Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාරතයේ පැරැණි පුදබිම්

සිදුහත් උපත සිදු වූ ලුම්බිනි සල් උයන

සිදුහත් කුමාරයා, උපන් ලුම්බිනි පුදබිම එකල පිහිටියේ ඉන්දියාව හා නේපාල දේශ සීමාවට කිලෝමීටර් 10 පමණ දුරින් නේපාලයේය. මෙය උත්තර ප්‍රදේශ්හි වස්ති දිස්ත්‍රික්කයට අයත් වේ. නේපාලයේ අගනුවර වූ කත්මන්ඩු සිට කිලෝමීටර් 90 පමණ දුරින් පිහිටියේය. ලෝකයේ මෙතෙක් උපත ලද ආගමික ශාස්තෘන් වහන්සේලා අතරින් උපන් ස්ථානය ශිලා ලේඛන සාක්ෂි සහිතවම දැන ගැනීමට හැකිවී ඇති එකමස්ථානය මෙකල නේපාල රාජ්‍යයට අයත් වන ලුම්බිනි පුදබිම හෙවත් රුම්මින්දෙයි නමින් අතීතයේ දී හඳුන්වන ලද මහා සල් උයනය. සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ මෙම ලුම්බිනි සල් උයනේ බව (ථෙරවාද) බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් මහායාන බෞද්ධ සාහිත්‍යයෙහිද ඉතා පැහැදිලි ලෙසින්ම සඳහන් වෙයි. මේ ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ශිලා ස්තම්භයකය. (ශිලා ටැඹකය) ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබීමට සියවස් තුනකට පෙර මෙම ශිලා ලේඛනය සහිත වූ ස්තම්භය පිහිටුවන ලද පුද්ගලයා ගැන ද ඔහු එම ස්ථානයට පැමිණි බවද එම ශිලා ස්තම්භයේ සටහන් කර තිබීම බෞද්ධ අපට ඉතා වැදගත් කාරණයක් වන්නේය. භාරතයේ පුදබිම් පිළිබඳ විමසා බලන විට මෙම පුදබිම බෞද්ධ සංචාරකයන්ගේ පමණක් නොව අන්‍ය ආගමික සංචාරකයින්ගේද ගෞරව බහුමානයට හේතු වූ පුදබිමක් ලෙසින් ලුම්බිනි සල් උයන ඉතා වැදගත්ය.

අපි පළමුව මෙම ශිලාලේඛනයේ සඳහන් වී ඇති කරුණු ගැන විමසා බලමු.

දෙවන පියන පියදසින ලා ජින
විසනි. වසාහිතේන අතන අගාච මහියිතේ
හිද බුද ජාතේ සාක්‍යමුනිති
සිලා විගඩ හිච කලාපිත සිලාථභේච
උසපාසිනේ
හිද භගවං ජාතේති ලුංමිනිගාමේ උබලිකටේ අථභාගියේච

සිංහල අදහස මෙසේය

දේවානම්පියදසි (රජුගේ) අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි බුදුරජාණන් වහන්සේ උපන්නේයයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. බ්‍රාහ්මී අක්‍ෂර වලින් මෙය ලියා තිබුණි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේයයි අසා ප්‍රකාශයට පත් කොට දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිනි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථලාභය ඇති කළේය. අසෝක ධංම ලිපි (ටැම්ලිපි හා ලෙන් ලිපි ) 2000

මහාචාර්ය අබය ආර්යසිංහ - පි.58 - 59) අසෝක ටැම්ලිපිය අසෝක රජතුමා විසින් මෙසේ මෙම ලුම්බිනී සල්වනයෙහි එදා පිහිටුවිම සැබවින්ම සකල ලෝක බෞද්ධ ජනතාවගේ පමණක් නොව සකල මානව ප්‍රජාවගේම වාසනාවක් ලෙසින් සදහන් කළ යුතුව ඇත. මෙම ලුම්බිනි ටැම්ලිපිය අනුව අසෝක රජතුමා ලුම්බිනිය වන්දනා කිරීමට පැමිණ ඇත්තේ එතුමාගේ අභිෂේකයෙන් විසි වැනි වර්ෂයේදී බැව් එම ශිලා ලෝඛනයෙහිම සඳහන් වී ඇති බැව් අපි දුටුවෙමු. මේ අනුව අසෝක රජතුමා අභිෂේකය ලබා ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218 ක් ගතවූ පසුවය. එසේ නම් අසෝක රජතුමා ලුම්බිනියට පැමිණ ඇත්තේ සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 238 ගතවීමෙන් පසුවය. සාමාන්‍යයෙන් ඉතිහාසය පිළිබඳ ඉගෙනීමේදි වසර 238 වැනි කාලය එතරම් දීර්ඝ කාලයක් නොවේ. ඒ වන විට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩිසිටි කාලය හා ඒ කාලයේ සිදුවීම් පිළිබඳව පොදු ජනතාවගේ මතකයෙන් ඈත්වීමට තරම් අතීතයක්ද නොවේ. අසෝක රජතුමා ලුම්බිනියට පැමිණීම පිළිබඳව ජනප්‍රවාදයක සඳහන් වන පුවතක්ද ඇත. අසෝක රජතුමා ලුම්බිනියට පැමිණියේ තනිවම නොවේ. රාජ රාජ මහාමාත්‍යදින් ද සමගය. ඒ සමග තවත් සුවිශේෂ වූ පූජනීය වූ භික්‍ෂුන් වහන්සේ නමක්ද වැඩම කළ බව ඉහත සඳහන් කතාවේ දැක්වේ. උන්වහන්සේ නම් උපගුප්ත හිමිය. උපගුප්ත හිමියෝ අසෝක රජතුමාගේ අධ්‍යාත්මික කටයුතු පිළිබද උපදේශකයාණන් වහන්සේ වූහ. උන් වහන්සේ දකුණු අත දිගුකොට මේ ස්ථානයෙහි සිදුහත් කුමරු උපත ලැබුවේ යැයි අසෝක රජතුමාට පැවසූ බව එම ජනප්‍රවාදයේ සඳහන් වේ.

BUDDHIST SRINES IN INDIA - D.C AHIR - 1986 DELHI - P 2 -3 )

මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව සිදුහත් කුමරු උපන් පුද බිම බුද්ධත්වයට පත් වූ ස්ථානය ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ ස්ථානය හා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පුදබිම යන ස්ථාන හතර වැඳ පුදා ගැනීම ඉතා විශාල පුණ්‍ය කර්මයක් බව ප්‍රකට කරුණකි. මෙම ලුම්බිනී පුදබිමෙහි පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කරන ලදුව පහත සඳහන් ස්ථානද අද හඳුනාගෙන ඇත.ඒවාද ඔබට එහිදී දැක ගත හැකිය.

1.සාක්‍ය (සිද්ධාර්ථ) පොකුණ 2. මහාදේවි විහාරය 3. මායාදේවි විහාරයට දකුණු දෙස පිහිටි අඩි 80 දිග හා අඩි 60 පළල විහාරයක නටබුන්ද හමුවී ඇත. මායාදේවි විහාරය සංරක්‍ෂණය කර ඇත. මහාමායා දේවිය ස්නානය කළ පොකුණ අදත් දැකගත හැකිය.

සිද්ධාර්ථ කුමාරයා මෙම පුදබිමෙහි උපත ලැබීම පිළිබද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වෙයි. මහාමායා දේවිය සිදුහත් කුමරු උපත ලැබීමට පෙර සිය මාපියන් සිටි දෙව්දහ නුවරට රාජපරිවාර සේනාව සමග ලුම්බිනි සල් උයන අසලින් යන අතුර තුරදී මෙම රමණීය වු ලුම්බිනි සල්වනය දැක මදක් නැවතී ඉතා අලංකාර සල්මල්වලින් පිරුණු සල් ගසේ අත්තක් ඇල්ලීමට උත්සාහ කරන අවස්ථාවේදී සිදුහත් කුමරා උපත ලද බව සඳහන්වේ.

ඉන් පසුව පියුම් සතක් මත ගමන් කරමින් තමා උපදින මේ අන්තිම ආත්මභාවය බවද ලොවට ප්‍රකාශ කර ඇත. ලොවට ජ්‍යේෂ්ඨවෙමි ලොවට ශ්‍රේෂ්ට වෙමි. යනුවෙන්ද එම ගාථාවෙහි සඳහන් වේ. ලුම්බිණි වනය බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රාතිමෝක්ෂ වනය ලෙසින්ද සඳහන් වේ. අසෝක රජතුමා (ක්‍රි.පූ. 273 - 232 ) ක්‍රි.පූ. 250 දී ලුම්බිනි පුදබිමට පැමිනියේය.

ඉන්පසුව මෙම පුදබිමට ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ චීනයේ සිට චීන ජාතික ෆාහියන් හිමියෝද පැමිණ ඇත. උන් වහන්සේගේ වාර්තාවල සඳහන් වන අන්දමට මහාමායා දේවිය සිදුහත් කුමරා ඉපදීමට පෙර ස්නානය කළ පොකුණද සිදුහත් කුමරා උපන් සල් ගස් සෙවන දැක ඇත.

ඉන්පසු අතීතයේදී මෙම පුදබිම වැඳපුදා ගැනීමට පැමිණි තවත් භික්‍ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමි ක්‍රිස්තුවර්ෂ හත්වන සියවසේදි පැමිණි බැව් උන්වහන්සේගේ වාර්තාවල සඳහන් වේ. සිදුහත් කුමරු උපත ලද සල්ගස් සෙවන හා එම සල්ගසද මහාමායාදේවිය ස්නානය කළ පොකුණ ද තවත් ස්තූප රැසක්ද හියුංෂාං චීන සංචාරික භික්‍ෂූන් වහන්සේ දුටු බැව් එම වාර්තාවල සඳහන් වේ. අසෝක රජු ඉදි කළ ස්තම්භය ගැන ද හියුංෂා හිමියෝ සඳහන් කරති.

මීට අමතරව ක්‍රිස්තු වර්ෂ 12 හා 13 වැනි සියවස් තෙක්ම මෙම පුද බිමට විවිධ දේශ වලින් සංචාරකයින් මෙන්ම බෞද්ධයින්ද පැමිණ ඇත. ඉන් පසුව ලුම්බිනිය මෙන්ම අනිකුත් පුදබිම්ද විනාශයට පත් වූවා පමණක් නොව එම ස්ථාන මහාවනයෙන් වැසී යෑමටද පටන් ගත්තේය.

ලුම්බිනිය නැවත සොයා ගැනීම

මහා වනයෙන් වැසී තිබුණු මෙම පුද බිම ක්‍රි.ව. 1895 වර්ෂයේදී සොයා ගන්නා ලද්දේ ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයෙකු වූ ආචාර්ය ඇලෝසියස් ඇන්ටන් පූෂේ මහතා විසිනි. බයිරාවා නගරයෙන් කිලෝමීටර් 18 දුරින් පිහිටි රුට්මින්දෙයි ග්‍රාමයෙහි දී අඩි 21 උස ශිලා ටැඹක් හමු වූයේය. එහි මුද්‍රණ කැඩී තිබුණි. මේ වන විට අසෝක රජුගේ ස්තම්භ කීපයක්ම පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබුණ නිසා මෙය ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකි විය.

එපමණක් ද නොව මෙහි බ්‍රාහ්මී අක්‍ෂර වලින් ලියා තිබූ ශිලා ලේඛනයද හඳුනා ගැනීමට හැකිවිය. එම ලුම්බිනි ටැම් ලිපිය 1898 වර්ෂයේදි ආචාර්ය බියුලර් විසින් පරිවර්තනය කර ලෝක ජනතාවට දැන ගැනීමට සැලැස් වූයේය.

අසෝක රජතුමාගේ ශිලා ලේඛන මෙම පුදබිමේ පමණක් නොව ඉතා පුරාණ බෞද්ධ පුදබිම් හඳුනා ගැනීමට බුද්ධගයා, කුසිනාරා, සාරානත්, ආදි ස්ථානවල හමු වූ ශීලා ලේඛනවලින්ද හැකි විය. ඒ සඳහා ජේම්ස් ප්‍රින්සෙප්, ඇලෙක්සැන්ඩර් කනිංහැම් ආදි විද්වත්හු ක්‍රි.ව. 19 වැනි සියවසේදී ඉටු කළ මෙහෙය ඉතා වැදගත් වන්නේය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.