Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මදුරාවල අම්පිටිගල සිරි සුමංගලාරාම විහාරය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

හොරණ අඟුරුවාතොට මාර්ගයේ කිලෝ මීටර් 8 ක පමණ දුරින්, මදුරාවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ශාන්ත සුන්දර පරිසරයක පිහිටි සිරි සුමංගලාරාම විහාරස්ථානය වසර 90ක පමණ ඈත ඉතිහාසයක් ඇති, ප්‍රදේශවාසී බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞරවාදරයට බඳුන් වී ඇති විහාරස්ථානයකි.


චෛත්‍යය

මෙහි තෙවන පරපුර නියෝජනය කරන වත්මන් විහාරාධිපති වහන්සේ ශාස්ත්‍රවේදී හාතියල්වෙල චන්දානන්ද හිමියෝ ය. විසල් ගල් ගුහාවක් පාදක කර ගනිමින් ඉදිවී ඇති මෙම විහාරස්ථානය සකලාංගයෙන්ම පරිපූර්ණ වී ඇති අතර අඩුවක්ව තිබූ සීමා මාලකය හා පුස්තකාල සංකීර්ණය ද නිම කරමින් එය ලබන අගෝස්තු 15 දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සුරතින් විවෘත කිරීමට ලැබීම විහාරස්ථ දායක සභාව හා ප්‍රදේශවාසීන් ලැබූ භාග්‍යයක් සේ සැලකිය හැක.

මෙම විහාරස්ථානය බැලූ බැල්මට අනුරාධපුර ඉසුරුමුණි රජ මහා විහාරස්ථානයට සමීපකමක් දක්ව යි. 1923 වර්ෂයේ දී පමණ පස්යොදුන් කෝරළයේ ශ්‍රේෂ්ඨ පඩිරුවනක් වශයෙන් කෙසෙල්හේනාවේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරයේ වැඩ විසූ පැළෑද සිරිසීවිලි හිමියෝ මෙහි වස් විසූහ. විහාරස්ථානයක අවශ්‍යතාවය දුටු ගම්වැසියෝ මුන්වහන්සේට ඒ බව පවසා ප්‍රථම වස් විසීම මෙම ගල්ගුහාව තුළ සිදු කළහ. අනතුරුව දැකුම්කළු ගල් ගුහාව විධිමත්ව සකස්කරවා ඒ තුළ විහාර මන්දිරයක් ඉදිකරවා ඇත. උන්වහන්සේ විසින් එම පර්වතය මුදුනේ ඝන්ටාස්තම්භය ද ඉදිකර ඇති අතර, පැරණි ධර්මශාලාව බෝධීන් වහන්සේ සීමා මාලකය, ආවාස ගෘහය, විහාර භූමියේ ඉදිකර ඇත. එම සමයේදීම දහම් පාසලක් ද පිහිටුවාලීමෙන් ප්‍රදේශවාසී දුවා දරුවන්ගේ ධර්ම ඤාණය වර්ධනය කිරීමටද මහත් පිටුවහලක් වී තිබේ.

ප්‍රදේශවාසී බෞද්ධයින්ට පමණක් නොව ඉන් පිටස්තර බෞද්ධ අබෞද්ධ ප්‍රජාව ද ජාතික ආගමික සේවාවන් වලට යොමුකළ සිරි සීවලි හිමියන් විවිධ ජන කණ්ඩායම් දඹදිව බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට රැගෙන ගිය බවට ද තොරතුරු හෙළි වී තිබේ.

විහාරස්ථානයට මූලික අඩිතාලමක් සකසා එය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී 1984 වර්ෂයේ දෙසැම්බර් 4 වන දින උන්වහන්සේ අපවත් වූහ. අනතුරුව ආධිපත්‍ය උන්වහන්සේගේ ශිෂ්‍ය දොඩගොඩ ඉන්ද්‍රජෝති හිමියන්ට පැවරුණි.

ආධිපත්‍යයට පත්වීමට පෙර සිටම මුන්වහන්සේ ස්වකීය ධර්මාචාර්ය පාදයන් වහන්සේට සහය වෙමින් විහාරස්ථානයේත් ප්‍රදේශවාසීන්ගේත් උන්නතියට ආගමික සාමාජික කටයුතු රාශියක් ඉටුකර ඇත. පැරණි සංඝාවාස වෙනුවට නව සංඝාවාසයක් ගොඩනැගී ඇත්තේ ඉන්ද්‍රජෝති හිමියන්ගේ බලවත් කැපවීම නිසාය. නව ධර්ම ශාලාවකට අත්තිවාරම් ද දමා සෑහෙන දුරට වැඩ නිමකළ මුන්වහන්සේට බොරැල්ලේ මොඩල් ෆාම් හි ශ්‍රී සුදර්ශනාරාමයේ ආධිපත්‍යය ද හිමිවිය.


බෝධීන් වහන්සේ


විහාරස්ථානයේ දසුනක්

මුන් වහන්සේ 1992 සැප්තැම්බර් මස 15 අපවත් වූ යෙන් විහාරාධිපති ධූරයට ම ජ්‍යෙෂ්ඨ පැවිදි ශිෂ්‍ය හාතියන්වල චන්ද්‍රානන්ද හිමියෝ පත්වූහ.

ඉන් අනතුරුව විහාරස්ථානයේ යසෝ කීර්තිය තව තවත් පැතිරී ගියේ උන්වහන්සේ විසින් නව සැලසුම් රැසක්ම විහාරස්ථානයේ ක්‍රියාත්මක කිරීම හේතුවෙනි. ළදරු අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම, රුපියල් ලක්ෂ 12 ක් පමණ වැයකර චෛත්‍යයරාජයා ගොඩනැගීම ඒ අතර වේ.

මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ පාරිසරික සංචාරක ගම්මානයක් විහාරස්ථානයට මුහුණලා ඉදිකර තිබීම මුන්වහන්සේගේ සේවාවන් අතරින් උසස්තම කාර්යයක් සේ දැක්විය හැක. 2008 වර්ෂයේදී ඉඩම් අක්කරයක් පමණ මේ සඳහා උපයෝගී කරගෙන ඇත. එය අධ්‍යාපන හා පාරිසරික වශයෙන් උසස්තම ව්‍යාපෘතියක් වේ. ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ඉදිවී ඇති එය ඈත අතීතයේ සිංහල ජන සමාජය තුළ පැවති පාරම්පරික කර්මාන්ත ඒ තුළින් ක්‍රියාත්මක වී තිබීම අපේ හැදියාව හා යටගියාව මූර්තිමත් කරන්නක් වේ. එය පාසල් දරුවන් හා විදේශිකයන් ගේ සිත් බැදුණු ස්ථානයක් වී තිබේ. එසේම ඔසු උයනක් ඉදිකිරීමට හා කළුතර සිට දේව මුල්ල දක්වා සංචාරක බෝට්ටු සේවයක් ඇරඹීමට ද මුන් වහන්සේ දැනට මත් සැළසුම් සකසා හමාරය.


විහාරාධිපති හාතියන්වල චන්දානන්ද හිමි

මුන් වහන්සේගේ මෙම කාර්යන්ට ධෛර්යයක් වීමට විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය, ප්‍රධාන මදුරාවල සණස බැංකු සමිතිය, සර්වෝදය ශ්‍රමදාන සමිතිය, එක්සත් සුබසාධක සමිතිය, ඇතුළු ප්‍රදේශයේ ස්වෙච්ඡා සමිති සමාගම් ද පෙළගැසී සිටින බැව් සිහිපත් කළ යුතුවේ.

ආවාස ගෘහය


විවෘත වන දෙමහල් සීමා මන්දිරය හා පුස්තකාලය

 

 

 

 

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.