සමාජගත දුක පිළිබඳව
බුදුරජාණන් වහන්සේ කරුණු
දක්වන්නේ විශ්වයේ ආරම්භයත් සමඟය. අග්ගඤ්ඤ සූත්‍රයේ දී සමාජගත දුක
පටිච්චසමුප්පන්න වූවක් බව ප්‍රත්‍යක්ෂ වේ. මෙම සූත්‍රය වාසෙට්ඨි හා
භාරද්වාජ දෙදෙනාට දේශනා කොට ඇත. මේ දේශනාවේ අරමුණු වී ඇත්තේ බ්‍රාහ්මණ,
ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ක්‍ෂුද්‍ර යන සමාජගත සිවුකුලයේ
ආරම්භය දැක්වීමයි.
මහඋල්පත සුනීතධම්මාලංකාර හිමි
බුදු දහම පුද්ගල දුකෙහි සමුදය පිළිබඳවත් එහි නිරෝධය පිළිබඳවත් පමණක්
කථාකරන දහමක් නොවේ. සමාජ ක්‍ෂෙත්‍රයේම පිහිටි දුක්ඛ සමුදය හෙවත් දුකේ
හටගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
බුදුදහම සමාජගත දුක පිළිබඳව කරුණු දක්වන්නේ සමාජය දුකමතම පිහිටියේ ය
යැයි පවසා නිහඬවීමට නම් නොවේ. සමාජගත දුක මුලිනුපුටා දමා නියම සුවය
උත්පාදනය කිරීමටය. මේ විෂය කාරණයෙහිලා වැදගත් සාධක රැසක් බුද්ධ
භාෂිතයෙන්ම අපට හමුවේ. ඒ අතර දීඝ නිකායේ
* අග්ගඤ්ඤ සූත්‍රය
* චක්කවත්තිසීහනාද සූත්‍රය
* කූටදන්ත සූත්‍රය
* මහානිදාන සූත්‍රය
වැනි සූත්‍ර විශේෂිය. ‘සැප’ යන ශබ්දය සමාජයේ නිර්වාණගාමී මාර්ගයට නියම
ලෙස පිළිපන් උතුමන් හැර සියලු පුහුදුන් සත්ත්වයෝ දැඩිලෙස ග්‍රහණය කර
ගැනීමට වෙරදරන ලෞකික ගුණයකි. සැපය වේදනාවේම එක් කොටසක් වේ. රහෝගත
සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වේදනාව ත්‍රිබේදගත කොට ඇත.
‘තිසේසා ඉමා භික්ඛු වේදනා වුත්තාමයා සුඛ වේදනා දුක්ඛ වේදනා, අදුක්ඛමසුඛ
වේදනා
මෙයින් සාමාන්‍ය මිනිස් ප්‍රජාව අනුභව කරන්නේ දුකත් නැති සැපත් නැති
මොහොතකට පමණක් පවතින අදුක්ඛමසුඛ වේදනාවයි. දුක හා සැප පිළිබඳ නියම
අවබෝධයක් ලැබු තැනැත්තා සැබැවින්ම නිවීමට පිළිපන් අයෙකි.
සමාජගත දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු දක්වන්නේ විශ්වයේ ආරම්භයත්
සමඟය. අග්ගඤ්ඤ සූත්‍රයේ දී සමාජගත දුක පටිච්චසමුප්පන්න වූවක් බව
ප්‍රත්‍යක්ෂ වේ. මෙම සූත්‍රය වාසෙට්ඨි හා භාරද්වාජ දෙදෙනාට දේශනා කොට
ඇත. මේ දේශනාවේ අරමුණු වී ඇත්තේ බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය,
ක්‍ෂුද්‍ර යන සමාජගත සිවුකුලයේ ආරම්භය දැක්වීමයි. යම් දිනයක මේ ලෝකය
විනාශ වන්නේ්ය. එය විනාශ වී මියයන සත්ත්වයා ආභස්සර නම් දිව්‍ය ලෝකයේ
උපදියි. සැහැල්ලු සිරුරක් ඇති ඔවුන් නිදැල්ලේ පාවෙමින් සිටි. මෙලෙස
බොහෝ කලක් ගතවන විට දියෙන් පිරුණු අඳුරු ලෝකය මත යම් සිවියක් හටගනී. එය
මුදවපු කිරිහට්ටියක යොදය සේ ය. එහි රස පොළොව ලෙස හැඳින්වේ. ශරීර
ප්‍රභාව ඇති ඒ සත්ත්වයන්ගෙන් එක් අයෙක් පැමිණ රස පොළොවට ඇගිල්ල ගසා
එහි රස බලයි. රස බැලීමත් සමගම සත්ත්වයා තුළ තෘෂ්ණාව ඇතිවේ. මෙය දෘෂ්ටි
ග්‍රහණය කරගත් අන් සියලුම දෙනාද රස පොළොවේ රසය වින්දනය කොට එහි ඇලීම
ඇතිකර ගනී. එසේ ඇලීමත් සමඟ තම සිරුරේ තිබූ ප්‍රභාව අතුරුදන්ව යයි. මෙසේ
කල්ගතවන විට සත්ත්වයා භෞතිකමය සිරුරක් දරන අතර රස පොළොවද අහිමිකර ගනී.
පසුව රසයෙන් අනූන හතු විශේෂයක් එකල පහළ වේ. පෙරසේම එහි රසයට ගිජුවුන
සත්ත්වයාගේ ශාරීරික විපර්යාසයන් ක්‍රමයෙන් සිදු වී ස්ත්‍රී පුරුෂලිංග
භේදයන්ද මතුවිය. මෙලෙස ක්‍රමයෙන් සත්ත්වයා වර්ධනය වනවිට පාරිසරික
වශයෙන් ද වෙනස්කම් සිදුවිය. ක්‍රමයෙන් තම දිවියෙහි ලොල් වූ ඔවුහු කෑමට
බීමට ඇති සියලුම දේ තමතමන්ට වෙන් කරගන්නා ලදහ. පසුව දුකට මුල්වන
සිතිවිලිවලින් පෝෂණය වූ සත්ත්වයෝ තම සම්පත්වලට අමතරව අනුන්ගේ් කොටස්ද
රහසේ ගැනීමට පටන්ගත්හ. මෙසේ සොරකම, මුසාව, රණ්ඩු සරුවල් වීම වර්ධනය
විය. සත්ත්ව නාමයෙන් හැඳින්වූ ඔවුන් භෞතික සිරුරක් දැරීම, භෞතික සම්පත්
පරිහරණය කිරීම, ඒවා රැක ගැනීම එකිනෙකා සම්පත් වෙන්කර ගැනීම, සොරකම
බොරුව දණ්ඩනය, අධිකරණ බලධාරියෙකු පත්වීම, රාජ්‍ය සංවිධාන බිහිවීම, ආදී
වශයෙන් සමාජයක සංස්ථාගත ලක්ෂණ ප්‍රභවීය වී ඇත. මෙම සිද්දිදාමයන් දෙස
බලනවිට කරුණු තුනක් අග්ගඤ්ඤ සූත්‍රයේදී ප්‍රකට කර ඇත.
1. ලෝලත්වය
2. දිට්ඨානුගතිය
3. අලස බව
රස පොළොව දැක එහි රසබලා ලෝලත්වය සත්ත්වයන්ට ඇතිවුන අතර එය බලා සිටි
උදවිය දිට්ඨානුගතියට අනුව එය අනුකරණය කර ඇත. පසුව පුද්ගලයා භෞතික
සම්පත් අවශ්‍ය වෙලාවට පමණක් පරිභෝගනොකර රැස් කරතබා ගැනීමට පෙළඹුණේ අලස
බව නිසාය.
මෙලෙස සමාජයේ දුක ප්‍රතිත්‍ය සමුත්පන්නව ඇතිවූවක් බව ඉහත සූත්‍ර ධර්මය
අවධාරණය කර ඇත.
චක්කවත්ති සීහනාද සූත්‍රය මේ පිළිබඳව කථාකර ඇත්තේ ආර්ථික සාධකයන්
මුල්කරගෙන ය. දස සක්විතිවත් නොපිරීම හේතුවෙන් මෙම විපර්යාසය වන බව
පැහැදිලි කරයි. එක් රජ කෙනෙක් එම රාජ ධර්මය ඉටු නොකරයි. එහි ඇති පරිදි
දිළින්දන්ට දානය දීම සිදු නොකරයි. එය හේතුකොටගෙන සොරු බිහිවේ. එක්දිනක්
සොරෙකු අල්ලා කරුණු විමසා දරිද්‍රතාවය නිසා මෙය කර ඇතිබව දැන ඔහුට ධනය
ප්‍රදානය කරයි. මෙය කනවැකුණු අනෙක් පුද්ගලයන්ද ධනය ලැබීමට හසුවන සේ
සොරකම් කරයි.
‘’නෝ ච චෝ අධනානං ධත මනුප්පදාසි අධනාතං ධතේ අනුප්පදීය මාතේ දාළිද්දියං
වේපුල්ල මගමසිදාළිද්දියං වේපුල්ලංගතේ අදින්නාදානං වේපුල්ලමගමාසි”
ක්‍රමය වැරැදිබව දැන රජු හසුවන සොරු ආයුධවලින් නසයි. මෙය දැක සමාජීය
පුද්ගලයා දිට්ඨානුගතියට අනුව ආයුධ සාදා ඔවුනොවුන්ද නසා ගනිති.
“අදින්නාදානං වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ලං අගමාසි. සෙත්‍ථ වේපුල්ලං ගතේ
තේසං සත්තානං ආයුජි පරිහායි. බණෙණජි පරිහායි...’’
මෙසේ ඔවුනොවුන් නසා ගනිද්දී ඔවුන්ගේ ආයුෂය, වර්ණය පිරිහේ. සමාජ දුක
ඉවහාගිය අවස්ථාවනම් අවසන මිනිසාටම මිනිසා පෙනෙන්නට බැරිතරම් විය. මව,
පියා, සහෝදරවරු නොපෙනේ. මෙලෙස සමාජගත දුක පිළිබඳව මනා විස්තරයක්
චක්කවත්තී සීහනාද සූත්‍රය ප්‍රකට කරයි.
මෙම ව්‍යසනය අද ලෝකයේ ඇතිවී ඇත. පුතාට මව නොපෙනේ. මරාගනී. මවට දරුවා
නොපෙනේ. මව දරුවා මරයි හෝ කුණු ගොඩක දමා යයි. පියා අඹුදරුවන් මරා දමයි.
මෙලෙස අන්ධවන්නට යන සැබෑ ලෝක විනාශය මීට වසර 2554 කට ඉහත දී ලොවුතුරු
බුදුපියාණෝ දේශනාකර තිබීම මොනතරම් පුදුම සහගතද? දිට්ඨානුගතිය හෙවත්
අනුකරණය කිරීම අද මිනිසා කරනු ලබන ප්‍රධාන ක්‍රියාංගයකි. අසල්වැසි
තැනැත්තා කරන දෙය බලා තමාටද එය කිරීමට පෙළඹෙන්නේ මෙම කාරණය නිසාවෙනි.
පසුව තමන් සම්පත් රැස්කර සඟවා ඒවා පරිහරණය නොකර අනුන්ගේ් දෙය කඩාවඩා
ගැනීමට බලන්නේද අලසත්වය නිසාවෙනි. මෙලෙස සමාජගත දුක අද ඊයේ සමුදය වූවක්
නොව එම කාරණය විෂයෙහි ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. කෙසේ හෝ පුද්ගලයාද මෙම
ප්‍රභවය වන දුකට ඇලුම් කරන්නේ එහි ඇති අසාරබව නොදැනය. හේතුඵල
සම්බන්ධතාවය අනුව ප්‍රභවය වන දුක්ඛ සංකල්පය තුළින් මිදිය හැක්කේ්
බුදුදහම තුළින් පමණි. එම සත්‍ය ගවේෂණය කිරීම සාමාන්‍ය අයෙකුට කළ
නොහැක්කකි. ඒ සඳහා ලොවුතුරු බුදුකෙනෙක් මේ විෂම ලොව නසන්නට පහළවන තෙක්
පුහුදුන් අපට බලා සිටීමට සිදුවනු ඇත. |