Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන

භාරතීය බෞද්ධ ශිලා ලිපිවල අක්ෂර හතළිස් දෙකක් භාවිතා වී ඇත. ඉන්දියාවේ හා ලංකාවේ පුරාණ ශිලා ලිපිවල භාවිතා වී ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර මාලාවයි. භාරතීය අශෝක ලිපි මුලින්ම කියැවූයේ ඡේම්ස් පි‍්‍රන්සෙප් මහතා විසිනි. ඔහුගේ අදහස වූයේ අශෝක ලිපි ගී‍්‍රක සම්භවයක් සහිත බවයි. එහෙත් අනෙක් ඉන්දීය පුරා විද්‍යාඥයන්ගේ අදහස අශෝක ලිපි ඉන්දීය මූලයක් සහිත බවයි.

භාරතයෙන් දැනට හමුවන ආදිම ශිලා ලේඛන අතර, ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ආනන්දයට හේතුවන බෞද්ධ සෙල්ලිපි කිහිපයක්ද වේ. එම ලිපිවලින් බ්‍රාහ්මීය අක්ෂරයන්ගේ මුල් ස්වරූපය දැක්වේ. ඉන් එක් ලේඛනයක් අක්ෂර හතළිස් එකකින් යුක්තය. එහි මෙසේ සඳහන්ව ඇත.

ඉ යං ස ලි ල නි ධ නෙ බු ද ස භ ග ව තා ස කි යා නං

‍සු කි ති භ තා නං ස භ ගි නි කා නං ස ස ත ද ල න


ඉන්දියානු චිත්‍ර ශිල්පියකුගේ සිතුවමකි

එහි අර්ථය නම් “ භාග්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතු නිධානය දැඩි භක්තියෙන් යුක්ත වූ (උන් වහන්සේගේ) සහෝදර සහෝදරියන් සහිත ශාක්‍ය පුත්‍රයන් විසින් කරවන ලද්දේ ය.

මෙයින් කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු නිධානයක් පිළිබඳවයි. එම ලිපිය පූර්ව අශෝක යුගයට අයත් බව විද්වත් මතයයි.

සියවස් විසිපහකට වඩා පැරැණි බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියැවුනු එම සටහන අපට වැදගත් වන්නේ එම අක්ෂර පසුකාලීන අකුරු සමග සමතුලිත වන බැවිනි.

ඉහත සෙල් ලිපිය හා සම්බන්ධ අතීත කථාව මෙසේය.

සර්වඥධාතු බෙදීමේ පුවත පරිනිර්වාණ සූත්‍රයෙහි මැනවින් විස්තර කොට ඇත.

ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි දැවී ශේෂ වූ කොටස්වලට (සරීරානං භගං) අයිතිවාසිකම් කියු ශාක්‍ය ආදී පිරිස් අතර අරගලයක් ඇතිවිය. එය සංසිඳුවන්නට ඉදිරිපත් වූයේ ද්‍රෝණ නම් බ්‍රාහ්මණයෙකි. එම සර්වඥධාතු සමසේ බෙදා දෙන ලෙස අට පිරිසක් විසින් ඉල්ලීම් කර ඇත.

එම පිරිස් වූයේ

1. මගධ දේශයේ අජාසත් රජු
2. විශාලා මහනුවර ලිච්ඡවීන්
3. කපිල වත්ථුපුර ශාක්‍යයන්
4. අල්ලකප්පයෙහි බූලයන්
5. රාමගාමයෙහි කෝලියන්
6. දේඨදීපක බමුණා
7. පාවා නුවර මල්ලවයන්
8. කුසිනාරා නුවර මල්ලවන් ය.

එම ඉල්ලුම්කරුවන් අට පිරිස වෙත සර්වඥ ධාතු අටගොඩක් බෙදාදුන් ද්‍රෝණ බමුණා ධාතු මැනීමට යොදාගත් නැළිය තමන් වෙත තබා ගත්තේ ය. ඉතිරි වූ අඟුරු ලබාගත්තේ මෞර්යයන් විසිනි.

ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ආදාහනයෙන් පසුව ධාතුන් වහන්සේ අටගොඩ, නැළිය සහ සෑයෙහි අඟුරු තැන්පත් කොට තැනූ ස්ථුප දහයක් පිළිබඳව භාරතීය ඉතිහාසයෙහි කියැවෙයි.


ක්‍රි.පූ. යුගයට අයත් සෙල්ලිපි අශෝක ටැම් ලිපියෙහි පෙළ තක්ෂශිලාවෙන් සොයාගත් රිදීපතෙ තිබූ අකුරු

ශාක්‍ය රජ දරුවෝ තම රාජධානියෙහි ගෞරව සහිත මහ පෙරහරක් කොට, විවිධ නිධන් වස්තුද සමග ශාරීරක ධාතු දාගැබක් තැනුවෝය. එහි නිධන් වස්තු සමග වූ කරඬුවක ලියැවුණු ලේඛනය වූයේ ඉහත සඳහන් වූ සෙල්ලිපිය යි.

මෙය වර්ෂ 1876 දී කියවන ලදී. එම ලිපිය සොයාගන්නා ලද්දේ ශාක්‍ය ජනපදයට අයත් පුරාණ කපිලවස්තු පුරයේ තිබූ දාගැබක් තුළිනි. දාගැබෙහි කරඬුව තුළ සර්වඥධාතුන් වහන්සේ තැන්පත් කොට තිබූ බව කියැවේ.

අශෝක පූර්ව යුගයට අයත් ලේඛන සටහන් ලෙස සැලකෙන තවත් සෙල්ලිපි කිහිපයක් භාරතයෙන් හමු වී ඇත.

ඒ අතර වූ එක් සෙල්ලිපියකින් අනාවරණය වන්නේ ‘සැරියුත් මුගලන් අගසව් දෙදෙනා වහන්සේ හා උන්වහන්සේගේ අන්තේවාසික වූ සෝන තෙරුන් වහන්සේගේ ධාතු නිධානයක් පිළිබඳවයි. එම ලිපිය පහත දැක්වේ.

1. සපුරි සස සරිපුතස
2. සපුරිසස මහ මොගලනස
3. සපුරිස්ස මහ කවනස අතවසිනො සොනස

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයෙහි ලියැවුනු ශිලා ලේඛනයක් ලෙස සැලකෙන ජේතවන ගන්ධකුටිය පිළිබඳ ශිලා ලිපියද බෞද්ධ ඉතිහාසයෙහි ස්වර්ණමය ලියවිල්ලකි.

අනේපිඬු සිටුතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ පරිහරණය පිණිස පිළිවෙළ කොට දුන් ගන්ධකුටි විහාරය වන ජේතවනාරාමය පිහිටි භූමිභාගය අති රමණීය යි. එම භූමිභාගය ලබාගත් ආකාරය කියැවෙන සෙල්ලිපිය වටකුරු වූ කැටයම් සහිත ගල් ලෑල්ලක ලියැ වී ඇත.

එහි පෙළ මෙබඳුය

‘ජේතවණං අනාථ පිණ්ඩිකෙන
කොටි සංථතෙන දෙති බෙමා’

එහි අර්ථය මෙසේය.


බ්‍රාහ්මී අක්ෂර හෝඩිය ශාක්‍යවංශිකයන් විසින් ලියැ වූ ලේඛනය ‘ඉයං සලිල නිධනෙ බුදස භගවතා සතිගනං සුකිති භතානං සභගිනිකානං සසුත දලන’

‘ජේතවනය අනාථපිණ්ඩිකයන් විසින් කෝටි ගණන් ධනය සන්ථරණය කොට ක්ෂේම වූ නොහොත් මෝක්ෂ ප්‍රතිලාභය තකා දානය කරනු ලැබේ’.

එහි සඳහන් පරිදි මහා ධනයක් භූමිය තුළ විසුරුවා ජේත නම් වූ කුමරුන් වෙතින් වනෝද්‍යානය ලබාගත් ආකාරය පැරණි බෞද්ධ පොතහිද මැනවින් විස්තර කොට ඇත.

ඉහත දැක්වූ ගල් පුවරුව සොයාගන්නා ලද්දේ භාරතයේ, කෝසල දේශයේ අගනුවර වූ ශ්‍රාවස්තිපුර නටබුන් අතරිනි. ඓතිහාසික ලියවිල්ලක් වූ ‘ගන්ධකුටි’ යන වදන ගල් කැටය මතට ඉහළින් ලියා ඇත. පහළින් ශිලා ලේඛනය ලියැවී ඇත.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙහි ශිලා ලේඛන ව්‍යවහාරය හා අක්‍ෂරවල ස්වරූපය පිළිබඳ කරුණු ඉහත සෙල් ලිපියෙහි අනාවරණය වේ.

ජේතවන ලිපියෙහි සඳහන් වූ අක්‍ෂරයෙන්ම ලියැවුණු අශෝක ලිපි රාශියක් එම රාජ්‍ය සමයෙන් හමුවී ඇත. ලක්දිව ආදී ශිලා ලේඛන වල භාවිත කළ අක්ෂර හා ලිපි, අශෝක ලිපි වලට නෑකම් කියයි. ඒ අනුව ලක්දිව ආදී ශිලා ලිපිවල ස්වරූපය හැදෑරීම සඳහා භාරතීය අශෝක ලිපි ඉතා වැදගත් ය.

තවත් එවැනි අශෝක ලිපියක් ඉන්දියාවෙන් හමුවිය. ඉන් අනාවරණය වන්නේ අශෝක රජතුමා බුදුසමය වැළඳ ගැනීම පිළිබඳ පුවතය.

එහි පෙළ මෙසේය.

‘දෙවානං පියස අසොකස... (හෙවං ආහ සතිලෙඛනි) අධිකානි අඨතියානි වසානි ඉයං සුමි බුධ සකෙ.... තිරෙතිරෙ.... මිස සංඝං උපගතෙ උපා (සකෙ) .... මි උපගතෙ පුරෙ (ජම්බු දීප) සියෙ (දෙවා) අමිසා තෙදානි... මීයබතී ඉයං අතෙ කුධ කෙනපි ධං මයුතෙන සකෙ අධිගත වෙන හෙවං දබ්තවියෙ උඩාලකෙව ඉමා අධිගවෙඡය්‍යාති. බුදකෙව උඩාලකෙව වතවියා හෙවං වෙකලංකං භදකෙසෙව වැඬකසව ධියං හෙවං’

එම පෙළෙහි අර්ථය මෙබඳුය

දෙවියනට පි‍්‍රය වූ අශෝක රජ මෙසේ කියයි. මම මීට වසර දෙකහමාරකට පෙර බුදුදහම පිළිගෙන මහා සංඝ රත්නයෙහි ඇසුරට පැමිණ උපාසක භාවයට පැමිණියෙමි. මා එසේ සංඝරත්නය වෙත උපගත වීමෙන් පසුව අතීත දඹදිව් වැසියන් පුදනු ලැබූ දෙවිවරුන් ඇදහීම මිථ්‍යාවක් බව විශ්වාස කළෙමි.

කවරකු නමුත් යුක්ති ධර්මයෙහි පිහිටා එසේ ධර්මය අනුස්මරණය කෙරෙහි නම් නැතහොත් ධර්මය දකියි නම් එය මා වැනි රජුන් ආදී ප්‍රභූවරුන් විසින් පමණක් පැමිණිය යුතු මාර්ගයක් නොව, හුදෙක් ලොකු කුඩා සැමදෙනා විසින්ම පැමිණිය යුත්තක් බව කිව යුතුය.

මෙසේ විකල නොවූ මුළු මහත් සියල්ලන් විසින්ම එම ධර්මය භද්‍රඝටයක් මෙන් ධෛර්යයෙන් යුතුව ධර්මානුරාගය වර්ධනය කළ යුතුය’

ඉහත දැක්වෙන ලිපියෙහි අශෝක අක්‍ෂරයන්හි ස්වරූපය මැනවින් ප්‍රදර්ශනය වේ.

බෞද්ධ උපාසකයකු වීමෙන් පසු අශෝක රජතුමා තුළ ඇති වූ සතුටත්, ලබාගත් ධර්මයෙහි අර්ථයත්, වටහාගත් සත්‍යයත් ඇතුලත් කරමින් එම ශිලා ලිපිය ලියා ඇත.

සියලු සත්ත්වයින් විසින් බුදුදහම අවබෝධ කර ගැනීමේ වැදගත්කමද ඉන් පහදා දී ඇත.

මේ හැර අශෝක රජසමයට අයත් ගිරි ලිපියක් (පර්වත ලිපියක්) ද ඉන්දියාවෙන් හමුවිය. එහි පෙළ මෙසේ ය.

‘ලාඡින පියදසිනා ද්‍රවාඩස වාසභි සිතෙන

ඉයං කුහා බලතික පවතසි දින ආජීවකෙහි’

එහි අරුතනම් පි‍්‍රයදර්ශී රජුගේ අභිෂේකයෙන් දොළොස්වන වර්ෂයෙහි මෙම කුහා ඛලතික පර්වතය ආඡීවකයනට දානය කළේය’ යන්නයි.

මෙහි ආජීවක යනුවෙන් යොදා ඇතත් ඒ බෞද්ධ පිරිසක් යැයි හැඟෙන බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

භාරතීය බෞද්ධ ශිලා ලිපි අතරින් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලේඛන දෙකක් හමුවිය. ඒවා අශෝකාක්ෂර හා සමාන අකුරු වලින් යුක්තය.

එහි පෙළ මෙසේය.

පළමු ලිපිය 1. ‘අනුරද තෙරහව තුලදර පු (ත) ශුමනහව මනපදශනෙ’

දෙවන ලිපිය 2. ‘මහරජත පුත තිසයහ බරියන ලෙනෙ සවතොභදෙ අගත අනගත චතුදිස සගස’

එම ලේඛනයන්ගෙන් කියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා වෙත ලෙන් පිළියෙල කොට දීම පිළිබඳවයි.

භාරතීය බෞද්ධ ශිලා ලිපිවල අක්ෂර හතළිස් දෙකක් භාවිතා වී ඇත. ඉන්දියාවේ හා ලංකාවේ පුරාණ ශිලා ලිපිවල භාවිතා වී ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර මාලාවයි. භාරතීය අශෝක ලිපි මුලින්ම කියැවූයේ ඡේම්ස් පි‍්‍රන්සෙප් මහතා විසිනි.

ඔහුගේ අදහස වූයේ අශෝක ලිපි ගී‍්‍රක සම්භවයක් සහිත බවයි. එහෙත් අනෙක් ඉන්දීය පුරා විද්‍යාඥයන්ගේ අදහස අශෝක ලිපි ඉන්දීය මූලයක් සහිත බවයි.

අශෝක රජතුමා විසින් ලියවන ලද බෞද්ධ ටැම් ලිපියක් ලෞරියානන්දන්ඝර් හි විය. එය එතුමාගේ පළමුවැනි ටැම් ලිපි ආඥාව ලෙස සැලකෙයි. ක්‍රි.පූ. 242 පමණ බ්‍රාහ්මී අක්ෂරයෙන් මෙය ලියැවී ඇත.

එහි පෙළ මෙසේය.

01. දේවානම්පියෙ පියදසිලාඡ හෙවං ආහ සඩුවීසති වාසහි සිතෙන මෙ ඉයං
2. ධංව ලිපි ලිඛාපිත හිදත පාලතෙ දාසං පටිපාදයෙ අංනත අගාය ධංමකාමතාය
3. අගාය පලිඛාය අගාය සූසූසාය අගෙන හයෙන අගෙන උසාහෙන එසවු බෙම ම
4. අනුසථිය ධංමා පෙඛධංමකාමතාව සුවෙ සුවෙ වඨිත වඨිසති වෙව. පුලිසාපි මෙ
5. උකසාව ගෙවයාව මඣිමාව අනුවිඪියංති සංපටිපාදයංති ව අලං වපලං සමාදාපයිතවෙ
6. භෙමෙව අංතම හා මා තා පි එසාහි විධි හා ඉයං ධංමෙන පාලන ධංමෙන විධානෙ ධං මෙන සුඛයන
7. ධං සෙක ගොතිති

එම පෙළෙහි අර්ථය වන්නේ,

‘දේවානංපි‍්‍රය පි‍්‍රයදර්ශි මහරජ මෙසේ කියයි. මාගේ අභිෂේකයෙන් විසිහයවැනි අවුරුද්දේ දී මෙම ධර්ම ලිපිය කෙටවීමට මම නියෝග කළෙමි. ධර්මයට දක්වන බලවත් ආශාවකින්ද බලවත් ආත්ම පරීක්ෂණයකින්ද ධර්මයට දක්වන බලවත් අනුකූලතාවයකින්ද ධර්මය කෙරෙහි වූ බලවත් ගෞරවයකින් හා බලවත් වීර්යකින්ද විනා මෙලොවත් පරලොවත් දිනීම දුෂ්කරය.

එහෙත් මගේ නායකත්වය යටතේ ධර්මය කෙරෙහි ගෞරවයත් පේ‍්‍රමයත් වැඩී ඇත. එමෙන්ම එය දිනෙන් දින වැඩී යනු ඇත.

එපමණක් නොව උසස් වූත් පහත්වූත් මධ්‍යමවූත් මගේ් නිලධාරීහු ධර්මය ගැන සැක උපදවන්නාට එම සැකය දුරලීමට ප්‍රමාණවත් අන්දමින් ධර්මය අනුගමනය කරමින් ප්‍රමාණවත් අන්දමින් ධර්මය අනුගමනය කරමින් එයම පිළිපදිති.

රාජ්‍ය සීමාවන්හි නිලධාරිහුද එසේම කරති.

කුමක් නිසාද යත් මෙය මගේ ආඥාව වන හෙයිනි. එනම් ධර්මය මගින් ආණ්ඩුව ගෙනයාම, ධර්මය අනුව පරිපාලනය කිරීම, ධර්මය මගින් මගේ ප්‍රජාව සන්තෝෂයට පත්කිරීම හා ධර්මය මගින් ආරක්ෂාව සැලසීමයි’.

ඉහත දැක්වූ ටැම් ලිපියේ සඳහන් වන කරුණු අනුව, අශෝක රජතුමා බුදුදහමට දක්වන ලද ගෞරවාදරය පැහැදිලිවේ.

ඉහත දැක්වූ ලේඛනයත් හැරුණු විට බුදුරජාණන් වහනසේගේ ධාතු නිධානයක් පිළිබඳව ලියැවුණු රිදී පත්‍රයක් භාරතීය තක්ෂශිලාවෙන් හමුවිය. ක්‍රි.ව. පළමුවැනි ශතවර්ෂයට හා කුෂාණ යුගයට අයත් යැයි සැලකෙන මෙම රිදී පත ඛරොෂ්ඨි අක්ෂර මාලාවෙන් ලියා ඇත. එය කියැවූයේ දකුණේ සිට වමට ය.

එහි පෙළ පහත සඳහන් වේ.

1. වැනි පේළිය) ස 11002010411 අයස අෂඪස මස සදිවසෙ 10401 ඉශ දිවසෙ ප්‍රදිසතවිත භගවෙතො ධතු (ඔ) උර (ස)
2. කෙණ ඉම්තවහ්රිඅප්‍රතෙණබහලිඑණ ණෙද්‍රවඑ ණගරෙ වස්තවෙන. තෙන ඉමෙ ප්‍රදිස්තවිත භගවතො ධතුඔධමර
3. ඉඑ තක්ෂශිඑ තණුවඑ බොසිසත්වගහමි මහරජස රජති රජස දෙවපුත්‍රය බුෂණස අරොගදක්ෂණඑ
4. සර්වබුධණපුයඑ ප්‍රත්‍යගබුධණ පුයඑ. අරහණ ප්‍රයඑ සර්වසණ පුයඑ මතපිතු ප්‍රයඑ මිත්‍රමචඤතිස
5. ලොහිණ ප්‍රයඑ අත්වණො අරොගදක්ෂිණඑ ණිද්‍රණඑහොතුඅය දෙ සමපරිවගො.

එම රිදී පතෙහි පෙළෙහි පරිවර්තනය

අයවර්ෂ 136 ආෂාඪ මාසයේ 15 වැනි දිනදීය. මෙදින නොඅච නගරවාසී ඉම්තවහ්රිය ගේ පුත්‍ර උරසක නමැත්තා විසින් භාග්‍යවත් බුදුන් වහන්සේගේ ධාතු නිධන් කරන ලදී.

බුදුන් වහන්සේගේ මේ ධාතු මොහු විසින් තක්ෂශිලාවේ ධර්මරාජිකා (ස්ථූපයේ) තමාගේම බෝධිසත්ව ගෘහයේ නිධන් කරන ලද්දේ රාජාතිරාජ වූ දේවපුත්‍ර වූ කුෂාණ මහරජුට නිරෝග සම්පතත්, සියලුම බුදුවරුන්ට, සියලුම පසේ බුදුවරුන්ට, මහරහතුන්ට හා අනෙකුත් සියලුම සත්වයින්ට ද තම මව, පියා, හිත මිතුරන් උපදේශකයින් හා සහ ලේ නෑයින්ට ගෞරවයත් තමාට නිරෝග සුවය හා නිර්වාණ සුවයත් ලැබීම සඳහා ය.

ඉහත දැක් වූ සියලු ලිපි ලේඛන අනුව, අතීත ඉන්දියාව තුළ, බුදුදහමට අතිමහත් ගෞරවණීය තත්ත්වයක් පැවතියේ ය.

බොහෝ ප්‍රභූවරු බුදුදහම පිළිගෙන තම රටවැසියන් සදහම් මගට යොමු කළහ. එමෙන්ම ඒ අනුව තම දිවිපැවැත්ම සකසා ගත් ඔවුහු ධාර්මිකයෝ වූහ.

අශෝක වැනි අධිරාජ්‍යයෝ දහමින් තම දේශයේ කීර්තිය වර්ධනය කර ගත්තෝය. බුදුදහම තම මිත්‍ර රටවල වෙත ද ප්‍රචාරය කළ අශෝක රජ දූ දරුවන්ද බුදුසසුනට පූජා කළේය.

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.