නූතන පාසල් අධ්‍යාපන විෂය මාලාව තුළ
බුද්ධ ධර්මය විෂයට හිමි තැන
ටෙරන්ස් අතුකෝරල
ගෞරව ශාස්ත්‍රවේදී
බුද්ධ ධර්මය ඩිප්ලෝමා
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
මනෝ විද්‍යා උපදේශක
වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණු ලෙස ගැනෙණුයේ අධ්‍යාපනය
ලබන සිසුවා සතු 1 දැනුම 2. ආකල්ප 3. කුසලතා සංවර්ධනය කිරීමයි. ඒ සදහා
ලෝකයේ බොහේ රටවල ප්‍රධාන විෂයමාලා වර්ග තුනක් උපයෝගී කරගනු ලැබේ. ඒවා
නම්,
1. විෂය බද්ධ විෂය මාලාව
2. ක්‍රියාකාරකම් විෂය මාලාව
3. හර විෂය මාලාව
යන විෂය මාලා ප්‍රභේදයන්ය.මේ ප්‍රභේද තුන ඔස්සේ ඉහත අරමුණු සාක්ෂාත්
කරලීම සඳහා විවිධ විෂයයන් සමූහයක් උගන්වනු ලැබේ.
පරිපූර්ණ අධ්‍යාපනයක් ලද අයෙකු ලෙස දැක්විය හැක්කේ ඉහත දැක්වූ දැනුම,
ආකල්ප, කුශලතා යන අරමුණු ත්‍රිත්වය අධ්‍යාපනය තුළින් ජනිත කරගත්
පුද්ගලයෙකුට පමණි. එම පුද්ගලයා සාර්ථක පුද්ගලයෙකු ලෙස දැක්විය හැකි අතර
එසේ නොවුණු තැනැත්තා අංග විකල පුද්ගලයෙකු හා සමකල හැකිය.
වර්තමාන ශ්‍රී ලාංකික පාසල් අධ්‍යාපන රටාව තුළ ඉහත දැක්වූ අරමුණු
ඉටුවීම කෙතරම් දුරට ඉටුවේද යන්න සාකච්ඡා කිරීම කාලීන වැදගත්කමකින් යුතු
කර්තව්‍යයක් වන්නේය. පාසල මෙන්ම උපකාරක පන්තිය ආශ්‍රයෙන් ශිෂ්‍ය
ප්‍රජාවට විෂය පිළිබඳ දැනුම ලබාදීම සිදුවුවත් ආකල්ප හා කුශලතා යන
අරමුණු ඉටුකර ගැනීමට අවශ්‍ය දායකත්වය පාසල තුළින් කොතෙක් දුරට ලැබේද
යන්න පිළිබඳව සාකච්ඡාවට ලක්විය යුත්තකි.
මූලික වශයෙන් සාර්ථක පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු බිහිවීම සඳහා දැනුම
පමණක් නොව ඊට අමතරව ආකල්ප, කුශලතා යන අංශද ඉතා වැදගත් ප්‍රස්තුතයන් වේ.
ඒ අනුව ඌන පෞරුෂයකින් තොර සාර්ථක පෞරුෂත්වයක් බිහිකරලීම සඳහා ආගම ඉතා
වැදගත් මෙහෙයක් ඉටුකරනු ලැබේ. මෙලෙස ආගමික අධ්‍යාපනය තුළින් පුද්ගලයා
සතුව පවතින අයහපත් ආකල්ප ඉවත්කර යහපත් ආකල්ප ජනිත කරවීම සඳහා අවශ්‍ය මඟ
පෙන්වීම සිදු කරනු ලැබේ. ඒ තුළින් පුද්ගලයා තම කුශලතා හඳුනාගෙන යහපත්
කුශලතා දියුණු කිරීමට අවස්ථාව සැලසේ.
ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍රමය තුළ පුද්ගලයෙකුට තම ආගම ඉගෙනීම සඳහා ආයතන
කිහිපයක් දායක කරගත හැකිය. ඒවා අතුරෙන්
පිරිවෙන් අධ්‍යාපනය
දහම් පාසල් අධ්‍යාපනය
පාසල් අධ්‍යාපනය
මූලිකස්ථානයක් ගනු ලැබේ. මෙහිදි මූලික වශයෙන් පිරිවෙන් අධ්‍යාපනය
භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රමුඛ වන අතර ඉතා සුලු වශයෙන් ගිහි සිසුහුද
ඒවායේ අධ්‍යාපනය හදාරති. එම ගිහි සිසුන් ප්‍රමාණය පාසල්වල ශිෂ්‍ය
ප්‍රමාණය හා සලකා බලන කළ ඉතාමත්ම සුළු ප්‍රතිශතයකි. ආගමික අධ්‍යාපනය
ලබාදෙන අනෙක් ආයතනය වන්නේ සතියේ ඉරිදා දින ඒ ඒ ආගමික ස්ථානයන්හි
පවත්වනු ලබන දහම් පාසලයි. ඒ සඳහාද පාසල් යන සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම දහම්
අධ්‍යාපනය සඳහා සහභාගි නොවේ. ආගමික අධ්‍යාපනය ලබාදෙන අනෙක් ආයතනය
පාසලයි. මෙහිදී පිරිවෙන හා දහම් පාසල යන ආයතන මෙන් වැඩි කාලයක් ආගමික
අධ්‍යාපනය ලබා නොදෙන මුත් සතියකට කාලඡේද කිහිපයකත් ආගමික විෂය උගන්වනු
ලැබේ. පාසල් විෂය මාලාව තුළ අනිවාර්යයෙන් ඉගෙනිය යුතු හර විෂයයක් ලෙස
ආගමික විෂය නම් කර ඇති බැවින් සියලුම සිසුන් මෙම විෂය අත්නොහැර ඉගෙනීම
මෙන්ම එම විෂයයෙන් විභාගය සඳහා මුහුණ දීමත් අනිවාර්යයෙන් කළ යුතුවේ. එම
නිසා ශ්‍රී ලාංකික සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම ආගමික විෂය ඉගෙන ගත යුතුය.
මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවගෙන් අති බහුතරයකට
ආගමික අධ්‍යාපනයක් යම්තාක් දුරකට පාසලෙන් ලබා ගත හැකි බවයි.
වර්තමානයේදි ප්‍රධාන ආගම් 05 ක් මෙරට රජයේ විද්‍යාලයන්හි උගන්වනු ලැබේ.
එසේ ආගම ඉගැන්වීමෙන් බලාපොරොත්තු වන පරමාර්ථ දෙකක් මෙසේ දැක්විය හැකිය.
1.සමාජ අගයනට ගරු කිරීම, සදාචාරාත්මක චර්යා රටාවක් ගොඩනැගීම හා ආගමික
ශික්ෂණයක් ශිෂ්‍යයා තුළ ඇති කිරීම
2.ප්‍රධාන ආගම මගින් ශිෂ්ටාචාරය වෙත පිරිනමන ලද සංස්කෘතියෙහි හර
පද්ධතිය පවත්වා ගැනීම
මෙලෙස ආගම ඉගැන්වීමෙහි පරමාර්ථ වර්ග කර දැක්වුවත් එම පරමාර්ථ පාසලෙන්
ලැබෙන ආගමික අධ්‍යාපනය තුළින් ඉටුවේද යන්න පිළිබඳව වර්තමානයේ ගැටලු
සහගත තත්වයක් පැන නැගී ඇත. මේ වන විට ශ්‍රී ලාංකික ජන සමාජය තුළ විශාල
ලෙස සාධු චර්යාවන් පිරිහීමක් සිදුවී ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.
දිනෙන් දින ලාංකික සමාජයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියාවන් තුළින්ද ඒ
බැව් තහවුරු වී ඇතිවාට සැක නැත. උදාහරණ :-
මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය වැඩිවීම
ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර ප්‍රමාණය වැඩිවීම
සිසුන් පමණක් නොව ශිෂ්‍යාවන් පවා මත්ද්‍රව්‍ය ලබා ගැනීම
සොරකම් ප්‍රමාණය ඉහළයෑම
යනාදී කරුණු සාරාංශ ගතව දැක්විය හැකිය. මෙවැනි සමාජ පසුබිමක් තුළ මේ
තාක්කල් ආගම ඉගැන්වීමේ මූලික පරමාර්ථ ඉටුවී තිබේද යන්න පිළිබඳව
තවදුරටත් සාකච්ඡාවට බදුන් කළ යුත්තකි. ඒ අනුව විවිධ ආගම්වල එන ජීවන
දර්ශන හා ජීවිතය සුබදායි කර ගැනීමට අවශ්‍ය ආගමික ඉගැන්වීම් ශිෂ්‍ය
ශිෂ්‍යාවන්ට ලබාදීම සිදු කළත් ශිෂ්‍ය සමයේදී හා සමාජගත වීමෙන් පසු සමාජ
විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් පෙළඹෙන්නේ කුමන කරුණු හේතුවෙන්දැයි විමසා
බැලීම වටී.
දශක ගණනාවක් තිස්සේ ආගමික විෂය පාසල් විෂය මාලාව තුළ උගන්වනු ලැබේ. එම
ඉගැන්වීම් ඔස්සේ යමින් තම ජීවිතය සාර්ථක කරගත් සිසුන් ප්‍රමාණයද
අතිමහත්ය. එහෙත් අවාසනාවකට වර්තමාන සමාජයේ ඇතැම් පිරිස් ගුණ දහමින්
ක්‍රමයෙන් පරිහානියට යමින් පවතී. එහෙත් මෙවැනි දෙයක් සිදුවනුයේ ආගමික
සංකල්පයන්හි ඇති සාවද්‍යභාවය නිසා යැයි කිසිසේත්ම කිව නොහැකිය. සෑම
ආගමකම උගන්වනු ලබන්නේ අයහපත ඉවත්කර යහපතෙහි යෙදීමයි.
පාසල් අධ්‍යාපනය ලබන අති බහුතර ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රධාන ආගමික විෂය
වන්නේ බුද්ධ ධර්මයයි. එය අනෙකුත් ආගමික විෂයන් ඉගෙන ගන්නා ශිෂ්‍ය
පිරිසට වඩා ඉහළම ප්‍රතිශතයක් ගනු ලබයි.
ඒ අනුව ලෝකයාම පිළිගත් අවිහිංසාව මත පදනම් වූ දහමක් අති බහුතරයක් ඉගෙන
ගන්නා සමාජ පරිසරයක් තුළ සමාජ විකෘතීන් සීඝ්‍රයෙන් සිදුවන්නේ කෙලෙසද
යන්න විමසා බැලීම මුලු මහත් සමාජයටම සෙතක් වන්නේය.
මේ පිළිබඳව විමසා බැලිමේදී ඉස්මතු වන ප්‍රධාන කරුණක් නම් ශ්‍රී ලංකාවේ
ප්‍රධාන ආගමික විෂය වන බුද්ධ ධර්මය පාසල් පද්ධතිය තුළ නියමාකාරයෙන්
නොඉගැන්වෙන බවද අනුමාන කලහැකිය.
මෙය සමහර පාසල් වලට අදාළ නොවේ. එහෙත් ඇතැම් පාසල්වල බුද්ධ ධර්මය විෂය
ඉගැන්වීම ඉතා කනගාටුදායක වේ.
එය සනාථ කරලීම සඳහා සාධක ඕනෑවටත් වඩා තිබේ. එම සාධක ගෙනහැර බැලූ විට
මෙවැනි සමාජ පරිසරයක් නිර්මාණය වීම හා එය ඉදිරියටත් පැවතීම පුදුමයට
කරුණක් නොවනු ඇත. |