයා ආචාර්යවරයකු වීමට සුදුසු බව පෙන්වාදී ඇත. සුතත නිපාතයේ ධර්ම සූත්‍රය හෙවත් නවා සූත්‍රයේදී ඒ බව සාරිපුත්ත රහතන් වහන්සේ පිළිබඳ කරුණකදි පැහැදිලිව උන් වහන්සේ දේශනා කර ඇත.

දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කල “ දසදිසා සූත්‍රයේදී ගුරුවරයාගේ යුතුකම් ලෙස

1. ශිෂ්‍යයා පවින් වරදින් වැලැක්වීම
2. කුසලයෙහි හෙවත් පිනෙහි යෙදවීම
3. කලණ සිතින් අනුග්‍රහ දැක්වීම
4. නොදන්නා දේ ඉගැන්වීම
5.ගැටළු විසඳා ශිෂ්‍යයා යහමඟට යෙදවීම
,ආචාර්යවරයාගේ කාර්ය භාරය ලෙස පෙන්වා දී ඇත. වැසූ අදහස් පහදා දී , සැඟවුන අදහස් එලිදැක, සැක ඇති තැන් දුරලා ශිෂ්‍යයා පිළිබඳ හිතෛයිෂිව අනුකම්පා සහිතව කටයුතු කිරීම, ගුරු භූමිකාවට යටත් කොට ඇත. මෙහිදී ගුරුවරයා තමා දන්නා දේ “ ගුරුමුෂ්ඨිය” රහිතව කියාදීමත් යුතුකමක් කොට සලකා ඇති අතර, ඒ සඳහා ප්‍රශංසාව හෝ ප්‍රතිලාභ බලාපොරොත්තු නොවිය යුතුබව එම සූත්‍රයේ දක්නට ලැබේ. මේ සියලු දේ ශිෂ්‍යයාගේ මෙලොව පරලොව යහපතට යෙදවීම ගුරුවරයාගේ අරමුණ විය යුතුය.

දුරු කතර ගෙවායන ගැල්පෙලට නායකත්වය දෙන මුල් ගැල්කරුවා සේ නිශ්චිත අරමුණක්, ඉලක්කයක් ඔස්සේ යාමට මඟ පෙන්වීම ගුරුවරයාගේ කාර්ය භාර්ය වේ. මේ පිළිබඳ ලොව ආදර්ශමත් අභීත ගෞරවයට පාත්‍රවූ එකම ගුරුවරයා වනුයේ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේගේ ගමන් මඟ ඉතා පැහැදිලිය. තමන් වහන්සේ පසු පස එන ශිෂ්‍ය පරම්පරාවට ශ්‍රාවක පිරිසට උන් වහන්සේ දුන් ආදර්ශය ලොව මවිත කරවන සුළුය. වත්මන් ගුරු පරපුර හෙවත් ආචාර්ය පරම්පරාව දෙස බැලූ විට මෙම භූමිකාව කෙසේ ගැලපිය යුතුදැයි යන තරමට ගැටලු සහගතය.

මෙහිදී ගුරුවරයාගේ හෙවත් ආචාර්යවරයාගේ දැනුම ලබන්නේ “ ශිෂ්‍යයා “ ය. ශිෂ්‍යයා යනු “ශික්ෂණය “ ලබන්නාය. මෙලොවට බිහිවන දරුවා හෙවත් ශිෂ්‍යයා පළමුව ශික්‍ෂණය ලබන්නේ “ පුබ්බේ ආචාර්ය” වරුන් හෙවත් දෙමාපියන්ගෙනි. එබැවින් එම ආචාර්යවරු හෙවත් දෙමාපියන් දැනුමින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් සන්නද්ධව සිටීම ඉතා වැදගත් වේ. දරුවාගේ ගමන් මගේ සියලු කාරනාවලට වගකීම පාසැල් ගුරුවරුන්ට පවරා මඟ හැර සිටීමට “ පුබ්බේ ආචාර්ය “ හෙවත් දෙමාපියන්ට කිසිසේත් හැකියාවක් නැත.

බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායේ “ශික්‍ෂණය “ ලබන්නා “ ශ්‍රාවක “ යනු කථික හෙවත් දේශණ “ අසා වාචික සම්ප්‍රදාය අනුව “ ශ්‍රවණය “ කර ඉගනීම ලැබීම “ ශ්‍රාවක යනු “ශ්‍රවණ” හෙවත් ඇසීම මඟින් අධ්‍යාපනය ලැබීමේ සම්ප්‍රදායයි. ඒ අනුව ලිඛිත අධ්‍යාපනය බිහිවීමට පෙර තිබුණේ කථික අධ්‍යාපන සම්ප්‍රදායයි. ඒ අනුව ලිඛිත අධ්‍යාපන ක්‍රමය බිහිවූ පසු බුදුන් වහන්සේ දේශනා කර වදාල අසූහාර දහසක් වූ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ විය.

බුදුන් වහන්සේගේ ඒ අසමසම අධ්‍යාපනවේදියාගේ පළමු ශිෂ්‍ය පරම්පරාව ඇරඹෙනුයේ “ පස්වග මහනුන්ගෙනි “ මෙහිදී උන් වහන්සේ පස්වග මහණුන් ඔවුනගේ අවබෝධකර ගැනීමේ ශක්තිය අනුව වෙන් වෙන්ව ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කල සේක. කොණ්ඩඤ්ඤ, වප්ප හිමිවරුන් පළමුවත් අනික් තිදෙනාට පසුවටත් ඔවුනට වැටහෙන ලෙස ධර්මය අවබෝධ කර දුන් බව පෙනේ.

බුදුන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමවේදයේදී උන් වහන්සේ මෙලොව හා පරලොව යන ලෞකික, ලෝකෝත්තර අරමුණ ඔස්සේ දිට්ඨ, ධම්ම , සම්පරායික වශයෙන් ධර්මය දේශනා කර ඇත. මෙම ආත්මභවයේදී නිර්වානය අවබෝධ කරගත හැකි බැව් කියා දුන් උන් වහන්සේ, එය එසේ වුවද ගිහි පිරිස් සඳහා අවබෝධයෙන් යුතුව මෙලොව ලෞකික ජීවිතය සරුකර ගැනීම සඳහා ද මහා මංගල, පරාභව, සිඟාලෝවාද , වසල වැනි සූත්‍රමගින් මඟ පෙන්වා දී ඇත.

ගුරුවරයා සහ ශිෂ්‍යයා පිළිබඳව හැදෑරීමේදි විනය පිටකයේ, මහා වග්ග පාලියේ සදහන් තොරතුරු ඉතා වැදගත් වේ. ශිෂ්‍ය පිරිසට පනවන ලද නීතිරීති විනය පිටකයේ අඩංගුව ඇත. මේ අනුව ඇදුරුතුමා විසින් පනවන විනය නීති අනුව කටයුතු කිරීම ශිෂ්‍යාගේ භූමිකාව ලෙස සකස් වී ඇත. එහෙත් අද අධ්‍යාපන රටාව තුළ ගුරු - සිසු සබඳතා පිළිබඳව ඇත්තේ විශාල පරාසයකි. මේ පිළිබඳව වත්මන් අධ්‍යාපනවේදීන් දැනුවත් වන්නේ නම් මහා වග්ග පාලිය ඊට ආසන්නම උදාහරණය ලෙස ගත හැක.

බුදුන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමවේදයේදි මිනිසා බොරුවෙන් රවටා හෙවත් සත්‍ය වසන් කිරීමක් කර පෙන්වා නැත. සත්‍ය සත්‍යම ලෙසත්, අසත්‍ය සත්‍ය නොවන බවත් අසත්‍ය අසත්‍ය ලෙසත් පුලුල් ලෙස විග්‍රහ කර පෙන්වා දී ඒ ඔස්සේ අරමුණ කරා යාමට මඟ හෙළිකර දී ඇත.

බුදු දහමේ මූලික උගැන්ම “ අනන්ත අප්‍රමාණ - සසරේ සැරිසරණ සත්වයාගේ පැවැත්මට හේතුව “ දුක” බව පෙන්වා දුන් උන් වහන්සේ කිසි දිනක “ සැප “ නැතැයි දේශනා කර නැත. සියලු සැපයන්ගේ අවසානය “ දුක” බව පෙන්වා දුන් උන් වහන්සේ උතුම්ම සැපය “ නිවන් සැපය “ ලෙස අවධාරණය කළ සේක. සියලු සැපයන්ගේ ආශ්වාදය ලබන මිනිසා එයින් ලබන ආදීනව දැන එයින් මිදීම පිණිස යා යුතු මඟ පෙන්වා දී ඇත.

ආචාර්යවරයාගෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා හැසිරිය යුතු ආකාරය පිළිබඳවද බුදුදහමේ මුලික ඉගැන්වීමේදී සඳහන්ව තිබේ. තමාට සිප් සතර කියා දුන් ගුරුවරුන් හට සැලකීම පිළිබඳව දස දිසා සූත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කර ඇත. මහානාග තෙරුන් වහන්සේ විසින් වදාරණ ලද ථේර ගාථා පාලියේ ජනක නිපාතයේ ගාථා අද සිසු පරපුර විසින් අනිවාර්යයෙන්ම අධ්‍යයනය කල යුතුව ඇත.

යස්ස සබ්‍රහ්මචාරීහු ගාරවෝ නුපලබ්භනි
පරිහායනි සදධම්මා විච්ඡෝ ආප්පොදකේ යථා

යම් පැවිද්දෙක් හෝ සිසුවෙක් ආචාර්ය්‍යපාදපාදි සබ්‍රහ්මචාරීන්ට ගරු නොකෙරේද හෙතෙමේ සිදී යන මද දියෙහි වෙසෙන මසකු මෙන් සද්ධර්මයෙන් පිරිහෙන්නේය.

නූතන සිසු පරපුරේ සමහරු තම ආචාර්යවරුනට සලකන අන්දම හා පවත්වන සබඳතා ගැන බලන විට ඉතා කනගාටුවක් හා පශ්චාත්තාපයක් ඇතිවන බව අවධාරණය කලයුතුව ඇත. මේ පිළිබඳව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් බව අවධාරණය කල යුතුව ඇත.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා”

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.