Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධපරිනිර්වාණයෙන් තෙමසකට පසුව සප්තපර්ණ ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව සිදුවිය. මේ නිසා නිකිණි පෝය දිනය අපට ඉතා වැදගත්ය. තෙමසක් පුරා රහතන් වහන්සේ පන්සියයක් මෙයට සහභාගි වූහ. මහා කාශ්‍යප රහතන් වහන්සේ මූලිකත්වය දැරූහ. අජාසත්ත රජතුමා ගිලන්පස හා දානය සැපයූයේ ය. වේහාර පර්වතය අසල විශාල භූමි භාගයක් මේ සඳහා වෙන් කර තිබුණි. බුද්ධ ධර්මය ඊළඟ පරපුරට ගෙන යාමේ අදහස මෙයට මුල්විය. එදා බුද්ධ ධර්මය දෙසූයේ විනය නීති පැනවූයේ වාචිකවය. මේවා දීර්ඝ කාලීනව පරපුරෙන් පරපුරට ගෙන යාමේදී අඩුපාඩුකම් දුර්වලකම් ඇතිවේ.

ආත්මාර්ථකාමී දුශ්ශීල භික්‍ෂූන් නිසා සසුන කෙලෙසන ක්‍රියාවන්ගෙන් වළක්වා ගැනීම සඳහා මෙය අවශ්‍යවේ.

මේ පෝය දින ආනන්ද හිමියන්ගේ රහත්වීම ඉතා වැදගත්කොට සැළකිය හැකිය. රහත් භාවයට පත් නොවී ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගීවීමේ අවස්ථාව නොලැබී යයි. බුදුන් වහන්සේ වෙනුවෙන් අසුනක් සහ ධර්ම භාණ්ඩාගාරික වෙනුවෙන් අසුනක් ද වෙන් වී තිබිණ. සංගායනාව ආරම්භයට මොහොතකට පෙර රහත් බවට පත්වූ ආනන්ද හිමියෝ සැමට පේනසේ පොළව යටින් එතැනට වැඩි සේක.

එම දර්ශනයෙන් සතුටට පත්වූ මහා කාශ්‍යප හිමියෝ තෙවරක් සාධුනාද පැවැත්වූහ.

ඇසළ උදාව සමඟම භාරතයට වැසි ලැබේ. කුරුල්ලන් පවා කැදලි සොයා යන අයුරු දිස්වේ. භික්‍ෂූන්ට පිඬු පිණිස යාම අසීරුය. මේ නිසා වස් සමාදන්වීමේ පෝය ඇසළ පෝය ලෙස නියම විය. නිකිණි පෝයද වස් සමාදන්වීමට උචිත බව පැවසේ. පසුවස් වැසීම නිකිණි පෝයට නියමිත ය. නිකිණි පෝය මේ නිසාද වැදගත් ය.

අපේ පැරණි මුතුන් මිත්තන් ගොවිතැන් බත් කෙළේ මෙම පෝය සම්ප්‍රදායට අනුව ය.

“වැසි රහිත”” යන්න “නිකිණි” යන්නෙන් අදහස් වේ.

“කිණි” සෞම්‍ය දේශගුණය නි නැති බව පෙන්වයි.

“වැසි නැති බව“ නිකිණි යනුයි. හේන් ගොවියාට ඉඩෝරය අවශ්‍යවේ. මේ සඳහා නිකිණි මාසය සුදුසු වේ.

ජනකවි ජනකතා මගින් ද මේ කාලය ගැන කියවේ. ගිහියන් ගේ අවශ්‍යතාවයන් සළසාදීම සඳහා වැඩිපුර භික්‍ෂූන් බුදුන් වහන්සේ දවස නොසිටි බැවින් වස් කාලය තුළ පන්සලෙන් පිටත ගොස් සතියකට වැඩි නොවන කාලයක් ගෙවීමට අවසරය ලබාදී ඇත. ඒ පිළිවෙත සඳහා අවසරය ලැබ අදිටන් කරගෙන පිටට යෑමේ ඉඩකඩ ලැබුණේ නිකිණි පෝය දිනයේදීය.

අරියවංශ දේශනාව අප රට තුළ පැවති බවත් වොහාරක තිස්ස, දුටුගැමුණු රජවරුන් මේ සඳහා ප්‍රමුඛත්වය ගත් බවත් මහාවංස තොරතුරු වලින් හෙළිවේ.

මේ දේශනාව පැවත්වෙන විට එය උත්සවාකාරයෙන් පැවත්වූ බව සඳහන් ය.මෙයද නිකිණි පෝය පදනම් කරගෙන පැවත්වූ බව සාසන ඉතිහාසය පෙන්වා දෙයි. නිකිණි මහට වල් අලින්ගෙන් පීඩා සිදුවන බව දනිති. අලින් පලවා හැරීමේ සාර්ථක ක්‍රමයක් ජයසිරිමා බෝධි භාරකාර කුල පරම්පරාව පෙන්වා දී ඇත.

මෙය නම් ගිනිමැල ගැසීමයි. ගිනිමැල ගසා වල් අලින්ගෙන් සිදුවුන උවදුරු නැතිකර ගත් බව සඳහන් වේ.

රජරට වැසියන් දරමිටි බැඳගෙනවිත් බෝධිය රැක ගැනීමට ඉතා බැතියෙන් ඒ කාරිය ඉටු කළ නිසා නිකිණි පෝය “දර මිටි පෝය” නමින් ද හඳුන්වයි. ගොවියා හේන සකස් කර ගන්නේ හේන ගිනි තබන්නේ නිකිණි පෝය උදාවත් සමඟය. වැසි සමයට පෙරය. මේ අනුව නිකිණි පෝය ජන ජීවිතයටද ඉමහත් ප්‍රයෝජන වන අයුරු පැහැදිලිය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.