Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“චිත්තං භාවේතීති භාවනා” ආදී අර්ථකථනයට අනුව භාවනාව යනු සිත පිළිබඳ භාවිතයක් වන බව ගම්‍ය වෙයි. සිත වඩන්නේ ය, සිත දියුණු කරන්නේ ය, මෙනෙහි කරන්නේ ය යනුවෙන් එයට අර්ථ දක්වා ඇත. සිත සහ භාවනාව පිළිබඳ ඊට තරමක් වැඩි විවරණාත්මක විග්‍රහයක් පහත දැක්වෙයි.

එනම්, ‘චිත්තං භාවේති කුසලධම්මේ, ආසේවති, ව‍ඩ්‍ෙ‍ඞති ඒතායාති භාවනා’ යනු යි. එයට අර්ථ දක්වා ඇත්තේ මෙසේ යි: ‘යම් චේතනාවක් කරන කොට සිත කුසල් දහම්හි පුරුදු කරන්නේ ය, දියුණු කරන්නේ ය යනු හෙයින් භාවනා නම් වේ’.

කවර හැටියෙන් කතා කළත් භාවනාව යනු සිත පිළිබඳ ක්‍රියාකාරිත්වයකි. එහෙත් සිත පවතින්නේ කොහේ දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් සිතක් පවතින්නේ සජිවී කයක් තුළ හෝ ඒ සමග බව නම් අපට දැනේ. අපේ මරණය සිදුවන්නේ අපේ කය ජීවයෙන් තොරවීමෙනි යි අපට යෝජනා කළ හැකි ය. අප මළ පසු අපට සිතන්නට නොහැකි වෙති යි අපට සිතේ. එහෙත් එය හරියට ම දැන ගන්නට නම්, මළ කෙනෙකුගෙන්ම ඇසිය යුතු ය. එය කළ හැක්කේ කාට ද? කවර දා ද?

එවන් සිත ගැන මිනිසා අනාදිමත් කාලයක සිට අපමණ දේ සිතා ඇත. අදත් අපි අපේ සිත ගැන අපමණක් දේ ඒ සිතින් ම සිතමු. ඒ ගැන කියමු. අවංකව කියතොත් අප සිතනවාට වඩා සිදුවන්නේ ඉවක් බවකින් තොරව සිත විසින් තමනට හිතුමතේ සිතා අප අතරමං කිරීම යි. නැතහොත් බොහෝ සෙයින් ම අප අමාරුවේ දැමීම යි.

භාවනාවෙන් කැරෙන්නේ සිතට වුවමනා හැටියට අප මෙහෙවන්නට ඉඩක් නොතබා අපට වුවමනා හැටියට සිත මෙහෙයවා ගන්නට උත්සාහ දැරීමකි යි තේරුම් කළ හැකි ය. එහෙත් අපට වුවමනා හැටියට සිත මෙහෙයවා ගැනීම කෙතරම් අපහසු කාරියක් දැ යි ධම්මපදයේ චිත්ත වග්ගයේ ගාථා එකොළොසකින් සිත ගැන කරන විවරණයෙන් සෑහෙන පමණකින් තේරුම් ගත හැකි වනු ඇත.

ඒ අනුව සිත සැලෙනසුලු ය, අස්ථාවර ය, හිතුවක්කාර හෙයින් රකින්නට අපහසු ය, නොනිසි අරමුණු වලින් වළකනු නොහැකි ය, දියෙන් ගොඩලූ මසකු පණ බියෙන් හනික වකගැසී හුස්ම අල්ලමින් උඩට බිමට පනින්නාක් මෙන් අරමුණු සොයමින් සැලෙයි, අරමුණු ඔස්සේ දුර ගමන් යයි, කිසිවකු සමඟ ඇසුරක් නැත. එබැවින් තනිව හැසිරෙයි, සිරුරකින් තොර ය, ශරීර ගුහාවෙහි ලැග සිටිතත් ඒ කොතැනක දැ යි කිසිවකුට නොකිය හැකි ය. මේ හැම ස්වභාවයකින් පෙනෙන්නේ සිතේ ගුඪත්වය යි. සිතින් වැඩ ගැනීමට නම් මේ ගූඪත්වය තේරුම් ගත යුතු බව පෙනේ. මෙහි ඇති අරුමය නම් ඒ තේරුම් ගැනීම කළ යුත්තේත් සිතින් ම වීම යි.

එය කළ හැකි ආකාරය ‘චිත්තං භාවේතීති භාවනා’ යන්නෙන් ප්‍රකාශිත ය. එනම් සිත දියුණු කිරීම යි. සිත දියුණු කිරීම යනු එය හික්මවීම යි. එනම් පාලනය කිරීම යි. හික්මවීම හෝ පාලනය කිරීම යනු සිත සීලයෙහි පිහිටුවීම යි. සිත සීලයෙහි පිහිටුවීම ගැනත්, එහි වැදගත්කමත් බුද්ධ දේශනාවේ නොයෙක් තන්හි නොයෙක් ආකාරයෙන් විවරණය කර ඇත. ඉන් එක් තැනක් මෙසේ ය.

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානුසාසනං
- ධම්මපදය 183

‘සියලු පව් නොකිරීම ද, ලෙව් ලොවුතුරා කුසල් වැඩීම ද, සිත නීවරණයන්ගෙන් පිරිසුදු කර ගැනීම ද යනු බුදුවරුන්ගේ අනුශාසනය යි.’

‘සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ, චිත්තං පඤ්ඤං ච භාවයං....’ ආදියෙහි කියැෙවින්නේ ‘නුවණැති පුද්ගලයා සීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩන’ බව යි. එනම් එමඟින් විමුක්තිය හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගන්නා බව යි.

භාවනාව මඟින් සිත දමනය කර ගැනීමට හෝ එමඟින් තමනට වුවමනා පරිදි සිත මෙහෙයවා ගැනීමට දරන ලද උත්සාහය හා එහිලා උපයෝගි කර ගන්නා ලද ක්‍රම බුද්ධ කාලයට පෙරත් පැවති බව සිද්ධාර්ථ තවුසා විසින් අනුගමනය කරන ලද සත්‍ය ගවේෂණ පිළිවෙත් මඟෙහි සටහන්ව තිබේ. එබැවින් භාවනාව විෂයයෙහි බුදුන් වහන්සේට දිගු පුළුල් අත්දැකීම් තිබිණ.

බුදුන් වහන්සේටත් පෙර පැවති භාවනාව හඳුන්වා ඇත්තේ සමාධි සමථ හෝ සිත එකඟ කරන භාවනාව ලෙසිනි. ප්‍රථම ධ්‍යාන ආදී සතර භාවනාවත්, ආකාසානඤ්චායතන ආදී සතර භාවනාවත් ඒ ගණයට ගැනෙන අතර, පරම සත්‍යය හෙවත් නිර්වාණයත්, ඒවාත් අතර කිසිත් සම්බන්ධයක් නැතිබව මජ්ක්‍ධිම නිකායේ අටවැනි සල්ලේඛ සූත්‍රයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

සල්ලේඛ යන්නෙහි වාව්‍යාර්ථය කෙලෙස් සිඳීම යනු යි. එහිදී සල්ලේඛ කළ යුතු කරුණු 44 ක් දක්වා ඇත. ඒවා විමසිල්ලෙන් සලකා බැලූ විට පෙනෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සපයන ලද විවරණයක් සේ ය. එය කොතරම් සාරගර්භ වන්නක් දැ යි සිතෙන්නේ සූත්‍රාවසානයේ සඳහන් ‘සිවුසාළිස් පද කෙනෙක් කියන ලදහ. පරම සන්ධීහු දෙසන ලදහ. සල්ලේඛ සූත්‍රාන්තය මහ සයුර මෙන් ගැඹුරු ය’ යන ප්‍රකාශයෙනි.

භාවනාව පිළිබඳ මේ සංවාදයේදී මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ ‘බුදුන් වදාළ ධර්මය’ කෘතියෙහි සඳහන් පහත දැක්වෙන ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කිරීම මැනව යි හැඟේ.

‘බුදුන් වහන්සේගේ ධර්මය, එයිනුදු උන්වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබාදීම අරමුණු කර ඇත්තේ ය. එසේ වුව ද භාවනාව තරම් බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙකු වැරදි ලෙස තේරුම් ගත් වෙන අංශයක් බුද්ධ ධර්මයේ නැති තරම් ය. ‘භාවනාව‘ යන වචනය කියනු ලබත් ම, අප කල්පනා කරන්නේ ජීවිතයේ, දවසේ පොදු වැඩවලින් ඉවත්ව, සමාජයෙන් වෙන්ව, ඇතැම් ගුහාවල හෝ විහාරවල දක්නට ලැබෙන ප්‍රතිමා වැනි විශේෂ ඉරියවුවකින් කිසියම් ගූඪ කල්පනාවක නොහොත් සිතිවිල්ලක යෙදෙන බවකි. සැබෑ බෞද්ධ භාවනාව කිසි ලෙසකිනුදු එවැනි පලායෑමක් නොවේ. මේ පිළිබඳ බුද්ධ මතය කොතරම් දුර වරදවා තේරුම් ගන්නා ලද්දේ ද, නැතහොත් කොතරම් අඩුවෙන් තේරුම් ගන්නා ලද්දේ ද යත් පසු කාලවලදී මේ භාවනා ක්‍රමය පිරිහී ගොස් ශිල්පයක මෙන් කළ යුතු වැඩපිළිවෙළක් ඇති චාරිත්‍ර විශේෂයක් බවට පැමිණියේ ය.’ (පිටුව 98)

ගරු කටයුතු භික්ෂූන් වහන්සේ නමක් සේ ම විශ්ව පූජිත පඬි රුවනක් සේ පිදුම් ලැබූ රාහුල හිමියන් විසින් භාවනාව විෂයයෙහි ඉදිරිපත් කරන ලද විවරණය භාවනාව යනු කුමක් ද? භාවනා කළ යුත්තේ කෙසේ ද? භාවනාවේ ආනිශංසය කුමක් ද? ආදි විසින් පුන පුනා විමර්ශනයක යෙදෙන්නට ඉඟි කිරීමක් වැනි ය.

භාවනාවේ අග්‍රඵලය ධම්මපදය මෙසේ අර්ථ කථනය කරයි

කුම්භූපමං කායම්මං විදිත්වා
නගරූපමං චිත්තම්දං ඨපෙත්වා
යෝධේථ මාරං පඤ්ඤාවුධේන
පතිං ච රක්ඛේ අනිවේසනෝ සියා
- ධම්මපදය 40

‘මේ කය මැටි බඳුනක් මෙනැ යි දැන, මේ විදර්ශනා විත්තය ස්ථිර නගරයක් මෙන් තහවුරු කොට තබා, විදර්ශනා මාර්ග ප්‍රඥා නමැති ආයුධයෙන් ක්ලේශ නමැති මාරයාට පහර දෙන්නේ ය. එසේ උපදවා ගත් තරුණ විදර්ශනාව ද රැක ගන්නේ්ය. ලෞකික සමාපත්තියට සම වැදෙමින් නොසිට ඉන් නැඟි විදසුන් වඩා මඟඵල ලබා ගන්නේ ය.’

ාවනාවේ අනුක්‍රමික පටිපාටිය අනුව ලෞකික සමාපත්තිය ඔස්සේ ඉදිරියට ගොස් ඉන් නොනැවතී ලෝකෝත්තර විමුක්තිය සඳහා විදර්ශනා වඩා නිර්වාණ ප්‍රාප්තියට මඟ සලසා ගතයුතු බව එයින් කියැවේ. එහෙත් සාමාන්‍ය පොදු ජනතාවට විදසුන් වඩා නිවන් මඟ සලසා ගැනීම කියන හෝ සිතන තරම් පහසුකාරියක් නොවේ. එදිනෙදා ලෞකික ජීවිතය යන්තම් ගැට ගසා ගන්නට නහින දෙහින ගිහියාට කිසියම් ‘නිවනක්’ ලබාගත හැකි වන්නේ එයට අදාළ සමාපත්තියක් දෛනික කටයුතු තුලනය කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමෙනි. එනම් සිත දියුණු කිරීම හෝ වැඩීමෙනි.

භාවනාව අපේ ප්‍රායෝගික ජීවිතය සමඟ බැඳෙන්නේ කෙසේ දැයි විමසා බැලීම වැදගත් ය. උපරිමාර්ථයෙන් ගත්කළ විදර්ශනා භාවනාව නිර්වාණාවබෝධය පිණිස වෙති යි පිළිගන්නා නමුත්, නිර්වාණාවබෝධය නොලබන තාක් මිනිසා ලෞකිකත්වය හෝ භෞතිකත්වය නොඉක්මවූවෙකි. භාවනාව යන වචනයෙන් නොහැඳින්වුවත්, අපේ ජීවිතය යහමඟට යොමු කිරීම හෙවත් සාර්ථකත්වය සඳහා අප බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු ය. බුදුන් වහන්සේ හැර කිසිදු දේවවාදී හෝ නිර්මාණවාදී ආගමික ශාස්තෘවරයකුගෙන් මිනිසාට නිදහස්ව සිතන්නට දිරි ගැන්වීමක් කැරුණේ් නැත. එපමණක් නොව දෙවියන්වහන්සේ ඇපයට තබා ඇතැම් ආගම්වාදි උන්මත්තකයන් විසින් නිදහස් ලෙස සිතූ® ශ්‍රේෂ්ඨ මිනිසුන් කොතරම් දෙනකු විවිධ උපක්‍රම මඟින් ඝාතනය කරනු ලැබ තිබේ ද?

කෙසේ වෙතත් භාවනාව අවශ්‍ය වන්නේ නිදහස්ව, සාවධානව, යෝනිසෝමනසිකාරයෙන් කුසල පාක්ෂිකව සිතා තමනටත්, අනුනටත් යහපතක් ම වන අතර අයහපතක් නොවන ලෙස දිවිරැක ගැනීමට නොවේද? එබැවින් භාවනාව අවශ්‍ය වන්නේ ක්ෂණ භංගුර වන්නා වූ මොහොතක් පාසා සිත එකලස් කර තබා ගැනීමට යැ යි කීවොත් වැරැදි ද? එයට භාවිත කළ හැකි අර්ථාන්විත හොඳ ම වචනය ‘සතිපට්ඨාන ‘ වෙති යි සිතේ.

මිනිසා වැඩ කරන්නට උපන් සතෙකි යි කියනු ලැබේ. සැබවින් ම මෙය නම් ප්‍රායෝගික සත්‍යයකි. අනාදිමත් කාලයක සිට වානර ගණයේ සිවුපාවකු, ජීවන සටනේදී ක්‍රියා කරන්නට සිදුවූ පසුබිම ඔස්සේ දෙපා සතකුව පරිණාමයට ගිය ආකාරය මානව විද්‍යාව විස්තර කරයි. එවන් මිනිසා සිය ජීවන කටයුතු පහසු කර ගැනීමට නොයෙක් මෙවලම් නිර්මාණය කර ගත්තේ භාවනාත්මක චින්තනයෙනි. ඔහුගේ ඒ නිර්මාණශීලි ට්න්තනය කිසිදා නිමාවට නොයන්නකි. ඔහු යම්තාක් සතිපට්ඨානයෙන් හෙවත් සිත සම්මා සතියෙහි පිහිටා කටයුතු කරයි ද, ඒතාක් ඔහුට වරදින්නට හේතුවක් නැත. එසේ වූ විට ඔහුගේ මොළය ද වඩ වඩාත් සියුම් හා බුද්ධිමත් ලෙස සිතන්නට හැකි සේ පරිණාමයට යනු ඇත.

අපේ සමස්ත චින්තාවලිය ම දිවි ඇති තාක් කායික, වාචසික හා මානසික ක්‍රියාවලිය සමඟ බද්ධ කොට භාවනානුගත කරන්නට බැරිකමක් නැත.

ඒ අනුව අපේ මුළු ජීවිතය ම භාවනාත්මක සන්තතියක් වනු ඇත. වල්පොළ රාහුල හිමියන් සිය බුදුන් වදාළ ධර්මය කෘතියෙහි කැරෙන පහත දැක්වෙන විවරණය එයට ඉඟිපෑමක් වැනි ය.

‘තවත් මාහැඟි භාවනා ක්‍රමවලින් එකක් නම් පෞද්ගලික ජීවිතයේ හෝ සාමාජික ජීවිතයේ හෝ වෘත්තිය ජීවිතයේ හෝ දවසේ වැඩවලදී කයින් සහ වචනයෙන් අප කරන සියලු දේ සිහියෙන් කිරීම ය. ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම, අඟපසඟ හැකිලීම, දිගහැරීම, ඔබ මොබ බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම, නිහඬවීම, ආහාරපාන ගැනීම, අනිකක් තබා මළමුත්‍ර පහ කිරීම යනාදී හැම වැඩක් කරන හැම මොහොතේ ම ඒ කරන වැඩේ ගැන සම්පූර්ණයෙන් සිත යෙදිය යුතු යි. වෙන වචන වලින් කියතොත්, දැන් පවත්නා මේ මොහොතෙහි හෙවත් දැන් මේ කරන වැඩෙහි ජීවත්විය යුතු ය. අතීතය හෝ අනාගතය ගැන කිසිසේත් නොසිතිය යුතු ය යනු මෙහි අදහස නොවේ. සැබවින් ම දැන් කරන වැඩය හෙවත්, මේ මොහොත පිළිබඳ අතීතයක් හෝ අනාගතයක් වේ නම් ඒ ගැන මේ මොහොතට අනුව සුදුසු පරිදි සිතිය යුතු ය.

‘අප බොහෝ විට ජීවත් වන්නේ අප කරන වැඩවල හෙවත් දැන් පවත්නා මේ මොහොතේ් නොවේ’ අපි අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙමු. අප මෙතැන වැඩ යෙදෙන බවක් පෙනෙන නමුත්, අපේ සිතිවිලි පවත්නේ වන තැනක ය, සිතින් මවා ගත් කරදරවල හෝ ප්‍රශ්නවල ය.

බොහෝ විට මේ සිතිවිලි අතීතය පිළිබඳ හැඟීම්වලට හෝ අනාගතය පිළිබඳ කල්පනාවලට හා ප්‍රාර්ථනාවලට අයත් ය. එහෙයින් අපි මේ මොහොතේ් කරන වැඩෙහි ජීවත් වන්නමෝ නොවෙමු. එයින් සතුටු වන්නමෝ නොවෙමු. මේ පවත්වා මොහොත හෙවත් දැන් කරන වැඩය සතුටට හේතු නොවන විට ඒ වැඩේට සිත මුළුමනින් යොදන්නට බැරිවීම ස්වාභාවික ය’. (පිටු 103 - 104)

කෙමෙන් වඩ වඩාත් වේගයෙන් සංකීර්ණත්වයට පත් වෙමින් ඉදිරියට ඇදෙන සමාජ ව්‍යුහය ගැන සිතන විට භාවනාව විෂයයෙහි අලුතින් සිතා බැලීමක් කළයුතු යැ යි සිතේ. කවරදාත් මානවයාගේ ජීවන තත්ත්වයේ ප්‍රමිතිය උච්චාවචනය වූයේ ඔහුගේ ආර්ථිකය මත ය. එය ඝරණය වූයේ ඔහු වැය කළ ශ්‍රමයට දෙන ලද අගය අනුව යි. අද ඕනෑ ම පුද්ගලයකු කවර තරාතිරමක හෝ වෘත්තියක් විෂයයෙහි පුහුණු ශ්‍රමිකයකු නොවුවහොත් ඔහුගේ පැවත්ම අස්ථාවර ය.

ඒ ශ්‍රමය කායික සහ මානසික දෙපසේ ම ඒකාබද්ධ ව්‍යායාමයෙන් ප්‍රගුණ කළ යුත්තකි. එය කළහැක්කේ පුද්ගලයාගේ ආකල්ප හා කුසලතා වර්ධනයෙනි. අද ඒ සඳහා යොදා ගෙන ඇති උපාය මාර්ගය විධිමත් අධ්‍යාපනය යි. එහි වැඩිමනත් සංවිධිත පලදායකත්වය උදෙසා අවිධිමත් හෝ නොවිධිමත් අධ්‍යාපනය ද දායකත්වය සපයන බව පිළිගනු ලැබේ.

අධ්‍යාපන මනෝ විද්‍යාඥයෝ ඉගැන්වීමේ දී සහ ඉගෙනීමේදී අවධානයේ වැදගත්කම ගැන තරයේ සඳහන් කරති. පාඩම කෙරෙහි ශිෂ්‍යයාගේ අවධානය යොමුකර ගැනීම ගුරුවරයාගේ වගකීමකි.

ගුරුවරයා කියාදෙන දේ කෙරෙහි ශිෂ්‍යයා අවධානය යොමු නොකළහොත් ඔහුගේ ඉගෙනීම ද අසාර්ථක ය. එසේනම් අවධානය යනු කුමක් ද? ඒ අන් කිසිවක් නොව සිත එක් අරමුණක රඳවා තබන භාවනාත්මක චින්තනය යි.

අප පසිඳුරන් මඟින් ග්‍රහණය කරනු ලබන අරමුණු කෙරෙහි සාවධානව හෙවත් භාවනාත්මකව සිත යොමු නොකළහොත් සිදුවන්නේ නොමඟ යෑමකි. ඒ නොමඟයෑම කොතැනින් වේ දැ යි කිය නොහැකි ය.

විශිෂ්ට විද්‍යාත්මක තාක්ෂණික හෝ කලාත්මක හැම නිර්මාණයක් ම භාවනාත්මක චින්තනයේ අග්‍රඵලයකි.

සම්භාව්‍ය කලා නිර්මාණයක් ලෙස විශ්ව කීර්තියට පත් මහමෙවුනාවේ සමාධි බුදුපිළිමයේ නිර්මාණ ශිල්පියා එය නිර්මාණයේදී ඒකාත්මික අරමුණක් කෙරෙහි සිත කේන්ද්‍රගත කොට කෙබඳු භාවනාත්මක චින්තනයකට සමවැදී සිටියේදැයි සිතාගන්නට අපට බැරිකමක් නැත.

එදෙස මොහොතක් නෙත් හෙළා සිටින විට අපේ සිත ද භාවනාත්මක අරමුණක කේන්ද්‍රගත වන්නේ නිරායාසයෙනි. කුසල පාක්ෂික අරමුණක් කේන්ද්‍රගත කොට අපේ සිත සමාධිගත වන්නේ එසේ නොවේ ද? එපමණක් නොව සමාධි බුදුපිළිමය නිමිත්තක් සේ ගෙන ඩබ්ලිව්. ඒ. අබේසිංහ කවියා විසින් රචිත ‘අඩවන් වූ දෙනතින් ගලනා/ මෙත් මුදිතා කරුණාධාරා.... ගීතය කන වැකෙත් ම අපේ සිත සමාධිගත වන්නේ් කවර නම් නිරාමිස අසිරියකින්ද? එපමණ ද? සුමට, සරල පද පෙළ ගැස්ම සමඟ අසිරිමත් ලෙස සංඝටික ගීතනුව පද වැලින් තොරව වාදනය වන විට පවා අපේ සිත සමාධිගත නොවන්නේ ද?

ප්‍රායෝගික භාවනාව අපේ දෛනික කායික, වාචසික හා මානසික කි‍්‍රයාවලිය සමඟ ඒකාත්මික ව්‍යාපෘතියකි. භාවනාත්මක චින්තනය අපේ සමස්ත ක්‍රියාවලිය විනිවිද යා යුත්තකි.

එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගත යුත්තේ ස්වායක්තව ය. භාවනාව සාමුහික ව්‍යාපාරයක් නොවේ.

අද ව්‍යාපාරයක් ලෙස සංවිධානය වී ඇති භාවනාව සීමාසහිත කාල පරාසයක් තුළ ප්‍රායෝගික ජීවන ප්‍රශ්න වලින් පලායන්නට දරන උත්සාහයක් බවට පත්ව තිබේ. ඇතැම් විට තමන් විසින් තමා මුළා කර ගැනීමක් සේ ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.