Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පි‍්‍රයයන් ඇසුර දුකට හේතු වෙයි

තවත් මේ නුවර එක් ස්ත්‍රියක් පුරුෂයකු සමඟ මිත්‍ර වී විවාහ වූවා ය. එයට විරුද්ධ වූ ඥාතීහු ස්ත්‍රිය පැහැරගෙන ගොස් වෙනත් පුරුෂයෙකුට විවාහ කර දීමට සූදානම් වූහ. එවට අකැමැතිව සිටි ස්ත්‍රිය තමාගේ පළමු පුරුෂයාට රහසින් ඒ බව දැන්වුවාය. ඒ ඇසු පුරුෂයා කඩුවක්ද රැගෙන තම බිරිය හමු විය. එහිදී “අපි දෙදෙනා පරලොව දී හමුවෙමු “ යි කඩුවෙන් බිරිය කපා දමා තමා ද සිය දිවි හානි කර ගත්තේය’.

ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන එක දිනක, එ නුවර එක් වැසියෙන් පැමිණ, වැඳ පසෙක වාඩි විය. ඔහු තමාට සිදු වී ඇති කරදරයක් ගැන මෙසේ කීවේය.

“ස්වාමීන් වහන්ස! මගේ එකම පුතා මරණයට පත්විය. ඔහුගේ මරණයෙන් පසු මට වැඩක් පලක් කරන්නටවත්, ආහාර පාන ගන්නටවත් හිතෙන්නේ නැත. මම දවසකට දෙතුන් වරක් ඔහුගේ සොහොන් බිමට ගොස් ආපසු එන්නෙමි. හඬමි, දුක්වෙමි, ඉවසන්නට බැරි ය. ඒ දුකින් මම ඉබාගාතේ ඇවිදිමි. අනේ! ස්වාමීන් වහන්ස! මට පිහිට වන්න “ යැයි අයැද සිටියේය. ඒ තොරතුර ඇසූ බුදුරජාණන් වහන්සේ, “පින්වත, පි‍්‍රය දේ නිසා දුක්, දාම්නස්, හැඬීම් , වැළපීම්, ශෝකය ඇති වෙයි. එය ස්වභාවික යැයි” වදාළ සේක. එයින් ගෘහපතියාගේ සිත තවත් අවුල් විය. “ ස්වාමීනි එසේ වන්නේ කොහොමද? පි‍්‍රය දේ නිසා දුක්, හැඬීම්, වැළපීම් ඇති වන්නේ කොහොමද? ඇති වන්නේ සතුට, සොම්නස නේද?

නොසතුටට පත් ගෘහපතියා නැගිට ගියේ ය. අසල ස්ථානයක ක්‍රීඩා කරමින් සිටි පිරිසක් දැක එතැනට ගිය හෙතෙම , තමා දන්නා මිත්‍රයනට බුදුන් වහන්සේ ප්‍රකාශ කළ දේ ගැන නොසතුටින් කතා කෙළේය. බුදුරජාණන් වහන්සේ පි‍්‍රය දේ නිසා තැවීම, හැඬීම, දුක, දොම්නස් ඇති වන බව දේශනා කළ බවත්, උන් වහන්සේ එය ස්වභාවික දෙයක් බවත් දෙසූහයි ඔහු මිතුරන්ට පැවසීය.

ඒක එහෙම වන්නට බෑ නේ ද? පි‍්‍රය දේ නිසා ඇති වන්නේ සතුට, සොම්නස නොවේ දැ යි ඔහු මිතුරන්ගෙන් විමසීය.

“මිත්‍රය , ඔබ හරි , උන් වහන්සේට ඒක වැරැදිලා වෙන්න ඕනෑ “ මිතුරන්ද එය අනුමත කළ නිසා සතුටට පත්ව තව තවත් හමු වන අයට මේ අදහස ප්‍රකාශ කරමින් ගියේය.රජ වාසල අන්තඞපුරය දක්වා ද මේ ප්‍රවෘත්තිය පැතිර ගොස් කොසොල් රජතුමාගේ දෙසවනට ද වැටිණ.

රජතුමා මල්ලිකා දේවිය කැඳවා “ මල්ලිකාවනි, බුදුරජාණන් වහන්සේ හැඬීම, වැළපීම , දුක්, දොම්නස පි‍්‍රය දේ නිසා ඇතිවීම ස්වභාවික යැයි දේශනා කර ඇති බවත් රටේ පැතිර ගොස් ඇත. ඒ ඇත්තද? ““ මහ රජතුමනි, එසේ උන්වහන්සේ වදාරා ඇත්තේ එය සත්‍ය නිසා යැ”යි ඇගේ පිළිතුර විය.

මල්ලිකා දේවිය, බුදුන් වහන්සේ යම් දෙයක් වදාළොත් එය එසේ ම යැයි පිළිගන්නා තැනැත්තියකි. ගුරුවරයකු යමක් කී විට එය එසේම යැයි පිළිගන්නා ශිෂ්‍යයකු මෙන් මල්ලිකා දේවිය ද එය එසේම යැයි පිළිගනියි.

“ඔබ මගේ දෑසට නොපෙනී මෙතැනින් පිටව යන්න “ යැයි රජතුමා තරමක් හඬ නඟා කීයේය.

එම ස්ථානයෙන්ම පිටව ගිය මල්ලිකාවෝ නාළිජඞග නම් බ්‍රාහ්මණයා ගෙන්වාගෙන ඔහුට මෙසේ පැවසූහ. “ බ්‍රාහ්මණය! ඔබ බුදුන් වහන්සේ වෙත ගොස් තොරතුරු විචාරා, පි‍්‍රය දේ නිසා ශෝකය, තැවීම, හැඬීම, දුක්, දොම්නස හට ගන්නා බව ඔබ වහන්සේ දේශනා කර ඇති දැයි මාගේ ව්‍යවහාරයෙන්ම විමසා, හොඳින් දැන උගෙන එන්නැ”යි කීවා ය. නාළිජඞග බ්‍රාහ්මණයාද මල්ලිකාවන් කී පරිදි දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේ හමු වී එම ප්‍රශ්නය මල්ලිකාවන් ගේ වචනයෙන් ම ඉදිරිපත් කෙළේය.

බුදුන් වහන්සේ බ්‍රාහ්මණයා අමතා, “බ්‍රාහ්මණය, පි‍්‍රය දේ නිසා ශෝකය,තැවීම, හැඬීම , දුක්, දොම්නස හට ගනී. එය ස්වාභාවික ය. පෙර මේ සැවැත් නුවරම එක් කාන්තාවකගේ මව අභාවප්‍රාප්ත වූවාය. මේ නිසා කාන්තාව උමතු වූයෙන් වීථියක් පාසා හඬමින්, නන් දොඩමින් මාගේ මව දුටුවෙහිදැයි අසමින් ඇවිද්දාය.

පෙර මේ සැවැත් නුවරම එක් ස්ත්‍රියකගේ පියා කලුරිය කෙළේය. එම ස්ත්‍රියද උමතු වී වීථියක් පාසා ඇවිද්දාය. නොයෙක් දේ කියමින් ඇවිද්දාය.

තවත් මේ නුවර එක් ස්ත්‍රියක් පුරුෂයකු සමඟ මිත්‍ර වී විවාහ වූවා ය. එයට විරුද්ධ වූ ඥාතීහු ස්ත්‍රිය පැහැරගෙන ගොස් වෙනත් පුරුෂයෙකුට විවාහ කර දීමට සූදානම් වූහ. එවට අකැමැතිව සිටි ස්ත්‍රිය තමාගේ පළමු පුරුෂයාට රහසින් ඒ බව දැන්වුවාය. ඒ ඇසු පුරුෂයා කඩුවක්ද රැගෙන තම බිරිය හමු විය. එහිදී “අපි දෙදෙනා පරලොව දී හමුවෙමු “ යි කඩුවෙන් බිරිය කපා දමා තමා ද සිය දිවි හානි කර ගත්තේය.

මෙසේ බුදුරජාණන් වහන්සේ නාළිජඞගට වදාළ කරුණු සියල්ලම මල්ලිකාවන්ට ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කෙළේය. මල්ලිකා දේවිය ඒ කරුණු සියල්ල ද, තමන් විසින් සකස් කර ගත් ප්‍රශ්න කීපයක්ද රජතුමාට ඉදිරිපත් කළාය.

රජතුමනි, ඔබ වහන්සේට ඔබගේ වජ්ජි දියණිය පි‍්‍රයද?

“ඔව් මල්ලිකාවනි, මම ඇය පි‍්‍රය කරමි “

වජ්ජි කුමරිය මැරුණොත් ඔබ තුමාට ශෝකය දුක්, දොම්නසක් ඇති වන්නේ නැද්ද?

“මගේ වජ්ජි දියණියට එසේ වුවොත් දුක් දොම්නස් ඇතිවීම ගැන අමුතුවෙන් කිය යුතු නොවේ.

මහහරජතුමනි , ඔබ තුමාට කොසොල් ජනපද වැසියන් පි‍්‍රය ද?

ඔව් මට කොසොල් දනව් වැසියන් පි‍්‍රය යි. ඔවුන් නිසා මා හොඳින් රජ සැප විඳිනවා. ඔවුන් මට පි‍්‍රයයි.

ඒ දනව් වැසියන්ගෙන් වෙන් වීමට සිදු වුණොත් ඔබතුමාට ශෝකය, තැවීම හට ගන්නේ නැද්ද?

එසේ වුවොත් මගේ ජීවිතය නැතිවීමට පවා ඉඩ ඇත.

මහරජතුමනි, පි‍්‍රය දේ නිසා ශෝකය , තැවීම, හැඬීම , දුක්, දොම්නස් හට ගනී “ යැයි සියල්ල දත් බුදුරජාණන් වහන්සේ වදාළේ, ඒ නිසායි.

මේ ප්‍රකාශය කළ විට කොසොල් රජතුමා “ ආශ්චර්යයි. අද්භූත යි. උන් වහන්සේ සියල්ල දන්නා නුවණින් විනිවිද දක්නා සේක. මල්ලිකාවනි, මුහුණ සේදීමට දිය ගෙන එන්නැ”යි කිවේය.

අසුනෙන් නැගිට මුව සෝදාගත් රජතුමා උතුරු සළුව සකස් කරගෙන ඇඳිලි බැඳ, ඒ භාග්‍යවත් ,අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා”යි තෙවරක් නමස්කාර කෙළේය.

‘පිය ජාතික සූත්‍රය’ ඇසුරෙනි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.