Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර මඟ තීරණය කරන බලය

ලොව විද්‍යාමාන වන සෑම ආගමක්ම පාහේ පුද්ගල පාරිශුද්ධිය හා සමාජ සංවර්ධනය අපේක්ෂා කරයි. එවැනි අපේක්ෂා පෙරටු කර ගත් ආගමක කිසියම් ආධ්‍යාත්මික ප්‍රමෝදයකින් ලබන මානසික ප්‍රීතියයි, මානසික ඵලය සංවර්ධනයයි. නිර්මාණවාදී ආගම්වල ඉගැන්වෙන නිෂ්ඨාව බ්‍රහ්ම සහව්‍යතාවයි.

එසේ නොමැති නම් දේව විනිශ්චයෙන් අනතුරු ව ලබන සදාකාලික ස්වර්ග රාජ්‍යයයි. නමුත් බුදුදහමේ පරමාර්ථ සත්‍යය තුළ විද්‍යාමාන වන්නේ මානසික සංවර්ධනයෙන් ලබන සදාචාරාත්මක පාරප්‍රාප්තියයි. සෑම ආගමක ම මෙකී පරමාර්ථ සත්‍යය සාධනයෙහි බාධා පමුණුවන යම් චර්යාවක්, චෛතසික ධර්මයක් වේද ඒවා සියල්ල පාප වශයෙන් සලකා ඇත.

නිර්මාණවාදී ආගම්වල පාපය වශයෙන් බොහෝ දුරට හඳුනාගන්නේ දේව ආඥාවට විරුද්ධ ව කටයුතු කිරීමයි. බුදුදහම හුදෙක් ම පින් පව් විග්‍රහ කිරීමේ දී බාහිර බලවේග හා සම්බන්ධ නොවන අතර නිර්මාණවාදී ආගම් එවැනි බාහිර බලවේග ඇසුරින් පින් පව් විග්‍රහ කිරීමට උත්සාහ ගෙන ඇත.

එබැවින් බුදුදහම පින් පව් පිළිබඳ විග්‍රහයේ දී නිර්මාණවාදී ආගම්වල ස්වරූපයට වඩා වෙනස් වෙයි. සැබවින් ම බුදුදහම දේව ආඥාව කඩ කිරීම පාපයක් සේ හඳුනා නොගන්නා අතර, කාරකයාට හෝ සමාජයට හෝ උභය පාර්ශ්වයට ම අයහපත් විපාක ගෙන දෙන ක්‍රියා, පාපය, අකුසලය වශයෙන් හඳුනා ගනියි. පින් පව් විනිශ්චය කිරීමට අනුගාමිකයන්ට උපදෙස් දෙන්නේ, භක්තිය මත නිගමනයට නොඑළඹී විචාර බුද්ධියෙන් තීරණය ගැනීමට ය. එහි දී බුදුසමය පින්, පව්, විනිශ්චය කරන්නේ ද චේතනාව අනුව ය. බුදුසමයේ සුවිශේෂත්වයක් වන්නේ මනෝවිද්‍යාත්මක පදනමේ සිට සෑම ක්‍රියාවක් ම විග්‍රහ කිරීමයි.

ආගමික සහ දාර්ශනික ඉතිහාසයේ සදාචාර චින්තනය අතින් වැදගත් මෙහෙයක් ඉටු කළ චින්තන සන්දර්භයක් ලෙස බුදුදහම හැඳින්විය හැකිය. ආචාර විද්‍යාත්මක ඉගැන්වීම්වලට බුදු දහමේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි. බෞද්ධ දර්ශනය හා සම්බන්ධ ආචාර විද්‍යාත්මක නිර්දේශයන්හි පුඤ්ඤ-පාප, කුසල- අකුසල සංකල්පවලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

මුල් බුදුසමය තුළ මෙම සංකල්ප තුළින් මූලික වශයෙන් මිනිසාගේ කායික, මානසික ක්‍රියාකාරකම් හා ඒවායේ ප්‍රතිඵල වශයෙන් සිදුවන සංසාරික ජීවිතයේ සියලු දුක, සැප ආදී ස්වභාව ද, සංසාරික ජීවිතයේ අනේකාකාර දුක් වේදනාවන්ගෙන් නිදහස් වූ භව නිරෝධය පිළිබඳව ද, ආචාර විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක, පදනමක පිහිටා කරුණු විවරණය කැරෙයි.

පුඤ්ඤ – පාප සංකල්ප පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසක් වන්නේ හුදෙක් ම එම සංකල්ප බුදුසමයට පමණක් ආවේණික වූ සදාචාරාත්මක ඇගයුම් පද්ධතියක් නොවන බවයි. ඊශ්වර සංකල්පය මුල් බැස ගත් ප්‍රාග් බෞද්ධ භාරතීය ආගම්වල ද පුඤ්ඤ පාප පිළිබඳ ඉගැන්වීම් විද්‍යමාන වේ. සර්ව බලධාරී දේවත්වයක් පිළිගත් වෛදික ආගමේ පුද්ගල ක්‍රියාවන්ගේ යහපත් අයහපත් භාවය නිර්ණය කළේ දේව කේන්ද්‍රීය වාදී වය.

සර්ව බලධාරී තැනැත්තා ප්‍රසාදයට පත් වන ක්‍රියා යහපත් ලෙසත් එසේ නොවූ ක්‍රියා අයහපත් ලෙසත් පිළිගත් අතර, එතුමන් විසින් හොඳ යැයි සම්මත කරන ලද ක්‍රියා, කළ යුතුව තිබිණි. නමුත් ක්‍රියාවක පුඤ්ඤ - පාප ස්වභාවය දැන ගැනීමේ හෝ තීරණය කිරීමේ හේතු සාධක මොනවා ද යන්න අවබෝධ කර ගැනීමට වෛදිකයන්ට අවකාශ නොලැබිණි. ආචාර ධර්ම ක්ෂේත්‍රයේ වෛදිකයන්ට ස්වතන්ත්‍ර භාවයක් හිමි නොවූ අතර ඔවුන්ට සැබවින් ම හිමි වූයේ පරතන්ත්‍ර භාවයකි. දී.නි. බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන අන්දමට ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ෂඩ් ශාස්තෘවරුන් අතර ද මේ පිළිබඳ අදහස් පැවැති බව පෙනෙයි.

බ්‍රාහ්මණ ආගමේ යාගයෙන් ලැබෙන ප්‍රතිවිපාක කේන්ද්‍ර ගෙන පුඤ්ඤ පාප පිළිබඳ අදහස් ඉදිරිපත් විය. නමුත් බුදු සමයෙන් ඉගැන්වෙන පුඤ්ඤ – පාප පිළිබඳ සංකල්පය සමකාලීන බ්‍රාහ්මණ හා ශ්‍රමණ සම්ප්‍රදාය මගින් ඉදිරිපත් කළ අදහස්වලට වඩා හාත්පස වෙනස් වූ ඊට වඩා දියුණු ප්‍රායෝගික වූ මනෝවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක ඉගැන්වීමක් විය.

බුදු සමයේ අචාරවිද්‍යාත්මක ඉගැන්වීමේ මූලික අවස්ථාව පුඤ්ඤ-පාප සංකල්ප තුළින් ප්‍රකට වන අතර තවදුරටත් ගවේෂණයක නිරත වෙමින් හෙළි කරන ලද පෘථුල අර්ථයක් සහිත ඉගැන්වීමක් ලෙස කුසල අකුසල පිළිබඳ සංකල්ප දැක්විය හැකි ය. එම ඉගැන්වීම් බුදු සමයට පමණක් ආවේණික වූ සුවිශේෂ සංකල්පයක් ලෙස අගැයිය හැකි ය. බුදුසමය පුඤ්ඤ – පාප,කුසල – අකුසල පිළිබඳ සංකල්පවලින්, නිශ්චිත සදාචාරාත්මක අගැයුම්ශීලි නිර්ණායක භාවිතා කොට එම නිර්ණායක මත පිහිටා සදාචාරධර්ම පද්ධතියක් නිර්දේශ කර ඇත. බුදුසමයේ සෑම ඉගැන්වීමක් ම උපයෝගීතාත්මක ස්වරූපයක් දරන අතර, උක්ත ඉගැන්වීම ද එවැනි ම අගයකින් යුක්ත ය.

බුදුසමයේ නිර්දේශිත මෙකී ඉගැන්වීම පුද්ගල විමුක්තිය කෙරෙහි මනේ ම පුද්ගලයා හැ බැඳුණු භවය කෙරෙහි ද සම්බන්ධ වේ. කුසල – අකුසල සංකල්ප පුද්ගලයාගේ භව නිරෝධය හා සම්බන්ධ වන අතර පින් පව් භවගාමිත්වය හා සම්බන්ධ වේ. ඒ අනුව මෙහිදී පින් පව් හා පුද්ගලයාගේ භවගාමිත්වය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම සාකච්ඡා කිරීම අභිමතය.

පෙළ සාහිත්‍යයේ පුඤ්ඤ-පාප වචන යෙදී ඇත්තේ ලෞකිකත්වය හා ගෘහ ජීවිතය සම්බන්ධයෙනි. බුදුසමයේ ඉගැන්වෙන පුඤ්ඤ-පාප වචන තේරුම් ගතහැකි වන්නේ සංසාරය හා කර්ම ඵල සිද්ධාන්තයට අනුකූ®ල ව ය. බුදුදහමේ කර්ම න්‍යායට අනුව සත්වයාගේ සංසාරිකත්වය යහපත් කරන්නේ සහ එයට පිහිට වන්නේ පින් ය. සියලු සත්ත්වයන්ගේ ජීවිතය මරණය කෙළවර කොට ඇති බවත්, පින් පව්වල ඵල විපාක අනුව පව් කළ අය නිරයටත් පින් කළ අය සුගතියටත් ගමන් කරන බව සංයුක්ත නිකායේ සඳහන් වේ. මේ අනුව පැහැදිලි වන්නේ පින හා පව සත්වයාගේ සංසාර ප්‍රවෘත්තියට සම්බන්ධ බව හා එකී සංසාර ප්‍රවෘත්තියේ යහපත් හෝ අයහපත් භාවය පිනට හෝ පවට අනුකූ®ල ව සිදුවන බව ය.

බුද දහමෙහි පුණ්‍ය ක්‍රියා සලකා ඇත්තේ පුද්ගලයාගේ මතු ජීවිතයෙහි සැපත වැඩි දියුණු කිරීමට නැඹුරුවක් ඇති කර්ම වශයෙන් ය. පින, පුද්ගලයෙකුට සුගතිගාමී වන්නට උපකාරී වන අතර, පාපය ඔහුගේ සංසාර චක්‍රය දුගතිය කරා පමුණුවයි. පින් රැස් කර ගත් පුද්ගලයෝ සුගතියට පත් වන බවත්, පව් රැස් කර ගත් පුද්ගලයෝ දුගති වශයෙන් නිරයගාමී වන බවත් විශ්වාස කරති. එනිසා ම පුඤ්ඤ-පාප යන සංකල්පද්වය බුදු සමයේ භාවිතා වන්නේ, සසර පැවැත්ම තීරණය කරන සංකල්පයක් ලෙසිනි.

පුණ්‍ය ක්‍රියාවලින් ඇතිවන්නේ, සංසාරික සැප විපාකය. එවැනි ක්‍රියා සිදු කොට පුද්ගලයා අපේක්ෂා කරන්නේ, සංසාරික සැපයයි. පුණ්‍ය ක්‍රියා සිදුකරන සෑම පුද්ගලයකුගේ ම චිත්ත සන්තානයේ පූර්ණ වශයෙන් කෙලෙසුන්ගෙන් පිවිතුරු වීමක් සිදු වී නැත. එනිසාම ඔහු, එම ක්‍රියාවෙන් යමක් අපේක්ෂා කරයි. මෙම අදහස තහවුරු වන වැදගත් අදහසක් ම.නි. මහා චත්තාරීසක සූත්‍රයෙන් ප්‍රකට වෙයි. එම සූත්‍රයට අනුව, සම්මා දිට්ඨියේ ප්‍රභේද දෙකකි.

1. කෙලෙස් සහිත සම්මා දිට්ඨිය (ලෞකික සම්මා දිට්ඨිය)
2. කෙලෙස් නැති කරන සම්මා දිට්ඨිය (ලෝකෝත්තර සම්මා දිට්ඨිය)

කෙලෙස් සහිත සම්මා දිට්ඨිය කම්මස්සකතා සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වෙන අතර, එය පිනට නැමුණු, පුනර්භවයට පදනම් වන, නිවැරැදි දැකීමකි. දෙවැන්න, නිවන් මඟට යොමු කරන ලෝකෝත්තර මාර්ගය යි. මෙම විග්‍රහයට අනුව පැහැදිලි වන්නේ, කම්මස්සකතා සම්මා දිට්ඨිය කෙලෙස් සහිත බවක් සහ භවගාමිත්වයක් ප්‍රකට කරවන බවයි.

මුල් බුදු සමයේ ඉගැන්වෙන ඇතැම් සූත්‍රවලට අනුව පැහැදිලි වන්නේ පින යන්න සැපය හැඳින්වීමට යොදා ඇති බවයි. පින් සිතිවිලි යනු මිනිසා රාගාදි කෙලෙස්වලින් තොරව ඇති කරන්නා වූ සිතිවිලි දාමයක් වශයෙන් හදුන්වා දී ඇත. එක් අතකින් බලන කල පින් යනු, සැප රැස් කිරීමකි. බුදුන් වහන්සේ අ.නි.මා පුඤ්ඤභායි සූත්‍රයේ දේශනා කොට ඇත්තේ “ඉෂ්ට වූ ද, කාන්ත වූ ද, ප්‍රිය වූ ද, මනාප වූ ද යම් සැපයක් වේ ද එය පින වෙයි. එවැනි පින් කිරීමට බිය නොවිය යුතු ය.” යන්නයි.( “මා භික්ඛවෙ, පුඤ්ඤානං භියිත්ත සුබස්සෙතං භික්ඛවෙ අධිවචනං, ඉට්ඨස්ස, කන්තස්ස, පියස්ස, මනාපස්ස යදිදං පුඤ්ඤං”) මෙහි දී සැපය යනුවෙන් අදහස් කරන්නේ නිවන් සැපය නොව අත්ථි සුඛ, භෝග ආදී වශයෙන් ගැණෙන භවය හා බැඳි ලෞකික වූ සැපය යි. මේ අනුව පැහැදිලි වන්නේ පින යන්න පුද්ගලයාගේ භවය හා සම්බන්ධ සැප විපාක ලබා දෙන, ලෞකිකත්වයට සම්බන්ධ වූවක් බවයි. ධම්මපදයේ යමක වග්ගයේ දැක්වෙන යථෝක්ත ගාථාවෙන් මේ බව තවදුරටත් තහවුරු වෙයි. එහි දී බුදුන් වහන්සේ දේශනා කරන්නේ පින් කළ තැනැත්තා මෙලොවත් පරලොවත් සැප ලබන බව යි.

“ඉධ නන්දති පෙච්ච නන්දති
කත පුඤ්ඤො උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති
භිය්‍යො නන්දති සුග්ගතිං ගතො”

ඉක්බිති අනෙක් ගාථාවෙන් දැක්වෙන්නේ පව් කරන පුද්ගලයා මෙලොවත් පරලොවත් දෙකෙහි ම දුකට පත්වන බවයි. (ඉධ තප්පති පෙච්ච තප්පති, පාපකාරී උභයත්ථ තප්පති) මේ සතුටුවීම සහ දුක්වීම මෙලොව දී දැනුත්, පසුවත් හා පරලොව දීත් ලබන්නකි.එම නිසා පිනෙන් හා පවෙන් ලැබෙන්නේ මෙලොව හෝ පරලොව දී ලැබිය හැකි ලෞකික වූ සැප හෝ දුක යි. එය භවගාමී පුද්ගලයා ලබන සැපයක් හෝ දුකකි. 06 වන පිටුවට

බුදුන් වහන්සේ මෙලොව හා පරලොව ලෞකික වශයෙන් සැප ලැබිය හැකි පුණ්‍ය ක්‍රියා සම්බන්ධ කරුණු බොහෝමයක් දේශනා කර ඇති අයුරු, පෙළ සාහිත්‍යයේ දක්නට ලැබේ. සැමදා දිවා රෑ පින් වැඩෙන යහපත් ක්‍රියා කිහිපයක් ස.නි.වනරෝප සූත්‍රයේ ඇතුළත් වේ.

1. ආරාම රෝපණය (උද්‍යාන, ගෙවතු ආදිය තැනීම)
2. වන රෝපණය . (කැළෑ වැවීම)
3. සේතු කරණය. (ඒ දඬු පාලම් සැදීම)
4. පානඤ්ච උදපානංච. (බීමට හා වෙනත් අවශ්‍යතා සඳහා ජල සම්පාදනය කිරීම)
5. උපස්සය. (නිවාස තනා දීම)

මේවා පුද්ගලයාගේ මෙන්ම සමාජයේ ද වර්තමාන භෞතික දියුණුව සලසාලන මූලික වැඩකටයුතුය.

පුද්ගලයන් අතීතයේ දී රැස්කර ගන්නා ලද පින්, වර්තමානයේ දියුණුව සඳහා හේතු වන බව බුදුදහමේ ඉගැන්වෙයි. පුද්ගලයාගේ දියුණුවට හේතු වන සාධක අතර ප්‍රධාන වූවක් ලෙස පෙර කළ පින් ඇති බව මංගල සූත්‍රයේ සඳහන් වේ. (“...පුබ්බේච කත පුඤ්ඤතා...”) තමා කළ පින් පරලොව දී ප්‍රතිෂ්ඨාවක් වන හෙයින් පින් කරන ලෙස බුදුන්වහන්සේ ස.නි. පිය සූත්‍රයේ දී උපදෙස් දී ඇත. (“පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණිනන්ති.”) රහතුන් විෂයෙහි කළ පුණ්‍ය බල මහිමයේ ප්‍රතිඵලයක් වශයෙන් සුන්දරිය සමඟ එක්වීමේ සතුට භුක්ති විඳීමට පඤ්ඤසිඛ දිව්‍ය පුත්‍රයා ප්‍රාර්ථනා කළ බව සක්කපඤ්හ සූත්‍රයේ සඳහන් වේ. ධම්මපදයේ දැක්වෙන ආකාරයට පින් කරන්නා නැවත නැවතත් පින් කළ යුතුය. එහි සිත් ඇලවිය යුතුය.

“පුඤ්ඤංචෙ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං
තම්හි චන්දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයො”

එසේ කළයුතු වන්නේ, එයින් කිසියම් සැප විපාකයක් ලැබෙන බැවිනි. මෙම කරුණු සලකා බලන විට පසක් වන්නේ, පුණ්‍ය කර්ම යනු භවගාමී පුද්ගලයාට සැප විපාක ලබා දෙන කර්ම බවයි.

පුණ්‍ය ක්‍රියා සැබවින්ම ගෘහස්ථ ජීවිතය හා බැඳී පවතී. ගිහි ජීවිතයේ දී පුද්ගලයා නිරන්තරයෙන් අපේක්‍ෂා කරන්නේ පඤ්ච කාම වස්තු මගින් ඉන්ද්‍රිය පිනවීම හා ඒවා නැවත නැවත ලබා ගැනීමට ය. මෙම කරුණු තහවුරු වන අවස්ථාවක් අ.නි. උදකභයරොහ සූත්‍රයේ දැක්වේ. එහිදී භික්ෂූන් ආමන්ත්‍රණය කළ බුදුන් වහන්සේ භික්ෂූන්ට තිබෙන ආවට්ට භය කවරේද යන්න විවරණය කරමින් “මහත් ආවට්ට භය යනු මෙලොව ඇතැම් අයෙකු ගිහි ජීවිතය අතහැර දමා පැවිදි වී පසුව ඉන්ද්‍රිය ප්‍රීණනයෙහි නිරත වෙමින් කාම භෝගී ජීවිතයක් ගත කරන ගැහැවියෙකු හෝ ගැහැවි පුතෙකු දැක අපි ද පෙර මෙසේම ඉඳුරන් පිනවූයේ වෙමු. මගේ කුලයෙහි දී ඉඳුරන් පිනවීමට අවශ්‍ය සියලු භෝගයෝ ඇත. ඒවා අනුභව කරන්නකු විසින් පින්කම කරන්නට ද පුළුවන. එනිසා ගිහිව ඒවා අනුභව කරමින් පුණ්‍ය කර්මවල නිරතවීම වඩාත් සිදුසු යැයි සලකා පැවිද්දෙන් ඉවත් වීම, බව දැක්වූහ.”

එසේ ම ගෘහ ජීවිතය සහ එහි සැපත අතහැර පැවිදිවීම සඳහා උනන්දු වූ රට්ඨපාල තෙරුන්ගේ මවුපියන් ඔහු අමතා ප්‍රකාශ කළේ “පුත රට්ඨපාලයෙනි! එව, කව, බොව, ළඳුන් පිරිවරා හැසිරෙව, කමින් බොමින් ළඳුන් පිරිවරා සරමින් කම්සුව විඳිමින් පින් කරනුයේ අභිරමණය කෙරෙත්වා.” යනුවෙනි.

එමෙන්ම දැහැමින් අඹුදරුවන් පෝෂණය කරමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වන, සිල්වත් ජීවිතයක් ගත කරන ගෘහස්ථයන්ට තමන්ගේ නමස්කාරය හිමිවන බව සදෙව් ලොවට අධිපති සක්‍රයා මාතලී නම් සිය රථාචාර්යයා අමතා ප්‍රකාශ කළ බව සක්කපඤ්හ සූත්‍රයේ සඳහන් වේ. (“යෙ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මෙන දාරං පොසෙන්ති තෙ නමස්සන්ති මාතලී”) මෙවැනි කරුණු වෙතින් පැහැදිලි වන්නේ පින. ගෘහ ජීවිතය හා සම්බන්ධ ලෞකික දෙයක් ලෙසය. එබැවින් පින, සංසාරික ජීවිතයේ ඉන්ද්‍රිය බද්ධ සැපයට යොමු කරන සත් ක්‍රියාවකි.

අනතුරුව විමර්ශනයට ලක්කල යුතු වන්නේ භවගාමී පුද්ගලයාට පිනෙහි උපයෝගීතාව බුදුදහමෙන් නිර්දේශ කරන්නේ කුමක් නිසාද යන්නයි. බුදු දහමේ මුඛ්‍ය පරමාර්ථය, භව නිරෝධය යි. පුද්ගල වේමත්තතාව නිසා හෙවත් පුද්ගලයන් අතර විවිධ දැනුම් මට්ටම් පවතින නිසා ක්ෂණිකව ධර්මාවබෝධය ලබා ගැනීමට අපහසු බව, බුදු සමය පිළිගනියි. එනිසා ම මේ පුද්ගල වේමත්තතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ බුදුන් වහන්සේ පුණ්‍ය ක්‍රියාවල නිරත වීමට පුද්ගලයාට අවස්ථාව ලබා දී ඇත.

එසේම බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් සැපය ලැබිය හැකි වන්නේ, මෙලොවදීම ය. එයට අනුපූර්ව ප්‍රතිපදාව බුදුසමයෙන් නිර්දේශ කර ඇත. ඒ සඳහා ඉවහල් වන භෞතික සාධක මිනිසාට තිබිය යුතු ය.

එවැනි සාධක සම්පූර්ණ වී නොමැති නම් විමුක්ති සාධනයේ අනුපූර්ව ගමන් මඟ පළුදු වීමට ඉඩ ප්‍රස්තාව තිබේ. එනිසා පුණ්‍ය ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය අවශ්‍ය වන්නේ මෙලොව වශයෙන් පුද්ගලයාගේ භෞතික පැතිකඩ පරිපූර්ණ වීමට ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.