Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘භාෂාන්තර දැනුමත් භික්‍ෂුවට අවශ්‍ය යි’

සමාජය අහන තරමට පිරුණු උගත්කමක් භික්‍ෂුව ළඟ තිබෙනවා. ඒ වගේම යහපත් චරිත ශුද්ධියක්, ඒ වගේම උන්වහන්සේ හොඳ සැහැල්ලු සරල අල්පේච්ඡතාවයකින් යුක්ත ජීවිතයක් ගත කරන්නේ. උන්වහන්සේට කලබලකාරී ජීවිතයක් නැහැ. උන්වහන්සේට ඕනෑම තැනකදි පෙනී සිටීමේ හැකියාවක් තිබෙනවා. යහපත් ශක්තියක් තිබෙනවා.අපට පවුල් ඒකකයක් තුළ අපේ බෞද්ධ සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව වගකීම් බෙදාහැරීමේ පවුල් ජීවිතයක් ගත කරන ඇත්තන් වෙනුවෙන් අපට ආරාමික වශයෙන් භික්‍ෂූන් වහන්සේගේ නියාමකත්වය ලබන්න පුළුවන්.

දඹදිව භික්‍ෂු පරපුරේ පරමාර්ථය, ඒ අයගේ අධ්‍යාපන තත්ත්වය කාර්යය භාරයන් පිළිබඳව ලියවී තිබෙනවා. බොහෝ විට ඒ කාලයේ සමාජ ක්‍රමය සංකීර්ණ බවකින් තොර වූ නිසා අනගාරික ජීවිතයෙන් බැහැරව නැවත වරක් අගාරික වන්නේ නෑ. අනගාරිකවමයි වෙසෙන්නේ. එනිසා එතරම් ගිහි ජීවිතය පිළිබඳව ගැටලු නිසා ආරාමික ජීවිතයට බලපෑමක් ඇතිවූයේ නෑ. ඉතා කලාතුරකින් එම ගැටලු ඇති වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා භික්‍ෂු පරපුර පිළිබඳව බලන විට ඊට හාත්පසින් වෙනස්. අනුරාධපුර, දඹදෙණි යුගයන්හි ආදී ඉතිහාසය දෙස බලන විට කාර්යභාරය දඹදිව භික්‍ෂු සමාජ ක්‍රමයට වඩා හාත්පසින් වෙනස් යැයි පෙනෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම වීමෙන් පසු රාජකීයයන් සමඟ මේ ගමන් මඟ ආරම්භ කර තිබෙන්නේ. අනුරාධපුර යුගය පුරාම රජවරුන් සමග සම්බන්ධ වූ භික්‍ෂු පරපුරක් තමයි යන්නේ. අභයගිරි සම්ප්‍රදාය යනුවෙන් අප කතා කළත් නොයෙක් ආකාරයෙන් රජ පවුලත් සමඟ ඉතා සමීප සම්බන්ධකම් පැවතුණා. පෙළඹවීම් බොහෝ අවස්ථාවල තිබුණා. විදේශීය ආක්‍රමණවලින් පසු බොහෝ දේ සිදු වී තිබුණා. මහනුවර යුගයේ දී ඊට හාත්පසින් වෙනස් භික්‍ෂු පරපුරක් බිහිවුණා.

කෙසේ වුවත් වර්තමානයට එනවිට පේනවා භික්‍ෂු සමාජයක් භික්‍ෂුවට කාර්යභාරයක් නැතිව භික්‍ෂුවට කරන්න දෙයක් නැතිව මේ සමාජය තුළ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාසල වෙත යාමත් ඊළඟට අර්ථක්‍රමය යටතේ විවිධ වෘත්තීය තත්ත්වයට පත්වීමත් රාජ්‍යසේවය හෙවත් රජයේ වැටුප් ලබන රැකියා බහුල තත්ත්වයට පත්වීමත් කාර්මිකකරණය නිසා ධර්මදේශනා, ආගමික සම්බන්ධතා සියල්ලක්ම වෙනස් වීමත්, සම්ප්‍රදායික භික්‍ෂුවගේ තිබුණ ජාතිකත්වය ගිලිහිලා ශ්‍රී ලාංකේය භික්‍ෂු පරපුරේ භූමිකාව සංකීර්ණ වූ තත්ත්වයකට පත්වෙලා ගිහින්.

මෙහි පලවිපාක බොහෝ විට තරුණ භික්‍ෂූන් වහන්සේට විඳින්න සිදු වී තිබෙනවා. මා එසේ කියන්නේ ඇතම් තරුණ භික්‍ෂූන් වහන්සේගේ ගමන්මඟ පැහැදිලි නැති නිසයි. සාම්ප්‍රදායික භික්‍ෂූන් වහන්සේ නම් පරම්පරාගත ක්‍රමවේදය අනුව යනව. ඊට අනුගතවන ඇතැම් තරුණ භික්‍ෂූන් වහන්සේ ඉන් ඈත්වීමට මාවතක් නැතිව ඇතැම්විට විෂමාචාර තත්ත්වයකට පත්වී තිබෙනවා. එහිදී අප කතිකාවක් කරගත යුතු වනවා. භික්‍ෂුවකට තිබෙන මූලික කරදර, අධ්‍යාපනික, සෞඛ්‍ය සංස්කෘතික වශයෙන් තිබෙන ඒවා පිළිබඳව යම්කිසි විධිමත් පරීක්‍ෂණයක් ඒ ඒ නිකාය මඟින් විහාරස්ථානය මඟින් භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් සකස් කරගැනීම සඳහා යෝජනා සම්මත කරගැනීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම වඩාත් වැදගත් විය හැකියි. උදාහරණයක් වශයෙන් මෑතකාලයේ ඇතැම් ආයතන භික්‍ෂූන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමයට ඔරොත්තු දෙන බවක් පෙනෙන්නේ නෑ.

ඇතැම් විට ඒවායෙන් භික්‍ෂූන් වහන්සේට එතරම්ම හව්හරණයක් නැහැ කියල කිව්වොත් නිවැරැදියි. මේක එතරම්ම පැහැදිලි නැහැ. භික්‍ෂූන් වහන්සේ පැවිදි ජීවිතයක් ආරම්භ කිරීමෙන් පසු ගිහි සමාජය හා දහම් පාසල හරහා කටයුතු ආරම්භ කළාට පසු “භික්‍ෂුව“ පොදු පුද්ගලයෙක් බවට මූලික මාවත ගොඩනැඟිය යුතුයි. භික්‍ෂුව පොදු වස්තුවක්.

පොදු බව වටා යහපත් සේවාවන් ගොඩනඟාගන්න යහපත් මානසිකත්වයක් තිබිය යුතු ටි. උන්වහන්සේගේ ජීවන චර්යාව හැකිතාක් දුරට අල්පේච්ඡතාවයෙන් යුක්තයි. එක් විහාරස්ථානයක් යනු එක් ආයතනයක් කියන එක නෙමෙයි, එය එකම තැනක් වූ විට තමයි ආත්මාර්ථකාමිත්වය වැනි දේ ගොඩනැඟෙන්නේ. උපසම්පදාව ආදී කරුණුවලදී ඇතැම් දායකයන් ඒකරාශී කරගෙන මගේ දායකයො කියන අර්ථයෙන්, සිදු කැරෙන පෞරාණික සිරිත් විරිත් බොහොමයක් දැන් ගිලිහී ගිහින්.වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුපත්වීමක් වැනි දෙයක් භික්‍ෂූන් වහන්සේ නමකට ලැබුණු විට බොහොම අඩපණ තත්ත්වයට පත්වෙනවා. හේතුව සෑහෙන කලක් අධ්‍යාපනය ලබා දෙන කොට වෙහෙස වෙනවා. ඒ වෙහෙසෙන් පසු හවස්වරුවේ දී උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට බාධක රැසක් තිබෙනවා.

මා කියන්නේ නෑ පාසල් වලට ගුරුපත්වීම් දීම වැරැදියි කියන අදහසක්. ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි. ඇතැම් හාමුදුරුවරු වැඩ ඉන්නවා පාසල්වල බැරෑරුම් වගකීම් දරමින් විහාරස්ථානයේ කටයුතුත් කරගෙන යනවා. විහාරස්ථානයේ දායකවරුන්ගේ සියලු ආගමික වතාවත් ඉටු කරන හාමුදුරුවරු වැඩ ඉන්නවා. එසේ නොකරනවාම යැයි කියන්න බැහැ. නමුත් මා කියන්නේ භික්‍ෂූන් වහන්සේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අවතීර්ණවීම නිසා ආරාමික ජීවිතයට තියෙන වගකීම් සම්භාරය යටපත් නොකළ යුතුයි කියන කරුණයි. ඒ නිසා ඒ කරුණු දෙකම සමගාමීව ගෙන යා හැකි වැඩ පිළිවෙළක් තමයි මා යෝජනා කරන්නේ. සම්පූර්ණ මුළු ගමේම වගකීම් දරන භික්‍ෂුවක් ප්‍රධාන පුද්ගලයෙක් බවට පත් වූ විට එය හරිම වැදගත්.

ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේ නමකට සංවාදශීලී වීමට බොහෝ දේ තිබෙනවා. පොදු පුද්ගලයින් සාකච්ඡාවට සහභාගි කරගන්නවා නම් පුළුල් මෙහෙවරක් කිරීමට හැකිවනවා. උදාහරණයක් වශයෙන් බෞද්ධ පවුල් ඒකකය තුළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේට ආගමික වශයෙන් විශාල කාර්යභාරයක් කළ හැකියි.

බුදුරජාණන් වහන්සේ පවුල් ඒකකය තුළ කෙතරම් දුරට වගකීම බෙදාහැර තිබෙනවද. ඊට භික්‍ෂූන් වහන්සේ මැදිහත් වී මේ වගකීම් නිසියාකාරව කෙරෙනවද කියා බලන්න. භික්‍ෂුවට නියාමකවරයෙක් වන්න පුළුවනි.

පවුල තුළ බිරිඳගෙ යුතුකම් මොනවාද? ස්වාමිපුරුෂයාගේ යුතුකම් මොනවාද? දරුවන්ට මවුපියන්ට සේවකයින්ට ඉටුවිය යුතු යුතුකම් මොනවාද? බිරිඳගෙන් ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් මොනවාද? මේ ආකාරයට භික්‍ෂුව නියාමක වරයෙක් වශයෙන් පවුලට සම්බන්ධවීමෙන් අපට අපේ රටේ ආර්ථිකය වුවත් වෙනත් ගැටලු වූවත් බොහෝ දුරට නිරාකරණය කරගැනීමට හැකිවනවා.

මෑත කාලයේ නිවසේ මවුපියන් තුළ තිබෙන සුහදශීලිත්වය, මිත්‍රශීලිත්වය, දූ දරු මවුපිය සම්බන්ධකම් දෙදරායාම පිළිබඳ නොයෙක් පුවත් තිබෙනවා.

විත්තිකරුවන් ලෙස තාත්තල අම්මල දුවල පුතාල පෙනීසිටිනවට විත්තිකරුවන් සපයාගැනීම නෙමෙයි මෙතන තිබෙන්නෙ. පවුලක් විසිර යන්න හේතු කාරක මොනවාද? කාර්මික කරණය නිසා, අර්ථ ක්‍රමය නිසා, රැකියා නිසා, වෙනත් භෞතික හේතු නිසාද? මේ පවුල් ඒකකය විසිරීගියේ? මේ පවුල් ඒකකය විසිර ගියේ වෙනත් බාහිර හේතු සාධක නිසාද? යන වග සොයා බැලිය යුතුයි. එවැනි දේ සොයා බලන්නේ නැහැ. ඒ සාධක ඉවත් කරන්න අපට හැකියාවක් තිබෙන්න පුළුවන්. ගෙදරක සැමියා සහ බිරිඳ රැකියා වල නිරතවීම නිසා සමහරවිට දූදරු මවුපිය සම්බන්ධතාවය බිඳී ගියා යැයි අපට උත්තරයක් බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. මැදපෙරදිග රටවලට රැකියාව සඳහා කාන්තාවන් යෑම නිසා ස්වාමිපුරුෂයා අයාලේ යාම ඔහුට තිබෙන පාලුගතිය, නිසා පවුල් ඒකකය විසිර ගියාය කියලා ලස්සන වාක්‍ය දෙක තුනකින් ඒ පිළිබඳව ලියල තබන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය එය නොවේ. මැදපෙරදිගට ඇයි මේ කාන්තාවන් ගියේ. එයා විනෝදයට ගියා නොමෙයි. බැරිම තැන යන්නෙ. මේ දෙන්නම රැකියාවට යන්නේ ඇයි? අපට පැහැදිලිව පේනව පවුලක් විසිර යන්න බලපාන ප්‍රධාන හේතුව තමයි ආර්ථිකය. මේවාට විසඳුම් නැතිව නොවෙයි. ඊට විසඳුම් තිබෙනවා. විසඳුම් පිළිබඳව සාකච්ඡා කළ යුතු යි. මම හිතන්නේ පෙර පසු වශයෙන් අපේ බෞද්ධ ක්‍රමයට අනුව යෝනිසෝ මනසිකාරයෙන් මුල සිට අග දක්වාත් අග සිට මුල දක්වාත් මේ පිළිබඳ සාකච්ඡා කර මේවා ගැන සංවාදයක යෙදීම බොහෝ වැදගත් වනවා.

අපට මේ පවුල් ඒකකයක් තුළ අපේ බෞද්ධ සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව වගකීම් බෙදාහැරීමේ පවුල් ජීවිතයක් ගත කරන ඇත්තන් වෙනුවෙන් අපට ආරාමික වශයෙන් භික්‍ෂූන් වහන්සේගේ නියාමකත්වය ලබන්න පුළුවන්. යම්කිසි පවුලක විෂමාවාර පැවැත්මක් තිබේනම් දහම් පාසලට එන දරුවන්ගෙන් බලන්න පුළුවන් පවුලක තත්ත්වය. එය බැලිය යුත්තේ ලකුණු මට්ටමෙන් නෙමෙයි. පෞද්ගලික මට්ටමෙන් බලන්න පුළුවන්. සැමියා බීමත්ව හෝ වෙනත් විෂමාචාර තත්ත්වයක් පවතිනවා නම් එය සොයා බලා ඊට පිළිතුරක් ලෙස භික්‍ෂූන් වහන්සේට යම් වැඩපිළිවෙළක් යොදන්න පුළුවන් නම් එය ඉතා හොඳයි.

පවුල් ඒකකය තුළ නියාමක තත්ත්වය තබාගෙන අධ්‍යාපනික වශයෙන් භික්‍ෂුවගේ ධර්ම විනයධර, භාෂාන්තර හා සමයාන්තර උගත්කම පුළුල් වූවත් කමක් නැහැ.

මේ තත්ත්වයට ඔරොත්තු දෙන, නැත්නම් මේ සංකීර්ණ සමාජ රටාවට විදේශීය ආක්‍රමණ වලින් හෝ වේවා වෙනත් කාර්මීකරණයෙන් හෝ වේවා තුන්වන ලෝකයේ රටක් වශයෙන් පවතින ආර්ථික හේතු නිසා හෝ වේවා මේ සෑම දෙයකට ඔරොත්තු දෙන බුද්ධිමතෙක් විය යුතුයි භික්‍ෂුව. ඉංගී‍්‍රසි අධ්‍යාපනයක් තිබෙනවා. ඒ නිසා බොහෝ දුරට ජාත්‍යන්තර තත්ත්වයේ පොත් කියවීමේ හැකියාව තිබෙනවා. මූලික අධ්‍යාපනයක් උන්වහන්සේට තිබෙනවා. උන්වහන්සේට පුළුවන්මේ රටේ තිබෙන යම් ගැටලු පිළිබඳව ජනතාව සමඟ සාකච්ඡා කිරීමට පාලි, සංස්කෘත භාෂා පිළිබඳ නිසි දැනුම් සම්භාරයක් තිබෙනවා. ඒ නිසා ඒවායේ තිබෙන ගැටලු තැන් නිරාකරණය කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. පාලි සංස්කෘත දෙක නොදන්නාකම නිසා භික්‍ෂූන් වහන්සේට බොහෝ අඩුපාඩුකම් ඇතිවනවා. ථෙරවාදී සම්ප්‍රදාය, මහායාන සම්ප්‍රදාය, ආදී දේවල් ඉගෙන ගැනීමට පාලි, සංස්තෘත නැතිවීම නිසා හේතුකාරක තිබෙනවා. ඉංගී‍්‍රසි අධ්‍යාපනයෙන් ඒවා ලබාගන්න පුළුවන්. නමුත් අර තරම් හොඳ අධ්‍යාපනයක් ලබන්න බැහැ. සංස්කෘත හා පාලි නැතිව පත්තර දැන්වීම් වලින් කතාකරන භික්‍ෂුවගේ භූමිකාව නමදාල නොයෙක් නම්වලින් කතා කරල තියෙනව. යන්ත්‍ර මන්ත්‍ර වැඩ, හදි හූනියම් වැඩ භික්‍ෂුව හෑල්ලුවට ලක්වන දේවල් එවැනි දේ භික්‍ෂුවට ගැළපෙන්නේ නැහැ. භික්‍ෂූන් වහන්සේට මේ සමාජය තුළ ඊට වඩා කාර්යයභාරයක් තිබෙනවා.

පූර්ණ භික්‍ෂූන් වහන්සේ නමක් වටිනා භික්‍ෂූන් වහන්සේ නමක් සමාජයේ මෙහෙයුම් කරුවෙක් නියාමකයෙක් අරවගේ තත්ත්වයට පත්විය යුතු නැහැ. භික්‍ෂූන්වහන්සේ බොහොම වටිනවා. සමාජයේ වටිනාම වස්තුව පොදු පුද්ගලයා. උන්වහන්සේගේ අනුශාසනාව ජන සමාජය අහනවා. සමාජය අහන තරමට පිරුණු උගත්කමක් භික්‍ෂුව ළඟ තිබෙනවා.

ඒ වගේම යහපත් චරිත ශුද්ධියක්, ඒ වගේම උන්වහන්සේ හොඳ සැහැල්ලු සරල අල්පේච්ඡතාවයකින් යුක්ත ජීවිතයක් ගත කරන්නේ. උන්වහන්සේට කලබලකාරී ජීවිතයක් නැහැ. උන්වහන්සේට ඕනෑම තැනකදි පෙනී සිටීමේ හැකියාවක් තිබෙනවා. යහපත් ශක්තියක් තිබෙනවා.

භික්‍ෂූන් වහන්සේට දේශපාලඥයන් සමඟ සමීප සම්බන්ධකම් තිබිය යුතු හෝ තිබීම වැරද්දක් කියල නෙමෙයි කියන්නේ. එය ප්‍රධාන මාධ්‍ය කරගෙන භික්‍ෂූන් වහන්සේ වැනි වටිනා වස්තුවක් අවතක්සේරුවට ලක්වීම තමයි යහපත් නොවන්නේ. දේශපාලඥයන් සමඟ ඇයි හොඳයිකම් පැවැත්විය යුතු යි. ඒ දේශපාලඥයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම තේරුමක් නැහැ. අප ඊට වඩා ඉහළ ස්ථරයක ඉන්නේ.

එනිසා භික්‍ෂු අධ්‍යාපනය ගැන කතා කරන විට මෙවැනි ඉහළ ස්ථරයක සිටින භික්‍ෂූන් වහන්සේ නමක් අපට නිර්මාණය කරගත හැකිනම් එක ගමකට එක භික්‍ෂූන් වහන්සේ නමක් බැගින් බිහිකරල ගම්මාන වශයෙන් ඒකරාශී වී භික්‍ෂූන් වහන්සේ එකතුකරගෙන මීට වඩා සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා.

පූර්ණ භික්‍ෂූන් වහන්සේ නමක් නිර්මාණය කිරීමේ අභිලාෂය ඇතිවයි මේ සාකච්ඡාව ආරම්භ කළේ. මා හිතනවා ආයතන කිහිපයක්ම මෑත කාලයේ ඇති වී තිබෙනවා. නොයෙක් පරමාර්ථ ඇතිව.

ඒ හැම පරමාර්ථයක්ම හොඳ දේවල් කියනවා මිසක් එය නරකයි කියනවා නෙමෙයි. ඒ හොඳ හැම පරමාර්ථයක්ම ඉෂ්ට සිද්ධ කරගැනීමට මගේ මේ යෝජනාත් පිටුවහලක් වේ යැයි මා විශ්වාස කරනවා. අපට නුදුරු අනාගතයේ දී මීළඟ දශකය තුළදී අපට යහපත් භික්‍ෂූන් වහන්සේලා යහපත් රටට වැඩක් ඇති භික්‍ෂු පරපුරක් බිහිවේවා යැයි මම බලාපොරොත්තු වනවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.