Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්‍යයේ පහන් ටැඹ

නෙත සැනසිල්ල බුදු හිමි රුව දැකීමය
ගත සැනසිල්ල බුදු හිමි හට    වැඳීමය
සිත සැනසිල්ල හිමි ගුණ ගැන  සිතීමය
භව සැනසිල්ල පෙන්වූ මඟ     ගැනීමය

මේ අප කුඩා අවධියේ අසා ඇති ඉතාම රසවත් කවියකි. විශේෂයෙන්ම අපවත් වී වදාළ ගරු පානදුරේ අරියධම්ම හිමිපාණන්ගේ දේශනා වලදී මධුර ස්වරයෙන් ගැයුණු මේ කවිය අදත් අපට මිහිරිය. ඒ මිහිරියාව තවමත් අල්ප මාත්‍රයකින්වත් අඩුවී නැත. එදා කුඩා අවදියේ මෙහි ඇති අරුත නිසියාකාරව නොතේරුණත් අද අපට මෙහි ගැඹුරු අර්ථයක් ඇති බව මනාව වැටහෙයි. විශේෂයෙන්ම අසිරිමත් සම්මා සම්බුදු නමක සරණ ගිය සැදැහැවතෙකුට අඹන ලද හෝ ඡායාරූප ගත කරන ලද බුදු රුවක් දැකීමෙන් පවා ඇති වන්නේ අමුතුම සැනසිල්ලකි. පුදුමාකාර සහනයකි. බුදු හිමි සරණ නොගියා වූ සැදැහැවත් නැති කෙනෙකුට වුවද එම රුව දැකීමෙන් ඇති වන සතුට හා ප්‍රීතිය සොම්නස මෙතෙකැයි කියා කීමට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැත. ඉන්දියාවේ සිටි අගමැතිවරයෙකු වූ ජවහල් ලාල් නේරු තුමා බොදුනුවෙකු නොවුණත් සමාධි බුදු පිළිමයක් තම කාර්යාලයේ තබාගෙන සිත කැළඹුණු අවස්ථාවල ඒ දෙස බලමින් සිත සනසා ගත් අයුරු ප්‍රකට දෙයකි.

එවන් අඹන ලද හෝ ඡායාරූප ගත කරන ලද බුදු රුවක් අබියස මහත් ශ්‍රද්ධාවෙන් පසඟ පිහිටුවා වැඳ වැටෙන විට තම සිතට ඇතිවන සැනසිල්ල ගැන ශ්‍රද්ධාව ඇති කෙනෙකුට හොඳින් වැටහෙනවා ඇතැයි සිතමි. එවන් බුදු රුවක් ළඟ වැඳ වැටී ඒ ජීවමාන සම්බුදු හිමියන්ගේ හද පතුලේ මතුවූ උතුම් සීලාදී ගුණ කඳ මොහොතකට නමුත් සිහි කරන්නට පිළිවන් නම් අප සිතට ඇතිවන සැනසිල්ල ගැන කීම අමුතුවෙන් අවශ්‍ය නොවේ. භව කතරේ අතරමංවී සෝ සුසුම් මැද තනිවුණු අපට ඒ දුක වේදනාව මඳකට හෝ අඩුකර ගැනීමට හා සහමුලින්ම උපුටා දැමීමට හැකි වන්නේ උන්වහන්සේ පෙන්වා දුන් මඟ ගැනීමෙන් පමණි. ඒ මඟ යන කෙනෙකුට ඇති වන්නේ අප්‍රමාණ සැනසිල්ලකි.

මා මෙතෙක් මේ මිහිපිට දුටු අසිරිමත්ම චරිතය, බුදු සිරිත යි. බුදු සිරිත පිළිබඳ අසන්නට ලැබීම, දැන ගන්නට ලැබීම, මා ලත් පරම භාග්‍යය යි. මේ මුළු මහත් විශ්වයේම අතිශය සුන්දර පරම පූජනීය පරම පවිත්‍ර ඒ උත්තම චරිතය ටිකෙන් ටික අවබෝධ කර ගන්නට පුළුවන් නම් අපේ චරිතයද ටිකෙන් ටික සුන්දරකර ගැනීමට පුළුවන් වනු ඇත.

උන්වහන්සේ ඇස් පනාපිට අපට මිහිපිට දැක ගන්නට නොලැබෙන්නට ඇත්තේ අපට එදා පින් මඳවීම නිසා විය යුතුයි. ඒ බුදු රුව ඇස් පනාපිට දැක ගන්නට ලැබුණු දෑස් වාසනාවන්තම දෑස් නොවේ ද? අපට උන් වහන්සේ පියවි ඇසින් දැක ගැනීමේ වාසනාව අහිමිවී ගිය නමුත් මනැසින් උන් වහන්සේ දැක ගැනීමේ පරම දුර්ලභ වාසනාව තවමත් අපට හිමි ය. එනම්, ඒ බුදු හදවතේ පැන නැඟුණු ආදරය, කරුණාව, දයාව මෛත්‍රිය, මුදිතාව, ඉවසීම, ප්‍රඥාව වැනි උතුම් බුදු ගුණ දහම අවබෝධ කර ගැනීම තුළින් දැක ගැනීමට පුළුවන් නම් එය අප ලබන අති දුර්ලභ දැකීමක් වනු ඇත. එවිට අපගේ ගත සිත දෙකටම ඇති වන්නේ අමුතුම සැනසිල්ලකි.

ඒ අසිරිමත් චරිතයට සම කළ හැකි චරිතයක් මේ මුළු මහත් විශ්වයේම දැක ගන්නට නොහැකි ය. එවන් චරිතයක් සම කළ හැකි වන්නේ එබඳුම සම්බුදු හිමි නමකට හැර වෙන කවරකුට ද? සම්බුදු සිරිත පිළිබඳ කොතෙක් ඇසුවත්, කොතෙක් කතා කළත්, කොතෙක් හිතුවත්, කොතෙක් ලියුවත් සෑහීමක් නම් වන්නේම නැත. ‘බුද්ධං සරණං ගච්ඡාමී’ කියා බුදු සරණ ගිය ඔබටත් මටත් ඒ බුදු ගුණ ගැන කියා ලියා හෝ කිරා පෙන්වීමට නොහැකියි. බුදු හිමි නමක විසින් වෙන කිසිවක් නොදෙසා කල්පයක් පුරා තවත් එබඳුම බුදු හිමි නමකගේ ගුණ සමුදාය දෙසුවත් කල්පය ඉක්ම යනවා විනා ඒ බුදු ගුණ සමුදාය දෙසා අවසන් කළ නොහැකි බව දෙසුවේ අපගේම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේම ය.

එවන් බුදු හිමි නමකගේ ලොව පහළවීම මේ ඉර හඳ යට සිදුවන අසිරිමත්ම සිදුවීමයි. මේ මිහිපිට පමණක් නොව මින් ඔබ්බට ඇති සියලු සත්ව තල වලට ආලෝකය ගෙනෙන උන්වහන්සේගේ පහළ වීම වනාහී සැපදායක සිදුවීමකි. එවන් බුදු හිමි නමක දෑසින් දැක ගැනීමට හැකිවූයේ නම් ඒ දෑස් වනාහි වාසනාවන්තම දෑස් වෙයි. කල්ප ගණනාවකින් බුදු හිමි නමකගේ පහළ වීමත් කාලාන්තරයකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් යන කරුණු දෙක එක් වන්නේ පෙර කරන ලද අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් නිසාම වන බැවිනි. එබඳු බුදු හිමි වරු දෙව් ලොව, බඹ ලොව කිසිදා පහළ නොවෙති. උන් වහන්සේ පහළ වන්නේ, මේ මිනිස් ලොවේම පමණකි.

ලොව ඇති සියලු සම්පත් අබිභවා යන සම්පත,
බුද්ධ නම් සම්පතයි.
ලොව ඇති සියලු ශක්තීන් අබිභවා යන ශක්තිය,
බුද්ධ නම් ශක්තියයි.
ලොව ඇති සියලු ආලෝක අභිබවා යන ආලෝකය,
බුද්ධ නම් ආලෝකයයි

මේ බුද්ධිමත් මිනිස් රත්නයේ පහළවීම වනාහි, මේ මුළු මහත් විශ්වයේම සියලු සතුන් ලැබූ පරම දුර්ලභ භාග්‍යය යි. උන්වහන්සේ වනාහී මහා ආධ්‍යාත්මික විප්ලවයේ අසමසම නිර්මාතෘවරයා යි. මේ මිනිස් තලයට පමණක් නොව මුළු මහත් විශ්වයටම මෙතරම් ගෞරවනීය බවක් පූජනීය බවක් උදා වූයේ ඒ අසිරිමත් තථාගතයන් වහන්සේගේ පහළ වීමත් සමඟ යි.

මේ මිනිස් තලයට පමණක් නොව මින් ඔබ්බට විහිදී ගිය සියලු ලෝක ආලෝකවත් කළේ මේ අති උදාර මිනිස් රත්නයයි. කරුණාවත්, ප්‍රඥාවත් එක්තැන්වූ හදවතකින් හෙබි මේ උතුමා සත්වයින්ගේ හදවත් තුළ සැඟ වී තිබුණු හැකියා හා නොහැකියා මනා ලෙස හඳුනා ගත් සේක. කුසලය මෙන්ම අකුසලය ද මැනැවින් හඳුනාගත් සේක. සතුට මෙන්ම අසතුට ද දුක මෙන්ම සැපත ද මනාව හඳුනා ගත් සේක. පින මෙන් පව ද හොඳින් හඳුනාගත් සේක. අහිංසක හදවත් තුළ බුර බුරා නැගුණු ගිනි දැල් හඳුනාගෙන ඒවා ආදරය හා ප්‍රඥාව මුසු මිහිරි වදනින් නිවා දැමූ සේක.

භව දුක නම් වූ රෝගයට බෙහෙත් කොට හද දුක දුරු කළ විශිෂ්ටතම වෛද්‍යවරයා වූ සේක. ලෝකයේ කිසිවෙකුටවත් අබමල් රේණුවකින්වත් වරදක් නොකළ සේක. වරදක් කිරීමට සිතින්වත් නොසිතූ සේක. සත්‍යය පමණක්ම කතා කළ සේක. කිසිවකු හෝ නොමඟ නො යැවූ සේක. මුලා නොකළ සේක.

සියලු අභියෝග තර්ජන ගර්ජන දුක සැප නින්දා දී කිසිවක් හමුවේ අබමල් රේණුවකින්වත් නොසැලුණු සේක. එබැවින් උන්වහන්සේ අසිරිමත් වන සේක. මේ මුළු මහත් විශ්වයේම සිටි සුන්දරම හදවත ඇති අහිංසකම මිනිස් රත්නය වන සේක. එබැවින් උන්වහන්සේ සත්‍යයේ පහන් ටැඹ වන සේක. ආදරයේත් කරුණාවේත් උල්පතවන සේක. ප්‍රඥාවේ මිණි පහන වන සේක. සියලු සත්වයන්ගේම අසහාය ආචාර්යවරයා වන සේක.

එදා අසරණ වූ අංගුලිමාල, ආලවක, පටාචාරා, කිසාගෝතමී, සුනීත සෝපාක වැනි අයට පමණක් නොව, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත අසරණ වූ සත්වයන්ට සිතේ සැනසිල්ල උදාකර දුන්නේ උන්වහන්සේම ය. උන්වහන්සේ අද ජීවමාන නොවුවත් උන් වහන්සේ දෙසූ වදන් තවම අපගේම පෙර පිනට ඉතිරිව ඇත. සම්මා සම්බුදු හිමියන්ගේ ගුණ සිහිපත් කරන මෙවන් යුගයක අප විසින්ද කළයුතු වන්නේ හදවත් තුළ ඇවිළුණු ගිනි නිවා ගැනීමට එදා පටාචාරා, කිසාගෝතමී, අංගුලිමාල, ආලවක, සුනීත සෝපාක වැනි අසරණ වූවන්ට දෙසූ ඒ දහම අපේ ජීවිත වලට එක්කර ගැනීමයි.

බුදු රජාණන් වහන්සේ අපට නිතර දෙසුවේ ‘අප්පමාදේන සම්පාදෙථ’ යන උතුම් දහම් පාඨය යි. සසර කතරින් එතෙර වීම පිණිස අප්‍රමාදව කුසල් දහම් වඩන ලෙසයි. සදහටම මෙලොවින් සමු ගන්නට මොහොතකට පෙර පිරිනිවන් මංචකයේදී හොඳින් හිතට ගන්නැයි අවධාරණයෙන් මතක් කළේ සියලු හටගත් ධර්ම ඒකාන්තයෙන්ම වෙනස්වී යන බව වහ වහා අවබෝධ කරගෙන සිත්වල ඇවිළුණු ගිනි නිවා ගැනීමට, කුසල් වඩන ලෙස යි.

නැඟුණු හිරු අවරට යන්නට පෙර අප මිය යන්නට පුළුවන. අවරට ගිය හිරු යළි නැග එන්නට පෙර අප මියැදෙන්නට පුළුවන. අකුණු සැරක් ගසන පමණින් හෝ ඇහි පිල්ලමක් ගසන පමණින් හෝ අප මරු වසඟයට යාමට පුළුවන. මරණය මෙසේ සිදු නොවේ යැයි ස්ථිරකොට කිව හැකි වන්නේ කාට ද? එබැවින් ඒ උතුම් සනාතන ධර්මය අපේ ජීවිතවලට හැකි පමණින් ඈඳා ගැනීමට අපි තව උත්සාහවත් වෙමු. ලොවේ පහළ වූ සියලු බුදු රදුන් මෙන්ම අපගේ බුදු පියාද දෙසු ඒ උතුම් දහම් අපි ක්‍රියාවට නගන්නට උත්සාහවත් වෙමු.

සියලු පව් දුරලන්න කුසල් දහම් වඩන්න
ඔබේ සිත පිරිසුදු කර ගන්න මෙයයි සියලු බුදුවරු දෙසන්නේ
කරදරමයි ජීවිතයක හැමදාම
මරණය වෙතයි ටික ටික වත් ළංවීම
‍පින පමණයි තරමකවත් සෑහීම
නිවන තමයි අපි කාටත් සැනසීම!

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.