වෙලේවත්තේ
පඤ්ඤාරතන හිමි
දහමෙහි ඉගැන්වෙන පරම ආගමික නිෂ්ඨාව නිවනයි. මේ ගැඹුරු ප්‍රස්තුතය
සම්බන්ධයෙන් මොන තරම් විස්තරාත්මකව ලිව්වත්, නිවනෙහි ශාන්ත ප්‍රණීත
ස්වභාවය විස්තර කිරීමට කෙතරම් ප්‍රයත්න දැරුවත්, නිර්වාණය පිළිබඳව පත
පොත කියවා තේරුම් ගැනීම අතිශයින්ම දුෂ්කරය. නිවන මුද්‍රණය කර දැක්විය
නොහැක. එය ප්‍රඥාවෙන්ම පමණක් සාක්‍ෂාත් කර ගත හැකි ලෝකෝත්තර ධර්මයකි.
නිර්වාණය කේවල තර්ක මාර්ගයෙන් අවබෝධ කරගත නොහැක්කේ එය තර්ක මාර්ගයෙන්
බැස ගත හැක්කක් නොවන (අතක්කා වචර) හෙයිනි. බුද්ධ වචනය අතිශයින්
තර්කානුකූ®ලය. එහෙත් බුදු සමයෙහි පරම නිෂ්ඨාව වූ නිර්වාණය තර්ක විෂයෙන්
පරිබාහිරය. කෙසේ වුව ද ජීවිතයෙහි ධන හා සෘණ පක්‍ෂ පිළිබඳව
ප්‍රත්‍යවෙක්‍ෂනය කර බලන විට පටිච්ච සමුප්පන්න නොවුන තත්ත්වයන් තිබිය
යුතුය යන තාර්කික නිගමනයට එළඹෙන්නට පිළිවන.
සුමේධ තාපසව උපන් අවස්ථාවේදී බෝසතුන් වහන්සේ මෙසේ කල්පනා කළ බව
ජාතකට්ඨ කථාවේ සඳහන් වේ.
“දුකක් තිබෙන විට සැපක් ද තිබෙන්නාක් මෙන් සසරක් ඇත්නම් සසරින් මිදීමක්
ද තිබිය යුතුය. උණුසුම තිබෙන විට සිසිලසක් තිබෙන්නා සේ, නන් වැදෑරුම්
ගින්න තිබෙන විට නිවනක් ද තිබිය යුතුය. ලොව නරක තිබෙන විට හොඳ ද
තිබෙන්නා සේ උත්පත්තිය තිබෙන්නාසේම නොඉපදීම ද තිබිය යුතුය.”
ර්වචනය
“නිබ්බාණ” යන පාලි වචනය (සිංහල හා සංස්කෘත භාෂා වලින් නිර්වාණ)
නිර්මාණය වී ඇත්තේ “නී” පූර්ව “වාණ” යන්නෙහි “නි” යන නිෂේධනාර්ථයේ
උපසර්ගයකි. “වාණ” යන්නෙහි අරුත ගෙතීම හෙවත් තෘෂ්ණාව යන්නයි. මෙම
තෘෂ්ණාව එක් ජන්මයක් හා තවත් ජන්මයක් අතර බන්ධනයක් සේ ක්‍රියා කරයි.
“වාණ නම් වූ තෘෂ්ණාවෙන් වෙන් වීම” ඉවත් වීම යන අර්ථයෙන් එයට “නිබ්බාණ”
යැයි කියනු ලැබේ. තෘෂ්ණාවෙන් අප බැඳී සිටින තාක් කල් නව කර්ම රැස්වන
අතර ජාති මරණ සංසාරයෙහි කවර අවස්ථාවක වුවද ඒවා විපාක දිය යුතුය.
සියලු ආකාරයේ තෘෂ්ණාවන් මූලෝත්පාටනය කළ විට කර්ම ශක්තිය ක්‍රියාත්මක
වීම නැවති ජාති ජරා මරණයන්ගෙන් මිදී නිර්වාණය සාධනය වෙයි. විමුක්තිය
පිළිබඳ බෞද්ධ සංකල්පය හුදෙක් පාපයෙන් හා අපායෙන් මිදීම නොව නිරතුරුව
ක්‍රියාත්මක වන සංසාර චක්‍රයෙන් මිදීමයි.
නිර්වාණය ලෝභ, දෝෂ හා මෝහ යන ත්‍රිවිධ අග්නිස්කන්ධයන් නිවා දැමීම සේ ද
විවරණය කර තිබේ.
“ලොව සියල්ල ගිනි ගන්නේය” යි වදාළ බුදුරජාණන් වහන්සේ “ඒ කුමන ගිනි
වලින්ද?” රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න,
මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න,
උපායාස ගින්න යන ගිනි වලින්” යැයි පැහැදිලි කළහ. එක් අරුතකින් නිවන නම්
මේ ගිනි නිවා දැමීම යැයි නිර්වචනය කළ හැකිය. එහෙත් නිවන නම් හුදෙක් මේ
ගිනි නිවා දැමීම පමණක් යැයි වරදවා තේරුම් නොගතයුතුය. මාධ්‍යය
නිෂ්ඨාවෙන් වෙන්කර හඳුනා ගත යුතුය. ගිනි නිවා දැමීමේ මාධ්‍යයයි. (යමක්
ඉටු කර ගැනීමට ඇති මාර්ගයයි.) මෙහිදී ගිනි නිවා දැමීම නිවන ලබා ගැනීමට
ඇති මාර්ගයයි.
නිර්වාණය උච්ඡේදයක්ද?
පසිඳුරන් මගින් දත හැකි කිසිවක් නොමැති හෙයින් නිර්වාණය උච්ඡේදයක්
හෙවත් හිස් බවක් නාස්තිකත්වයක් යැයි සිතීම අන්ධයාට නොපෙනෙන හෙයින්
ආලෝකය නැතැයි පැවසීම බඳු අතාර්කික ප්‍රකාශයකි. ජලය ගැන පමණක් දැන සිටි
මත්ස්‍යයෙක්, ඉබ්බෙකු සමග වාද කර “ගොඩ බිම” යැයි යමක් නැති බව
ජයග්‍රාහී විලාසයෙන් ප්‍රකාශ කළ ආකාරය කියැවෙන ජන කතාවක් වෙයි. ඉබ්බා
එසේ ජයග්‍රහණය කළේ ඉබ්බාගේ ප්‍රශ්න සියල්ලටම “නැත” යන පිළිතුර ලබා
ගන්නට සමත් වූ හෙයිනි.
තමා මාළුවකු හෙයින් මුළු ජීවිතයම ජලයෙහිම ගත කළ, ජලය ගැන මිස වෙන
කිසිවක් ගැන නොදත් මත්ස්‍යයෙක් සිටියේය. දිනක් මත්ස්‍යයා පොකුණෙහි ඒ මේ
අත පීනමින් සිටිනා අතර ඔහුට ගොඩබිම් සංචාරයක් කර පැමිණි ඉබ්බා මුණ
ගැසිණි.
“ සුබ උදෑසනක් මිත්‍රයා, හුග දවසකින් දැක්කේ නෑ. කොහේද ඔබ ගිහින්
හිටියේ?”
“ඕ” යි ඌ ඇමතූ ඉබ්බා “මම ගොඩබිම රවුමක් ගිහින් මේ ආව විතරයි” යි
පිළිතුරු දුන්නේය. “ගොඩ බිම?” පුදුමයට පත් මාළුවා විමසීය.
“මොකක් ද ඔය ගොඩ බිම? එහෙම දෙයක් මම දන්නේ නෑ. මම එහෙම දෙයක් දැකලා නෑ.
තියෙනව ද එහෙම දෙයක්” යි තව දුරටත් විමසීය.
“කමක් නෑ” යි කරුණාවෙන් පැවසූ ඉබ්බා “ඔබ එහෙම නෑ කියල හිතනව නම් එහෙම
හිතන්න. හැබැයි එහෙම තැනක් තියෙනවා. මම එහේ ගිහින් ආවෙ” යි කීවේය.
“හැබෑද, අපි තේරුමක් ඇති විදියට කතා කරමු. මට කියන්න ඔය ගොඩ බිම හැටි
කොහොම ද කියල. එහේ වතුර තියෙනවාද?
“නෑ එහේ වතුර නැහැ”
“එහේ සීතලයි, ප්‍රණීතයි, නැවුම් කියන්න පුළුවනිද?”
“ බෑ එහෙම කියන්න බෑ”
“එළිය වදින්න විනිවිද යන්න තරම් පැහැදිලිව පිරිසුදුව තියෙනවාද?”
“එළිය විනිවිද යන්නේ නෑ”
“මෘදු ද? මට වරල් ගහලා ඕන ඕන විදියට එහාට මෙහාට පීනන්න පුළුවන්ද?
“නෑ මෘදු නෑ, එහේ පීනන්න බෑ”
“එහාට මෙහාට දිය පාරවල් වගේ ගලනවාද? හෙල්ලෙනවාද?”
“නෑ. එහාට මෙහාට දිය පාරවල් වගේ ගලන්නේ නෑ. හෙල්ලෙන්නේ නෑ”
“පෙන නැගී රළ ගහනව ද?”
“ නෑ එහෙම වෙන්නෙත් නෑ”
මාළුවා සතුටින් ජයග්‍රාහීව කියා සිටියේ “ඒක තමයි මම කිව්වේ. ඔයා ඔය
කියන ගොඩබිම නෑ. මගේ ප්‍රශ්න සේරටම උත්තරය “නෑ” කියලමනේ ලැබුණේ. සීතලත්
නැත්නම්, ප්‍රණීතත් නැත්නම්, පැහැදිලිත් නැත්නම්, පීනන්නත් බැරිනම්,
කිමිදෙන්නත් බැරිනම්, ගලන්නෙත් නැත්නම්, හෙල්ලෙන්නෙත් නැත්නම්, රැලි
නැගෙන්නේ, පෙන නැගෙන්නෙත් නැත්නම්, ඉතින් ඒක නැති දෙයක්. එන්න එපා මට ඒ
ගැන කියන්න.
“හරි, හරි ගොඩ බිම කියල දෙයක් නෑ කියන්න ඔබ කැමති නම්, එහෙම කියා ගන්න.
මං හිතනව ඔබ දිගටම එහෙම කියයි කියල. ඒ වුණාට වතුර ගැනයි ගොඩබිම ගැනයි
දෙකම ගැන දන්න අය කියයි, ඔයා තමන්ට දකින්න නොලැබුණු හැමදේම නැති දේවල්
විදියට හිතන මෝඩ මාළුවෙක් කියලා.”
එසේ පැවසූ ඉබ්බා, මාළුවා වතුරේම එහා මෙහා පීනද්දී ගොඩ බිම තව රවුමක්
යන්නට පිටත් විය”
ජලය සහ ගොඩ බිම යන දෙකම දැන සිටි ඉබ්බා, මාළුවාට ගොඩබිම ගැන විස්තර
කරන්නට අසමත් වූ අයුරුත්, ජලය ගැන පමණක් දැන සිටි මාළුවා ගොඩ බිම ගැන
තේරුම් ගන්නට අසමත් වූ අයුරුත්, මේ කතාවෙන් පැහැදිලි වේ. මේ අයුරින්ම
ලෞකික හා ලෝකෝත්තර යන උභය තත්ත්වයන්ම දත් රහතන් වහන්සේ පෘථග්ජනයන්ට
ලෝකෝත්තරය යථාර්ථය ගැන ලෞකික පද ව්‍යවහාර වලින් විවරණය කරන්නට අසමත්
වෙති. එමෙන්ම ලෞකිකත්වය පමණක් දත් පෘථග්ජනයා හුදු ලෞකික නුවණින්
ලෝකෝත්තර යථාර්ථය දැන ගන්නට අසමත් වෙයි. නිර්වාණය නාස්තිකත්වයක් නම් එය
අවකාශය හා සම දෙයක් වෙයි. නිවන හා අවකාශය යන දෙකම සදාකාලිකය.
අවිපරිණාමිය, ආකාශය ස්වභාවයෙන්ම ශූන්‍ය හෙයින් එය සනාතනය. නිවණ කාල හා
අවකාශය යන දෙකෙන්ම විමුක්තය. මේ දෙක අතර ඇති වෙනස කුමක්ද? අවකාශය
“නැත්තකි” එහෙත් නිවන “ඇත්තකි”
විවිධ සත්වාවාස ගැන කරුණු දක්වන තැන බුදුරජාණන්වහන්සේ “කිසිවක් නැති
තැන” හෙවත් ආකිඤ්ඤායතන යන තැනක් ගැන විශේෂයෙන් කරුණු සඳහන් කරති.
නිර්වාණය මනසට ගෝචර විෂයයක් (වත්ථු ධම්ම) ලෙස සාක්ෂාත් කළ හැකි වීමෙන්ම
එය නැත්තක් නොව ඇත්තක් බව සනාථ වේ. එය නැත්තක් වී නම් බුදුරජාණන්
වහන්සේ එය “සීමාවක්, ඉමක් නැති “(අනන්ත)” හේතු ප්‍රත්‍ය සමවායෙන් හට
නොගත් (අසංඛත) “උපමා නැති” (අනුපමේය) “සැසඳිය නොහැකි - ශ්‍රෙෂ්ඨතම”
(අනුත්තර) උසස්ම (පර) “එතෙර” (පාර) “උසස්ම පිහිට” (පරායන) “පිහිට”
(තාණ) “සුරක්ෂිතත්වය” (ඛේම) “ප්‍රීතිය” (සිව) “සුවිශේෂ” (කේවල) “ගෙයක්
නැති” (අනාලය) “විනාශ නොවන” (අක්ඛර) “පරම පවිත්‍ර” (විශුද්ධ)
“ලෝකෝත්තර” (ලොකුත්තර), අමරණීය “(අමන) “විමුක්තිය” (මුත්ත) “සාමය”
(සන්නි) යන වචන වලින් විස්තර නොකරනු ඇත. උදාන හා ඉති වුත්තක
ග්‍රන්ථවලදී භාග්‍යවතුන් වහන්සේ නිර්වාණය පහත දැක්වෙන අයුරින් විග්‍රහ
කරති.
“මහණෙනි, නූපන් (අජාත), හට නොගත් (අභූත), නොසාදන ලද (අකත), හේතු -
ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් (අසංඛත) දෙයක් ඇත. යම් හෙයකින් මහණනි, අජාත,
අභූත, අකත, අසංඛතය නොවූයේ නම්, උපන් (ජාත), හටගත් (භූ®ත), සදන ලද (කත),
හේතු ප්‍රත්‍ය සම්භූත (සංඛත) දෙයින් මිදුමක් නැති වන්නේය. නමුත් මහණනි,
අජාත, අභූත, අකත, අසංඛත දෙයින් මිදුමක් ඇත්තේය. ඉතිවුත්තකයෙහි මෙසේ
සඳහන් වෙයි. “ජාත වූ ධර්මතාවෝ තනන ලද්දෝ වෙති. නිෂ්පාදිතයෝයි. සංකතයහ,
නිර්මිතයහ. ඒ නිසා ඒවා කල් නොපවතී. ඒවා ජාති – මරණ ද්වයේ සංකලනයෝය. ඒවා
සම්මිශ්‍රණයකි. ඒවා ව්‍යාධි රෝග පීඩාවන්ට නිවෙස්ය. බිඳෙන සුලුය.
ආහාරයෙන් නඩත්තු කරනු ලැබුවෝ වෙති. ආහාරයෙන් යැපෙති. එවැනි දේ අලුම්
කිරීමට නුසුදුසුය. ඉන් මිදී යථාතත්ව ගතවීම තක්කාවචරයෙන් ඔබ්බට යෑමකි. ඒ
නොනැසෙන සුලුය. අජාතය, අනිර්මිතය, අශෝකීය. අමලය. දුත්ඛ දෝමනස්සය කෙළවර
කරන මගය. සන්තාපයෙන් මිඳී සාමයට සන්තුෂ්ටියට යන මගය. එහෙයින්
බෞද්ධයන්ගේ නිවණ ශූන්‍ය ස්ථානයක් හෝ හුදු නිරෝධ මාත්‍රයක් නොවේ. එය
කුමක් නොවන්නේදැයි කෙනකුට ඉතා පහසුවෙන් නිවැරදිව කිව හැක. එහෙත් එය
සුවිශේෂ හෙයින්, එය කුමක් වේදැයි නිවැරදිව ව්‍යවහාරික භාෂාවෙන් ප්‍රකාශ
කිරීම අපහසුය. එය තම තමා විසින්ම පසක් කර ගතයුතුය. (පච්චත්තං
වේදිතබ්බෝ)
සෝපදිසේස සහ අනුපදිසේස නිබ්බාණ ධාතු
නිර්වාණය පිළිබඳ සැපයෙන ධර්ම විස්තර වල නිරතුරුවම සෝපාදිසේස නිර්වාණය
සහ අනුපාදිසේස නිර්වාණය යනුවෙන් නිර්වාණ දෙකක් ගැන සඳහන් ෙව්. මෙය
නිර්වාණ වර්ග දෙකක් යැයි නොසිතිය යුතුය. එකම නිර්වාණය මරණයට පෙර හා
මරණයෙන් පසු සාක්ෂාත් කර ගන්නා ආකාරයට අනුව මෙසේ නම් දෙකක් ලබයි. නිවන්
අපේක්ෂා කරන පුද්ගලයා ඊට ගැලපෙන පරිපාකයකට පත්ව සිටී නම් මේ ආත්මභාවයේම
නිර්වාණය සාධනය කර ගත හැක. මෙම ආවසානික අධිගමය හුදෙක් මරණින් මතුම
ලැබිය හැක්කකැයි බුදු සමය කිසි විටෙක නූගන්වයි.මරණින් මතු පමණක්ම ලැබෙන
සදාකාලික ස්වර්ගය පිළිබඳ සංකල්පයෙන් බෞද්ධ නිර්වාණ සංකල්පය වෙනස් වන්නේ
මෙතනදීය. නිර්වාණය මේ සිරුර පවතිද්දීම සාක්ෂාත් කර ගැනීම සෝපාදිසේස
නිබ්බාණ ධාතුව වශයෙන් හැඳින්වේ. රහතන් වහන්සේ නමක් කිසිම කායික
අවශේෂයකින් තොරව මරණින් මතු පරිනිර්වාණයට පත් වූ විට එය අනුපාදිසේස
නිබ්බාණ ධාතුව යනුවෙන් හැඳින්වේ.
බුදුරජාණන් වහන්සේ ඉතිවුත්තකයේදී මෙසේ පවසති.
“මහණෙනි, නිබ්බාණ ධාතු දෙකක් තිබේ. ඒ දෙක කවරේද? උපාධි සහිත නිබ්බාන
ධාතුව හා උපාධි විරහිත නිබ්බාණ ධාතුවයි. මහණනි, කෙලෙස් බිඳහළ, බඹසර වැස
නිම කළ, කළ යුතු සියල්ල කර නිම කළ, බර බහා තැබූ, පරමාර්ථය ඉටු කරගත්,
භවබන්ධන සිඳ හළ, මනාව සත්‍යාවබෝධය කර විමුක්ත වූ රහත් වූ භික්ෂුවක්
වෙයි. ඔහු ගේ පිසඳුරෝ තවම පවතියි. ඒවා පවතිද්දීම සුව දුක් වින්ඳන ලබයි.
ඔහු ගේ මෙම රාග, දෝෂ, මෝහ වැනසීම සෝපාදිසේස නිබ්බාණ ධාතුව වශයෙන්
හැඳින්වෙයි. අනුපාදිසේස නිබ්බාණ ධාතුව නම් කුමක්ද මහණනි? කිසියම්
භික්ෂුවක් රහත්ව විමුක්තව වෙසෙයි. මේ ජීවිත කාලය තුළම ඔහු ඉන්ද්‍රීය
මාර්ගයෙන් ලබන වින්ඳන ඔහුට ප්‍රීතිය පිණිස නොපවතියි. ඒවා සිසිල්ව යයි.
එය අනුපාදිසේස නිබ්බාණ ධාතු නම් වෙයි.
ලොව පවතිනා වූ සියලු අධර්ම බලවේග අභිභවා ජයගන්නාවූ උතුම් භාවනා බලය
අත්පත් කොට බුදුසසුන බබුළුවනු පිණිසත් ආත්ම විජය පිණිසත් ලෝක ශාන්තිය
පිණිසත් සියල්ලෝම භාවනා වඩත්වා!
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා |