Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය

යම් කිසිවකු විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුය. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අත් හැර යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධ පහයි සත්වයාග් මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ.

රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නා හිමියන්ගේ 29 වන ගුණ සමරු පින්කමේදී උන්වහන්සේට උපහාර පිණිසඋන්වහන්සේගේ අවසාන ධර්ම දේශනාව විමසා බැලීම කාලෝචිත වේ.

එම ධර්මදේශනාවේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත.

එනම් සංයුක්ත නිකායේ සළායතන සූත්‍රයේ වච්ඡගොත්ත බ්‍රාහ්මණයා විසින් අසු ප්‍රශ්නයක් “ යස්මිං පනභො ගෞතම සමයේ අග්ගිවාතේන පුට්ඨා දුරම්පි ගම්එති ඉම ස්ස පන භවං ගොතමො කො උපාදානස්මීං පඤ්ඤා පේති “

භවත් ගෞතමයන් වහන්ස යම් කිසි වේලාවක ගිනි දැල් වශයෙන් ගෙනියන ලද්දේ දුරට යන්නේද ඒ අවස්ථාවට භවත් ගෞතමයන් වහන්සේ උපාදානය කොට දක්වන්නේ කුමක්ද?

බුදුන් වහන්සේ වදාළා වචිඡය, යම් කිසි වෙලාවක දුරට ගිනි දැල් ආකාශයෙහි ගෙනි යනවා නම් එහි උපාදානය වාතයයි. වාතය උපාදානය කොට ඒ ගිණි දැල් යනවා කියලා මම පිළිගන්නවා. එතකොට උපාදානය යන්නෙන් බුදුහාමුදුරුවෝ අදහස් කළේ අල්ලා ගන්නා ධර්මය , අල්ලා ගැනීම නොවේ.

වාතය අල්ලා ගෙනයි ගිනිදැල් ගමන් කළේ. එසේ නම් යම් කිසිවකු විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුය. මෙහිදී වෛදිකයන් විසින් පිළිගෙන තිබූ නොවෙනෙස් ධර්ම පරම්පරාවක් එක් ආත්මයක සිට අනෙක් ආත්මයට යනවා යන්න නොව, පටිච්ඡසමුප්පන්න ධර්ම පරම්පරාවක් යන බව බුදු දහමට අනුව පිළිගැනීමෙන් ආත්මවාදයකට නොවැටෙන බව එම හිමියෝ ප්‍රකාශ කරති. පරිවර්තනයක් නැති කිසිම ධර්මයක් මේ ලෝකේ නැති බව බුදු දහමේ අනාත්මවාදයෙන් ප්‍රකාශ වේ. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අත් හැරලා දාලා යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධයන් පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධයන් පහයි සත්වයාගේ මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ යන්න එම ධර්ම දේශනාවේ අඩංගු වී ඇත.

තව දුරටත් මෙසේ දේශනා කරති. “ මා පිළිගන්නා හැටියට රූප උපාදානාස්කන්ධය, වේදනා උපාදානාස්කන්ධය සංඥා උපාදානාස්කන්ධය, සංඛාර උපාදානාස්කන්ධය යන හතර සහිත විඤ්ඤාණය උපාදානවීම මත තමයි මෙලොව හා පරලොව අතර ගමන් කරන ධර්මය සිදුවන්නේ කිසිදාක විඤ්ඤාණය, රූප, වේදනා සංඤ්ඤා සංඛාරා කියන අනිත් ධර්ම හතර නැතිව කිසි තැනක නොපවතින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි දේශනා වුණා. ඒ කොතැනද? (සංයුක්ත නිකාය උපායවග්ග 2 සූත්‍රය)

රූපස්කන්ධයෙන් තොරව, වේදනාස්කන්ධයෙන් තොරව,සංඤ්ඤාස්කන්ධයෙන් තොරව සංඛාරා ස්කන්ධයෙන් තොරව, විඤ්ඥාණස්ස ස්කන්ධයාගේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසි දෙයක් පනවනවයි කියල එකක් කිසි කලෙක වෙන්නට බෑ ඒ මොකද? විඤ්ඤාණය යම් තැනක නම් පවතින්නේ ඒ පවතින තැන රූප වේදනා සංඥා සංඛාර කියන හතර පැවතිය යුතුය.

එසේ නම් තණ්හා සහගත සිතින් අල්ලා ගනු ලැබූ රූපස්කන්ධ, විඤ්ඤාණය සමග යනවා. මේ ඕලාරික රූපස්කන්ධය නොවෙයි. ඕලාරික කය වලදමා පුච්චලදාලා යන අතර මනෝමය කය ගමන් කරනවා. පොට්ඨපාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා පොට්ඨපාද අත්තපට්ලාභා තුනක් තිබෙනවා ශරීර තුනක් ඕලාරිකො අත්තපට්ලාභො කබලින් කාහාරභක්ඛො (කුඩා කැබලි කොට) කන ආහාරයෙන් පෝෂණය කරන මේ ඕලාරික ශරීරය සහිත ස්කන්ධය මනෝමය අත්තපට්ලාභො රූපී සබ්බංග පචිචංගි අභිනින්ද්‍රයෝ තව රූපයක් තිබෙනවා.

මනෝමය අත්තපට්ලාභය , ඒක මනෝමයයි. එය රූපියි, හැම අත් පා ආදී අංශ ප්‍රත්‍යංගයක්ව තිබෙනවා. ඒවායේ අභිනන්ද්‍රියෝ සියලු ඉන්ද්‍රියයන් ගෙන් යුක්තයි. ඒ මනෝමය අත්තපට්ලාභයයි. දැනට අපේ භෞතික කය තුළම තිබෙන මනෝමය කයයි. රෝහල් වල ශල්‍ය කර්ම කරන අවස්ථාවලදී මෙම මනෝමය කය භෞතික ශරීරයෙන් ඉවත් වී සිවිලිම උඩ සිට ශල්‍ය කර්ම කරන අවස්ථාව බලා සිට නැවත සිහි ආවිට එය විස්තර කළ අවස්ථා දැනට වාර්තා වී ඇත

වච්චගොත්තගේ ගිනිදැල් ප්‍රශ්නය ගැන තවදුරටත් දේශනා කරන හිමියෝ මෙසේ පවසති.

භවත් ගෞතමයන් වයන්ස යම්කිසි සත්වයෙක් ඉමඥ්ච කායං නික්ඛිපති මේ ශරීරයත් අත්හැර දමනවා. ඒ කියන්නේ මැරෙනව.අඤ්ඤතරංච කායං අනුපපන්නො හොති. වෙනත් කයකට ඇතුළු වුණෙත් නෑ. එතකොට මෙතනින් මැරුණා තව කයකට ගියේ නෑ. ඒ මැද්දේ කපොල්ලක් තියෙනවා.

මෙන්න මේ මැද තත්වයෙදි ඒ සත්වයාගේ පැවැත්ම ගැන භවත් ගෞතමයන් වහන්සේ ඔහු උපාදානය කොට සිටින දේ පනවන්නේ කුමක්ද? අල්ලාගෙන ඉන්නේ මොකක්ද? එතැන්දි බුදුරජාණන් වහන්සේ වදාළ වච්ච, මේ කයද අතහරිනවා වෙනත් කයකට ගියෙත් නෑ මම එය තණ්හා උපාදානය අල්ලාගෙන ඉන්නවා කියනවා. “තණ්හා සමගිස්ස තස්මිං සමයේ උපාදානං හෝති” ඒ වෙලාවෙ උපාදානය අල්ලා ගැනීම තිබෙන්නෙ මොකක්ද, තණ්හාසමංගි පුද්ගලයාගේ කෙළෙස් සහිත අවස්ථාවක්.

ඒ කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ එතැන්දි වදාරන්ට ඕනෑ “ එහෙම කපොල්ලක් නැත්නම් වච්ඡය යම් වෙලාවක සත්වයෙක් මේ කය අතහරිනවා නම් තවත් කයකට නො ගියා කියන්නට අවස්ථාවක් නෑ.අසුරු සන දෙකක් ඇතුළත මෙතන චුතිය, අතන උපත්තිය පහළ වුණා. ඒ මැද කපොල්ලක් තියෙන්ඩ බෑ “ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ඩ ඕනෑ.

නමුත් උන්වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. එතකොට උන්වහන්සේ පිළිගත්තා ඒ අතර වෙන කයකට නො ගිහින් මැද කපොල්ලක් තිබෙන බව, ඒ අවස්ථාව තණ්හා උපාදානය මුල්කොට තියෙන්නෙ. ඒ කියන්නෙ “උපාදනස්කන්ධපඤ්චකය තණ්හා පච්චයා උපාදානං “ ඒ කියන්නෙ අල්ල ගන්නවලු, කුමක්ද ඒ අල්ලා ගැනීම? අල්ලා ගැනීම නොවෙයි, දැන් ඔප්පු කළා කලින් බුදුරජාණන් වහන්සේ උපාදාන කියලා තියෙන්නේ ගින්දර ගිනිදැල්වලට.

වාතය, වාතය අල්ලගෙනයි ගිනි දැල් තියෙන්නේ. දැන් මේ සත්වයා මෙතැනින් චුතවෙච්චී සත්වයා, දෙවන මවුකුසකටත් ගියේ නැත්නම් ඔහු කුමක්ද අල්ලාගෙන ඉන්නේ? තණ්හා සමංගි පුද්ගලයාගේ උපාදානස්කන්ධපංචකය, මනෝමය රූපය ඇසුරු කර ගත්ත වේදනා උපාදානස්කන්දය, සඤ්ඤා උපාදානස්කන්ධය සංඛාර උපාදනස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, පහම තියෙනවා මනෝමය රූපය, ඒ ඇසුරු කර ගත් වේදනා සංඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ .

අවසාන වශයෙන් එම හිමියන් මෙසේ දේශනා කරයි. මෙලොව හා පරලොව අතර සම්බන්ධය පෙන්වන්නේ රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සඤ්ඤා උපාදානස්කන්ධ සංඛාර උපාදානස්කන්ධ කියන උපාදානස්කන්ධ එහෙත් ඒ සියල්ලම පටිච්ඡ සමුප්පන්නව වෙනස් වෙමින් යන ධර්ම පරම්පරාවක්. ඒ නිසා ඇතැම් පොත්වල අටුවාවල තෝරල කියන්නේ තණ්හාව මුල් කරගෙන හිතින් අල්ලා ගැනීම කියලා. ඒක වැරදියි.අල්ලා ගන්නා ධර්මයට උපාදානය කියන්නේ. ඒ නිසා වැරදි අදහස් වලින් අතහරින හැටියට මම කරුණාවෙන් මතක් කරනවා. මම මේ කියපු අදහස් තවදුරටත් පොත් පත් බලලා පර්යේෂණ කරලා තේරුම් ගන්න හැටියට මා ඉල්ලා සිටිනවා. යනුවෙන් එහි දී හිමියන් ධර්ම දේශනාව අවසන් කරයි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.