නිවන් සුව සලසන
ප්‍රඥාව යි සීලය යි
මහනුවර මාරතුගොඩ,
විදුමිණ විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
එවමෙතං බ්‍රාහ්මණ සීලපරිධොතාභි
බ්‍රාහ්මණ පඤ්ඤා, පඤ්ඤා පරිධොතං
සීලං යත්ථ සීලං
තත්ථ පඤ්ඤා, යත්ථ පඤ්ඤා තත්ථ සීලං,
සීලවතො පඤ්ඤා පඤ්ඤාවතො සීලං
සීලපඤ්ඤානඤ්ච පන ලොකස්මිං
අග්ගමක්ඛයති.
පින්වත්නි
මම අද ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ සීලයේ හා ප්‍රඥාවේ වටිනාකම
මෙන්ම ඒ දෙකෙහි ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව පිළිබඳවයි. උක්ත දහම් පාඨය
ඇතුළත් සම්බුද්ධ දේශනාව ඇතුළත් වන්නේ දීඝනිකායන්තර්ගත සීලක්ඛන්ධ
වර්ගයෙහිය. මෙම දහම් දෙසුම නම් කොට ඇත්තේ “ සෝණදණ්ඩ” සූත්‍රය ලෙසය. ඊට
හේතුව මෙය බුදුරජාණන් වහන්සේ හා සෝණදණ්ඩ නමැති බ්‍රාහ්මණයෙකු අතර ඇතිවූ
ධර්ම සාකච්ඡාවක් නිසාය.
එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු
සංඝයා වහන්සේ සමග අඟු රටෙහි පිඩු පිණිස හැසිර, චම්පා නම් නුවරට
වැඩිසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගග්ගාර නම් පොකුණු තෙර වාසය
කරති. එකල සොණදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් මගධ දේශයෙහි රජවූ බිම්බිසාර
මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස ලබන ලද්දා වූ, චම්පා නගරයෙහි
ප්‍රධානියාව වාසය කරයි.
චම්පා නුවර වැසි බමුණු පවුල්හි ප්‍රධානීහු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
පන්සියයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා වහන්සේ සමග චම්පා නුවරට වැඩි බව
අසා උන් වහන්සේ මහ මහ සඟන දැකීමට යෑම සඳහා පිටත්වූහ. මේ පිරිස දුටු
සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ඒ පිළිබඳ විමසා කරුණු දැන, බුදුරදුන් දැකීමට තමාත්
එන බව පැවසීය. ඒ වනවිට නොයෙක් රාජධානීන්ගෙන් කිසියම් කටයුත්තක් සඳහා
පැමිණි පන්සීයක් පමණ බමුණෝ චම්පාවෙහි වාසය කරති. ඔවුහු සොණදණ්ඩ
බ්‍රාහ්මණයා බුදුරදුන් දැකීමට යන බව අසා ඔහුගේ ගමන වැළැක්වීම සඳහා
විවිධ උපක්‍රම කළහ. ඔවුහු සෝණදණ්ඩ බමුණාගේ ගුණයන් ද බුදුරජාණන්
වහන්සේගේ අගුණයන්ද ප්‍රකාශ කළහ.
ඒ බමුණන්ගේ කථාව අසා සොණදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගුණයෙන්
සීලයෙන් හා ප්‍රඥාවෙන් තමාට වඩා උසස් බවත් ප්‍රකාශ කරමින් බුදුරජාණන්
වහන්සේගේ ගුණයන් මෙසේ ප්‍රකාශ කළේය.
“පින්වත් මහණ ගෞතම තෙමේ මවු පාර්ශ්වයෙන්, පිය පාර්ශ්වයෙන් යන
දෙපාර්ශ්වයෙන් මැනවින් උපන්නේය. පිරිසුදු මවුකුසින් උපන්නේය, සත්වැනි
පරම්පරාව දක්වා අවනම්බුවෙන් තොරව ලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ
ලද්දේය. මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල
අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකුමට පැමිණෙන්නට සුදුස්සෝ වෙමු.”
“ශ්‍රමණ ගෞතමයෝ මහත් ධන, මහ භෝග ඇති මිශ්‍ර නුවූ, ක්‍ෂත්‍රිය නම් උසස්
කුලයෙන් ගොස් මහණවු කෙනෙක. ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් යම් යම් දේ අසා
දැනගන්ට අන්රට වලින්ද ජනපද වලින්ද ජනයෝ එති. බොහෝ දහස් ගණන් දෙවිවරු
ශ්‍රමණ ගෞතමයන් ජීවිතය ඇතිතෙක් සරණ කොට ගියහ.”
“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබදු මහත් කීර්ති ශබ්දයක් විශේෂයෙන්
උස්ව පැන නැංගේය. කෙබඳුදයත්, උන්වහන්සේ සංසාර චක්‍රයෙහි බැමි සින්දහ.
අර්හත්ය. හැම ලෙසින් දත යුතුදේ තමන්ම දත්හ. නුවණ අටෙන් හා සීල ධර්ම
පහළොවින් යුත්හ. ධර්ම මාර්ගයේ ගියහ. ලෝකය හොඳාකාර දත්හ. සිල් ආදි
ගුණෙන් ප්‍රධානය. මිනිසුන් දමනය කිරීමෙහි සමත්හ. දෙවි මිනිසුන්ට
ගුරුවරයෙක්ය. සියල්ල දත්හ. කෙලෙස් නැති කළහ.” ආදි වශයෙන් බුදුරජාණන්
වහන්සේගේ ගුණයන් ප්‍රකාශ කළේය.
සෝණදණ්ඩ බ්‍රාහ්මණයා මෙසේ බුදුරදුන්ගේ ගුණ ප්‍රකාශ කිරීමෙන් පසු
බුදුරදුන්ට දොස් නැගූ බමුණෝද බුදුරදුන් දැකීමට යෑමට කැමති වූහ. ඉන් පසු
සියලු දෙනාම බුදුරදුන් දැකීමට යෑමට පිටත් වූහ.
මේ යන අතරතුර සෝණදණ්ඩ බ්‍රාහ්මණයාට මෙබදු සිතුවිල්ලක් ඇති විය. එනම්
බුදුරජාණන් වහන්සේ තමාගෙන් පිළිතුරු දීමට අපහසු ප්‍රශ්නයක් ඇසුවහොත්
තමා අසීරුතාවයට පත්වන බවත් පිරිස අතර ලජ්ජාවට පත්වීමෙන් කීර්තිය
පිරිහෙන බවත්ය. ඔහුට බුදුරදුන් හමුනොවී ආපසු යෑමට සිත් වුවද එයද කළ
නොහැකි නිසා බුදුරදුන් පිළිතුරු දීමට පහසු ප්‍රශ්නයක් අසත්වා’යි යන
සිතින් බුදුරදුන් වෙත එළඹියේය.
ඔහුගේ සිතෙහි වු මේ විතර්කය නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ සතුටු
සාමීචි කථාවෙන් අනතුරුව පිළිතුරු දීමට පහසු ප්‍රශ්නයක් විචාළේය.
“බ්‍රාහ්මණය, බමුණු දහමෙහි සඳහන් පරිදි නියම බ්‍රාහ්මණයෙකු වීමට “
බ්‍රාහ්මණ “ කියන පුද්ගලයා කරුණු කීයකින් සමන්විත යුතුද? යනුවෙන්
විචාළේය.
තමන්ගේ දහමට අයත් පහසු ප්‍රශ්නයක් විචාරීම නිසා අතිශය සතුටට පත්ව
සොණදණ්ඩයෝ උස්ව හිස නමා පිරිස නැවත නැවත බලා බුදුරජාණන් වහන්සේට මෙසේ
පිළිතුරු දුන්නේය. පින්වත් ගෞතමයන් වහන්ස, යමෙක් “ මම බ්‍රාහ්මණ වෙමි”
යි හරි ආකාර කියන්නට නම්, ගතිගුණ පහකින් සම්පූර්ණ විය යුතුයයි බමුණෝ
ප්‍රකාශ කරති. ඒ පහ මෙසේය.”
1. උභය කුල පවිත්‍රවීම (ඒ බ්‍රාහ්මණ තෙමේ මවුපිය දෙපසින් යහපත්ව
උපන්නේවේද පිරිසුදු මවුකුසින් බිහිවුයේ වේද, සත්වන පරම්පරාව දක්වා
අවනම්බු නොලබන ලද්දේ වේද, ජාතිවාදයෙන් අවනම්බු නොකරන ලද්දේ වේද) මෙය
බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය පළමු කාරණයයි.
2. වේදයෙහි පරතෙරට පත්වූවෙකු වීම. මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය දෙවන
කාරණයයි.
3. මනා රූප සම්පත්තියෙන් යුක්තවීම. මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය තෙවන
කාරණයයි.
4. සීලයෙන් යුක්තවීම (සිල්වත් වීම ) මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය
සිව්වන කාරණයයි.
5. නුවණැති පණ්ඩිතයෙක් වීම (නැණවත් වීම ) මෙය බ්‍රාහ්මණයෙකු වීමට අවශ්‍ය
පස්වන කාරණයයි.
මෙම කාරණා පහෙන් යුක්ත වූ පුද්ගලයා නියම බ්‍රාහ්මණයෙකු ලෙස බමුණු
දහමෙහි සඳහන් වන බව ඔහු බුදුරදුන්ට පැවසීය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ
බමුණාට මෙසේ පැවසූහ. “ බමුණ මේ අංග පහෙන් එකක් සම්පූර්ණ නොවූ කළ
බමුණෙකු යැයි පිළිගැනීමට නොහැකිද? යනුවෙනි. එවිට බමුණා “ භාග්‍යවතුන්
වහන්ස, බමුණෙකු වීමට මේ අංග පහම අවශ්‍ය නොවේ. උභය කුල පවිත්‍රවීමෙන්
ඇති ඵලයක් නැත. එය නැතිව වුවද බමුණෙකු විය හැකිය” යනුවෙන් ප්‍රකාශ
කළේය.
නැවත බුදුරජාණන් වහන්සේ බමුණෙකු වීම සඳහා ඉතිරි අංග සතරම අවශ්‍ය දැයි
බමුණාගෙන් විමසීය. එවිට බමුණා “ ස්වාමීනි, වේදයෙහි පරතෙරට යෑමෙන් ඵලක්
නැත. එය නැතිව වුවද බමුණෙකු විය හැකිය” යනුවෙන් ප්‍රකාශ කළේය.
නැවතත් බුදුරජාණන් වහන්සේ බමුණෙකු වීම සඳහා සෙසු අංග තුනම අවශ්‍ය දැයි
බමුණාගෙන් විමසීය. එවිට බමුණා “ ස්වාමීනි, මනා රූසපුවෙන් යුක්තවීමෙන්
ඵලක් නැත. එය නැතිව වුවද බමුණෙකු විය හැකිය.” යනුවෙන් ප්‍රකාශ කළේය.
සෝණදණ්ඩ බ්‍රාහ්මණයා මෙසේ ප්‍රකාශ කළ කල්හි සෙසු බමුණු පිරිස “සෝණදණ්ඩ
වේදයට විරුද්ධව යන්නේයැ”යි ඔහුට දෝෂාරෝපණය කරන්නට වූහ. එවිට බුදුරජාණන්
වහන්සේ ඒ ඝෝෂාකරන බමුණූ පිරිසට මෙසේ වදාළහ. “බ්‍රාහ්මණයෙනි, සෝණදණ්ඩ
බමුණු තෙමේ මා සමග වාද කරන්නට අසමර්ථයැයි නුඹලා සිතන්නෙමි නම් කැමති
කෙනෙක් මා සමග වාදයට එන්න “ යනුවෙනි. එවිට සෝණදණ්ඩ බමුණා “ ස්වාමීනි,
මා සමග පැමිණි මොවුන්ට මම්ම පිළිතුරු දෙන්නෙමි. ඔබ වහන්සේ වෙහෙස නොවන්න
“ යැයි බුදුරදුන්ට පවසා බමුණු පිරිස අතර සිටි සිය බෑණා වූ අංගක මානවකයා
උපමා කොටගෙන එම පිරිසට මෙසේ ප්‍රකාශ කළේය.
“පින්වත්නි, අපගේ බෑණනුවන් වු මේ අංගක නම් මාණවකයා නුඹලා දකින්නහුද?
“එසේය පින්වත “ යනුවෙන් බමුණු පිරිස පිළිතුරු දුන්හ.
“පින්වත්නි, අංගක තරුණයා ප්‍රාණඝාත කරන්නේය. නුදුන් දෙය ද ගන්නේය, අන්
භාර්යාවන් වෙතට ද යන්නේය, බොරු ද කියන්නේය, රහමෙර ද පානය කරන්නේය,
පින්වත්නි දැන් මෙසේ ඇති කල්හි, ජාතිය කුමක් කරන්නේද? මන්ත්‍ර හෝ වංශය
කුමක් කරන්නේද? රූපය කුමක් කරන්නේද? පින්වත්නි, බ්‍රාහ්මණ තෙමේ යම්
කලෙක පටන් සිල්වත් වූයේ, වඩන සිල් ඇත්තේ සම්පූර්ණ සීලයෙන් යුක්ත වේද,
නුවණ ඇති පණ්ඩිත වූයේ වේද, පින්වත්නි, මේ අංග දෙකින් යුක්ත වූ පුද්ගලයා
බමුණු වෙමි’යි කියන්නේ නම් ඔහු සත්‍ය ප්‍රකාශ කරන්නේය. බොරු කීමට
නොපැමිණෙන්නේය’යි බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරති’යි යනුවෙන් බමුණු දහමෙන්ම
උදාහරණ ගෙනහැර දැක්වීය. ඉන්පසු බමුණෝ සියලු දෙනාම නිහඩ වූහ. ඉන්පසු
නැවතත් බුදුරදුන් හෝ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා අතර සංවාදය ඇති විය.
නැවතත් බුදුරජාණන් වහන්සේ බමුණෙකු වීම සඳහා ඉතිරි අංග දෙකම අවශ්‍ය දැයි
බමුණාගෙන් විමසීය. එවිට බමුණා “ ස්වාමීනි, ගෞතමයන් වහන්ස, මේ කාරණය නම්
කිව නොහැකිය. භවත් ගෞතමයෙනි, නුවණ ශීලයෙන් පිරිසුදු කරණ ලද්දේය. ශීලය
නුවණින් පිරිසුදු කරණ ලද්දේය.යමෙකු කෙරෙහි ශීලය වේද ඔහු කෙරෙහි නුවණ
වේ. යමෙකු කෙරෙහි නුවණ වේද ඔහු කෙරෙහි ශීලය වේ. ශීලය ඇත්තා හට නුවණ
ඇතිවේ. නුවණ ඇත්තා හට ශීලය ඇතිවේ. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උතුම්යැයි
කියනු ලැබේ.” යනුවෙන් ප්‍රකාශ කළේය.
එවිට බුදුරජාණන් වහන්සේ, “ බමුණ එය එසේමය. වෙනස් කළ නොහැක. ඔබ
නුවණැත්තෙකි. මගේ ධර්මයෙහි ද එය එසේමය. “ යනුවෙන් සෝණදණ්ඩ බමුණු තෙමේ
අගය කොට එය අනුමත කරමින් මෙසේ වදාළහ.
“බ්‍රාහ්මණය, නුවණ ශීලයෙන් පිරිසුදු කරණ ලද්දේය. ශීලය නුවණින් පිරිසිදු
කරණ ලද්දේය. යමෙකු කෙරෙහි ශීලය වේද ඔහු කෙරෙහි නුවණවේ, යමෙකු කෙරෙහි
නුවණ වේද ඔහු කෙරෙහි ශීලය වේ. ශීලය ඇත්තා හට නුවණ ඇතිවේ. නුවණ ඇත්තා හට
ශීලය ඇතිවේ. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උතුම්යැ”යි දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ සීලයෙහි හා ප්‍රඥාවෙහි ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව
මෙසේ වදාළහ. “බ්‍රාහ්මණය දකුණු අත සේදීමට වම් අත උපකාරී වන්නේය. වම් අත
සේදීමට දකුණූ අත උපකාරිවන්නේය. එලෙසින්ම සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන්
සීලයත් පිරිසුදු වන්නේය. එය පොත්තට ගසත් ගසට පොත්තත් මෙන් අන්‍යෝන්‍ය
වශයෙන් බැදී පවතින්නේය” යනුවෙන් දේශනා කළහ.
ප්‍රඥාවෙන් සීලයත් සීලයෙන් ප්‍රඥාවත් පිරිසුදු කරගනිමින් නිර්වාණාවබෝධය
සඳහා කටයුතු කරමු. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
|