තාරුණ්‍යයේ
සොඳුරු සිත...
බටුගොඩ ශ්‍රී ශාරිපුත්ත දහම් පාසලේ ආචාර්ය
එම්.එස්. රණතුංග
සුන්දර යොවුන් විය, සුන්දර තාරුණ්‍යය, සුන්දර විධියට අත්දකින්න, ඔබ
කොච්චර උත්සහ ගන්නවාද? ඒ සඳහා ඔබ නොකරන දෙයක් නැහැ. ඒත් මොනදේ කළත්
අන්තිමට නෙතට කඳුළක් පමණක් ඉතුරු කර බොඳ වී ගිය සිහිනයක් බවට එය පත්
වෙලා. ඔබේ සිත ඔබට පාලනය කරගත නොහැකි තරමට වල්මත් වෙලා. පාරක් තෙරක්
නොපෙනෙන මහ සයුරේ ඇදෙන කුඩා බෝට්ටුවක් වගේ ඉමක් නොපෙනෙන මේ සංසාර ගමනේ,
ඔබ යා යුත්තේ කල්පනාකාරීවයි.
තාරුණ්‍යය හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය අත්විඳින්නට නම්, එහේ මෙහේ දුවන
ඔබේ සිත යම් පාලනයකට යටත් කළයුතු වෙනවා. එසේ නොකළහොත් ඔබට අර ලාම්පු
දැල්ලකට හසු වූ මැස්සාට වූ දේ වේවි. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ,
තාරුණ්‍යයේදීම, ඒ බව අවබෝධ කරගෙන මුළු ලෝක සත්ත්වයාටම අනුකම්පාවෙන්,
තාරුණ්‍යයේදීම යා යුතු මඟ කියලා දුන්සේක. බුදුන්වහන්සේ දේශනා කළා ‘ඒක
චරං ආසරීරං ගුහා සයං....’ වශයෙන් ඒක අරමුණක නොනවතින මේ සිත ගැන
අරමුණකින් තොරව ඉබාගාගේ දුවන මේ සිත, අපට නොදැනීම කරන හානිය බෝහෝයි. මම
අහගෙන ඔබේ යෙහෙළියක් කියනවා “ හොඳට නරකට දෙකට කටමය’’ කියලා. ‘මාළුවා
නහින්නේ කට නිසා’ කියලා කියනවානේ. ඒත් අප ගෞතම බුදුන්වහන්සේ නම් සත්‍ය
අවබෝධයෙන්ම දේශනා කළේ මේ සියලු දේටම මුල ‘සිත’ කියලයි. ධම්ම පදයේ මනෝ
වග්ගයේ මුල් ගාථා දෙක වශයෙන් ඒ ගාථා දෙක ඔබ දහම් පාසලේදී කියවූවා මතක
ද? ‘ මනෝ පුබ්බංගමා ධම්මා’ වශයෙන්, ඒ දේශනා දෙක දේශනා කළේ ඒ නිසයි. අපේ
ජීවිත ගෙවිලා යන්නේ ඉඩෝරයට අහුවෙලා හිඳිලා යන දොළ පාරක් වගේ මගේ මහලු
දිවියත්, ඔබේ තරුණ දිවියත් ගෙවිලා යන්නේ අපටම නොදැනීමයි. එහෙත් එසේ
ගෙවිලා යන ජීවිතයට පිළිසරණක් හදාගන්න ඔබ තවම හිතුවේ නැහැ නේද? ඒකට
හේතුව, ඔබේ සිත ඔබට ඉඩ නොදීමයි. අප අපටම නොදැනී අනවශ්‍ය කරදර අපේ සිත
තුළට දාගන්නවා. ඔබේ වචන සංවර වුණාට ඔබේ කය සංවර වුණාට, ඔබේ සිත ඔබට
සංවර නැහැ. මේ හිත් සංවරකම නොමැති නිසාම, කොතරම් කායික වාචික අසංවර කම්
සිද්ධ වෙනවාද?
එක දවසක් එක්තරා දෙවිවරු දෙදෙනෙක් කථාබහක, දෙවිවරු කථා කරන්නේ කෑගහලා
කටහඬින් නොවෙයිනේ. දිව්‍ය භාෂාවෙන් එක දෙවියෙක් අනෙක් දෙවියාගෙන්
දිව්‍ය භාෂාවෙන් අහනවා ‘මතුවන දේ හෙවත් හට ගන්න දේවල්වලින් ශ්‍රේෂ්ඨම
දේ මොකක්ද?’ කියලා. ඒකට අනෙක් දෙවියා පිළිතුරු දෙනවා ‘බීජ වල මැවීම තමා
හොඳම දේ’ කියලා ඒකට හේතුව වශයෙන් කියනවා ‘බීජ හටගන්නේ නැතිනම්
පැළවෙන්නේ නැතිනම්, පැළ වුණේ නැතිනම්, සත්ව ප්‍රජාවම නැතිවෙලා යනවා
ආහාර නැතුව ඒ නිසා බීජ හට ගැනීම තමා වඩා ශ්‍රේෂ්ඨ’ කියලා පිළිතුරු
දෙනවා.
ඊට පස්සේ පළමු දෙවියා ආයෙත් ප්‍රශ්නයක් අහනවා. ‘ඉහළින් පහළට එන දේවල්
වලින් ශ්‍රේෂ්ඨම දේ මොනවාද කියලා එවිට දෙවැනි දෙවියා පිළිතුරු දෙනවා
‘වැස්ස තමා උතුම් ශ්‍රේෂ්ඨම දේ කියලා ඒකටත් හේතු දක්වනවා. වැස්ස
නැතිනම් බීජ පැළවෙන්නේ නැහැ. ගහකොළ මැරිලා යනවා. ඒකයි ඉහළින් පහළට එන
දේ අතරින් වැස්ස ශ්‍රේෂ්ඨවෙන්නේ කියලා.
තවත් ප්‍රශ්නයක් පළමු දෙවියට ඉතුරු වෙලා ඒ දෙවියා දෙවෙනි දෙවියාගෙන්
අහනවා ‘ඇවිදන්නන් අතුරින් වඩා ශ්‍රේෂ්ඨ කවුද කියලා. ඒකට දෙවනි දෙවියා
අපූරු පිළිතුරක් දෙනවා. දිව්‍ය භාෂාවෙන් ගවයා තමයි ශ්‍රේෂ්ඨ, දෙවියන්ගේ
පවා ආදරයට ලක්වුණ ගවයා, කිසිම වෙලාවක මහන්සියක් නොබලා තමන්ගේ කාර්යය
කරනවා. කිරි වෙඬරු වාගේ පස්ගෝරසයම දීලා, ගොම, මුත්‍රා දීලා පොළොවත්
සරුසාර කරනවා. ඒ නිසා ගවයා තමයි ඉතා ශ්‍රේෂ්ඨ, දෙවියා හේතුව දැක්වූවා
ඔය විදියට.
තවත් ප්‍රශ්නයක් පළමු දෙවියාගෙන් ‘කථා කරන්නන් අතර වඩා ශ්‍රේෂ්ඨ කවුද?
වඩා ශ්‍රේෂ්ඨ කුඩා දරුවායි. මොකද එයාගේ හිතේ ක්‍රෝධය, වෛරය, මානය
නැහැනේ. මේ සංවාදය අපගේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ, ගෞතම බුදුරජාණන්
වහන්සේට ඇහෙනවා. ඇසුනේ කනින් නම් නොවේ. සිත දියුණු කළාවූ ඒ උත්තමයාට
ලැබුණ ‘දිබ්බසෝත ඥාණයෙන්’. මේ සංවාදයෙන් ඇසුණු ප්‍රශ්නවලට එදා හවස ධම්
සභා මණ්ඩපයේදී බුදුන් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා. මතුවන දේ හෙවත්
හටගන්නා දේ වලින් උතුම්ම දේ තමා මනුෂ්‍යාගේ සිත්වල පහළවන විද්‍යාව
හෙවත් ප්‍රඥාව හට ගැනීම. අනන්ත අප්‍රමාණ අකුසල්වලින් පිරි මේ සිත තුළ
ඒවා මැඩ පවත්වන විද්‍යාව හෙවත් ප්‍රඥාව පහළ වෙනවා නම් සිතට කොතරම්
සහනයක්ද ලෝකයට කොතරම් භාග්‍යයක්ද?
බුදුරජාණන් වහන්සේ දෙවැනි පැනයට පිළිතුරු දෙන්නේ මෙහෙමයි මෝහය හෙවත්
මෝඩකම හෙවත් නොදැනීම අවිද්‍යාව ඉහළ සිට පහළට එනවා නම් ඉහළ විද්‍යාව පහළ
වෙනවා නම් එයයි ශ්‍රේෂ්ඨ කියලා බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා. (සිත්සේන
භියති)
ඒ වගේම ඇවිදින්නන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ගවයා නොවන බවත් ආර්ය පුද්ගල මහා
සංඝරත්නය කියලත් බුදුන් වහන්සේ පෙන්වල දෙනවා. උන්වහන්සේලා (සංඝෝ පවත්
මානානං) මෝහයෙන් මුළා වූ සිත් පහන් කරන්නට බුදුන් වහන්සේලා මේ ලොව
සැරිසරනවා. බුදුන් දෙසූ බණ ප්‍රචාරය කරන බුදුන් වහන්සේ විද්‍යාව හෙවත්
ප්‍රඥාව දියුණු කරනවා කියලා දේශනා කරනවා.
හතරවන ප්‍රශ්නයට බුදුන් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙන්න මේ විදිහටයි.
‘බුද්ධෝ පවන් තංවරෝ’ කථා කරන්නන් අමතර ශ්‍රේෂ්ඨ වන්නේ බුදුවරුන්ම යි.
බුදුන්වහන්සේ අසන්නාගේ සිත් තුළ මෝහය නැති කරනවා මෝඩකම පෙන්වලා දීලා
එය නැති කරන්නවා. අවිද්‍යාව නැති කරලා ප්‍රඥාව දියුණු කර සංසාර දුකින්
පෙළෙන සත්ත්වයා එයින් මුදා ගන්නවා.
බලන්න ඔබේ තරුණ සිතට මේ බුදුවදන් කොතරම් පිටිවහලක්ද කියලා වේගයෙන් ගලා
යන ජීවිතයට පිළිසරණක් හදාගෙන සැනසුණු හෙයින් ඉතිරි කාලය ගෙවන්න
ධර්මයෙන් ඔබට ලැබෙන පිටිවහල හරියට මහ වැස්සකින් ඔබව ආරක්ෂා කරනවා වගේ
ඔබේ සිතට, ඔබේ නොදැනුවත්කමට හිටි ගමන් අනවශ්‍ය ප්‍රශ්න එනවා.
ප්‍රශ්නයක් ඇවිත් එතන පැළපදියම් වුණාම ගළවාගන්නන් හරි අමාරුයි නේද?
ආගන්තුක හිඟන්නෙක් එක්තරා නිවසකට හිඟමනේ එනවා ගෙදර කවුද? කියලා අහනවා.
කාරල ශබ්ද කරනවා. ඒත් පිළිතුරක් නැත්නම් දොරට තට්ටු කරලත් බලනවා.
හිඟන්නාගේ හැටි එහෙමනේ. ගේ හිමියා කවුද කියලා බලනවා. පවු හිඟන්නෙක්
කියලා අනුකම්පාවෙන් කීයක් හරි දීලා යවනවා. ටික දවසකින් නැවත වරක් මේ
හිඟන්නා එනවා. කෙළින්ම දොරට තට්ටු කරනවා. අනේ මේ එදා ආපු හිඟන්නානේ.
හුඟ දවසකින් ආවේ නැත්තේ ඇයි ඉන්න ඉන්න ටිකක් කියලා එදාට වඩා ටිකක් හොඳට
සලකනවා. ගෙවල් හිමියාට මෙම හිඟන්නා හිතට අල්ලනවා. ඊළඟ පාර එනකොට ඊට වඩා
සලකනවා. මේ හිඟන්නා නිවෙස් හිමියා සමඟ හොඳට මිත්‍රයයි. ඊට පස්සේ තමා
ප්‍රශ්නය එන්නේ. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ බයක් සැකක් නැහැ ගේ තුළටම
ඇවිත් එක එක දේ ඉල්ලනවා. බලන්න නිවෙස් හිමියා අනවශ්‍ය කරදරයක් ගේ තුළට
දාගෙන බොහෝ දුක් වෙනවා. ඔබ ඔබේ ඔබ තරුණ හිතටත් අර වගේ ආගන්තුක හිඟන්නෝ
වගේ සිතිවිලි එනවා නොදැනුවත්ම. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව එන
ආගන්තුක සිතිවිලි පිළිගැනීම නිසා ඔබ කරදර රාශියක පැටලිලා. සිතට එන
ආගන්තුක සිතිවිලි මහා ලොකුවට පිළිගැනීම නිසා, ඔබ මුලා වෙළා සිතිවිලිවලට
මුලාවීම නිසාම ඔබ පරිහානිය කරා යනවා ඔබ නොදැනීම. ආගන්තුකයෙක ගේ දොරකඩ
හෙවත් ඔබ සිතට ආ විට බලන්න මොකටද ආවේ කියලා. පළමු දින යාචකයාට සලකන්න.
ඒත් ඔහු ඔබට නැවත නැවත කරදරයක් නම් ඔබේ සිත නැමැති දොර වසා ආරක්ෂා වීම
තමා නේද වඩා හොඳ.
අද නවීන සමාජය තුළ තරුණ ඔබේ සිත වසඟ කරන්නට මුළාවට පත් කරන්නට වෛයවාරන
දේ එනවා. රූපනාලිකා තුළ, ගුවන් තරංග තුළ ජංගම දුරකථන තුළ පමණක් නොවේ,
කොම්පියුටර් හා වෙබ් අඩවි තුළ වගේම නොයෙකුත් මුද්‍රිත පොත පත හා සඟරා
තුළ නොයෙකුත් රාක්ෂයන්, මරගණන් අලුත් වෙස් ගෙන ඔබ හමුවට ඒවි. මේ මාර
දූවරුන් එක එක විදිහට එන්නේ ඔවුන්ගේ ග්‍රහණයට ඔබව හසු කරගන්නට. ඔවුන්
බලන්නේ් ඔබව නැති කරලා දාන්ට. රූප පෙට්ටිය දිහා බලපුවහාම බලන්න ඔවුන්
මොන මොන දේ කරනවාද ඔබව අල්ලා ගන්න. ඒත් යොබ්බ මදය, ආරෝග්‍ය මදය නිසා
ගෝත්‍රමදය නිසා ඔබට මේවා නොතේරෙනවා වෙන්න පුළුවනි. ඔබේ සිතට ඉඩ දෙන්න.
විමර්ශනාත්මකව මේවා ගැන අධ්‍යයනය කරන්න. කිසිවිටක ඒවාට ඇලෙන්න එපා. ඔබේ
තරුණ සිත පාලනය කරගන්න. වීර්ය ගන්න. ඔබ ඒවා බැලුවාට කමක් නෑ. ඇලෙන්න
එපා. අකමැති දෙයක ගැටෙන්න යන්නත් එපා. ඔබ ඇලුණොත් එම ඇලීම ඔබට දුකක්
වේවි. අනෙක් සෑම අවස්ථාවකදීම ඔබේ ඇලීම නේද ඔබට දුකක් ගෙන දුන්නේ. ඔබේ
හදවතේ දෝරෝ ගලා ගිය සතුට එක පාරටම වේලිලා යන්නේ ඉඩෝරයට හසු වූ දිය
පහරක් ලෙසිනි. ඔබ යම් දෙයකට ඇලුණොත් එයින් ගැළවෙන්න ලේසි නැහැ. සමහර අය
එවැනි දේ නිසා අන්තිමේදී ගලා හැලෙන දිය ඇල්ලක ගඟක, මුහුදක, බාල්කයක
එල්ලුණු තොණ්ඩුවක කෘමිනාශක බෝතලයක නැතිනම් දුම්රියක දිග සොයන්න උත්සහ
කරනවා. මේකෙන් වෙන්නේ අනන්ත අප්‍රමාණ දුක් විඳ විඳා ආ අපේ භව ගමන තවත්
දික්වීම නේද? මේ භද්‍ර කල්පයේ අපට ලැබුණ දුර්ලභම අවස්ථාව මනුෂ්‍ය
ආත්මයක් ලැබීම. එය තවත් ඔපවත් වුණේ් බුදුකෙනෙකුන් පහළ වූ වකවානුවක
උතුම් දහම පවතින රටක ඒ අනර්ඝ අවස්ථාව ලැබීමයි. ඒ අනන්ත අප්‍රමාණ සසර
ගමනේදී අපි කොච්චර පෙරේත ආත්ම වල තිරිසන් ආත්මවල අභව්‍ය ස්ථානවල
ඉපදෙන්න ඇද්ද? ඒ නිසා ටිකක් කල්පනා කරන්න.
ඔබේ සිත පාලනය කර ගන්න. කල්‍යාණ මිත්‍ර ඇසුරින් හොඳ ගමනක් යන්න. ඒ
අසිරිමත් මනුෂ්‍ය රත්නය අප ගෞතම බුදුන් වහන්සේ මාර්ගය කියලා දුන්නා. ඔබ
මුළා නොවන්න. මානය අත්හරින්න. යෝනිසෝමනසිකාරයෙන් යුතුව තාරුණ්‍ය නම් ඒ
අසිරිමත් යෞවනය යහපත් උතුම් දෙයකට යොමු කරන්න උත්සාහ කරන්න. යෞවන
මදයෙන් ‘යොබ්බන මද’ මත් වෙන්න එපා. මොහොතින් මොහොත ඔබේ තරුණකම වෙනස් වන
බව අවබෝධ කරගන්න. යොබ්බන මදය තාවකාලිකයි. ආරෝග්‍ය මදය තාවකාලිකයි.
සිතන්න. ඒ බව අවබෝධ කරගෙන ඔබේ තරුණ සිතින් උතුම් පරමාර්ථයන් ඉටු
කරගන්න. බලන්න එවිට ඔබේ සිත කොතරම් අසිරිමත් ද කියා. යහපත් ගමනක් යන්නට
ඔබට තෙරුවන් සරණේ ආශිර්වාදය ලැබේවි. |