Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නුවණැතියා යන මග

පරලොව ගැන නොසිතා තම ආත්මය කෙලෙස් මළයෙන් අපිරිසුදු කරගන්නේ නම් අනන්ත වූ ආත්ම භව පුරාම එම කෙලෙස් මළ තමන් පසුපස පැමිණ තමන්ට දුක් දෙනව. තමන්ට තමන් ඇලුම් කරන්නේ නම් තම චිත්ත සන්තානයට පැමිණෙන කෙලෙස් විනාශ කර දමන්න ඕන. තම චිත්ත සන්තානය තුළ උපදින කෙලෙස් මිහිරි දෙයක් යැයි සිතන අනුවණයා සසර පුරා දුක් විඳිනව.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අත්තානං චේ පියං ඡඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණ මඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ

පින්වත්නි,

ඉහත මාතෘකා කළ ගාථාව අයත්වන්නේ බෞද්ධ අත්පොත වන ධම්මපදය ග්‍රන්ථයේ ආත්ම වර්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ තමාට තමා පි‍්‍රයනම් ආත්මය රැකගත යුතුය. නුවණැත්තා කුඩා කාලය, තරුණ කාලය සහ මහළු කාලය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවකදීවත් කුසලින් පෝෂණය කරගත යුතුය යන්න ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කරන ලද්දේ බෝධිරාජ කුමාරයාටය. මිහිපිට ඇති සියලු ප්‍රාසාද අබිබවා ගිය ‘කොකනද’ නම් ප්‍රාසාදයක් බෝධිරාජ කුමාරයා දක්ෂ වඩුවන් ලවා ඉදිකරවා ගත්හ.

එම ප්‍රාසාදය ගෙවදීමේ මංගල්‍යයට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේට ද ආරාධනා කළා. ‘මට දුවක් හෝ පුතෙක් ලැබේනම් බුදුපියාණන් වහන්සේ පාවාඩ උඩින් වඩින සේක්වා’ යි සිතා බෝධිරාජ කුමාරයා එළිපත සිට පාවාඩ එලුවා. බුදුරජාණන් වහන්සේ එළිපත වෙතට වැඩමවා නතර වූහ. ‘ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, පාවාඩ උඩින් වඩින සේක්වා’ කියා බෝධිරාජ කුමාරයා ආරාධනා කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ නිසොල්මන්ව අනද තෙරුන්වහන්සේ වෙත බැලූහ. බුදුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩින බව ආනන්ද තෙරුන් වහන්සේ තේරුම් ගත්හ. පාවාඩ අකුලා දමන ලෙස ආනන්ද තෙරුන් වහන්සේ කුමාරයාට දැන්වූහ. පාවාඩ හකුලා අයින් කලාට පසු බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ මාලිගයට වැඩම කර දානය වැළදූහ. දන් වළදා අවසන් වූ බුදුරජාණන් වහන්සේගෙන් කුමාරයා මෙසේ අසන ලදී.

‘ස්වාමිනී භාග්‍යවත් බුදුපියාණන් වහන්ස! ඔබ වහන්සේ මා ඇතුරූ පාවාඩ මගින් නොවැඩියේ මන්ද?’

‘ඔබ කුමක් ප්‍රාර්ථනය කර පාවාඩ ඇතුරුවේ දැයි’ බුදුරජාණන් වහන්සේ කුමාරයාගෙන් විමසා සිටියහ.

‘ස්වාමිනී! මා පාවාඩ ඇතුරුවේ මට දුවෙක් හෝ පුතෙක් ලැබේනම් ඔබ වහන්සේ මගේ පාවාඩ උඩින් වඩීවා යන ප්‍රාර්ථනය ඇතිවයි’ බෝධිරාජ කුමාරයා උත්තර දුන්නා.

‘මා පාවාඩ නොපාගන්න අදහස් කළේ ඔබේ ප්‍රාර්ථනය ඉෂ්ට නොවන නිසා ‘ යනුවෙන් බුදුන් වහන්සේ වදාළහ.

‘මට දරුවෙක් නොලැබෙන්න හේතුව කුමක් දැයි’ කුමාරයා බුදුන් වහන්සේගෙන් විමසා සිටියහ.

‘ඔබ එක් ආත්මයක ඔබේ බිරිය ද සමඟ කළ අපරාධයක් නිසා දරුවන් නොලැබෙන බව‘ බුදුන් වහන්සේ පැවසූහ.

‘ස්වාමීනි, එම අතීත කථාව වදාරන මැනැවැ’ යි බෝධිරාජ කුමාරයා බුදුන් වහන්සේට ආරාධනා කළහ.

බුදුන් වහන්සේ ඔහුගේ අතීත කථාව මෙසේ දේශනා කළහ. “කුමාරය, ඔබ පෙර එක් ජාතියක ඔබත්, බිරිඳත් පිරිවර සමඟ මුහුදු ගියා. මුහුද මැද දී නැව බිඳී පිරිස අතරමං විය. ඔබ සහ බිරිඳ දැව කොටයක ආධාරයෙන් එක්තරා දූපතකට පැමිණියා. ඒ දූපත කුරුලු වාස භූමියක්. ඔබ දෙපළට ඒ අවස්ථාවේ ආහාරයක් නොමැති නිසා කුරුලු බිත්තර අනුභවයට ගත්තා. ඒ වගේම කුරුල්ලන් අල්ලා ගින්නෙන් පුළුස්සා අනුභව කළා.

එම පාප කර්මය නිසා ඔබ උපදින උපදින ආත්මයක දරු සම්පතක් ලැබෙන්නේ් නැහැ. ඔබ එදා බිරිඳ සමග සිහිනුවණින් කටයුතු කළේනම් මෙසේ වන්නේ නැහැ. කුමාරය, තමාට තමා පි‍්‍රය වේ නම්, තමාට තමා හිතවැඩ පතානම්, තුන්වයසේදීම තෙමේ රැකිය යුතුය. තුන් වයසින් අඩු තරමින් එක් වයසකදීවත් තෙමේ රැකිය යුතුය. මෙසේ මාතෘකා කළ ගාථාව මුල්කර බුදුන් වහන්සේ කුමාරයාට ධර්ම දේශනා කළහ.

තමන් කරන කුසලාකුසල කර්මයන්ගෙන් කිසිවිටෙකත් සැඟවිය නොහැකිය. ගොනා පසුපස ඇදී එන රිය සක මෙන් අකුසල කර්මයේ විපාක සසර පුරා දුක් දෙමින් පසුපස එනවා. කුසල විපාකත් ඒ වගේම සෙවනැල්ල මෙන් සැප විපාක දෙමින් පසුපස එනවා.

තමන්ට තමා පි‍්‍රය නම් තමන්ට තමා ඇලුම් කරන්නේ නම් තමන්ගේ ජීවිතය තමන් රැකගන්න ඕන. පරලොව ගැන නොසිතා තම ආත්මය කෙලෙස් මළයෙන් අපිරිසුදු කරගන්නේ නම් අනන්ත වූ ආත්ම භව පුරාම එම කෙලෙස් මළ තමන් පසුපස පැමිණ තමන්ට දුක් දෙනව. තමන්ට තමන් ඇලුම් කරන්නේ නම් තම චිත්ත සන්තානයට පැමිණෙන කෙලෙස් විනාශ කර දමන්න ඕන. තම චිත්ත සන්තානය තුළ උපදින කෙලෙස් මිහිරි දෙයක් යැයි සිතන අනුවණයා සසර පුරා දුක් විඳිනව.

මධුවා මඤ්ඤතී බාලෝ
යාව පාපං න පච්චති
යදාච පච්චතී පාපං
අථ ඛෝ දුක්ඛං නිගච්ඡති

කරන කළට පව් මීරිය මීසේ. විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ’ කරන ලද පාපයේ විපාක දෙනතුරු අනුවණයා එය මී පැණි මෙන් මිහිරි ලෙස සලකනවා. එහි විපාක දෙන විට අපමණ දුකට පැමිණෙනවා.

ගිහි පින්වතුන්ගේ් නිත්‍ය සීලය පංච සීලයයි. එහි පළමු වැන්න පණ ඇති සතුන් නොමැරීම සහ ප්‍රාණඝාතයට අනුබල නොදීමයි. චූලකම්මවිභංග සූත්‍රයේ සුභ මානවකයා බුදුපියාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනව.

‘ස්වාමිනී, බුදුරජාණන් වහන්ස! සමහර අය ළදරු කාලයේදී මිය යනවා. සමහරු තරුණ කාලයේ මිය යනවා.සමහර අය සම්පූර්ණ ආයුෂ ගෙවා මිය යනවා. ඊට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා.

‘මානවකය! සත්ත්ව ඝාතනය කරන සත්ත්ව ඝාතනයට අනුබල දෙන අය උපනුපන් ආත්මයේ අල්ප ආයුෂ ඇති අය වෙනව.

බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිව ගියේ බිරිය සමග කුරුලු බිත්තර අනුභවයට ගත් පාපයකටයි. එක් එක් සත්ත්ව වර්ගයාට ආවේණික වූ ආහාර වර්ග කොටි, වලසුන් වැනි සතුන් මාංශ භක්ෂකයි. මුවෝ, ගෝන්නු, වැනි සතුන් ශාඛ ආහාරයට ගන්නව. මනුෂ්‍යායට ආහාරවන්නේ අල, බතල, ධාන්‍ය පලතුරු වැනි දේය. එහෙත් මිනිසා එයින් සෑහීමකට පත්වන්නේ නැහැ.

අහිංසක සතකුගේ මළකුණ ගිල දමා මොහොතකට දිව පිනවීමට මිනිසා පෙළඹෙනවා. ඔහු සතුන් මරනවා. නැතිනම් වෙළෙඳ පළෙන් ගේනවා. ඔහු ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධවී අනන්ත සසරේ දුක් විඳිනව. මාංශ භක්ෂණයට කෑදර පුද්ගලයා වෙළෙඳ පළෙන් මිලදී ගන්නා මාංශ අනුභව කළත් පවත් නැතැයි බොරු තර්ක ගේනවා. වෙළඳපළට මස ගෙනෙන්නේ ඉල්ලුම්කරුවන් සිටින නිසා. ඔබ මස් අනුභව කරන්නේ නම් ඔබද එහි සාමාජිකයෙක්. මස් කඩකරු මස් සපයන්නේ ඉල්ලුම ඇති නිසා. ඔබ මස් අනුභව කරන්නේ නම් ඔබ සත්ත්ව ඝාතනයට අනුබල දෙන්නෙක්.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

සියල්ලෝම දඬුවමට බියවෙත්, සියල්ලෝම මරණයට බිය වෙත්. තමා උපමා කොට සිතා නොතැළිය යුතුය. නොතැළවිය යුතුය. නොමැරීය යුතුය. නොමැරවිය යුතුය. මස් මාංශ අනුභවයෙන් වළකිනවා නම් එය තවත් සතකුට අභය දානය දීමක් යයි සිතන්න. සිත තුළ සියලු සතුන් වෙත කරුණාව, මෛත්‍රිය පතුරා සසර ගමන නිමාව දැකීමට උත්සාහ ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.