Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 මා දුටු සෝමාවතී වන්දනාව

මැයි මස මුල් සතියේදි සිදුකැරුණූ සෝමාවතී චෛත්‍ය වන්දනාව වෙනුවෙන් බොහෝ ලිපි ජාතික පුවත්පත් රැසක පළවූ අතර තවමත් පළවෙමින් පවතී. එම වන්දනාවට ජාතික වැදගත් කමක් එක්වූ බවක් ඒවායින් ප්‍රකට වන අතර අප්‍රකට තවත් තතු රැසක් වන්දනාකරුවකු ලෙසින් ලද අත්දැකීම් වලින් හෙළිදැක්වීම පිණිස මේ ලිපිය ලියැවේ.

ඈත වනගත පෙදෙසක හැම අතින්ම දුෂ්කර හා අඩු පහසුකම් ඇති හුදකලා කලාපයකට මෙවැනි මහා පරිමාණ ජන වන්දනාවක් සුදුසු නොවන්නේ අනාරක්ෂිත බව වනගත ගමන් මග හා පහසුකම් වල දුෂ්කර බව ගමන්වලට ඔරොත්තු නොදෙන හෙයිනි. රට පුරා මසක පමණ කාලයක් තිස්සේ කරන ලද ප්‍රචාරණය හේතුවෙන් සහභාගි වන්නන්ටද සේවා සපයන්නන්ටද සුදානම් වීම සඳහා ඕනෑ තරම් කල් තිබිණ. යුද බියෙන් නිදහස් වු ප්‍රදේශයක් වීම නිසා ආකර්ෂණය තවත් වැඩි විය.

මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා ආහාරපාන සහ සේවා සැපයීමෙන් ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව පැහැරහැර තිබුණු අතර මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට කවරාකර පහසුකම් සලසා තිබුණි දැයි සලකා බැලීම සුදුසුය. යුද හමුදාව ස්ථානගතව ආහාර බෙදා දෙනු දක්නට ලැබිණ. සැබැවින්ම මේ පහසුකම් දියයුතුව තිබුණේ පසුදාටය. වන්දනාව පැවැත්වුණු දිනය සඳහා අවශ්‍ය ආහාර පහසුකම් කළමනාකරණය කර ගැනීමට වන්දනාකරුවන්ට අවකාශ තිබූ හෙයිනි.

ඒ මහා වනමැද පින්බිමෙහි ජනතාව උරෙන් උර පැහැර සිටියායැයි පැවසීම වරදක් නොවේ. වර්ග සැතපුමක හෝ ඊටත් වැඩි වර්ග ප්‍රමාණයක තවත් කිසිවෙකුට ඉටි රෙදි කෑල්ලක් එලා ගත නොහැකි තරමින් වන්දනාකරුවෝ පොදි ගැසී උණ්හ.

පොද වැස්ස මහා වැස්සක් වී ගලා යන විට ප්‍රතිචාර දැක්වීමට හැකිවුයේ උන් තැනින් නැගී සිටීමෙන් පමණි. (මා සිතන පරිදි පළමුවට ඒ වැසිපොදින් තුරු මුදුන්වල දුහුවිලි සේදී යන්නට ඇත. ඒ ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ගෙන් එකකු වී මමද ඒ මහා රාත්‍රියෙහි ඊළඟට වට මහා වැස්සෙන් නා ගත් තරමටම තෙමී බත් වූයෙමි.

අප්‍රමාණ වු කොහොඹ, ඇහැල, ඔසුපත් අතරින් පෙරී ආ ඒ නොඉඳුල් වැස්සට තෙමෙන්ට ලැබීම මා ලද භාග්‍යයක් යැයි වැටහෙන්නට වුයේ පෙරළා පැමිණි මගේ කල් ගිය කැස්ස සම්පුර්ණයෙන් සුවපත් වු හෙයිනි.

මේ සා ජන ගගක් මේ වන්දනාවට සහභාගි වුයේ බුදු රැස් වඩිනු ඇතැයි විශ්වාසයෙනි. වන්දනාව පිළිබඳ ප්‍රචාරයද ඒ සිතිවිල්ල තහවුරු කරන්නට ඇත. එහෙත් බුදුරැස් වැඩීම පිළිබඳව නම් බෞද්ධයන් මීට වඩා දුරදිගට සිතිය යුතුව ඇතැයි යනු මගේ හැඟීමයි. පෙළහර පෑම බුදුරදුන් ප්‍රතික්ෂේප කළ දෙයක් බව ත්‍රිපිටක සාහිත්‍යයේ බොහෝ තැන්වල සඳහන් වෙයි.

බුදුරැස් පහළ නොවු මුත් අසිරිමත් ජන වන්දනාවේ අගය ඉන් අඩු වූයේ නොවේ. නොඉඳුල් ඔසුපත් පිසදාගෙන ආ සිහිල් සුළඟද ඔසුපත් සෝදාගෙන ආ වැසි බිඳුද අතරේ ගනඳුර විනිවිද නැගුණු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මනනන්දනීය ස්වරයෙන් එකලාව නැගෙන පරිත්‍රාන සජ්ඣායනයේ මාධුර්යය හදට අඳුනක්ම විය. එබඳු අසමසම රාත්‍රියක් වීනම් ඒ එයම පමණි. බුදුරැස් දකින්නටම නොව සෝමාවති සෑ රදුන් අබියස බවුන් වඩමින් රැය පහන් කරන්නට සිතා ගෙන පැමිණි වන්දනාකරුවන්ට නම් ඒ අරමුණ ඉටුකළ ඒ පුන්‍යවන්ත අසාමාන්‍ය රාත්‍රිය පෙළහරක්ම විය.

බුදුරැස් දැකීමේ අදහස නිසා හෝ මේ ජන වන්දනාවෙහි මහා සංස්කෘතික පෙළගැස්මක් මතුපිටින් පෙනෙන්නට තිබුණි. වෙනත් පුජාබිම්වල මෙන් නොව සියල්ලෝම සුදුවතින් සැරසුනෝම වූහ. එහෙත් සුදුවතින් සැරසුණූ පළියටම බුදුරැස් දකින්නට උචිත ශික්ෂණයක් මේ ජනතාව වෙත පැවතිණිද? උදේ සිට රෑ නින්දට යනතුරු බුදු බණ අසන්නට ලැබෙන බෞද්ධ ගිහි විනය ඒ ඇසු දහමින් සකස්වී අතිද? .

මේ මහාජන වන්දනාවේ විශාල කාර්යභාරය උරට ගත් යුද හමුදාව සියලු පහසුකම් අතරේ වැසිකිළිපහසුකම් ද සලස්වා තිබිණි. වතුර ලීටර් තුනක් පමණ ගත හැකි අලුත් පහසු ජල බඳුන් ඕනෑ තරම් විය. ජලකරාම හත අටක්ම අත ළඟම තිබූ නමුත් මේ වැසිකිලි භාවිත කළ අය ජලය භාවිත කළ බවක් නම් නොපෙනිණි.

ඒවා අපිරිසුදුව තිබුණේ වැසිකිළිවලට නොව ඒ අසලකටවත් පා නොගැසිය හැකි පරිද්දෙනි. අනන්ත බැතියෙන් මේ ජන වන්දනාවට දායකත්වය දී පසුදා මේ වැසිකිළි පවිත්‍ර කළ යුද හමුදා ශ්‍රමිකයන්ගේ මනෝභාවයන් කොහොමට පවතින්නට ඇත්ද? එසේම සකස්කොට තිබූ මහවැස්සේ මඩ ගොහොරුවක් වු මාවතෙහි කම්බියක යන්නාක් මෙන් යායුතුව තිබුණේ මදක්හෝ ඉන් ඔබ්බට වුවහොත් නිසැකවම මඩගොඩක් පා පිළිගන්නට සිටි හෙයිනි. බුදුරැස් විහිදීම කෙසේ වෙතත් ජීවිතයේ සියලුම සියුම් චාරිත්‍ර වාරිත්‍ර විධි පවා ලිඛිතව සටහන් වුණු අවුරුදු දෙදහස් පන්සීයක් තුළ ඔප මට්ටම් වුණු සමාජයක දියුණුවක තරම යම් හෙයකින් විදේශිකයකු දකිනු ඇත්තේ කෙලෙසද?

කිසිවෙකු පරිත්‍යාගශීලිව පිරිනමන දෙයක් ගන්නට දහසක් අත් දිගුවෙමින් පවත්න අවස්ථාවක උදුරාගන්නට ගොස් කිසිවෙකුටත් නැතිව නාස්ති වී ගිය වැනි අවස්ථා ඕනෑතරම් දක්නට ලැබිණි.

මේ පින්බිමේ බුද්ධ ශක්තිය නැතිවා නොවේ.අවම වශයෙන් ගිහි විනය වත් ප්‍රදර්ශනය වන යම් දිනයක බුදුරැස් දැකීමද අරුමයක් නොවනු ඇත.

මෙවැනි ජනවන්දනාවකට පෙරමුණ ගත් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේට මුළු මහත් බෞද්ධ සමාජයේම බුහුමන හිමිවේ. ඒ පින්බිමෙහි අරුත්බර රැයක් ගත කරන්නට ඉඩ සැදු යුද හමුදාවටද වන්දනාකරුවන්ගේ සාතිශය බුහුමන හිමිවිය යුතුය.

දිවයින පුරා විසිරී ඇති මහමෙවුනා ස්වේච්ඡා සාමාජිකයන්ද ප්‍රජා සේවයේ යෙදෙමින් හා ලාභ ආහාර වේලක් සපයන සංවිධාන සමඟ මෙවැනි ජන වන්දනා අනාගතයේදීද මෙහෙයවීමට අති පූජ්‍ය ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ධෛර්ය හා ශක්තිය ලැබේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.